“බූස්ස බන්ධනාගාරය” දැන් පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාරගතව සිටින “පාතාල කෙරුමෝ” බුරුතු පිටින් බූස්ස බන්ධනාගාරයට එකතු කරන්නට බලධාරීන් මේ වනවිට පියවරගෙන තිබීම ඊට හේතුවයි.

ඇතැම් පාතාල සාමාජිකයන් එළියට වඩා ඇතුළට යාමට දඟලන්නේ එළියේ සිට කරන්නට බැරි බොහෝ දේ බන්ධනාගාරය තුළ සිට බොහෝම පහසුවෙන් සිදුකර ගත හැකි නිසා බවට දැන් දැන් හෙළිවී ඇති කාරණාවලින් පැහැදිලිය.

පාතාල කෙරුමෝ අපරාධ මූලස්ථානය ලෙසට බන්ධනාගාරය පත්කර ගෙන තිබුණේ නොඅඩුව ලැබෙන ජංගම දුරකතන පහසුකම නිසාය. ‘හිරේ ඉඳන් සෙල්ලම් දාද්දි අහුවෙන්නේ නැහැ” ඔවුන් ඒ සිද්ධාන්තය අනුගමනය කළත් අද වනවිට සියල්ල කණපිට පෙරළී ඇත්තේ මේ බූස්ස බන්ධනාගාරය නිසාය. දැඩි ආරක්ෂිත ක්‍රමවේදවලින් සමන්විත වන බූස්ස බන්ධනාගාරය තුළ සිරකරුවකුට හිමිව ඇත්තේ නියම අරුතකි. යම් වරදක් සිදුකළ පුද්ගලයකුට පුද්ගල නිදහස අහිමි කිරීමේ එකම පරමාර්ථය රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වුවත්, එමගින් ඔහු හෝ ඇය අසීමිත නිදහසක් භුක්ති විඳින්නේ නම් එම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නැත. බන්ධනාගාරය අපරාධයට තෝතැන්නක්ව තිබියදී බූස්ස බන්ධනාගාරය තුළ මේ ගත් ක්‍රියාමාර්ගය “අයියලාට” නම් ගොඩක් රිදී ඇත.

“සිරකරුවාද මනුෂ්‍යයෙකි” යන ශීර්ෂ පාඨයම පමණක් උලුප්පා ගනිමින් බන්ධනාගාර රැඳවියෝ 27 දෙනෙක් ඉකුත් ජුනි 24 වැනිදා ‘ආහාර වර්ජනයක’ නිරතව සිටිති. “වැඩි වේලාවක් සිර මැදිරියෙන් එළියේ සිටින්නට අවසර දෙන්න.” ඔවුන් ඉල්ලා සිටියේ එපරිද්දෙනි. මෙහි නියමුවෝ වූවෝ සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා, කංජිපානි ඉම්රාන්, කොස්ගොඩ තාරක, පොඩි ලැසී’ ඇතුළු පිරිසකි.

රැඳවියන්ගේ මේ “ආහාර වර්ජනය” පිළිබඳව කණ වැකුණු බන්ධනාගාර ලොක්කන් වහා බූස්ස බන්ධනාගාරය වෙත යන්නේ සාකච්ඡා මාර්ගයෙන් මෙය විසඳා දීම සදහාය. සාකච්ඡාවට මුල පුරන්නේ වර්ජනයේ ඉදිරි පෙළයි. බන්ධනාගාර මූලස්ථානයෙන් ගිය මහත්වරු සිරකරුවන් රඳවා සිටි සිරමැදිරි වෙත ගොස් ඔවුන් හා සාකච්ඡා කරන්නට වූහ. එක් එක් සිරකරුවනට තිබූ ප්‍රශ්න බන්ධනාගාර නිලධාරීන් වෙන වෙනමම සටහන් කරගනිද්දී “කොස්ගොඩ තාරක”ට තිබුණේ අමුතුම ප්‍රශ්නයකි.

“අපි මේකට ගෙනල්ලා හිරකරලා දාලා මරන්නද සර් හදන්නේ?” තාරක ඇසුවේය.

“මොකක්ද මේ ප්‍රශ්නේ. නොකා නොබී හිටියම විසඳාගන්න පුළුවන් එකක් ද?” නිලධාරීහු අසති.

“කතා කරලා වැඩක් නැහැ සර්. අපි මෙහෙම හිර කළාට අපේ මිනිස්සු ඕනෑ තරම් එළියේ ඉන්නවා. ඒ වගේම යකඩ ටිකත් ක්‍රියාත්මකයි. අපේ ජාලේ සක්‍රීයයි සර්. කවුරු හරි කියනවා නම් එහෙම නැහැ කියලා ඒක ලොකු බොරුවක්” කොස්ගොඩ තාරක නිලධාරීන්ට කියාගෙන කියා ගෙනයයි.

