ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් පිරිසකට සහාය දැක්වීම සඳහා කොටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ ඉකුත් 21 වැනිදා උදෑසන පැවැත්වීමට සූදානම් කර තිබූ රැස්වීමක් අතරතුර ඇති වූ ගුටිබැට හුවමාරුවකදී කොටපොළ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පහර කෑමට ලක්ව රෝහල් ගත කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

එම ගැටුම එකම පක්ෂයේ දෙපිරිසක් අතරය. මේ අතර ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ ආධාරකරුවන් පිරිසකටද ප්‍රහාර එල්ල වූ බවය. ‘‘මම දේශපාලනය  කරන්නේ කිසිම අයෙකුට හිංසා පීඩා කරමින් නොවෙයි. විරුද්ධ මත ඉවසන්න මට ශක්තිය තියෙනවා. කිසිම දිනෙක මගේ දේශපාලනය තුළ කිසිම  අයෙකුට මඩ  ප්‍රහාර චරිත ඝාතන හෝ පහරදීම් සිදු කර නැහැ. නමුත් මගේ ආධාරකරුවකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මට තියෙන්නේ දැඩි කනගාටුවක්. මගේ ආධාරකරුවන්ට පහර දීම තරයේ හෙළා දකිනවා’’ ඇමැතිවරයා එසේ කී බවට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

මහ මැතිවරණයට මාස එකහමාරකටත් අඩු කාලයකි. මේ එළි බැස සිටින්නේ කසකරුවෝ වෙති. නැට්ටුවන් පසුපසිනි. ‘හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙට’ යැයි කීවාසේ මැතිවරණයට දින ළංවත්ම මෙම ගැටුම් මහා පරිමාණයෙන් පුපුරා යා හැකිය. ඇතැමකු උද්‍යෝගයේ ආවේගය දරාගත නොහැකිව තම අයකුට ප්‍රහාර එල්ල කළ හැකිය. තවකෙකු පරාජය විසින් මඩනා ලද සිතෙන් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇත. මහ මැතිවරණ හා  මස් පිඬු සංදර්ශනයක වෙනස නොදත් අම්බරුවන් අනෙකාගේ ඇඟමස උදුරා ගැනීමට උත්සාහ දරනු ඇත. මෙම සියල්ලම අන්තර්ගත වී තිබෙන්නේ මෙම සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති මනාප පොරය තුළය. දේශපාලනඥයන්ට මෙය ‘මනාප බල පොරයක් වූවාට සාතිශය බහුතරයක් ජනයාට මෙය මනාප බලු පොරයක් ලෙස පෙනෙන්නේ එහෙයිනි.

මෙරට දේශපාලන සංස්කෘතිය බරපතළ ලෙස පිරිපහදුවට ලක් කළ යුතුය යන මතයට ඇත්තේ බොහෝ දුර ඈත අතීතයකි. සකල  නොපනත්කම්වලට සමාන පදයක් ලෙස දේශපාලනය ජරාජීර්ණ වී ඇත. ‘‘225 දෙනාටම  බෝම්බ ගැසිය යුතු’’ යැයි  ජනවහරට අලුතෙන් කියමනක් එක් වූයේ අහේතුකව නොවේ. එබඳු ප්‍රචණ්ඩ මතයක් වෙනුවෙන් අප කිසි විටෙකත් පෙනී නොසිටියද එම කියමන  නොව කියමනෙන් කියැවෙන කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව අවධාරණය විය යුතුය.

නීති සම්පාදනය කිරීමේ හා නීති සම්මත කිරීමේ අනුහස්  සහිත බලය පාර්ලිමේන්තුව සතුව ඇති හෙයින් අප එයට රටේ උත්තරීතරම  ආයතනය යැයි කියමු. නීති සම්පාදනය කිරීමේ බලයක් නීති සම්මත කිරීමේ බලයක් පාර්ලිමේන්තුව සතු වුවත් මෙරට දේශපාලන සංස්කෘතිය මේ ජරාජීර්ණ නරා වළෙන් ඔසොවා තැබීමට සමත් දියුණු නීති සම්පාදනය නොවන්නේ ඇයිද යන්න විමසිය යුතුය.

