ඉතිහාසයේ මෙවන් සතියක...

සීසර් ඝාතනය කරන අවස්ථාව සිතුවමක්.

 

 

සෙනට් සභාවේ මන්ත්‍රීන් පිරිසක් එක්වී තම රටේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමක් සිදුව ඇත්තේ එක් වතාවක් පමණි. ඒ රෝම අධිරාජ්‍යයා වූ ජුලියස් සීසර් මරා දැමීමයි. 


මේ සිදුවීම වූයේ ඉතිහාසයේ මෙවන් සතියක මාර්තු මස 15 වැනි දින දීය. 


ජුලියස් සීසර් යනු ලෝක ඉතිහාසයේ ම අද්විතීය චරිතයකි. පැරණි පුරාවෘත්ත අනුව ලෝකයේ මුල් වරට වෛද්‍යවරු විසින් ගැබිණි මවකගේ උදරය විවෘතකර බිහිකළ පළමු දරුවා වන්නේ සීසර් ය. මේ නිසා ඒ සැත්කම සීසර් කිරීම යනුවෙන් අදට ද හැඳින්වේ. 


ඔහු පසු කලෙක රෝමයේ හමුදා ජනරාල්වරයකු මෙන්ම රාජ්‍ය නායකයා ද වූ අතර ලතින් ගද්‍ය සාහිත්‍යයේ නිර්මාතෘවරයා ද වූයේය. එවකට පැවැති රෝම සමූහාණ්ඩුව බිඳ වැටීමට සලස්වා ඒ වෙනුවට රෝම අධිරාජ්‍යය ගොඩනැගූ යුග පුරුෂයා වූයේ ද ජුලියස් සීසර්ය. ක්‍රිස්තු පූර්ව 100 ජූලි මස 12 වැනිදා උපත ලැබූ සීසර්ගේ පියා වූයේ ගයියස් සීසර් නමැති නීතිඥයෙකි. මව අවුරේලියා නම් වූවාය. ධනවතුන් නොවූ මේ පවුලේ පියා සීසර් 16 වැනි වියේ දී මියගියෙන් පවුලේ මූලිකයා බවට පත්වූ ජුලියස් සීසර් දේශපාලනයට එකතුවන්නේ ආර්ථික අපහසුතා හේතුවෙනි. 


16 වැනි වියේ සිටිය දී ම ඔහු කොර්නේලියා සමග විවාහ වූ අතර ජුලියා නම් දියණියකට ද උපත දුන්නේය. නමුත් ක්‍රිස්තු පූර්ව 69 දී කොර්නේලියා මියගියෙන් ඉන් වසර දෙකකට පසු සීසර් පොම්පියා නම් කාන්තාවක හා විවාහ වූයේය. මේ විවාහය වැඩිකල් පැවතියේ නැත. දෙපළ ඉන් වසර පහකට පසු දික්කසාද වූ අතර අනතුරුව සීසර් කැල්පුර්නියා නම් කාන්තාවක සමග විවාහ වී තිබේ. 


රෝම හමුදාවේ නිලධාරියකු වූ සීසර් ආසියානු ප්‍රදේශ සමග පැවැති යුද කටයුතුවල දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ම රෝමය විසින් පිරිනමන ඉහළම හමුදා ගෞරව සම්මානය වූ “කොරෝනා සිවියා”‍ නමැති සම්මානයට ද හිමිකම් කීවේය. ඉන් අනතුරුව ක්‍රිස්තු පූර්ව 65 දී රෝමයේ මහේස්ත්‍රාත්වරයකු ලෙස ද පත්වූ සීසර් බටහිර මධ්‍යම හා දකුණු දිග ස්පාඤ්ඤයේ ආණ්ඩුකාරවරයා ලෙස ද පත්ව විශාල සේවයක් කළේය. එකල එහි සිටි ගෝත්‍රික ජන කණ්ඩායම් තම තියුණු බුද්ධිය හා පාලන හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙහෙයවූ සීසර් ජනප්‍රිය පුද්ගලයකු බවට පත්වූයේය. 


