මේ මොහොතේ මෙරට දේශපාලනය චමත්කාර ජනනයෙන් තොර නැතහොත් රොමෑන්තික ජනනයෙන් තොර කලාපයක් වී තිබීම සහ මෛත්‍රීපාල ආදර්ශය ප්‍රගතිශීලී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් හෝ සංශෝධනයක් දක්වා ගෙනයෑමේ අවශ්‍යතාව සහ හැකියාව පිළිබඳ අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි. මන්ද එවැනි ව්‍යවස්ථා කටයුත්තක් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීන්ට සතුට දනවන්නකි. ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී කථික කවටයන් පරීක්ෂාවට ලක්වන ලිට්මස් පරීක්ෂණයකි. විශේෂයෙන්ම ‘ජනවාරිවරුන්’ පරීක්ෂාවට ලක් කිරීමකි.

මේ ලිපියේ චමත්කාර ජනන දේශපාලනය යන්න  මා භාවිත කරන්නේ රොමෑන්තික බවකින් තොර දේශපාලනය හැඳින්වීම සඳහා ය. ඒ නිසා ලිපියේ තැන් තැන්වල ඒ වචන මිශ්‍රව යෙදී තිබීම ගැටලුවක් කර ගත යුතු නැත.
දේශපාලනය චමත්කාරජනක විය යුතුය. එනම් රොමෑන්තික විය යුතුය. රටක  දේශපාලනය චමත්කාර ජනන දේශපාලනයක් වන්නේ ඓන්ද්‍රීය විමුක්තිකාමී සමාජ ව්‍යාපාර බලවත් වන මොහොතක හෝ කාලයකය. ඒ සමාජ ව්‍යාපාර කෙරෙහි ජනයා ආකර්ෂණය වන්නේ කෙනකුගේ බලකිරීමක් නිසා නොව නිරායාසයෙනි. එනම් ස්වයං සිද්ධික ආකාරයෙනි. හතළිහ පනහ හැට හැත්තෑව දශකවල දක්නට ලැබුණු යටත්විජිත විරෝධී නිදහස් අරගල, ප්‍රංශ ශිෂ්‍ය අරගල, කළුජාතික විමුක්ති ව්‍යාපාර, හිපි ව්‍යාපාර, කම්කරු ව්‍යාපාර, වෘත්තීය සමිති ව්‍යාපාර සහ ස්ත්‍රී විමුක්ති ව්‍යාපාර  යනු එවැනි චමත්කාර ජනන දේශපාලන සමාජ ව්‍යාපාරයෝ ය.

ලංකාවේ නම් ආගමික පුනර්ජීවන ව්‍යාපාර, වමේ ව්‍යාපාර, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාර, පනස් හයේ ව්‍යාපාරය, රැඩිකල් තරුණ වාම ව්‍යාපාර, යනු ඊට උදාහරණයෝ වෙති. විමුක්ති ව්‍යාපාර නොමැති හෝ විමුක්තිකාමී හැඟීම් රහිත මිනිසුන් අඩු පසුබිමක දේශපාලනය චමත්කාර හරණ නැතහොත් රොමෑන්තික හරණ දේශපාලනයකි. එනම් හුදු බල ගනුදෙනුවක් පමණි. බල තරගයක් පමණි. ඉලෙක්ෂන් රණ්ඩුවක් පමණි. ඒ දේශපාලනය බොල්, වියළි, දරදඬු, නොහික්මුණු සහ ප්‍රතිමාන විරහිත එකකි.

