ශ්‍රී ලංකාවේ වර්තමාන පාලනය බරපතළ සමාජ ගැටලූ කීපයකට මුහුණ දෙමින් සිටින බව නිතර පළ කෙරෙන මාධ්‍ය වාර්තා අනුව පෙනී යයි. කුණු කසළ ප‍්‍රශ්නය සහ සයිටම් ගැටලූව එයින් මුල් තැනක් ගනී. එයිනුත් සයිටම් අවුල විශේෂිතය. එයට සම්බන්ධ පාර්ශ්ව ගණන අති විශාලය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව, වෛද්‍ය වෘත්තිකයන්, සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ විවිධ අංශ නියෝජනය කරන වෘත්තීය සමිති, රෝගී පිරිස, රජය, නොයෙකුත් දේශපාලන බලවේග, සයිටම් පාලනාධිකාරිය මෙයින් ලබාදෙන පූර්වාදර්ශය දෙස සුපරීක්‍ෂාවෙන් යුතුව බලා සිටින දේශීය විදේශීය ව්‍යාපාරික සහ ආයෝජක ප‍්‍රජාව රටේ මහජනතාව සහ රටේ දේශපාලන ස්ථාවරත්වය ගැන උනන්දුවක් දක්වන ජාත්‍යන්තර බලවේග ද ඒ අතර වේ. තවත් පාර්ශ්ව ද තිබිය හැකිය. එහෙත් මෙම සංකීර්ණ හා අවුල් සහගත ප‍්‍රශ්නයේ නියාමක බලවේගය වන්නේ මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංහතියයි.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංහතිය යනු මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින, ජාතියේ අරටුව බඳු සුවිශේෂී ජන කොට්ඨාසයයි. අනාගතයේ බිහිවන බුද්ධිමතුන් ජන නායකයන්, පර්යේෂකයන්, විද්‍යාඥයන්, පරිපාලකයන් සහ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් අති බහුතරය සිටින්නේ මෙම කුලකයේය. අද පොලිසිය සමඟ ගැටෙන්නේ, ඔළු පලා ගනිමින් බැටන් පහරට ලක්වන්නේ, රෝහල් ගතවන්නේ සහ සිරකූඩුවල දුක් විඳින්නේ අනාගතයේ දේශය බබළවන්නට සිිටින බුද්ධිමය අංකුර බව අපි දනිමු. මෙය වඩාත් තහවුරු කරන නිදසුන වන්නේ වත්මන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇමති රාජිත සේනාරත්න මහතා, ඇමති ඇස්. බී. දිසානායක මහතා, ඇමති දයාසිරි ජයසේකර මහතා, ඇමති කරු පරණවිතාන මහතා ඇතුළු බොහෝ දෙනෙකු විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයන් සහ ක‍්‍රියාධරයන් වූ බව කියවෙන බැවිනි. අද මේ රුධිරය වගුරුවමින් තම අයිතිය වෙනුවෙන් බව කියමින් සටන් වදින්නේ අපේ අනාගත ජනාධිපතිවරු, අගමැතිවරු සහ කැබිනට් ඇමතිවරුන් නොවේ යයි කාට නම් කිවහැකිවේද? අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වරෙක මෙසේ පවසා ඇත.
 
”මම විශ්ව විද්‍යාලයට ඇතුළු වුණේ එහි විශාල අර්බුදයක් මැද. කෙළින්ම මහ මුහුදට පැන පිහිනනවා වගේ දෙයක් තමයි මම විශ්ව විද්‍යාලයෙන් එදා දේශපාලනයට ඇතුළු වුණේ. ඒ කාලයේ දීර්ඝතම ශිෂ්‍ය අරගලය ගෙන ගියේ කොළඹ විශ්වවිද්‍යාලයයි. පළමුවැනි වතාවට ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු මේ වගේ තනතුරක (අග‍්‍රාමාත්‍ය ධුරයේ*. එහෙනම් මගේ සාර්ථකත්වය ලංකා විශ්වවිද්‍යාලයේ සාර්ථකත්වයයි.”
