(සිතුම් චතුරංග)
යාපනය නුවර ඒ 09 මාර්ගයේ වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේදී අද (23) රාත්‍රී බස් රථයක් සහ ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් පස්දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඕමන්ත පොලිසිය කියයි.
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා වව්නියාව සිට පේදුරුතුඩුව දක්වා ගමන් ගත් ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය සහ ජීප් රථය ගිනිගෙන ඇති අතර එහි සිටි මගීන් දෙදෙනකු සහ ජීප් රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කීය.
තුවාල ලැබූවන් කඩිනමින් වවුනියාව මහ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පැවසීය.
ගිනි ගත් බස්රථය සහ ජීප් රථය වව්නියාව නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය එක්ව නිවා දමා තිබේ.



COMMENTS
මත්ද්‍රව්‍ය , මත්පැන් බාවිතා කරන වගකීම් ගැන දැනීමක් නැති අයට වගකීම් බාර දුන්නහම ඔහොම වෙනවා. මගීන් ප්‍රවාහනය කරන රිදුරෙක් වෙන්න මනුස්සයෙකුට ඊට අදාළ චරිතයක් තිබිය යුතුයි.
මෙම අනතුරු දැකීමේදී අප සිත්වලට ඉතාම කනගාටුදායක හැගීම් පහලවුවත් අපට කිරීමට කිසිදු දෙයක් නැත. කුඩාකල අප බස්රථවල ගමන්කරනවිට රියදුරු අසුන ඉහලින් ලියා ඇති වැකියක් මතකයට නැගුණි. " ජිවිත ගණනක් සමගින් යන රියදුරු දෑතට සියලු දෙවි පිහිටයි " . නොහික්මුණු මුර්ගයන් රියදුරු අසුනේ ලැග ගන්නේද , " එතන විනාශයකි " බව මෙයද එක උදාහරණයකි. අනතුරට ලක්වූ සැමට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු.
අපේ බස්රථ රියදුරන්ගේ රිය ධාවනය නම් අන්තිමයි.
මේ මාසයේ මේ ටික දිනට මාර්ග අනතුරුවලින් 20ක් පමණ මියගියා නේද? දැන් දැන් ලංගම බස්රථවලින් සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණයත් වැඩිවී තිබෙනවා නේද? රියදුරු බලපත්‍රයක් තිබුණු පලියටම ලංකාවේ කිසිවෙකු නිවැරදිව රිය පදවන්න දන්නවා කියා සිතන්න එපා.
දවසට කී දෙනෙක් නම් මැරෙනවද? මෙහෙම මේකට කරන්න ඕනේ පුළුවන් තරම් පාරවල් වන් වේ කරන එක... පාරවල් ටිකක් පළල් කරලා. විශේෂයෙන් දුර යන පාරවල්...
දිගටම අනතුරු මේ දවස් වල. සුදීර කියනව වගේ පාරවල් පළල් වෙලා මැදින් පේමන්ට් එකක් යන්න ඕනේ. අලුතෙන් හදන ඒවගෙත් හරිහමන් පළලක් නැහැ.
රාජ්‍ය පාලකයාගේ යහපත් හා අයහපත් ක්‍රියා කලාපයන් මත රට වැසියාටද? යහපත් හා අයහපත් කල් උදාවෙනවා. දැන් නියඟයක් පැමිණ ඇත. වතුර විදුලි බලය ක්‍රමයෙන් අඩුවීගෙන යයි. එළවලු හිඟයක් බදු මිල ඉහළ යාමත්, පසුගිය මාස 3 තුළ හා ඉදිරියට උත්සන්න වෙමින් පෙමින් පවතිනවා අනතුරු හා හදිසි විපත් වලින් මිය යන ගණන ඉතාම වේගයෙන් ඉහළ යනවා. රට වැසියනි, ඔබ ප්‍රවේසම් වෙන්න.. හැකි පමණින් පින් දහම් කරන්න..
පාරවල් පළල් කිරීම.. මෙම අනතුරුවලට විසඳුමක් නොවේ. පළමුව මාරක අනතුරු වෙන ස්ථාන විමර්ෂන කර එම ස්ථාන බ්ලැක් ස්පොට් ප්‍රෝග්‍රෑම් කියා ව්‍යාපෘතියක් පටන් ගෙන ඒකට මෙම අනතුරු ඇතුළත් කළ යුතුයි. ඉන්පසු එම ස්ථානවලට බිස්නස් කේසස් සහ ඇස්තමේන්තු සාදා මුදල් වෙන්කරගෙන එම ස්ථාන පමණක් පුළුල් කිරීමක් හෝ වෙනත් ක්‍රමයකින් හෝ එම ස්ථානවල හෙඩ් ඔන් කලූෂන් අනතුරු වැළැක්වීමේ ක්‍රමයකට මාර්ගය සකස් කළ යුතුයි..