ලංකාවේ චමත්කාර ජනන දේශපාලනයේ පිරිහීම සහ දේශපාලනයේ චමත්කාර හරණය පටන් ගැනෙන්නේ හැත්තෑව දශකයේ මැද සිටය. ඉන් පසු යම් යම් රැඩිකල් ප්‍රවණතා මතු වුවත් දේශපාලන තලය පුළුල් ලෙස චමත්කාරකරණය කිරීමේ හැකියාවක් ඒවාට තිබුණේ නැත. දේශපාලනයේ චමත්කාර භාවය ඕනෑම සමාජ ව්‍යාපාරයකට තිබිය හැකි එකකි. එනම් සුවිශේෂී කාරණය වන්නේ පුළුල් ලෙස දේශපාලනය චමත්කාරජනක වූ පසුබිමක වාම දක්ෂිණාංශික බේදයකින් තොරව, ජාතික ජාත්‍යන්තර බේදයකින් තොරව දේශපාලනයේ රොමෑන්තිකකම නැතහොත් චමත්කාරකම සහ ජනයාගේ ආකර්ෂණීය බව දක්නට ලැබීමය. එනම් චමත්කාරකම යනු පාර්ශවයකට පමණක් අදාළ දෙයක් නොවේ. මෙරට අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාර, පනස්හයේ ස්වදේශික ව්‍යාපාරය, හැත්තෑ එකේ ජවිපෙ නැගිටීම, හැත්තෑ හතේ මැතිවරණය, අනූ හතරේ මැතිවරණය ඊට නිදසුන් කීපයකි. රැල්ලක් ඇවිත් යනුවෙන් ජනයා කියන්නේ ඒ චමත්කාර ජනන දේශපාලන මොහොතවල් දකින විටය.

මේ කාලයේ ජාතික දේශපාලනයේත් ජාත්‍යන්තර දේශපාලනයේත් මේ අප කියන චමත්කාර ජනන ස්වරූපයක් දකින්නට නැත. ලෝකය පුරා මතු වී ඇති සමාජ දේශපාලන ව්‍යාපාර දෙස බලන විට පෙනී යන්නේ බොල්, වියළි, දරදඬු, නොහික්මුණු සහ ප්‍රතිමාන විරහිත භාවයකි. එසේ වන්නේ දේශපාලන ගැටුම තවදුරටත් ජනයා සඳහා නොවේය යන ආකාරයේ ප්‍රබල අවිඥානයක් ජන මනස තුළ පැලපදියම් වී ඇති නිසාද? නොඑසේ නම් සමාජ දේශපාලන ව්‍යාපාර කෙරෙහි වූ ජනතා විශ්වාසය කලක සිට බිඳ වැටීමේ හෝ බිඳ දැමීමේ ප්‍රතිඵලයක් ද? එසේත් නැතහොත් සමාජ දේශපාලන ව්‍යාපාරවල අවංකබව පිළිබඳ සැක සංකා ද? නැතහොත් සමාජ දේශපාලන ව්‍යාපාරවල ගුණාත්මකභාවය සහ ජනතාවාදී ගුණය බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ද? මේ ආදී කාරණා පිළිබඳව අපගේ අවධානය යොමුවීම අවශ්‍ය ය.
හේතු කුමක් වුවත් මේ මොහොතේ දේශපාලනය චමත්කාර ජනන කලාපයක් ලෙස ජනතාව පිළිගන්නේ නැත.

ප්‍රචාරණ කොම්පැනි සහ දේශපාලන උපාය මාර්ග සැලසුම් කිරීම සඳහා ගන්නා අපමණ උත්සාහ කිසිවක් තවම මේ රටේ දේශපාලන අවකාශය රොමෑන්තික කිරීමට අසමත්වීම මීට උදාහරණයක් ය. සිදුවී ඇත්තේ රොමෑන්තික වීම නොව තාක්ෂණික වීම ය. නැතහොත් කර්කශ ලෙස ‘විද්‍යාත්මක’ වීමය. හැඟීම් හරණය වීම ය. හුදු උපායික වීමය. ඒ නිසා රැල්ලක් හෝ රැලි මතුවීත් නැත, දකින්නටත් නැත. එය ලෝක තත්ත්වයක්  බව ඇත්තකි. ඉන් වාසි සැලසෙන්නේ ස්ථාපිත ක්‍රමයට මිස විමුක්තිකාමී දේශපාලනයට නම් නොවේ. විමුක්තිකාමී දේශපාලනයේ මහා අභියෝගය වන්නේ තම ව්‍යාපාර සහ අරමුණු රොමෑන්තික කරනුයේ කෙසේද යන්න ය.. වම මේ ගැන නැවත නැවතත් සිතා බැලිය යුතුය. මන්ද මහා සද්දෙන් කතාකළාට හෝ වේදිකා අලංකාර හෝ විධිමත් වූ නිසාම ස්වකීය දේශපාලන ජන අවකාශය රොමෑන්තික වන්නේ නැති නිසාය. නැතහොත් හැඟීම්බර වන්නේ නැති නිසා ය.