 
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ  ඕනෑම රටක ශිෂ්‍යයන් තම අරමුණු කරා ගමන් කරන්නේ තාරුණ්‍යයේ ජවයත් උපයෝගි කර ගනිමිනි. තරුණකම වූ කලී ආවේගශීලිය. වේගවත්ය, එමෙන්ම පෙරළිකාරීය. අද වැඩිහිටි බවට පත්ව සිටින  ඕනෑම කෙනෙකු එතැනට පැමිණ ඇත්තේ තරුණ විය පසුකරගෙනය. එනිසා සෑම වැඩිහිටියෙකුගේම යුතුකම වන්නේත් තාරුණ්‍යයේ ජවය සහ පෙරළිකාරිත්වය විමසිය යුතු වන්නේත් තමාගේ තරුණ වියේ කටයුතු කළ ආකාරය ගැන සමානුරූපීව ගළපා ගැනීමෙනි. එසේ නොකොට අද සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසිභාවයේ ආකල්ප සහ විකල්ප ඔස්සේ ප‍්‍රශ්න විග‍්‍රහ කිරීම අනතුරුදායකය.
එසේ ප‍්‍රශ්න විසඳීමට යාම නිසා අපහසුතාවට පත් වූ ඉතා බලවත් රාජ්‍ය නායකයකු පිළිබඳව අප සිහියට නගන්නේ කිසිදු පාර්ශ්වයකට අනතුරු හැඟවීමකට නොව ඉතිහාසයේ අත්දැකීම සිහියේ තබා ගැනීම වඩාත් ප‍්‍රයෝජනවත් විය හැකි නිසාය. මෙම ගැටලූවට මුහුණ දුන්නේ සුළුපටු පුද්ගලයකු නොව ලෝකයේ මහ බලවතුන් හතර දෙනා ලෙස සලකන ලද සෝවියට් රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය යන අති බලසම්පන්න රාජ්‍යයන්ගෙන් එකක් වූ ප‍්‍රංශයේ ප‍්‍රතාපවත් නායකයා වූ චාල්ස් ඩිගෝල් මහ සෙනෙවියාය. බුද්ධියේ සහ තාරුණ්‍යයේ සම්මිශ‍්‍රික සංකේතය වූ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවගේ පෙරළිකාරී අභිලාෂයන් හා එහි ශක්තිය නිසි පරිදි වටහා නොගැනීම නිසා ජෙනරාල් චාල්ස් ඩිගෝල් ජනසම්මතවාදී ප‍්‍රංශ සමූහාණ්ඩුවේ ජනාධිපතිධුරය නමැති මිණි කිරුළ අහිමි කර ගත්තේය. ප‍්‍රංශය දෙවැනි ලෝක මහා සංග‍්‍රාමයේදී පැසිස්ට්වාදී හිට්ලර්ගේ ප‍්‍රහාර හමුවේ දණින් වැටී තම ප‍්‍රතාපය අහිමි කොටගෙන සිටියේය. එමෙන්ම ‘‘යුරෝපයේ ලෙඩ කපුටා’’ ලෙස විරුදාවලි ලබමින් අපකීර්තියට පත්ව මාස කීපයකට වරක් ආණ්ඩු පෙරළෙමින් අස්ථාවර රටක් බවට පත්ව තිබුණු ප‍්‍රංශය යළිත් දෙපයින් සිටුවා ශක්තිමත් කළේ ඩිගෝල්ය. ශිෂ්‍ය අරගලය හමුවේ ඔහු පරාජිතයකු කිරීමට ගතවූයේ ඉතා කෙටි කාලයකි. අප මේ විමසන්නේ ලෝක ඉතිහාසයේ එම ඉතා විරල ගණයේ අත්දැකීමයි.
