(*** දසුන් රාජපක්ෂ)

අසාමාන්‍ය විලාසයකින් ඉස්ලාම් ආගම ලංකාව තුළ ප්‍රචාරය කරන බව වාර්තා වූ නිසා ලංකාවට පැමිණීමට නියමිතව සිටි තවුහිද් ජමාද් සංවිධානයේ ඉන්දීය නායකයා අසාදු ලේඛනයට ඇතුළු කර ඔහුගේ ලංකා සංචාරය තමා මැදිහත්ව වළක්වා දැමූ බව රාජ්‍ය බුද්ධි සේවා හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධර්මගුප්ත ගජනායක මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ 29 වැනිදා පැවසීය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිතකොට තිබෙන විශේෂ කාර්යාලයේදී මෙම ජනාධිපති කොමිසම ඊයේ 29වැනිදා රැස්විය.

රජයේ නීතිඥවරයා ඇසූ ප්‍රශ්නවලට සාක්ෂි ලබාදුන් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ධර්මගුප්ත ගජනායක මහතා මෙසේ සඳහන් කළේය.

මා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස 1971 මැයි 1 වැනිදා පොලිසියට සම්බන්ධ වුණා. 2011 අගෝස්තු මාසයේ මා විශ්‍රාම ලැබුවා. පොලිසියේ වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස සේවය කළා. ඉන්පසු මා රාජ්‍ය බුද්ධි සේවයට බැඳුණා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් සිට අධ්‍යක්ෂවරයා දක්වා උසස්වීම් ලැබුවා. ඊට අමතරව මා ඇමැති ආරක්ෂක සේවය, අගමැති ආරක්ෂක සේවය හා ජනාධිපති ආරක්ෂක සේවාවල ද සේවය කළා. ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේද සේවය කර තිබෙනවා.

රජයේ නීතිඥ:- රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ලෙස පත්වූයේ කවදාද?
සාක්ෂිකරු:- 2011 වසරේදී විශ්‍රාම යනතුරු මා 2003 වර්ෂයේ සිට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. වසර 8ක් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා.

රජයේ නීතිඥ:- ඔබ බුද්ධි තොරතුරු ඍජුවම වාර්තා කළේ කාටද?
සාක්ෂිකරු:- ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාටයි වාර්තා කළේ.

රජයේ නීතිඥ:- එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවසාන කාලය වනවිට ඔබ සේවය කළේ කොහිද?
සාක්ෂිකරු:- ඒ කාලයෙත් මා රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. රාජ්‍ය ආරක්ෂාවට තුඩුදෙන කරුණු සොයා ඒවා ආරක්ෂක ලේකම්වරයාට වාර්තා කිරීමයි මට පැවරී ඇති මූලික වගකීම.

රජයේ නීතිඥ:- ඔබ බුද්ධි තොරතුරු වාර්තා කළේ ආරක්ෂක ලේකම්වරයාට පමණද?
සාක්ෂිකරු:- ඇතැම් අවස්ථාවල පොලිස්පතිවරයා සහ කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට තොරතුරු වාර්තා කළා. ආරක්ෂක ලේකම්වරයාගේ දැනුම්දීම මත මා ජනාධිපතිවරයාටද තොරතුරු වාර්තා කර තිබෙනවා.

රජයේ නීතිඥ:- එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් ඔබගේ සේවා කාලය තුළ කළ කාර්යයන් මොනවාද?
සාක්ෂිකරු:- කොටි සංවිධානයට අවශ්‍ය වුණේ දකුණේ දේශපාලනය වියවුල් කිරීමයි. දේශපාලනඥයන් රැසක් ඝාතනය කිරීමට ඔවුන්ට වුවමනා කළා. මා ඒ සම්බන්ධයෙන් රටේ දේශපාලන අධිකාරිය දැනුම්වත් කළා.

රජයේ නීතිඥ:- කොටි සංවිධානයේ තර්ජනයට ලක්වූ දකුණේ දේශපාලනඥයන් කවුද?
සාක්ෂිකරු :- ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාට තමයි ලොකුම තර්ජනය තිබුණේ. එතුමා වෙනුවෙන් කොමන්ඩෝ භටයන් සියයකට අධික පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබුණා. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දේශපාලනඥයන් පිරිසකට කොටින්ගෙන් සෘජු තර්ජන තිබුණා. ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවලදී මා ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබුණා.

