(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ) 
 
පියාගේ උදලු මිට පහර වැදී මිය ගිය පාසැල් සිසුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට, මරණය සම්බන්‍ධව සැකපිට  අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින  පියා  විශේෂ අවසරයකින්  අද  (14) දහවල් බන්ධනාගාර නිලධාරීන් විසින්  බලන්ගොඩ මස්සැන්නේ දේහය තැන්පත් කර ඇති නිවසට  රැගෙන එනු ලැබීය. 
 
 මියගිය නලින් ධනංජය නැමැති දරුවාගේ දේහය දෙස බලා මාංචු දමා තිබූ දෑතින් සිය දෑස් පිස දමමින් සැකකාර පියා “මට සමාවෙයං පුතේ. මම මේක හිතලා කරපු දෙයක් නෙමෙයි” යැයි විලාප දී වැළපුණේය.
 
අගෝස්තු 08 වැදි දින බීමත් පියා සිය බිරිඳට එල්ල කළ උදලු මිට පහර වළක්වාලන්නට ගොස් එම පහරවැදුණු දරුවා බරපතල තුවාල සහිතව රත්නපුර මහ රෝහලට ඇතුළත් කෙරිණි. දැඩි සත්සාකර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පෙරේදා (12) මියගියේය. 
 
දරුවාගේ මරණය සම්බන්‍ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ මියගිය දරුවාගේ පියා වු ඩබ්.ඒ.නීල් ජයරත්න (42) යන අය අධිකරණ නියෝග මත ලබන 22දා තෙක් රිමාන්ඩ් බන්‍ධනාගාර ගතකර ඇත.
 
කුරුවිට බන්‍ධනාගාරයේ රඳවා සිටි සැකකරු බන්‍ධනාගාර බස් රථයකින් අද (14) දහවල් එම නිවසට රැගෙන ආ අවස්ථාවේ බළන්ගොඩ පොලීසිය ආරක්‍ෂාව සැලසීය.