දේශපාලන කරළිය දිනෙන් දිනම ගිනියම් වෙමින් තිබේ. කිසිවකුත් අපේක්ෂා නොකළ සිදුවීම් මාලාවකින් ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් වූයේ හදිසියේමය. ආණ්ඩුව ඇතුළේ ලියලමින් තිබූ විරසකය කරළියට එන තරමටම එම සිදුවීම් මාලාව ප්‍රබල විය. ආණ්ඩුව කරන ප්‍රධාන පක්ෂ දෙකේ නොගැළපීම් දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙන වාතාවරණයක් තුළ එය දේශපාලන අර්බුදයක් දක්වා ගමන් කිරීමේ ඉඩකඩක් ද නැත්තේ නොවේ.


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි ගිය අඟහරුවාද‌ා උදේ පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. සීෂෙල්ස් රාජ්‍යයේ නිල සංචාරයකට ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගිය නිසා කලින් සතියේ කැබිනට් රැස්වීම නොපැවැත්විණි. එ් අනුව මෙවර කැබිනට් රැස්වීම පැවැත්වූවේ සති දෙකකට පසුවය.


කැබිනට් රැස්වීම මත ගැටුමක් දක්වා දුරදිග ගියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් හේතුවෙනි. නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියේම පාලනය යටතේ තබා ගනිමින් ගැන්ට්‍රි දොඹකර ඇතුළු උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් මහින්ද සමරසිංහ ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මේ සඳහා පාදක විය. මහින්ද සමරසිංහ කියා තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කළ හැකි බවය. එහෙත් අගමැතිවරයාත්, මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර යන ඇමැතිවරුන් දෙදෙනාත් සිටියේ ඊට වෙනස් මතයකය. ඔවුන් කියා සිටියේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ද සහාය ඇතිව හවුල් ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යෑමට දැනටමත් ඉන්දියාව සමඟ සාකච්ඡා කර ඇති බවය. ඒ අදහසට ජනාධිපතිවරයා දැඩි විරෝධය පළ කළේය. ජනාධිපතිවරයා කීවේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේම තබා ගන්නවා මිස ඉන්දියාවට හෝ වෙනත් රටකට ලබාදිය නොහැකි බවය. එහෙත් එජාප ඇමැතිවරුන් සිටියේ ඊට විරුද්ධ අදහසකය. ඔවුන් කීවේ දැනටමත් ඉන්දියාව සමග ගිවිසුමක් ද අත්සන් කර ඇති නිසා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු පදනම මත දිය යුතු බවය. එජාපය ඇමැතිවරුන්ගේ තර්ක විතර්ක හමුවේ ජනාධිපතිවරයා ද සිටියේ තරමක කේන්තියෙනි. හම්බන්තොට වරාය චීනයට දුන්නා. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දුන්නම, අපට හදිසියේ නැවක්වත් ගෙන්න ගන්න වරායක් නැති වෙනවා. ඒ නිසා මම මේකට විරුද්ධයි. මේක කාටවත් දෙන්න බැහැ. ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේය.


මහින්ද සමරසිංහ ද ජනාධිපතිවරයාගේ අදහසේම සිටිමින් තර්ක කළේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දිය නොහැකි බව කියමිනි. මේ තර්ක විතර්ක යන අතරේ රාජිත සේනාරත්න ද වාදයට මැදි විය. ඔහු කීවේ අපි පොඩි රටක්. අපට වෙන රටවල් තරහ කරගෙන යන්න බැහැ. අපි ඉන්දියාවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඕනෑ කියාය. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදීමේ තීරණය ගැන තමා මෝදි අගමැතිවරයා සමග ද කතා කරන බව ජනපති කීවේය.


මේ කතාබහ අතරේ ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණයට අදාළව අත්අඩංගුවට ගෙන ඇති ඉන්දියන් ජාතිකයා සම්බන්ධයෙන් ද කතාබහක් ඇති වූ බව වාර්තා විය.


