(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ වාරන ජයකොඩි)
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා යටතේ දැනට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නෑදැයෙකුට හා පොලිස් සැරයන්වරයකුට අයත්බව කියන ලොරි රථ හතරක් , වෑන් රථ දෙකක් සහ මෝටර් රථයක් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපසදස් මත ගම්පහ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා , සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර යන මත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් මෙම වාහන අත් අඩංගුවට ගනු ලැබීය.
ලොරි රථ දෙකක් හා වෑන් රථ දෙකක් බාදුරාගොඩ ප්‍රදේශයේ පිහිටි ආහාර නිෂ්පාදන කම්හලක සේවයේ යොදවා තිබියදී පොලිස් භාරයට ගෙන ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ තිබී ලොරි රථයක් ද මීරිගම ගරාජයක තිබූ ලොරි රථයක් ද මරදගහමුල ප්‍රදේශයේ විකිණිමට තබා තිබූ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගනු ලැබීය.
මෙම වාහන මත්ද්‍රව්‍ය විකුණා උපයාගත් මුදල් වලින් ලබාගත් ඒවා දැයි සැකකරන බැවින් ඒ සඳහා මුදල් උපයා ගත් ආකාරය හෙළි කර ගැනීමට පොලිස් පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් වාහන වේයන්ගොඩ පොලිසියේ රඳවා තැබීමට පියවර ගත් බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් එක් ලොරියක් අත්අඩංගුවේ පසු වන පොලිස් සැරෙන්වරයාට අයත් එකක් බවත් වෑන් රථ දෙක උප පොලිස් පරීක්ෂකවරයාගේ මස්සිනාට අයත් බවත් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් මේ ආකාරයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා යොදවා ඇතැයි යන සැකය මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කළේය.



COMMENTS
මේ දූෂිත නිලධාරීන්ගේ වාහන ඇතුළු සියලු වත්කම් සොයා බලා අල ගිය තැන්, මුල ගිය තැන් අල්ලා ගැනීම ඉතාමත්ම වැදගත් දෙයක්... ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරින්ටත්, රහස් පොලිස් නිලධාරින්ටත් ජාතියේ ප්‍රණාමය...!!! මේ සිද්ධිය මුල් කරගෙන සමස්ත පොලිස් ප්‍රජාවටම දොස් නැගීම වැරැදි දෙයක්... සත්‍ය වශයෙන්ම මේ දේවල් අල්ලා ගත්තේද පොලිස් නිලධාරින්ම බව සැවොම තරයේ සිහිතබා ගත යුතුයි. අවංක නිලධාරීන් නැතිනම් කෙසේ මේවා අල්ලා ගන්නද? මෙවැනි දේ ඇල්ලීමට තරම් දක්ෂ, අවංක නිලධාරින් සිටීම සැබවින්ම භාග්‍යයකි. තමන්ගේ හා අඹුදරුවන්ගේ ආරක්ෂාවද නොතකා ඔවුන් සිදුකළ හා සිදුකරන සේවය අති මහත්ය. මේ නිලධාරින්ගේ හා ඔවුන් හා සම්බන්ධ අයගේ සියලු ආරක්ෂාව දැඩි කළ යුතුයි. මේ ඔවුන් ගල්ගසා ඇත්තේ දෙබරයකට බව සිහියේ තබාගත යුතුයි. මේ අවංක නිලධාරින් හෙවත් පොලිස් හා රහස් පොලිස් විරුවන් රටේ ජීවනාලිය බඳුයි.. ඔවුන් කුඩ්ඩන් හා පාතාලයින්ගේ ඉලක්කයන් විය නොහැකිද? ඔවුන් සමග කෙතරම් වයිරයක් ඇතිද? එබැවින් මේ අවංක නිලධාරින් ගැන සුළුවෙන් සිතිය යුතු නොවේ.
දේශබන්දු නම් එහෙම නෑ. බෝ පැලයක් වගේ...