ජනප්‍රිය සම්ප්‍රදායට අයත් වූ දේශපාලනඥයකු ‍වූ සීසර් නිල නොවන අයුරින් මාර්කස් ලිසිනියස් ක්‍රැපස් සහ නීයස් පොම්පියස් සමඟ සම්බන්ධතාවක් ගොඩනගාගෙන රෝමානු දේශපාලන කරලිය වසර කිහිපයක් තිස්සේ පාලනය කළේය. සීසර් රෝමයේ පාලකයා බවට පත්වීමට මේ සබඳතාව හේතුවක් වූ අතර මේ තිදෙනාගේ එකතුව රෝමවරු විසින් හඳුන්වන ලද්දේ “ඔළු තුනේ මෘගයා”‍ යනුවෙනි. 


කෙසේ නමුත් ඔහුගේ මෙම පාලන ක්‍රමයට ඔප්ටි මෙට්ස් සම්ප්‍රදා‍යට අයත් වූ රෝමානු සෙනෙට් සභිකයන් වූ මාකස් පෝසියස් කැටෝ සහ මාකස් කැල්පර්නියස් බයිබලස් වැනි පුද්ගලයන් විරුද්ධ වූහ.


සීසර් ගෝල් ප්‍රදේශය යටත් කර ගැනීමත් සමඟ රෝමානු පාලනය අත්ලාන්තික් සාගරය දක්වාම විහිදී ගිය අතර මුල් වරට රෝමය මඟින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරන ලද්දේ ද සීසර්ගේ මෙහෙයවීම යටතේය. මෙම ආක්‍රමණය ක්‍රිස්තු පූර්ව 55 දී සිදු වූ බව වාර්තා වෙයි. ඉන් නොනැවතුණු සීසර් ක්‍රිස්තු පූර්ව 49 දී තම හමුදාවන් රු‍බිකෝන් නදිය හරහා මෙහෙයවමින් සිවිල් යුද්ධයක් ආරම්භ කළ අතර ඒ ඔස්සේ ඔහු ‍රෝමානු අධිරාජ්‍යයේ අනභිභවනීය නායකයා බවට පත්විය.


රාජ්‍ය පාලනය සියතට ගැනීමත් සමඟ සීසර් රෝමානු සමාජයට සහ එහි පාලන ක්‍රමයට දැඩි සංශෝධන එක් කළේය. ඔහු ජීවිත කාලය පුරාව‍ටම රෝම අධිරාජ්‍යයා ලෙසට නම් කරන ලද අතර ජනරජයේ පාලන තන්ත්‍රය දැඩි ලෙස ඔහු වටා කේන්ද්‍රගත විය. සීසර් තම තීරණ සෙනට් මන්ත්‍රී මණ්ඩලයට වාර්තා කිරීම පමණක් සිදු කළ අතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හෝ විවාද ඔහු අපේක්ෂා කළේ නැත. අවසන් තීරණය වූයේ සීසර්ගේ තීරණයයි. ඒනිසා ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස පිළිගැනීමට බොහෝ දෙනා අකැමැති වූහ. 
දම් සහ රන්වන් වර්ණය සහිත ඇඳුමකින් නිතර සැරසී සිටි සීසර් සියලු‍ රාජ්‍ය උත්සවවල දී රන් ආලේපිත අසුනක සිටින ආකාරය දක්නට ලැබිණි. ඔහු තම අසුනේ සඳන් කර තිබුණේ “පරාජය කළ නොහැකි දෙවියෙක්” යනුවෙනි. 


ඊජිප්තුව ආක්‍රමණය කළ සීසර් එහි සිටි ක්ලියෝපැට්රා රැජිණව තම අනියම් බිසව බවට පත්කර ගත්තේ ලාබාල ඇගේ රූ සපුවට වශී වීම හේතුවෙනි. ඊජිප්තුවේ සිට රෝමයට පැමිණ වාසය කළ ක්ලියෝපැට්රා රැජින සීසර් මියයනවිටත් රෝමයේ නිවසක සිටි බව කියැවේ. ඇගේ බාල දරුවා සීසර්ගෙන් ජන්මය ලද බව ද ඉතිහාසයේ සඳහන්ව ඇත.  
මහා අධිරාජ්‍යයකු වුව ද සීසර් කිසිම අවස්ථාවක පුද්ගලික ආරක්ෂකයකුගේ සේවය නොගත් බව ද සඳහන් වේ. මෙය ඔහුගේ විරුද්ධවාදීන්ට මහඟු‍ අවස්ථාවක් වූයේ ක්‍රිස්තු පූර්ව 44 මාර්තු 15 වැනි දිනයේ දී ය. 


