IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


අර්බුද මැද ශ්‍රීලනිපයට නාමයෝජනා

 

ගෙවීගිය සතියේ රටේම කතාබහට ලක්වූයේ කොරෝනා වයිරසය ගැනය. මහ මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ ලහි ලහියේ සූදානම් වන නමුත් ඒ සියල්ල අබිබවා කොරෝනා වයිරසය පිළිබඳ කතා බහ රටම ගිනියම් කළේය. කොරෝනා වයිරසය ආසාදනය වූ ලාංකිකයකු ගිය සතියේ මෙරටින් පළමු වරට හමුවීම රටම තැති ගැනීමට ලක් කළේය. එය කෙතරම් දුරදිග ගියේදැයි කිවහොත් රටේ සියලුම පාසල් ලබන මස 20 වැනිදා දක්වා වසා තබන තැනට තල්ලු කළේය. ලෝකයේ රටවල් 100කට වඩා වැඩි ගණනකට කොරෝනා වයිරසය පැතිරෙද්දී ලංකාවද එම රටවල් ලැයිස්තුවටම ඇතුළත්වීම රටේ බරපතළ අර්බුදයක් නිර්මාණය කළේය.


මහ මැතිවරණය සඳහා ලබන අප්‍රේල් මස 25 වැනිදා දින නියම කර ඇති බැවින්, සියලු දේශපාලන පක්ෂ මේ දිනවල නාමයෝජනා සැකසීම වෙනුවෙන් කැප වී සිටි. ප්‍රධාන පක්ෂ සියල්ලම සන්ධානගත වෙමින් මැතිවරණයට ඉදිරිපත් වන නිසා ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වී ඇත්තේ හවුල්කාර පක්ෂවලට වෙන් කරන කෝටාව සම්බන්ධයෙනි. පොදුජන පෙරමුණත්, ශ්‍රීලනිපය ඇතුළු පක්ෂ කිහිපයකුත් එක්ව පොහොට්ටුවෙන් තරග කරන නිසා මේ ප්‍රශ්නයට වැඩියෙන්ම මුහුණ දී සිටින්නේ පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් එක් දිස්ත්‍රික්කවලින් වැඩි අපේක්ෂකයන් සංඛ්‍යාවක් අපේක්ෂා කළ ද ඔවුන්ට දිස්ත්‍රික්කයකින් ලැබෙන වැඩිම කෝටාව දෙකකි. එයද දිස්ත්‍රික්ක දෙක තුනකට පමණි. අනෙක් හැම දිස්ත්‍රික්කයකින්ම ඔවුන්ට ලැබෙන්නේ එක් අපේක්ෂකයකු පමණි. කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් අපේක්ෂකයන් දෙදෙනකු බැගින් ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිපයට අවස්ථාව ලැබෙන අතර, එයද එම දිස්ත්‍රික්ක දෙකේ හිටපු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කෙරෙනු ඇත. ඊට පරිබාහිරව පොළොන්නරුව දිස්ත්‍රික්කයට ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී ඇත. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු මහඇමැති පේෂල ජයරත්න වෙනුවෙනි. ශ්‍රීලනිපය හා පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම නාමයෝජනා ලැබීමට නියමිතය. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. ඒ සඳහා හිටපු මහඇමැති සරත් ඒකනායක සහ හිටපු මන්ත්‍රී එරික් වීරවර්ධන ඉදිරිපත් වනු ඇති බව පැවැසේ. දකුණේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද ගාල්ල ශ්‍රීලනිප ලැයිස්තුවෙන් තරග කරනු ඇත. මේ අතර, ඌව හිටපු මහ ඇමැති චාමර සම්පත් දසනායක ද බදුල්ලේ ශ්‍රීලනිප ලැයිස්තුවෙන් තරග කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. එහෙත් බදුල්ල ශ්‍රීලනිප ලැයිස්තුවේ නිමල් සිරිපාල ඇමැතිවරයා සිටින බැවින්, එහි තවත් ශ්‍රීලනිප අපේක්ෂකයකුට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් තවමත් ස්ථිර තීරණයක් නැති බව පැවැසේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවලට සුබ මොහොතින් අත්සන් කිරීම ඉකුත් බදාදා පෙරවරුවේ සිදුවිය. ඒ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අගමැති මහින්දගේ නිල නිවසේදීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ හා ආණ්‍ඩුවේ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් එහිදී නාමයෝජනාවලට අත්සන් තැබිණි. ඇමැතිවරුන් හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අතර හිටපු ජනපති මෛත්‍රී ද නාමයෝජනා අත්සන් කරන තැනට පැමිණියේ අසීරුවෙනි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද මහින්ද පෙ.ව. 11.52ට යෙදුණ සුබ මොහොතින් කුරුණෑගල නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය. අනතුරුව ඒ ඒ දිස්ත්‍රික්ක වෙනුවෙන් එහි නායකයෝ අත්සන් තැබූහ. හිටපු ජනපති මෛත්‍රි අගමැති මහින්ද හා ජනපති ගෝඨාභය සමග ද කතාබහ කර ටික වේලාවකින් පිටව ගියේ නාමයෝජනාවලට අත්සන් නොකරමිනි. මාතලේ දිස්ත්‍රික්කයේ නාමයෝජනාවලට අත්සන් කරන්නට ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාට දන්වා තිබුණත්, ඔහු නොපැමිණියේ, මාතලේ අධිකරණයේ පැවැති නඩුවකට සහභාගි වී සිටි බැවිනි.