බසය වම් පැත්තේ තියන්නේ. ජීප් එක වැරදි පැත්තට ගිහින් හැප්පිලා තියන බවයි ඡායාරූපවලින් පේන්නේ...
ඇවනියු නැත්නම් අයිලන්ඩ් කියලා කියන කොටස්වලින් පාරවල් දෙකට බෙදලා වෙන් කරන්න ඕනේ.... එහෙම නොකරන තාක්කල් අනතුරු ප්‍රතිශතය වැඩියි. සිංහලෙන් කියනවා නම් පාරවල් වන් වේ කරන්න ඕනේ. සුදු ඉරකින් පාර දෙකට බෙදලා පැයට කිලෝමීටර 100ක වේගයෙන් වාහන දෙකක් කනේ ගෑවීගෙන දෙපැත්තට යනවා.
හොයන්නේ, බලන්නේ නැතුව, මහා මාර්ග ගැන කිසිම දැනුමක් නැති දේශපලකයින්ට ඕනෑ විදියට පාරවල් හැදුවාම මාරක අනතුරු වෙන එක පුදුමයක් නෙවෙයි.
බේබද්දන්ව පාර්ලිමේන්තුවට යැවීමෙන් සහ ඔවුන්ට වගකීම් සහිත රාජකාරි පැවරීමෙන් වැළකී සිටින්න... මේ හැම දේකටම වගකිව යුත්තේ පාලනයයි.
සවසට වැඩ ඇරුණාම.. ගෙදර යනවා වෙනුවට.. තැබෑරුමක, අවන්හලක, සූදුපොලක, රැය ගතකරලා තමයි ඊළඟ දවසේ රාජකාරියට ඇවිත් මේ අහිංසක මනුස්සයින්වත් පටවාගෙන, බාගෙට නිදිමතේ.. බාගෙට වෙරිමතේ තමයි වැඩිහරියක් අපේ රියැදුරන් තම රාජකාරී කටයුතු වල යෙදෙන්නේ.. ඉතින් ඔය වගේ රියැදුරන්ට තමයි හුඟක් අවස්ථාවල්වල මෙවැනි අකරතැබ්බයන්ට මුහුණ පාන්න සිද්ද වෙන්නේ... ඔය අවස්ථාවේ.. මේ වාහනයට ගොඩවෙලා ඉන්න හැම මගියෙක්ම මාරයත් එක්ක තමයි මේ ගමන යන්නේ.. නොදැනුවත්ව හෝ...!!!
වීඩියෝ එකේ විනාඩි 2:20 යන තැන, බලාගෙන සිටින කෙනෙක් කියනවා ඇහෙනවා "කොහෙද යන කෙනෙක් ඇවිත් ගිනි තිබ්බනේ" කියලා. එහි මුලින් කියන වචන පැහැදිලි නැහැ.
මෙයින් බස් රියැදුර ද ජීප් රියදුරුද වරද කළේ ? වැරදිකරු කවුද කියා නිශ්තිතව කියල නැහැ. කෙසේවෙතත් මෙවැනි අනතුරු කරන්නන්ට සමාවක් නොදිය යුතුයි. මාරාන්තික අනතුරු වලට අමතරව අනිකුත් වැරදි සඳහා තාක්ෂණය දියුණු මේ ලෝකයේ සිදුකරන සියලු වැරදි ඇල්ලීමට කැමරා උදව් කරගන්න බැරිද ? එමගින් දඩ මුදල් පිලිබඳ තොරතුරු රියදුරුගේ ජංගම දුරකතනයට එවිය හැක. හේතුව පොලිසිය මගින් සම්ප්‍රදායික ක්‍රමයට වැරදිකරුවන් කීප දෙනෙක් ඇල්ලුවත් එමගින් වැරදි කරන සියලු දෙනා අල්ලා ගැනීමට ක්‍රමයක් නැතිවීමයි.
හැප්පිලා, හිරවෙලා පණපිටින් පිච්චෙනකොට තමයි තේරෙන්නේ.