
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා අයිතිකරුවන් බිය ගන්වා බලහත්කාරයෙන් අත්පත් කරගත් කෝටි 50 කට අධික වටිනා ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනයේ දී මෙම තොරතුරු අනාවරණය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වූ ලොකු නාඹුගල ආරච්චිගේ සමන්ත පුෂ්පකුමාර නොහොත් සිම්බු සමන් නැමැත්තා අංගොඩ මුල්ලේරියාව රණබිම් මාවත ප්‍රදේශයේ දී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 600 ක් සමඟ අත්අඩංගුවට ගෙන සිදු කළ මූලික විමර්ශනවල දී අංගොඩ ලොක්කා මෙම පුද්ගලයාගේ නමට සහ තවත් පුද්ගලයන් රැසකගේ නම් වලට බලහත්කාරයෙන් ලබා ගත් ඉඩම් පවරා මෙම ජාවාරම බලහත්කාරයෙන් සිදු කරගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවට අයත් බැන්ඩියාවත්ත ප්‍රදේශයේ වගුරු ඉඩමක් ගොඩකර පර්චස් තුන බැගින් වූ ඉඩම් කොටස් වල නිවාස ඉදිකර ලක්ෂ 43 බැගින් වූ මුදලකට නිවාස 60 ක් අලෙවි කර ඇති බව මේ වන විට සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
වෙනත් පුද්ගලයන්ට අයත් වගුරු බිම් සහ කුඹුරු යායවල් පස් සහ අබලි ද්‍රව්‍ය යොදා ගොඩ කර මෙම ජාවාරම කාලයක සිට කරගෙන ගොස් ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ වන විට අත්අඩංගුවට ගත් සිම්බු සමන් නමැත්තා අංගොඩ ලොක්කාට සිදුකළ බව කියන මුදල් වංචාවක් හේතුවෙන් මීට මාස 8 කට පමණ ඉහතදී පිරිසක් යොදවා ඔහුගේ අත් පා තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදු කළ බව පොලිසිය කියයි.
මේ ආකාරයෙන් මුල්ලේරියාව, අතුරුගිරිය ,වැල්ලම්පිටිය පොලිස් වසම් වල පර්චස් 917 ක ආසන්න ප්‍රමාණයක් අංගොඩ ලොක්කා බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
මෙලෙස ලබාගත් සියලුම ඉඩම් මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජ සන්තක කිරීමට හෝ සැබෑ හිමිකරුට ලබාදීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර දකුණ දිසාව භාර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා , මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කළුවිතාරණ මහත්වරු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර දේවල් කරනකන් රජයේ නිලධාරීන් නිදාගෙනද හිටියේ.?
ඇත්තටම ජනාධිපතිතුමාට පාතාලයන්, අපරාධකාරයන්, කුඩ්ඩන් ඇල්ලීමට සැබෑ වුවමනාවක් තිබෙන බව පේනවා. අනිත් අය ගැන නම් අපි දන්නේ නෑ. ජනපතිතුමාට, ආරක්ෂක අංශවලට, පොලිසියට මේ කරනා වැඩපිළිවෙළට අනේක වාරයක් ස්තූතියි. බලාගෙන යනවිට මේ රට තිබිලා තිබෙන්නේ කුඩ්ඩන්, පාතාලයන් හා අපරාධකාරයන් අතේ. එතකොට මේ කොටස් කරපු ඉඩම්වල සෑදූ ගෙවල් සැබැ තත්වය නොදැන මිලට ගත් මිනිසුන්ට කිසියම් සාධාරණයක් විය යුතුයි නේද? මේවා ගැන කිසිඳු හාංකවිසියක් නොදැන ඔවුන් මේ ගෙවල් දොරවල් මිලට ගත්තේ නම්, ඒවාට ඔවුන් වැරදිකරුවන් නොවේ නේද? එයට වගකිව යුත්තේ ඉඩම් ගොඩ කළ කාලයේ තිබූ රජයන් නොවේද? එබැවින්, ඒ මිනිස්සුන්ටත් සාධාරණයක් වෙනවා නම් හොඳයි නේද?
මේ තරම් දෙයක් කරනකම් ලංකාවෙ නීතිය සහ පොලීසිය කොහෙද දන්නෙ නැහැ හිටියෙ.