රජයේ නීතිඥ :- ඉස්ලාම් ආගමික අන්තවාදය ගැන ඔබට බුද්ධි තොරතුරු ලැබී තිබෙනවාද?
සාක්ෂිකරු :- මුස්ලිම් අන්තවාදය පිළිබඳ තොරතුරු සෙවීමට 2002 වසරේදී කණ්ඩායමක් යොදවා තිබුණා. එය විශේෂ අංශයක්. අන්තවාදී ලෙස ආගම් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නියාමන කිරීමටද වෙනම කණ්ඩායමක් පත්කර තිබුණා.

රජයේ නීතිඥ :- එම විශේෂ ඒකකයෙන් කුමක්ද කළේ?
සාක්ෂිකරු :- මුස්ලිම් අන්තවාදය ගැන සොයන්න වෙනමම ඒකකයක්ද, ආගමික අන්තවාදය ගැන සේවීමට වෙනත් ඒකකයක්ද පවත්වාගෙන ගියා. ආගමික සහ දේශපාලන අංශය පිළිබඳ සෙවීමේ අංශය එම්. අංශය ලෙස නම් කර තිබුණා. මුස්ලිම් අන්තවාදය සෙව්ව කණ්ඩායම ක්කියු අංශය ලෙස නම්කර තිබුණා. මා බුද්ධි තොරතුරු ඒකකයේ අධ්‍යක්ෂ වීමට පෙර සිට මෙම ඒකක පිහිටවා තිබුණා.

මේ අවස්ථාවේදී සාක්ෂි විමසීමට මැදිහත්වූ ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා රාජ්‍ය ආරක්ෂාවට බලපාන සංවේදී කරුණු සාක්ෂිකරුගෙන් ප්‍රකාශ වේ නම් මාධ්‍යවේදීන් ශාලාවෙන් පිට කිරීමට හැකියාව පවතින බව සාක්ෂිකරුට දැනුම් දුන්නේය.

ඊට ප්‍රතිචාර දැක්වූ සාක්ෂිකරු දැනට එය අවශ්‍ය නොවන බවද අවශ්‍ය විටෙක ඒ පිළිබඳ කොමිසමට දැනුම්දෙන බවද පවසා සිටියේය.

ඉන් පසු සාක්ෂි විමසීම යළි ආරම්භ විය.
මේ අවස්ථාවේදී බුද්ධි තොරතුරු දැක්වෙන ලේඛනයක් සාක්ෂිකරු වෙත රජයේ නීතිඥවරයා ඉදිරිපත් කොට එය නිරීක්ෂණය කර සාක්ෂි ලබාදෙන ලෙස සාක්ෂිකරුට දන්වා සිටියේය.

සාක්ෂිකරු :- බැලූ බැල්මට මෙම ලේඛනය බුද්ධි තොරතුරක් බව පැවසිය නොහැකියි. තොරතුරුවලට අදාළ මූලාශ්‍රයක් නැහැ. තොරතුර විශ්ලේෂණය කිරීමට තොරතුර ලබාදෙන පුද්ගලයාගේ අනන්‍යතාව අවශ්‍යයි. ඒත් මෙය මා දන්නා පුද්ගලයකු එවා ඇති බව උපකල්පනය කළහොත් ලේඛනයේ දත්ත පරික්ෂා කර අප සතුව පවතින තොරතුරු සමග සන්සන්දනය කර නිලධාරීන් පත්කොට විශ්ලේෂණ කටයුතු සිදුකර සත්‍ය අසත්‍යතාව නිර්ණය කරගැනීමට හැකියි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට මූලාශ්‍ර වන තවත් ලේඛනයක් රජයේ නීතිඥවරයා සාක්ෂිකරු වෙත ලබාදී එයද නිරීක්ෂණය කරන ලෙස දැනුම් දුන්නේය.

එම ලේඛනය පිරික්සූ සාක්ෂිකරු එම ලේඛනය බුද්ධි තොරතුරක් බව දන්වා සිටියේය.

රජයේ නීතිඥ :- ඔබට මුලින් ලබාදුන් ලේඛනය පදනම් කරගෙන දෙවැනියට පෙන්වූ ලේඛනය සකස් කර ඇති බව සම්බන්ධයෙන් ඔබට විශේෂඥ මතයක් ඉදිරිපත් කළ හැකිද?
සාක්ෂිකරු :- ඒ පිළිබඳ මතයක් ඉදිරිපත් කිරීම අසීරුයි.

රජයේ නීතිඥ – මෙම ලේඛනවල ටොප් සීක්‍රට් සහ ෂුවර් අයිස් ඔන්ලි ලෙස සඳහන් වී තිබෙනවා. එය කුමක්දැයි පහදන්න?
සාක්ෂිකරු :- මේ වචන භාවිතා කරන්නේ අතිශය රහසිගත තොරතුරු දැක්වෙන තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයාගේ අනන්‍යතාව සුරක්ෂිත වන ඉතා කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගත යුතු කරුණු පිළිබඳවයි. අයිස් ඔන්ලි කියන්නෙ විශේෂිත පුද්ගලයකුට පමණක් දැනගැනීමට සලස්වන සහ එය බලා පිටපත් නොකර විනාශ කළ යුතු බවයි.