“ජනාධිපතිතුමා ඉන්නේ අවුරුදු පහයිනේ. මට ජනාධිපතිත් ලොකු නැහැ. ආරක්ෂක ලේකම්නේ දැන් වැඩ පෙන්නන්නේ. ඕන්නම් එයාට මෙතනට එන්න කියන්න. එයාටත් කියන්න තියෙන්නේ මෙච්චරයි සර්. අපට මේ කරපු දේට මේකේ ඉන්න එවුනුත් මරාගෙන අපිත් මැරෙනවා” කොස්ගොඩ තාරක මේ තර්ජනය කරන්නේ බන්ධනාගාර මූලස්ථානයෙන්  ගිය නිලධාරීන් පිරිසටය. දැන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භවී තිබේ.

බන්ධනාගාර මූලස්ථානය ආරක්ෂක අමාත්‍යාංශයටත් පොලිස්පතිවරයාටත් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කළ අතර, මේ වනවිට රහස් පොලීසියේ විශේෂ කණ්ඩායමක් බූස්ස බන්ධනාගාරයට ගොස් එම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ආහාර වර්ජනයේ ඉදිරියෙන්ම සිටි රැඳවියන් අතරින් තාරකත් පොඩි ලැසීත් යන දෙදෙනා පමණක් ඉස්මතුවී ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි නිවැරදිවම තොරතුරු නැත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර පොලිස් නිලධාරීන් පිරිස මහ මුහුදෙන් මෙරටට ගෙනෙන හෙරොයින් බලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වෙත ගෙනැවිත් සති ගණන් රඳවා තබාගෙන සිටි සිද්ධිය දැන් මුළු රටක් දන්නා කාරණයකි. එම හෙරොයින් කොස්ගොඩ තාරකගේ බවට එදවස මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මේ නිලධාරීන් කණ්ඩායම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

එහෙත් දවසකට රුපියල් හත් දහසක් අට දහසක් පමණ මුදලක් ගෙවා දමමින් බලපිටියේ පිහිටි එම “විලා” එකක ඔවුන් නතරවී සිටිමින් එම හෙරොයින් කොස්ගොඩ තාරකගේ යැයි හඳුනා දුන්නද, ඔවුන් නතරවී සිටි එම “විලා” එක අයිතිකාරයා “කොස්ගොඩ සුජී” වීම විශේෂිත සිදුවීමකි. කොස්ගොඩ සුජී, කාට හෝ කුමන හෝ උදව්වක් උපකාරයක් සිදුකර ඉල්ලන ප්‍රතිඋපකාරය එකම දෙයකි. “තාරකට ගහපන්. තාරක මරලා දුන්නොත් මම ඕන දෙයක් කරනවා” කොස්ගොඩ සුජීගේ ශබ්දකෝෂයේ ඇත්තේ එපමණකි. ඔහු කොස්ගොඩ තාරකගේ බෙල්ල ගැනීමට ඕනෑම දෙයක් කරයි. මේ දෙදෙනාගේ බද්ධ වෛරයට ඇත්තේ දිගු ඉතිහාසයකි.

බන්ධනාගාර ආහාර වර්ජනයේ සිටි තවත් චරිතයක් වන්නේ පොඩි ලැසීය.

කවුද මේ “පොඩි ලැසී”?
කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වූ අම්බන්ගොඩ කුලීගොඩ සැන්ටීන් ද සොයිසා මාවතේ පදිංචිව සිටි මෙරිඤ්ඤ තිළිණ රුවන් තිහාර ජයරත්න (44) මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු ලෙසට මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තෙල්වත්ත, හික්කඩුව ලිපිනයේ පදිංචි අරුමාහන්දි ලසිත් මධුසංඛ ද සිල්වා (28) නොහොත් ‘පොඩි ලැසී” නැමැත්තාය. පොඩි ලැසීට ඇත්තේ මේ ඝාතන චෝදනාව  පමණක් නොවේ.

හික්කඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් (35), අම්බලන්ගොඩ පදිංචිව සිටි තිරිමාදුර ඉන්දික ද සොයිසා (33), අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ ඇගේ දරුවා වන තිරිමාදුර රන්දික ද සොයිසා (4) යන සිවු පුද්ගල ඝාතනවලට එරෙහිව මෙන්ම තවත් ඝාතන රාශියක සැකකරුවකු වන මොහු මේ වනවිට ඇප මත සිටියත් ඇප ලබා නොගෙන ඇතුළටවී සිටින්නේ එළියට වඩා ඇතුලේ ඇති ආරක්ෂාව නිසා බව පැවසෙයි.