නාමයෝජනාවලට අත්සන් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මැති ඇමැතිවරුන් සමග තේ පැන් සංග්‍රහයකට එක්වූහ. නෙළුම් පොහොට්ටුවේ හැඩයට සැකසුණු කේක් ගෙඩියක් ද රැගෙනවිත් තිබූ අතර, මහින්ද කේක් ගෙඩිය කැපුවේ හැමෝගෙම අත්පොළසන් මැදය. මහින්ද කේක් ගෙඩිය කපා, කෑල්ලක් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා අතට දුන්නේ ‘ඔයා’ මේ අයට කවන්න කියමිනි. බන්දුල කේක් කෑල්ල මුලින්ම කැව්වේ විමල් වීරවංශ ඇමැතිවරයාටය. ‘හොඳ හිතින් නේද ඔබතුමා මට කේක් කවන්නෙ පරදින්න කියල නෙවෙයි නේද? යැයි විමල් කීවේ හැමෝම හිනස්සමිනි. ඊට හේතු වූයේ විමලුත් බන්දුලත් කොළඹින් එකම ලැයිස්තුවෙන් ඡන්දය ඉල්ලන අපේක්ෂකයන් දෙදෙනකු වීමය.


කලින් දින නාමයෝජනා පත්‍රවලට අත්සන් නොකළ අපේක්ෂකයන් නාමයෝජනාවලට අත්සන් තැබුවේ ගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේය. කොළඹ අරලියගහ මන්දිරයේදී අත්සන් කිරීමට කටයුතු සූදානම් කර තිබූ අතර, හිටපු ජනපති මෛත්‍රී ද එහිදී නාමයෝජනාවලට අත්සන් තැබුවේය. බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ද මෛත්‍රී නාමයෝජනාවලට අත්සන් කරද්දී එතැන රැඳී සිටියහ. මෛත්‍රී නාමයෝජනාවලට අත්සන් කරද්දී බැසිල් අත්පුඩි ගැසු අතර, රැස්ව සිටි පිරිස ද එය අනුකරණය කරමින් අත්පුඩි ගසන්නට වූහ.


මාතලේ දිස්ත්‍රික්කයට පොහොට්ටුවෙන් තරග කරන අපේක්ෂක ලැයිස්තුවට මෙවර තෙන්නකෝන්ලා දෙන්නෙක් ඇතුළත්ව සිටිති. එක් කෙනෙක් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ය. අනෙක් කෙනා ජනකගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ය. ජනක මෙන්ම ප්‍රමිත ද පොහොට්ටුව වෙනුවෙන් පසුගිය කාලයේ මාතලේ දිස්ත්‍රික්කයේ සෑහෙන වැඩ කොටසක් කළ කෙනෙකි. යහපාලන ආණ්ඩුව සමයේ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ද වූ ජනක දඹුල්ල ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ අවස්ථාවේ ප්‍රමිත සිය විරෝධය පළ කළේ ඔහු එවකට දැරූ මධ්‍යම පළාත් සභාවේ ඇමති ධුරයෙන් ද ඉවත් වෙමිනි. පළාත් ඇමැති ධුරයෙන් ඉවත්වීම ගැන දෙපාරක් හිතන්නයි ඔහුගේ හිතවතුන් කියද්දිත් ඔහු සිය තීරණය පරිදි ඇමැති ධුරයෙන් ඉවත් විය.   


ප්‍රසන්න පොදුජන අරගලයේ නොකී කතාව නමින් කෘතියක් ගිය සතියේ මිනුවන්ගොඩ දී එළි දැක්වූයේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා දැක්වූ දායකත්වය ගැන කියැවෙන එම කෘතිය රචනා කරන ලද්දේ මාධ්‍යවේදියකු වන ධනුෂ්ක ගොඩකුඹුර විසිනි. කෘතිය දොරට වැඩීමේ උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එන්නට නියමිතව සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ය. එහෙත් හදිසි කටයුත්තක් හේතුවෙන් ඔහු ආවේ නැත. ඒ වෙනුවට ආවේ බැසිල් ය. බැසිල් උත්සවයේ දී කීවේ තමා පොහොට්ටුවේ වැඩ ගැන තීන්දුවක් ගැනීමට පෙර ප්‍රසන්නගේ ඉරියව් දෙස විමසිල්ලෙන් බලන බව ය. මහ ඡන්දයට පොහොට්ටුවෙන් තරග කළ යුතු බව පක්ෂය තීන්දු කරන්නටත් පෙර ප්‍රසන්න තම බල මණ්ඩලය කැඳවා තීන්දු කර තිබූ බව ද බැසිල් කීවේ පොහොට්ටුවට ප්‍රසන්නගේ ඇති බැඳීම ගැන ද පැහැදිලි කරමිනි.



අදහස් (0)

අර්බුද මැද ශ්‍රීලනිපයට නාමයෝජනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 883 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site