සීසර් සෙනෙට්‌ මන්ත්‍රී මණ්‌ඩලයේ රැස්‌වීමට සහභාගි වීමට පැමිණෙමින් සිටියේය. රැස්‌වීම පැවැත්වූයේ පොම්පේයි විසින් තාවකාලිකව තනා තිබූ නිල නිවාසයක ඉදිරිපසය. එයට හේතුව වූයේ වෙනදා රැස්‌වීම් පවත්වන සෙනේට්‌ මන්ත්‍රී මණ්‌ඩල ගොඩනැගිල්ල ගින්නෙන් විනාශවී පිළිසකර කරමින් පැවැති හෙයිනි. 


මාකස්‌, ජූනීස්‌, බෲටස්‌, ගායියස්‌, කැසියස්‌, කොන්ගිනස්‌, ඩෙසිමස්‌, ඇල්බිනුස්‌ සහ ට්‍රිබෝනස්‌ ප්‍රමුඛ හැටදෙනකුගෙන් යුත් කුමන්ත්‍රණකාරීන් පිරිසක්‌ එම රැස්‌වීම් ශාලාවට ඇතුළු වූහ. ඔවුන් එසේ ඇතුළු වූයේ අනිත කෙටි කඩු හෝ උල් පිහි ඔවුන් හැඳ සිටි නිල ඇඳුම් තුළ සඟවාගෙනය.


පොම්පේයි ප්‍රතිමාවේ පාදම අසල සිටගෙන සිටි සීසර්ට ඔවුන් එක්‌වරම තම ආයුධවලින් පහර දුන් අතර සීසර්ගේ මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරු පවසා ඇත්තේ තියුණු ආයුධවලින් සිදුකරන ලද තුවාල 23ක් සීසර්ගේ සිරුරේ දක්නට ලැබුණු බවයි. 


සීසර් ඝාතනයේ අරමුණ වූයේ රෝම ජනරජය එහි මුල් තත්ත්වයට ගෙන ඒමයි. කෙසේ නමුත් මෙහි ප්‍රතිඵලය වූයේ තවත් රෝමානු සිවිල් යුද්ධයක් ඇරඹීමයි. එය අවසානයේ දී රෝමය සීසර් විසින් හදාවඩාගත් ඔහු‍ගේ පුත්‍රයා වූ ගයිස් ඔක්ටවියානස් යටතේ ඒකාධිපති පාලන ක්‍රමයකට යටත් විය. ක්‍රිස්තු පූර්ව 42 දී එනම් සීසර්ගේ ඝාතනයෙන් වසර දෙකට පසු සෙනෙට් සභාව විසින් නිල වශයෙන් සීසර් රෝමානු දෙවිවරයෙකු ලෙස නම් කරන ලදී.


සීසර්ගේ ජීවි‍තයෙන් වැඩි කොටසක් පිළිබඳ තොරතුරු හෙලි කරගෙන ඇත්තේ සීසර් විසින්ම තම හමුදා ව්‍යාපාර ‍ගැන ලියා තැබූ විස්තර සහ අනෙකුත් සමකාලීන මූලාශ්‍ර ඇසුරිනි. මේ මූලාශ්‍ර අතරට සීසර්ගේ දේශපාලනික විරුද්ධවාදියා වූ සිසේරෝ විසින් ලියූ ලිපි සහ ඔහු විසින් සිදු කළ දේශන යනාදියත් සැලස්ට් විසින් ලියන ලද පුරාණ ලේඛනත් කැටලස් විසින් ලියූ කවි පද යනාදියත් අයත් වේ. 


එබැවින් මේ සිද්ධිය ලෝක ඉතිහාසයේ ඉතා පැහැදිලි ලේඛනගත සිදුවීමක් ලෙස ප්‍රකටය.

 

 

 

සජීව විජේවීර
ඡායාරූප අන්තර්ජාලයෙනි