දැන් පොඩි ලැසී සිටින්නේ බූස්සේය. එහෙත් මීට කලකට පෙර කොළඹ බන්ධනාගාරය තුළ විශේෂ ආරක්ෂාව මැද රඳවා සිටි පොඩි ලැසීට නඩු කටයුතු සඳහා ගාල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ. එහිදී නඩු කටයුතු අවසන් වුවත් දින දෙක තුනක් සුවසේ සැප පහසුව එම බන්ධනාගාරයේ සිට ලැබීමට පොඩි ලැසීට අවස්ථාව උදාකර දීමට ඇතැම් බන්ධනාගාර බලධාරීහු පුරුදුව සිටියහ. පොඩි ලැසීට ඇති පදමට දුරකතන පහසුකම සලසා දීමට මෙම නිලධාරීහු උත්සුක වූහ. ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන්ගේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස තිළිණ රුවන් මහතා ඝාතනය වූ බවට කටකතාව පැතිර ගියද, මේ ඝාතනයේ සැකපිට හසු වන්නේ පොඩි ලැසීය. දකුණේ පාතාලයේ ප්‍රබල චරිතයක් හොබවන කොස්ගොඩ සුජීගේ අතිජාත මිත්‍රයකු වන “පොඩි ලැසී” කොස්ගොඩ තාරකගේ විරුද්ධවාදියකු ලෙසට අවි අත දරා සිටින්නෙකි.

මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින තවත් සැකකරුවකු වන චමින්ද දිල්රුක් නොහොත් “පරෙයි සුදා” ද අද වනවිට කරළියේ කියැවෙන නම් අතරට එක්ව තිබේ. වැටලීම්වලදී අත්අඩංගුවට ගත් හෙරොයින්, ඡාවාරම්කරුවන් වෙත විකිණූ බව කියන සිද්ධියට අදාළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු හෝමාගම ප්‍රදේශයේ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී නිවසක් ‘පරෙයි  සුදාට” ලබාදීමට උදව් කර ඇති බවට විමර්ශන කණ්ඩායම් මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

එම උප පොලිස් පරීක්ෂකවරයාගේ සහෝදරියගේ නමින් මෙම ඉඩම මිලදී ගෙන ඇති “පරෙයි සුදා” බන්ධනාගාරය තුළ සිට ජයටම හෙරොයින් මත්ද්‍රව්‍ය ඡාවාරම සිදුකර ගෙන යන බවට ද මේ වනවිට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙම සිද්ධියට අදාළව විමර්ශනය කරන රහස් පොලිස් කණ්ඩායම ඉකුත් 27 වැනිදා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරුගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී කරුණු ඉදිරිපත් විණි.

පරෙයි සුදා රක්ෂිත බන්ධනාගාර ගත වන්නේ ඉකුත් 2019 වර්ෂයේදීය. දිවුලපිටිය උල්ලලපොළ ප්‍රදේශයේ සුවිසල් නිවසක පවත්වාගෙන ගිය ප්‍රධාන පෙළේ හෙරොයින් ගබඩාවක් වැටලූ පොලීසිය එහි ගබඩා කර තිබූ රුපියල් කෝටි හැට දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් අත්අඩංගුවට ගන්නේ 2019 ඔක්තෝම්බර් 06 වැනිදාය. මෙහිදී හෙරොයින් ඡාවාරමේ යෙදුණු කාන්තාවක ඇතුළු තිදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගනු ලැබ සිටියහ. මෙම සුවිසල් නිවස ජාවාරම්කරුවන් යොදාගෙන තිබුණේ හෙරොයින් මිශ්‍ර කිරීමේ ක්‍රියාවලිය සඳහා බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීමේ දොරටුවේදී සුපිරි ජීප් රථයක හෙරොයින් තොගයක් රැගෙන යමින් සිටියදී තවත් සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර එම සැකකරුවන් දෙදෙනා දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට හෙරොයින් ගෙන යමින් සිට ඇති බවට ද තොරතුරු අනාවරණය කරගෙන තිබිණ. මෙම හෙරොයින් පරෙයිසුදාගේ හෙරොයින් බවට එහිදී කියැවී ඇත.

බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ ඉහළින් සිටි තවත් කෙරුමකු වූයේ මාකඳුරේ මදූෂ්ගේ ළඟම ගෝලයකු වූ කැලුම් ඉන්දික සම්පත් නොහෙත් “කැවුමා”ය.