හේතුවකින් තොරව ඵලයක් හට නොගන්නා බව සදාතනික හා සනාතනික සත්‍යයකි. මෙරට දේශපාලන සංස්කෘතිය දුර්ගන්ධයෙන් පිරීගත් නරා වළක් වී ඇතැයි කොන්දේසි  විරහිතව පිළිගන්නා සත්‍යයකි. එම තත්ත්වය නිර්මාණය වූයේ අහම්බයෙන් නොවේ. අහේතුකවද නොවේ. එසේනම් කළ  යුතුව තිබෙන්නේ එම හේතු  සොයා බලා ඒවා ඉවත් කිරීමය. අන් බොහෝ දේට විමතිය දනවන තරමේ උනන්දුවක් දක්වන අපේ රටේ  දේශපාලනඥයන් දේශපාලන සංස්කෘතිය පිරිපහදුවට ලක් කෙරෙන ක්‍රියාමාර්ග වෙත පුදුමාකාර මැලිකමක් දක්වන්නේ ඇයිද යන්න ගැන අවධානය යොමු කළ යුතුය.

දේශපාලන සංස්කෘතිය මඩගොහොරුවක් බවට පත්වීමට මෙරට දැනට ක්‍රියාත්මක සමානුපාතික ඡන්ද ක්‍රමය හේතු වී ඇති බව ඒකාන්ත සත්‍යයකි. මෙම මැතිවරණ ක්‍රමය තුළ කිසිවකුට තමන්ගේ  මහත්මා ගුණය ආරක්ෂා කර ගනිමින් කටයුතු කළ නොහැකිය. ශුද්ධ වූ සියල්ල කෙලෙසා දමන  මෙම මැතිවරණ ක්‍රමය නිසා පක්ෂ – පක්ෂ අතර පමණක් නොව එකම පක්ෂයේ අපේක්ෂකයන් අතරද ගැටුම් ඇවිළී යයි. මැතිවරණ පොරපිටියට හා නොනිල මැර සේනාංකවලට පාරාදීසියක් බවට පත්වන්නේ මෙම පරිසරය තුළය.

මාතර දිස්ත්‍රික්කයේ දෙනියායෙන් මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දැනට වාර්තා වී ඇති ගැටුම්වලින් මෙයට පෙර වරින්වර වාර්තා වූ ගැටුම් වලින් අවධාරණය කෙරෙමින් තිබෙන්නේ මැතිවරණය යනු ප්‍රචණ්ඩත්වයේ නිවුන් සොහොයුරා යැයි හැඳින්විය හැකි පරිසරයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවය.

ලේ ගලන සිදුවීම් සහිත පරිසරයක මැතිවරණ පවත්වා කිසිදු අර්ථයක් නැත. මන්දයත් එබඳු පරිසරයක ජනමතය වඩාත් නිරවුල්ව ප්‍රකාශයට පත් නොවන හෙයිනි. මැතිවරණ පැවැත්වීමෙන් බලාපොරොත්තු වන්නේ රටේ සාතිශය බහුතරයකගේ ප්‍රසාදයට ලක් වූ කණ්ඩායමකට රටේ සුක්කානම බාරදීමයි. රටේ ජනතාවට එබදු අනුහස් සහිත බලයක් හිමි වීම ප්‍රජාතන්ත්‍රවාදය වේ. එසේනම් පවත්වන මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් විය යුතුය. එය අබල දුබල කෙරෙන දිශාවට මැතිවරණ පවත්වා තේරුමක් නැත. එහෙයින් මෙම කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ නම් සෑම මැතිවරණයක්ම ත්‍රාසජනක සටන් සපිරි බටහිර  චිත්‍රපටයකින් වෙනස් නොවනු ඇත.