රජයේ නීතිඥ :- මේ කරුණු දෙකම සහිත ලේඛනයක් ලැබුණු විට ඒ ලේඛනයට කරන්නේ කුමක්ද?
සාක්ෂිකරු :- එය ලැබුණු පුද්ගලයා එය කියවා බලා අනිවාර්යයෙන් එය විනාශ කර දැමිය යුතුයි. මෙවැනි ලේඛන යොමු කරන්නේ ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම් වෙත පමණයි. වෙන කිසිවකුට සාමාන්‍යයෙන් මෙවැනි ලේඛන යොමු කරන්නේ නැහැ.

රජයේ නීතිඥ :- ඔබට ඉදිරිපත් කළ ලේඛනයට අනුව වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට තිබේ නම් එවිට කරන්නේ කුමක්ද?
සාක්ෂිකරු :- සාමාන්‍ය ක්‍රමය වන්නේ ලේඛනය විනාශ කිරීමට මෙම ලේඛනය අතිශය රහසිගත නිසා වෙන කිසිවකු එය දැනගත යුතු නැහැ. මේ ලේඛනවල අන්තර්ගත කරුණු යොදා වෙනත් ලේඛනයක් සාදා තොරතුරුවල සංවේදීභාවය අනුව එෆ්.එන්.ඒ. යනුවෙන් සඳහන් කර වෙනත් කණ්ඩායමක් අතට මෙය පත්කිරීම අතිශයින් වැරදි ක්‍රියාවකි.

රජයේ නීතිඥ :- ඒ කුමක් නිසාද?
සාක්ෂිකරු :- මෙම ලිපියේ අන්තර්ගතයෙන් අපේ රට ලොකු විනාශයකට ඇද දැමිය හැකියි. මගේ අත්දැකීම් අනුව එෆ්.එන්.ඒ. යන වචනය යොදන්නේ සාමාන්‍ය තොරතුරු සඳහායි. මෙම ලේඛනයේ එෆ්.එන්.ඒ. ලෙස පොලිස්පතිවරයා යොදා තිබෙන නිසා ඔහු වගකීම් රහිතව වැඩකර ඇති බව පෙනී යනවා.

රජයේ නීතිඥවරයා:- එෆ්.එන්.ඒ. යන වචනයේ තේරුම කුමක්ද?
සාක්කිකරු:- සුළු අපරාධ සම්බන්ධයෙන් පොලීසිය භාවිතා කරන කෙටි යෙදුමක්. අද ඉදිරිපත්වූ ඉතා රහසිගත තොරතුරු ලැබූවිට නිශ්චිත නියෝගයක් නිකුත් කිරීමේ හැකියාව පොලිස්පතිට තිබිය යුතුයි.
 
රජයේ නීතිඥ:- ඔබගේ අත්දැකීම් අනුව පොලිස්පතිවරයා මෙම ලේඛනය සම්බන්ධයෙන් ගෙන ඇත්තේ නිවැරදි ක්‍රියාමාර්ගයක්ද?
සාක්‍ෂිකරු:- මෙම ලේඛනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා යොදවා තිබෙන අවධානය ඉතා අඩුයි. මගේ අත්දැකීම් අනුව මීට වඩා අවධානයක් සහ උනන්දුවක් පොලිස්පතිවරයාට දැක්වීමට තිබුණා. විශේෂ කාර්ය බළකාය හෝ යොදවා ලිපියේ දැක්වෙන ව්‍යසනය වළක්වා ගැනීමට පොලිස්පති කටයුතු කළ යුතුව තිබුණා. මේ ලේඛනයේ සඳහන් තොරතුරු සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණත් එලෙස සිදුකර නැහැ.