ඇරැව්වල පන්නිපිටියේ පදිංචි ක්‍රිෂාන් ඩේවිඩ් පීරිස් නැමැත්තාට අයත් රුපියල් කෝටි 2000ක් පමණ වටිනා බවට සඳහන් කරන දියමන්තියක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට කැවුමා රක්ෂිත බන්ධනාගාරගතව සිටියි. ඔහු දියමන්තිය කොල්ලකා තිබුණේ මාකඳුරේ මධූෂ්ගේ අණ කිරීමකට අනුවය. මාකඳුරේ මධූෂ් ඩුබායි රාජ්‍යයේ සිට මෙරට පැමිණීමත් සමගම මේ දියමන්ති කොල්ලය පිළිබඳ වූ කතා බහ නැවතත් කරළියට පැමිණියේය. මේ දියමන්තිය මධූගේ ගෝලයන් පිටරටට යැවූ බවට ද රාවයක් පැතිරගොස් තිබිණි.

එහෙත් පානදුර කෙසෙල්වත්තේ පිහිටි කැවුමා කුලී පදනම මත ලබාගෙන තිබූ දෙමහල් නිවසක උඩු මහලේ අල්මාරියක සඟවා තිබියදී පවුම් 70කට අධික රන් භාණ්ඩ සමග මෙම දියමන්තිය සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබිණි. ඒවා සමග රන් සුරයක් ද සොයා ගැනීමට පොලීසියට හැකිවූ අතර කැවුමාට වෙඩි නොවැදීම සඳහා එම සුරය භාවිත කර ඇති බව ද සඳහන් විය. කැවුමා යනු මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයා හෙවත් ලෝකල් මධූෂ් ලෙස ඔවුන්ගේ ලෝකයේ කිරුළ දරා සිටි අයෙකි. මධූෂ් මෙන්ම හැඩි දැඩි කඩවසම් සිරුරකින් යුතු කැවුමා මදූෂ්ගේ නියෝග මත අපරාධ මෙහෙයවමින් සුපිරි ජීවිතයක් ගත කළ අයෙකි.

කලකට පෙර කඹුරුපිටිය ප්‍රදේශයේ බස් රියැදුරකු ලෙස සේවය කළ කඹුරුපිටියේ මධූෂ්ගේ බස් රථයේ ගෝලයා වශයෙන් සේවය කළේ මේ “කැවුමා” ය. එදවස පටන් දෙදෙනා අතර ඇතිව තිබූ මිතුදම හේතුවෙන් කැවුමා මධූෂ්ගේ අතිජාත මිත්‍රයා වූවා පමණක් නොව මධූෂ්ගේ සියලු ආවතේවකම් කරමින් කල් ගෙවුවේය.

පාතාලයන් මේ ආකාරයෙන් හැසිරෙද්දී ඇතැම් බන්ධනාගාර  නිලධාරීන් මෙන්ම පොලිසියේ ඇතැම්හු මොවුන්ට ආධාර අනුබල දෙමින් සිටිති.

පාතාලයන් මේ ආකාරයෙන් හැසිරෙද්දී ඇතැම් බන්ධනාගාර නිලධාරීන් මෙන්ම පොලීසියේ ඇතැම්හුද මොවුන්ට අාධාර අනුබල දෙමින් සිටිති. ඒ පිළිබඳව අටුවා ටීකා අවශ්‍ය නැත. පාතාලයත් පොලීසියත් බන්ධනාගාරයත් එකම පැත්තේ තරාදියක සිටිද්දි මාධ්‍ය පමණක් අනෙක් පැත්තට තල්ලුවී සමාජය සමබර කිරීමේ වෑයමක යෙදෙන බව නම් පැහැදිලිය.

මේ සම්බන්ධයෙන් හොඳම ප්‍රකාශය කළේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාය. සැකකාර නාකොටික් නිලධාරීන් සම්බන්ධ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඉකුත් දා පැවැති අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ “මාධ්‍ය නැත්නම් මේ සිද්ධියට මොනවා වෙයිද දන්නේ නැහැ” යනුවෙනි.

සියල්ල අවසානයේ සඳහන් කළ යුතු දෙයක් තිබේ. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන්න මේ පාතාලයටම ආවේණික වූ ආප්තෝපදේශයක් වුවද, අවියෙන් පමණක් නොව දිට්ඨ ධම්මවේදනීය කර්මය ද ඔවුන් පසුපස එනු නොඅනුමානය.

(*** විමුක්ති කුමාරසිංහ)