(*** මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ප්‍රහාරයට දින හතරකට පෙර තව්හිද් ජමාද් සංවිධානයේ නායන මොහොමඩ් සහරාන් ඇතුළු පාස්කු ප්‍රහාරයට සම්බන්ධවු හතරදෙනෙකු පිළිබඳ තොරතුරු එවකට සිටි පොලිස්පතිවරයාට හා හමුදාපතිවරුන්ට දැනුම් දී ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් බුද්ධි අංශයේ උසස් නිලධාරියෙක් හෙළි කළේය.

තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුළු පාස්කු ප්‍රහාරයට සම්බන්ධවු පිරිස විසින් පාස්කු ප්‍රහාරයට පෙර දින දහවල් ගල්කිස්ස නිවාස සංකීර්ණයකදී මෙම ප්‍රහාරය පිළිබඳව වීඩියෝ දර්ශනයක් පටිගත කොට ඇති බවත් එහි ‘ප්‍රහාරකයින්ගේ අනුකම්පාව අවශ්‍ය නම් ඉස්ලාම් ආගමට බැඳීම හෝ ඔවුන්ට බදු ගෙවීම කළ යුතුයි’ යනුවෙන් පවසා ඇති බවත් පාස්කු  ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයින් වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ජනක් සිල්වා  (සභාපති), අභියාචනාධිකරණ විනිසුරු බන්ධුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්‍ෂ සහ බන්ධුල අතපත්තු යන මහත්වරුන් මෙන්ම විශ්‍රාමික අධිකරණ අමාත්‍යංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මියද කටයුතු කරයි.
මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්වරයා වශයෙන් බුවනෙක හේරත් මහතා කටයුතු කරන අතර කොමිසමේ භාෂා පරිවර්තකවරයා වශයෙන් විමල් ද සිල්වා මහතා කටයුතු කරයි.

කොමිසමේ සභාපතිවරයාගේ සහ එහි සාමාජිකයින්ගේ හා සාක්කි විමසීමට කොමිසමට සහය වීම සඳහා නීතීපතිවරයාගේ නියෝජිතයා වශයෙන් පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දෙමින් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සංජීව දිසානායක මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැඟුම් හලේ බෝම්බ පිපුරුම පිළිබඳව විමර්ශන කළ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් මෙසේද පැවසීය.

දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැඟුම් හලේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගෙන ඇත්තේ මොහොමඩ් ජමීල් නමැත්තායි. මොහොමඩ් ජමීල් අයි.එස්.අයි.අස්. මතවාදී අදහස් දරන අයෙකුද යන්න සොයා බලා වාර්තා කරන ලෙස 2017 දෙසැම්බර් 09 වැනිදා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ අත්සනින් යුත් ලිපියක් ඒ මහතා විසින් තම කොට්ඨාසයට ඉදිරිපත් කොට තිබුණා. ඒ ලිපිය සමඟ බුද්ධි අංශය විසින් සොයාගත් තොරතුරක්ද ඇතුළත්ව තිබුණා.

ඒ අනුව මොහොමඩ් ජමීල් අයි.එස්.අයි.අස්. මතවාදී අදහස් දරන අයෙකුද යන්න පිළිබඳව අපි විසින් විමර්ශනය කළා ඒ අනුව අපි අවස්ථා 08 කදී පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට වාර්තා කළා.

ඊට අමතරව මොහොමඩ් ජමීල් නමැත්තා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබුවා ඒ 2018 අප්‍රේල් මස 12 වැනිදායි. එහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ පිළිබඳවද පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට වාර්තා කළා.

මොහොමඩ් ජමීල් නමැත්තා අයි.එස්.අයි.අස්. මතවාදී අදහස් දරන අයෙකුද යන්න පිළිබඳව අපි විසින් විමර්ශනය කොට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට 2019 අප්‍රේල් 08 වැනිදා වාර්තාවක් යැවු අතර එම වාර්තාවේ මොහොමඩ් ජමීල් නමැත්තා අයි.එස්.අයි.අස්. මතවාදයට නැඹුරු වී ඇති බවට වාර්තා වී නොමැති යනුවෙන් සඳහන් වෙනවා.
මේ අවස්ථාවේදී පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සිදුකළ විමර්ශන වලට අදාළ වාර්තාවක් සාක්කිකරු විසින් කොමිසමට ඉදිරිපත් කරන ලදී.

දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ ලැගුම් හලේ බෝම්බ පිපුරුම සිදුවීමෙන් අනතුරුව මා එහි ගියා එහිදී සිදුකළ විමර්ශනයේදී එම බෝම්බය පුපුරුවාගෙන මියගොස් ඇත්තේ මොහොමඩ් ජමීල් නමැත්තා බව හෙළි වුණා. පසුව මා වහාම මගේ නිලධාරීන් කණ්ඩායමද සමඟ වැල්ලම්පිටියේ පිහිටි ජමීල්ගේ නිවසට ගියා. ඒ වේලාවේ ජමීල්ගේ බිරිඳ වන ෂිෆානා වුමර් නමැත්තිය තවත් පිරිසක් සමඟ එහි සිටියා. ඒ අවස්ථාවේදී මා ඇයට කතා කොට ජමීල් නමැත්තා පිළිබඳව විමසුවා එවිට ඇය ඇගේ ජංගම දුරකථනය මට දී ඇගේ සැමියා විසින් එවන ලදැයි කියමින් ‘වට්ස් ඇප්’ පණිවිඩයක් අපිට පෙන්නුවා. එම ‘වට්ස් ඇප්’ පණිවුඩය හඬ පටයක් වශයෙන් එවා තිබුණා.

එම ‘වට්ස් ඇප්’ පණිවුඩයේ ‘ෂිෆානා මට කෝල් කරන්න එපා. මම මේ වෙනකම් කීවේ බොරු. මම අල්ලාගේ මඟ යනවා. පොලිසිය ආවොත් මේක පෙන්වන්න.’ යනුවෙන් සඳහන්ව තිබුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී කතෝලික දේවස්ථාන හා ප්‍රධාන පෙළේ හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් පාස්කු ඉරිදාම තෝරා ගැනීමට මෙන්ම එම ප්‍රහාර එල්ල කිරීමට ශ්‍රී ලංකාවම තෝරා ගැනීමට හේතූ වු කාරණා 13 ක් හෙළි වුණා. මෙම ප්‍රහාර මාලාව කිරීම සඳහා පාස්කු ඉරිදාම තෝරා ගැනීමට හේතූ වු කරුණු 04 ක්ද ඒ සඳහා ශ්‍රී ලංකාවම තෝරා ගැනීමට හේතූ වු කරුණු 09 ක්ද සඳහන් වුණා.
පාස්කු ප්‍රහාරයට පෙර දින තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුළු පාස්කු ප්‍රහාරයට සම්බන්ධවු පිරිස විසින් ගල්කිස්ස ‘ස්පෑන් ටවර්’ නිවාස සංකීර්ණයේදී වීඩියෝවක් පටිගත කර තිබුණා.

එම වීඩියෝවේ තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් කතා කරන අයුරු සඳහන්ව තිබුණා. ‘මෙම ප්‍රහාරයෙන් විනාශ වන ඇටකැබලි සහ මස් මඟින් ඉස්ලාම් රාජ්‍යය බිහි කිරීමේ බීජ රෝපණය වනවා. ඉන්දියාවේ සිටින විරුද්ධවාදීන්ද ඉලක්ක කරගෙන මෙවන් ප්‍රහාරයක් එල්ල කළ යුතුයි’ යනුවෙන් ඔහු පවසා තිබුණා.
‘මෙම ප්‍රහාරය කරන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් හා අල්ලා දෙවියන්ට කරන ගෞරවයක් වශයෙන්. විරුද්ධවාදීන් ඉලක්ක කර තැන් තැන් වල බෝම්බ පිපිරවීම ආරම්භයක් පමණයි. ඉදිරියේදී බොහෝ පිරිසක් කණ්ඩායම් වශයෙන් ඝාතනය කරනවා. අනුකම්පාව අවශ්‍ය නම් ඉස්ලාම් ආගමට බැඳීම හෝ ඔවුන්ට බදු ගෙවීම කළ යුතුයි’ එම වීඩියෝ පටයේ වැඩිදුරටත් පවසා තිබුණා.


ප්‍ර. එම වීඩීයෝව පටිගත කොට ඇත්තේ කවදාද?
පිළි. පාස්කු ප්‍රහාරයට පෙර දින 2019 අප්‍රේල් 20 වැනිදා.
ප්‍ර. එම වීඩීයෝව පටිගත කොට ඇත්තේ කොහේදීද?
පිළි. ගල්කිස්ස ‘ස්පෑන් ටවර්’ නිවාස සංකීර්ණයේදී.
ප්‍ර. මෙම පටිගත කිරීම කොට ඇත්තේ කීයට පමණද?
පිළි. දහවල් 1.00 ත් 3.00 ත් අතර කාලයේදී.
කොමිසමේ සභාපතිවරයාගේ සහ එහි සාමාජිකයින්ගේ සාක්කි විමසීමට කොමිසමට සහය වීම සඳහා නීතීපතිවරයාගේ නියෝජිතයා වශයෙන් පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දෙමින් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සංජීව දිසානායක මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ බුද්ධි අංශයේ උසස් නිලධාරියෙක් වැඩිදුරටත් මෙසේද පැවසීය.

දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ ලැඟුම් හලේ බෝම්බයක් පිපිරී පුද්ගලයකු මියගොස් තිබුණා. මෙම ප්‍රහාරයෙන් පසු මගේ ප්‍රධානියා මට කතා කොට ‘ට්‍රොපිකල් ඉන්’ බෝම්බකරු ආගමික අන්තවාදී අයෙකු බවට සමාජ මාධ්‍ය වල තොරතුරු හුවමාරූ වෙනවා. ඒ පිළිබඳව වහාම සොයා බලන්න යනුවෙන් ඔහු මට දැනුම් දුන්නා. ඒ වන විටත් ජමීල් ආගමික අන්තවාදීයකු බවට පෙර සිටම තොරතුරු තිබුණා.

මේ නිසා ‘ට්‍රොපිකල් ඉන්’ ලැඟුම් හලේ බෝම්බයක් පිපිරී ඉතාම සුළු වේලාවකින් මා මගේ කණ්ඩායමේ නිලධාරීන් සමඟ එහි බෝම්බකරු වන මොහොමඩ් ලතීප් ජමීල් මොහොමඩ් නමැත්තාගේ වැල්ලම්පිටිය ලංසියාවත්තේ පිහිටි නිවසට ගියා. ඒත් එහි ජමීල් සිටියේ නැහැ. ඒ නිසා ඒ ආසන්නයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසට ගියා. මා ජමීල්ගේ මාමණ්ඩියට හා මස්සිනාට කතා කොට ‘මං ජමීල්ගේ මිතුරෙක්. ජමීල් ඉන්නවාද?’ කියා ඇසුවාම ‘ජමීල් දින දෙකකට පෙර ආගම් ප්‍රචාරයට යන බව පවසා නිවසින් ගියා’ කියලා කීවා. ඒ වන විට ජමීල්ගේ ජංගම දුරකතනය වැඩ කළේ නැති නිසා මගේ ජංගම දුරකතනයේ අංකය දී ජමීල් ආවහම මට කෝල් එකක් දෙන්න කියලා කීවා.

පසුව මේ ගැන මාගේ ප්‍රධානියාට දැනුම් දුන් විට ඔහුගේ උපදෙස් මත ආරක්‍ෂක අමාත්‍යංශයෙන් බව කියමින් යළි ජමීල්ගේ නිවසට ගොස් ‘අද ප්‍රහාර වලට ජමීල්ගේ සම්බන්ධයෙන් තියෙන බවට තොරතුරු තියෙනවා. ජමීල් බේරා ගන්න අවශ්‍ය නම් නිවැරදි තොරතුරු දෙන්න’ කියලා කීවා. එවිට ජමීල්ගේ බිරිඳ කතා කොට මීට ටික වේලාවකට කළින් ජමීල් මට කතා කළා. ජමීල් වැල්ලවත්තේ පල්ලියක ඉන්නවා. ජමීල් මට කතා කොට පල්ලියේ ආරක්‍ෂක නිලධාරියාට මාගේ අන්‍යතාව ගැන සැකයක් ඇති වෙලා නිසා මා ගැන තොරතුරු සනාථ කරන්න කියා කී නිසා මා පල්ලියේ ආරක්‍ෂක නිලධාරියා සමඟ කතා කළා යැයි කීවා.

පසුව මා ඇගේ ජංගම දුරකතනයෙන් පල්ලියේ ආරක්‍ෂක නිලධාරියාට කතා කොට ජමීල් ඉන්නවාද කියා ඇසු විට ඔහු ත්‍රීරෝද රථයකින් මුහුදු බඩ මාර්ගයෙන් දෙහිවලට ගියා කියා කීවා. ඒ බව මා මාගේ ප්‍රධානියාට දැනුම් දුන් විට ඉක්මනින්ම හොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් ගැන තොරතුරු සොයන්න කියා උපදෙස් දුන්නා. ඒ වන විටත් ඔහු අන්තවාදී ක්‍රියා වලට සම්බන්ධ බවට තොරතුරු තිබුණා. බුද්ධි අංශ ක්‍ෂෙත්‍ර නිලධාරීන් දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඔහුගේ නිවස සොයාගෙන තිබුණා.