රජයේ නීතිඥ:- ඔබට පෙන්වූ ලේඛනයේ සහරාන් හෂීම් නැමැති පුද්ගලයා ගැන සඳහන් වෙනවා. ඔහු සම්බන්ධ 2018 නොවැම්බර් මාසයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම, 2018 දෙසැම්බර් මාසයේ මාවනැල්ලේ බුදු පිළිමවලට හානි සිදු කිරීම සහ 2019 ජනවාරි 16 පුපුරණ ද්‍රව්‍ය තොගයක් පුත්තලමේදී සොයා ගැනීම යන තොරතුරු පිළිබඳව බුද්ධි තොරතුරු සැපයූ පුද්ගලයා අනාවරණය වීමෙන් වෙඩි තබා ඔහු ඝාතනය කිරීමට තැත් කිරීම වැනි සිදුවීම් වී තිබියදී මා පෙන්වූ ලේඛනවල සඳහන් ​තොරතුරු පොලිස්පතිවරයා අවතක්සේරු කර තිබෙනවාද?
සාක්‍ෂිකරු:- මේ තොරතුරු නිවැරදි ලෙස විශ්ලේෂණය කර ඊට දැඩි අවධානයක් දැක්වූයේ නම් සහරාන්ලා මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කරන බව කලින් දැනගත හැකිව තිබුණා. වනාතවිල්ලුවේදී සොයාගත් පුපුරණ ද්‍රව්‍ය කොටි සංවිධානය භාවිත කළ පුපුරණ ද්‍රව්‍යවලට වෙනස්. එම පුපුරණ ද්‍රව්‍ය අයි.එස්. ත්‍රස්ත සංවිධානය භාවිතා කළ එව්වා බව මා කළ සොයා බැලීමේදී දැනගැනීමට ලැබුණා. මෙම තොරතුරු ගැන කිසිදු අවධානයක් යොමුකර නැහැ.

විනිසුරු මණ්ඩලය:- බුද්ධි අංශවලට මෙම තොරතුරු අනාවරණයවී නැතිද?
සාක්‍ෂිකරු:- මෙම තොරතුරු තහවුරු කර ගත්තා නම් එය ශක්තිමත් තොරතුරක් වෙනවා. බුදු පිළිම කැඩූ සිද්ධියට පමණක් ආරක්‍ෂක අංශ අවධානය යොමු කිරීම ගැන මා පුදුම වෙනවා. මෙම තොරතුරු පොලිස්පතිවරයා අතට නිසි අයුරින් ලේඛනගතවී ලැබුණ ද ඔහු ඒ ගැන සැලකිළිමත්වී නැති බව පෙනී යනවා.

රජයේ නීතිඥ:- ඔබට පෙන්වූ ලේඛන වර්ගීකරණය කර තිබේද?
සාක්‍ෂිකරු:- ඔව්. එම ලේඛන අතිශය රහසිගතයි කියා දක්වා තිබෙනවා. එහි ඇති සංවේදී තොරතුරු නිසයි අති රහස්‍යය මුද්‍රාව තබා තිබෙන්නේ.

රජයේ නීතිඥ:- ඔබ බුද්ධි අධ්‍යක්‍ෂවරයා ලෙස සිටියදී මෙවැනි ලේඛන ලැබුණා නම් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?
සාක්‍ෂිකරු:- මෙම ලිපිවල සඳහන් වන්නේ විදේශීය රටක බුද්ධි අංශයකින් ලබාදුන් තොරතුරක්. මා මුලින්ම කරන්නේ තොරතුර ලබාදුන් ඒජන්තයා මගේ ළඟට කැඳවා වැඩිදුර සොයා බැලීමක් සිදු කිරීමයි. මේ තොරතුරු සනාථ කිරීමට වෙනත් බුද්ධි අංශ සමග සාකච්ඡා කරනවා. ඒත් මේ ලේඛනය ගැන වගකිවයුත්තන් එලෙස කර නොමැති බව මට පෙනී යනවා.

විනිසුරු මණ්ඩලය:- තමන්ට මෙවැනි තොරතුරක් ලැබුණා නම් කුමක්ද කරන්නේ?
සාක්‍ෂිකරු:- ආරක්‍ෂක ලේකම්වරයාට එය දැනුම් දෙනවා. ආරක්‍ෂක මණ්ඩලය වෙත මෙය දැනුම්දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

විනිසුරු මණ්ඩලය:- මුස්ලිම් අන්තවාදය ගැන වාර්තා වූයේ කවදාද?
සාක්‍ෂිකරු:- මුස්ලිම්වරුන් ආවේගශීලීව කටයුතු කරන බව 2004 දී පමණ වාර්තා වූවා. තවුහිද් ජමාද්හි ඉන්දීය නායකයා ලංකාවට එන්න හදද්දී මා මැදිහත්වී එය වැළැක්වූවා. ඔහු බ්ලැක් ලිස්ට් කළා. අන්තවාදී ලෙස අසාමාන්‍ය විලාසයෙන් ඉස්ලාම් ආගම පතුරවන විලාසයක් වාර්තා වූ නිසා එම ක්‍රියාමර්ගය ගත්තා.
මෙම ජනාධිපති කොමිසම අද (30) යළි රැස්වේ.