බොහෝ සමාජ දේශපාලන සංවිධාන තම රොමෑන්තික දුප්පත්කම වසා ගන්නේ තනි පුද්ගලයකු ස්වකීය ගැලවුම්කරුවා ලෙස තෝරා සමාජයට ඉදිරිපත් කිරීමෙනි. දශක ගණනාවක් තිස්සේ මේ රට මේ අත්දැකීම ලබමින් සිටී. අනූ හතරේ චන්ද්‍රිකා සහ ගාමිණී, දෙදහස් පහේ මහින්ද සහ රනිල්, දෙදහස් දහයේ මහින්ද සහ ෆොන්සේකා, දෙදහස් පහළොවේ මෛත්‍රී සහ මහින්ද, දෙදහස් දහනවයේ ගෝඨාභය, සජිත් සහ අනුර යනු ඊට නිදසුන් ය. චන්ද්‍රිකා, මහින්ද සහ මෛත්‍රී යන තුන්දෙනාම රැලි මතින් බලයට ආ අය ය. එහෙත් ඒ කිසිවකු නිසා ජන දේශපාලන කලාපය දිගුකාලීනව රොමෑන්තික වූයේ නැත. සමාජ ව්‍යාපාර බිහි වුණේද නැත. මේ නම් සඳහන් කළේ ඒ කිසිවකු හෝ උසස් කිරීමට හෝ පහත් කිරීමට නොව මා ගොඩනගන තර්කය තහවුරු කිරීම පිණිස පමණක් ම ය.

කොටින් ම කියතොත් මේ මොහොතේ මෙරට දේශපාලන අවකාශය රොමෑන්තික නැතහොත් චමත්කාරජනක නැත. මේ දේශපාලන අවකාශය රොමෑන්තික කිරීමට නැතහොත් චමත්කාරජනක කිරීමට කිසිවකු සමත් වීත් නැත. එක අතකින් මෙය අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවයට, කලාවට සහ අන් හැම ක්ෂේත්‍රයකටමත් අදාළය. ඒ කිසි කලාපයක් රොමෑන්තික හෝ චමත්කාර ජනනය කරන කලාප නොවේ. ඒවා බොල්, වියළි, දරදඬු, නොහික්මුණු සහ ප්‍රතිමාන විරහිත කලාපයෝ ය. මෙය රටක භාග්‍යයක් ද අභාග්‍යයක් ද යන්න අපගේ අවධානයට සහ සාකච්ඡාවට ලක් විය යුතු කාරණයකි.

මෛත්‍රී ආදර්ශය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් දක්වා ගෙනයා නොහැකිද? යන කාරණය ලිපියේ දෙවැනි කොටස ලෙස අවධානයට ලක් කරමු. මෙවර ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගත් ස්ථාවරය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පළමු සහ අපූරු සිදුවීමක් ය. රටේ ජනාධිපතිවරයා ලෙස ජනාධිපතිවරණයේ දී ස්වාධීනව සිටීමට ඔහු ගත් තීරණය හුදු දේශපාලන කෝණයකින් ම නොව සමාජයීය වශයෙනුත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙනුත් අතිශයින්ම වැදගත් එකකි. මීට පෙර කිසිදු නායකයකු එවැනි ස්ථාවරයක් ගෙන නැත. එහෙත් මේ ස්ථාවරයට දිය යුතු ගෞරවය සහ පිළිගැනීම තවමත් කිසිවකු නොව අඩුම තරමින් ස්වාධීන මැතිවරණ ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන නිතර කතාකරන අය විසින්වත් දී නැත. ඒ ඒවා ගැන ඔවුන්ගේ ඇති කැපවීමේ සහ වුවමනාවෙ තරම ය. මැතිවරණ කොමිසමටත් එහි අගය තවම වැටහී නැත.