ඒ අනුව තම කණ්ඩායම මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ නිවසට පැමිණෙන අතරතුර විනාඩි 15 ක කාලයක් අතරතුර දෙමටගොඩ මහවිල උද්‍යානයේ හා ‘ට්‍රොපිකල් ඉන්’ ලැඟුම් හලේ බෝම්බ දෙකක් පිපිරී ගිය බවට තොරතුරු ලැබුණා. ‘ට්‍රොපිකල් ඉන්’ බෝම්බකරු ජමීල් බවටත් දෙමටගොඩ මහවිල උද්‍යානයේ බෝම්බකරු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් බවටත් මා අනුමාන කළා.  

අපි දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසට එනවිටම එම නිවස තුළින් තවත් බෝම්බයක් පිපිරී ගියා. එහි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිටියා. එම නිවාස් සිටි මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ පියා අත්අඩංගුවට ගත්තා.


ප්‍ර. ආගමික අන්තවාදය පිළිබඳ තොරතුරු වාර්තා වුණේ කොයි කාලෙයේ ඉඳලද?
පිළි. 2016 වසරේ සිට ජමාතේ මිලලතේ ඊබ්‍රාහිම්, ජාතික තව්හිද් ජමාද් සහ ශ්‍රී ලංකා තව්හිද් ජමාද් යන සංවිධාන අන්තවාදී ක්‍රියා වලට සම්බන්ධකම් ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණා.

මෙම සංවිධාන සමාජ මාධ්‍ය ජාලා වලින් සිය ක්‍රියාකාරකම් බහුලව කරගෙන ගිය නිසා එමඟින් හෙළි කරගත් තොරතුරු ඔස්සේ හඳුනාගත් පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් 2016 වසරේ සිටම තිබුණා. මොහොමඞ් සහරාන් පිළිබඳ තොරතුරුත් බුද්ධි අංශ වල තිබුණා.

ප්‍ර. මේ පිළිබඳව ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නේ නැද්ද?
පිළි. දැනුම් දුන්නා. 2018 වසරේදී හිටපු පොලිස්පතිවරයාට ලිඛිතවම දැනුම් දුන්නා.

ප්‍ර. මේ පිළිබඳ දැනුවත් කළේ හිටපු පොලිස්පතිවරයා විතරද?
පිළි. නැහැ. ජාතික බුද්ධි ප්‍රධානියාද ඒ කාලයේදීම දැනුවත් කළා.

ප්‍ර. පාස්කු ප්‍රහාර මාලාව සඳහා ප්‍රහාරකයින් කී දෙනෙක් සම්බන්ධ වී තිබුණද?
පිළි. ප්‍රහාරකයින් හත් දෙනෙකු සම්බන්ධ වී සිටියා.

ප්‍ර. පාස්කු ප්‍රහාරකයින් හත් දෙනා පිළිබඳවම තොරතුරු තිබුණද?
පිළි. මොහොමඩ් සහරාන්, ජමීල් මොහොමඩ්, ඉල්හාම් සහ හස්තුන් නමැත්තන් පිළිබඳව තොරතුරු තිබුණා.

ප්‍ර. වනාතවිල්ලුවේ ආයුධ හමුවුණේ පාස්කු ප්‍රහාරයට කලින්ද නැත්නම් පසුවද?
පිළි. පාස්කු ප්‍රහාරයට පසුව, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ප්‍ර. අන්තවාදීන් එ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ලැයිස්තු සකස් කර තිබියදී සැකකරුවන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයා හා හමුදාපතිවරුන් දැනුවත් කළාද?
පිළි.  අවස්ථා කිහිපයකදීම බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයා ලිඛිතව හා වාචිකව දැනුවත් කළා. හිටපු හමුදාපතිවරුන් වන මේජර් ජනරාල් ක්‍රෂාන්ත ද සිල්වා සහ ලුතිතන් ජනරාල් මහේෂ් සේනානයක මහත්වරුන් දැනුවත් කළා.

පැමිණිල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය සහ රජයේ නීතීඥ චතුරංග බණ්ඩාර, රජයේ නීතීඥ දිලන්ත එස්. කලුදුරුවගේ මහතා සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සංජීව දිසානායක මහතා පෙනී සිටියේය.
වැඩිදුර සාක්කි විමසීම කල් තබන ලදී.