මේ අතර වාරයේ තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් සඳහා කුරුණෑගලින් අක්කර 400ක ඉඩමක් ඉල්ලා තිබිණි. ජනාධිපතිවරයා ඊට විරුද්ධ වූයේ හොරණ පැත්තේ ඔය වගේ ආයෝජනයක් පටන් ගන්නවා කියලා ඉඩමකුත් වෙන් කළා. හැබැයි රබර් ගස් ටිකත් කපලා දැම්මා මිසක් ආපු ආයෝජකයකු ද නැති බව කියමිනි.


රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් කියා තිබුණේ විදුලිබල මණ්ඩලය ද, ඛනිජ තෙල් මිල හමුවේ ඇදගෙන යන්නෙ අමාරුවෙන් බවය. මිල සූත්‍රය අනුව තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමුව ද විදුලිබල මණ්ඩලයට එවැන්නක් කළ නොහැකි බැවින් ඊට මුහුණ දීම සඳහා යම් සහනයක් ලබා දෙන ලෙස ඔහු ඉල්ලා තිබිණි. විදුලිය නිෂ්පාදනයෙන් සියයට 60 ක්ම ඉන්ධනවලින් නිපදවන නිසා මේ බර දැරිය නොහැකි බවත් යම් සහනයක් කඩිනමින් අවශ්‍ය බවත් ඇමැතිවරයා ඉල්ලා තිබිණි. ඒ සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් නිලධාරි කමිටුවක් පත්කරනු ලැබුවේ එම යෝජනාව සැලකිල්ලට ගනිමිනි.


අඟහරුවාදා පැවැති ආන්දෝලනාත්මක කැබිනට් රැස්වීම සම්බන්ධව පසුවදා මාධ්‍යවල පළවූ තොරතුරු හේතුවෙන් ආණ්ඩුවද දැඩි අර්බුදයකට මුහුණ දුන්නේය. සියලුම මුද්‍රිත මාධ්‍යවල කැබිනට් රැස්වීමේ සිදුවීම් ප්‍රධාන පුවත් බවට පත්වෙමින් පළවෙද්දි ආණ්ඩුවට ප්‍රධාන ගැටලුව වූයේ ඉන්දියාවේ හින්දු පුවත්පත ද ඒ සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක වාර්තා පළකර තිබීමය. කැබිනට් රැස්වීමේදී කතා නොවූ තොරතුරු මාධ්‍යවල පළවී ඇතැයි කියමින් ජනාධිපති කාර්යාලයත් කැබිනට් කාර්යාලය හා එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයත් පැහැදිලි කිරීම් කරමින් නිවේදන නිකුත් කළේ එමගින් ආණ්ඩුවට එල්ල වූ දැඩි අභියෝගය හේතුවෙනි. මෙරට මාධ්‍යවලටත් වඩා ආණ්ඩුවට ප්‍රබලම ගැටලුවක් වූයේ රෝ ඔත්තු සේවය තමා මරන්නට සිටින්නේ යැයි ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව කියමින් හින්දු පුවත්පත වාර්තා කර තිබීමය. එය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලටද දැඩි බලපෑමක් වන කරුණක් බව ආණ්ඩුවද දැන සිටියේය. එය වහා නිවැරැදි කරමින් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළා පමණක් නොව එදිනම පස්වරුවේ ජනපති මෛත්‍රී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට දුරකථන ඇමතුමක් දෙමින් සත්‍ය තත්ත්වය පැහැදිලිකර තිබිණි. ලංකාවත් ඉන්දියාවත් අතර දිගු කලක සිට පවතින මිත්‍රත්වය දිගටම පවතින බවත් ඉන්දියාව හැම විටම ශ්‍රී ලංකා රජයට සහාය දක්වන බවත් ඉන්දීය අගමැතිවරයා ජනපති මෛත්‍රීට දන්වා තිබුණේ සුපුරුදු සුහදතාව පළ කරමිනි.   


රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නාහිමියන්ට තායිලන්ත රජයෙන් පිරිනමන ලද ගෞරව සම්මානය පිළිගැන්වීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඉකුත් සඳුදා මහනුවර අස්ගිරිය චන්දානන්ද ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී පැවැත්වුණේ මහ නාහිමිවරුන්ගේ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද ලක්ෂ්මන් කිරිඇල්ල එස්. බී. දිසානායක, සරත් ඒකනායක ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද ඊට සහභාගි වූහ. ජනපති මෛත්‍රීත් හිටපු ජනපති මහින්දත් එක ළඟ අසුන්ගෙන සිටියේ සුහද කතාබහක ද යෙදෙමිනි.  