බලයේ සිටින පාර්ශ්ව තම නිල තනතුරු හරහා රාජ්‍ය ධනය සහ පහසුකම් අවභාවිතයේ යොදවමින් තම මැතිවරණ ව්‍යාපාර පවත්වාගෙන යාමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය මෙරට දේශපාලනයේ දිගු කාලයක් තිස්සේ නඩත්තුවන කැත පුරුද්දකි. ජනාධිපතිකම, අගමැතිකම, ඇමතිකම, නියෝජ්‍ය ඇමතිකම, මන්ත්‍රීකම සභිකකම සහ අනෙකුත් නිල තනතුරු මැතිවරණවල දීත්  ජනාධිපතිවරණවල දීත් අනිසි ලෙස අයථා ලෙස අවභාවිතයේ යෙදවීම මෙරට දේශපාලකයෝ හිරිකිතයකින් තොරව සිදුකරති. ජනාධිපතිවරයා ගත් ස්ථාවරය වනාහි එවැනි ක්‍රියාවලට ආදර්ශයෙන්ම විරුද්ධවීමකි. මේ ආදර්ශය රටේ නීතියක් බවට පත්කොට ඉතාම සාධාරණ, නිදහස්, ස්වාධීන මැතිවරණ සඳහා පසුබිම සකසා ගත යුතුය යන්න මගේ යෝජනාවය. එවැනි ප්‍රතිමාන වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ පුද්ගල ක්‍රියාකාරීන් ඊට එකඟ විය යුතුය. මන්ද එය ඔවුන්ගේ අවංකකම පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක් වන නිසා ය.

යෝජනාව මෙයයි. මැතිවරණ හෝ ජනාධිපතිවරණ පැවැත්වෙන විට ජනාධිපතිකම, අගමැතිකම, ඇමැතිකම, නියෝජ්‍ය ඇමැතිකම, මන්ත්‍රීකම සභිකකම සහ අනෙකුත් නිල තනතුරු අවභාවිතයේ යොදාගනිමින් මැතිවරණ ව්‍යාපාරයේ නිරතවීම වැළැක්වීම සඳහා පියවර ගත යුතුය. එම තනතුරු දරන්නන්ට මැතිවරණ ක්‍රියාවලියේ නිරතවීමට අවැසි නම් ඔවුන් එම ධුරවලින් ඉල්ලා අස්විය යුතුය. නැතහොත් තනතුරු දරමින් මැතිවරණ ක්‍රියාවලියේ නිරතවන අය එම තනතුරුවලින් ඉවත් කරන නීති සකසා ගත යුතුය.

විශේෂයෙන්ම අඩුම තරමින් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වන්නන් ඔවුන් දරන තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු ම ය යන නෛතික විධිවිධාන සකසා ගැනීම අවශ්‍ය ම ය. එසේත් නැතහොත් මැතිවරණ ස්වාධීන භාරකාර ආණ්ඩුවක් යටතේම පැවැත්වීමේ ක්‍රමයක් සකසා ගත යුතුය. මේ ගැන සිතා ක්‍රියාත්මකවීමට මෛත්‍රී ආදර්ශය පිටුබලයක් කරගත යුතු ම ය යන්න මගේ අදහස සහ යෝජනාව ය.

ධම්ම දිසානායක