ආර්ථික අගහිඟකම් හේතුවෙන් පාසල් ගමන අතරමග නතර කළ දියණියන් දෙදෙනකු හා පුතකු සම්බන්ධ අනුවේදනීය පුවත අප පුවත්පත මගින් රටට අනාවරණය කිරීමත් සමග දෙස් විදෙස් පරිත්‍යගශීලි මිනිසුන්ගේ කුළුණුබර නෙත් එම දරු පැටවුන් වෙත යොමුවිය.. එම දරු තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් වී සිටිති. අධ්‍යාපන ඇමැති ජී.එල්. පීරිස් මහතා ද එම දරුවන් තිදෙනා අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවා මාසිකව ලැබෙන පරිදි මූල්‍යාධාරයක් පිරි නැමූ බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

බෞද්ධ දර්ශනයෙන් විකසිත හදවත් ඇති ශ්‍රී ලාංකේය ජාතිය අනෙකාගේ ඕනෑම උපද්‍රවයක දී පිහිටට එයි. තම අාධාරය ඇවැසි ඕනෑම මොහොතක දී ඔවුහු එය නිර්ලෝභීව ප්‍රදානය කරති. එය ආසියාතික ගුණගරුක භාවයේ උත්කර්ෂය වේ. ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු පැටවුන් වෙනුවෙන් මහෝඝයක් සේ රළ ගසා පෙරට ආවේ ඒ මහා කරුණාවන්ත භාවයම වේ.

නිදහස ලැබූ දිනය හා අද දවස අතර පරතරය වසර හැත්තෑ දෙකක් වුවද නිදහසින් පසු පැමිණි ගමන සම්බන්ධයෙන් අපි කවුරුත් තෘප්තිමත් නොවෙමු. අප ගෙවා දමමින් සිටින්නේ 21 වැනි සියවස වුවද විදුලිය නොමැතිව කුප්පි ලාම්පු එළියෙන් රැය පහන් කරන පවුල් හැත්තෑ දෙකකින් සමන්විත ගමක් සම්බන්ධ පුවත වාර්තා වූයේ ඉකුත් සතියේදීය. සිංහරාජ මහා වනාන්තරයට යාබදව පිහිටි ලංකාගම මිනිසුන්ට පාරක් නොමැතිවීම නිසා ඔවුන් ජීවිතය  විඳවන ආකාරය ඉකුත් සමයේ මාධ්‍ය හරහා රටේම කතාබහට ලක්විය. නිවෙසේ සිට කිලෝමීටර් 28ක් එපිටින් පිහිටි පාසල වෙත පා ගමනින් ගොස් ගිය පයින්ම නැවත නිවෙසට පැමිණෙන ඉගෙනීම සඳහා දුෂ්කර ක්‍රියාවක නිරත දූ පුතුන් සම්බන්ධ පුවතක් ද මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ගිනිගත්හේන ප්‍රාථමිකයේ ​​ඉගෙන ගන්නා දරු පැටව් තුන්දෙනා සම්බන්ධ සංවේදී පුවත වාර්තා වූයේ ඔය අතරවාරයේය.

සඳුන් ගැටක් මිටින් අරන් නූපන් දුගී දරුවා  සතු පරම ධනය අධ්‍යාපනය වේ. ජීවිතයේ අතොරක් නැතිව ගලා එන වද වේදනාවලින් මිදී මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්වීමට ඇවැසි මහ ධන නිධානය ඇත්තේ අධ්‍යාපනය නැමැති ගමන් මාර්ගයේ පමණි.. එම ගමන බාධා විරහිත විය යුතු වුව ද එය එසේ නොවන බව ඒකාන්ත සත්‍යයකි. ප්‍රශ්නය වන්නේ රටෙන් අඩක් ඒ මහා නරකාදියෙහි පැසවන බව රටෙන් අඩක් නොදැන සිටීමය.

රටකට හුදකලා කාන්තා විමුක්තියක් හෝ ළමා විමුක්තියක් අත්පත් කර ගත නොහැකිය. එය රැඳී පවතින්නේ සමස්ත සමාජ විමුක්තිය මතය. ඒ අයුරින්ම පාසල් අධ්‍යාපනය පමණක් සියයට සියයක් අංගසම්පූර්ණ කළ හැකි නොවේ. එය තීරණය වන්නේ ද මුළු මහත් සමාජ දියුණුව මතය. රටක ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් පොදු න්‍යාය පත්‍රයක් සැලැස්මක් තිබිය යුතු වන්නේ එහෙයිනි. එම න්‍යාය පත්‍රයේ දී පෙරට ගත යුතු අංක තුන්කල් දක්නා ඉසිවර නුවණින් තීරණය කළ යුත්තකි.

අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල වියදමක් නොවේ. එය ආයෝජනයකි. එය ආයෝජනයක් බවට පෙරළා ගත හැකි වියදමකි. එහෙයින් අධ්‍යාපනය සඳහා නිර්ලෝභීව වියදම් කළ යුතුය. ඒ ගම සහ නගරය යන ප්‍රභේදයෙන් තොරවය.

ගම සහ නගරය යන ප්‍රභේදයෙන් තොරව අධ්‍යාපනය සඳහා වියදම් කළ යුතු වුව ද එය එසේම නොවන බව ද සත්‍යයකි. 80 දශකයේ දී වාර්තා වූයේ කොළඹ සුපිරි පාසලක පිහිනුම් තටාකයක් ඉදිකිරීමට වෙන් කළ මුදලට සමාන මුදලක් මොනරාගල දිස්ත්‍රික්කයේ එක් අධ්‍යාපන කලාපයකට වෙන්කර ඇති බවය. මෙම සමාජ අසහනයට සහ අසාධාරණයට එරෙහිව ‘කොළඹට කිරි - අපට කැකිරි’ යනුවෙන් සටන් පාඨ හඬ නගා කී දරුවෝ  පොලිස් බැරැක්කවල හමුදා වධකාගාරවල දෙතිස් වධයට ගොදුරුව සීතල සිමෙන්ති පොළොව ලෙයින් තෙත් කරමින් අකාලයේ මරු වසඟයට ගියහ.

අධ්‍යාපනයේ සමානාත්මතාව වඩාත් වැදගත් වන්නේ එහෙයිනි. එහෙත් අධ්‍යාපනයේ තරම් පන්ති බේදය වෙනත් ක්ෂේත්‍රයක දැකිය නොහැකි තරම්ය. එම ක්‍රමය තුළ දරුවා උස් මහත්වන්නේ මුළුමහත්  සමාජයටම වෛර කරන මනසින්ය. තරුණ කැරැලි අවි අතට ගැනීම් හේතු රහිතව සිදු නොවන්නක් බව අවධාරණය විය යුත්තේ එහෙයිනි.

ගිනිගත්හේන ප්‍රාථමිකයේ ඉගෙන ගන්නා දරු පැටවුන් තිදෙනා මෙරට ඉගෙන ගන්නා බහුතරයක් දරු පැටවුන්ගේ ඉරණම සම්බන්ධ සාම්පලයක් බවට පත්කර ගන්නේ නම් මෙරට දරු පැටවුන්ට වඩාත් හොඳ අධ්‍යාපනයක් සහිත ජීවිතයක් නිර්මාණය කිරීමේ වෙහෙසකර ප්‍රයත්නයට එය කදිම ආරම්භයක් වනු ඇත.

(***)