ආණ්ඩුවෙන් ඉවත්වූ 15 දෙනාගේ කණ්ඩායම ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි කියන්නේ දැනට මාස ගණනාවක සිටය. ඒ සඳහා කලින් පැවැති මධ්‍යම කාරක සභාවට ඔවුන් යෝජනාවක්ද ගෙනැවිත් තිබූ නමුත් යෝජනාවක් ක්‍රියාත්මකවන බවක් පෙනෙන්නට නැති තැන එය සිහිපත් කරමින් ගිය සතියේ නැවත වරක් මධ්‍යම කාරක සභාව වෙත ලිපියක් යවා තිබිණි. මේ ලිපිය සකස් කළේ ඉකුත් සතියේ සිකුරාදා පාර්ලිමේන්තු පුස්තකාලයෙදීය. එස්. බී. දිසානායක, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් යාපා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඇතුළු 15 කණ්ඩායමේ මන්ත්‍රීවරු පිරිසක් එක්ව මේ ලිපිය සකස් කළහ. ඉන් කියැවුණේ ශ්‍රීලනිපය එජාප හවුල් ආණ්ඩුවෙන් වහා ඉවත්විය යුතු බවය. ලිපිය එදිනම ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත යැවීමටද පිරිස පියවර ගත්හ.  


අඟහරුවාදා පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ලිපිය සාකච්ඡාවට ගන්නැයි ඉල්ලීමක් ද කර තිබූ අතර ලක්ෂ්මන් යාපා එදින පෙරවරුවේ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට දුරකථන ඇමතුමක් දී විමසා සිටියේ ලිපිය ලැබුණද කියාය. මහලේකම්වරයාගේ පිළිතුර වූයේ ලිපිය ඒ වනතෙක්ම නොලැබුණු බවය. අනතුරුව ලක්ෂ්මන් යාපා එවෙලේම සිය කාර්ය මණ්ඩලයේ අයකු අතේ ලිපිය මහලේකම්වරයාට යවා පසුව ඇමතුමක්ද දී තිබිණි.   
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප සම්මාන උළෙල මෙවර තුන්වන වරටත් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි පැවැත්වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. තරමක අසනීප ගතියෙන් පසු වුවද ජනාධිපතිවරයා නියමිත වෙලාවටම පැමිණියේය. සම්මාන උළෙල පැවති ප්‍රධාන ශාලාව අසලදී ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන, උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, ජ'පුර විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය හා ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ ඇතුළු පිරිස විසිනි. ජනපති මෛත්‍රී මෙවර ජයවර්ධනපුර ප්‍රදීප සම්මාන උළෙලට පැමිණයේ වටිනා තෑග්ගක්ද රැගෙනය. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අඩුවක්ව පවතින ශ්‍රවණාගාරයකි. ජනාධිපතිවරයාගේ නියමයෙන් එහි සැලසුම් සියල්ලද මේ වනවිට සකස් කර ඇති අතර එහි දළ ඇස්තමේන්තුවද කෝටි සියයකට අධිකය. තරමක අසනීප තත්ත්වය නිසා ජනාධිපතිවරයා උත්සවයේ කතාවක් නොකළද එම සුබ අරංචිය සභාවට දන්වන්නයි උපකුලපතිවරයාට දන්වා තිබිණි. එහි ඉදිකිරීම් කටයුතු ද ලබන ජනවාරියේ අරඹන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ යැයි උපකුලපතිවරයා සභාවට දන්වා සිටියේ සියලු දෙනාගේම අත්පොලසන් මැදය. සම්මානලාභීන් සියලු දෙනාටම ජනාධිපතිවරයා අතින් සම්මාන පිරිනැමූ අතර ඔවුන් සමග සමූහ ඡායරූපයකට ද පෙනී සිටින්නට අමතක නොකළේය.