සියවස් කාලයක් මුළුල්ලේ ප‍්‍රංශය නමැති රාජ්‍යය ඒකීය රටක් වශයෙන් පමණක් නොව අධි රාජ්‍යයක් ලෙස ද ඉතිහාසයේ නමක් දිනා සිටියේය. යුරෝපයේ ආසියාවේ අප‍්‍රිකාවේ පමණක් නොව ඈත උතුරු ඇමෙරිකාවේ කැනඩා රාජ්‍යය දක්වා මෙම අධිරාජ්‍යය පැතිරී තිබුණි. කැනඩාවේ කියුබෙක් ප‍්‍රාන්තය අදටත් ප‍්‍රංශ බස කථාකරන බහුතරයක් සිටින ප‍්‍රදේශයකි. ප‍්‍රංශ දේශසීමාවට මායිමේ පිහිටි ඔස්ට්‍රො හන්ගේරියානු අධිරාජණියගේ දියණියක වූ මාරි ඇන්ටොනයිට් කුමාරිය ප‍්‍රංශයේ දහසය වැනි ලූවී රජුට ආවාහ කර දීමෙන් මෙම අධිරාජ්‍යයන් දෙකම ඒකාබද්ධ වූවාක් මෙන් පෙනුණු අතර යුරෝපයේ අතිවිශාල භූමි ප‍්‍රදේශයක් එම විවාහය මත කේන්ද්‍රීය පාලනයන්ට නතුව ශක්තිමත්ව පැවතියා වූවද ඒ කෙරෙහි ජනයාගේ අසතුට නැගී ආවේය. එහි ප‍්‍රතිඵලයක් වූවේ ප‍්‍රංශ විප්ලවයයි. පසුව නැපෝලියන් බොනපාට් යටතේ රුසියාවේ විශාල ප‍්‍රදේශයක් සහ ඊජිප්තුව දක්වා අති විශාල අධිරාජ්‍යක් ප‍්‍රංශයට අයත්ව පැවතියේය. කලින් කලට මෙම ශක්තිය අඩුවැඩි වෙමින් පැවති අතර දෙවැනි ලෝක මහා සංග‍්‍රාමය ආරම්භ වීමේදී හිට්ලර්ගේ මුල් ප‍්‍රහාරවලදීම අබල දුබල වී ගියේය. මෙම පරිහානිය නිසා අසරණව යුරෝපයේ ලෙඩ කපුටා නමින් අවමානයට මුහුණදුන් ප‍්‍රංශය යළි ස්ථාවර රාජ්‍යයක් වශයෙන් කරළියට ගෙන ආවේ චාල්ස් ඩිගෝල් නමැති ප‍්‍රතාපවත් නායකයා විසිනි.
 
මුල් කාලයේදීම යුද්ධ හමුදාවට බැඳී ලබන ලද පුහුණුවෙන් පසු ප‍්‍රංශ යුද හමුදාවේ උසස් නිලයකට පත්ව යුද සේවයේ යෙදුණු චාල්ස් ඩිගෝල් තම රට පත්ව තිබෙන පරිහානිය ගැන අතිශයින්ම කම්පාවට පත්විය. ‘‘ප‍්‍රංශය නම් මම වෙමි. එහි ගැලවුම්කරුවා මමයි’’ යැයි ප‍්‍රකාශ කරමින් ප‍්‍රංශ ජනතාව දිරිමත් කළ ඔහු එඩිතර මෙන්ම මරණය හමුවේ වූවද පසුනොබසින විශිෂ්ට ගණයේ සොල්දාදුවෙක් වූවේය. පළමුවැනි ලෝක මහා යුද්ධයේදී සිව් වතාවක් තුවාල ලැබූ ඩිගෝල් සතුරාගේ අත්අඩංගුවට පත්විය. එහෙත් අධෛර්යට පත් නොවූ මෙම තරුණ නිලධාරියා සිරගෙයින් පැන ගියේය. එහෙත් ඔහුගේ සුවිශේෂී කාය ලක්‍ෂණ නිසා කව්රුත් ඔහු දැන සිටියේය. අඩි හයකුත් අඟල් හයක් උස දැවැන්ත සිරුර නිසා මෙම යුද සෙනෙවියාට සිදුවූයේ ඉමහත් අවාසියකි. ඔහු හඳුනාගත් සතුරෝ නැවතත් ඩිගෝල් සිරගත කළහ.
මෙවැනි වික‍්‍රමාන්විත ගති ලක්‍ෂණවලින් හෙබි චාල්ස් ඩිගෝල් 1958 දි රටේ ජනාධිපතිවරයා ලෙස පත්වූවේ අතිවිශාල ජන ප‍්‍රසාදයක් ලබමිනි. දෙවන ලෝක මහා යුද්ධයේදී ඔහු කළ සේවය බොහෝ දුරටම එයට හේතුවිය. හිට්ලර්ගේ පහරදීම හමුවේ ඇද වැටුණු ප‍්‍රංශය එවකට පාලනය කරමින් සිටියේ මාෂල් පතේන් නමැති සෙනෙවියෙකි. ඔහු තම රටවාසී ජනතාවගේ අභිලාෂයට පිටුපාමින් මාතෘ භූමිය සතුරාට පාවා දෙමින් හිට්ලර්ට පක්‍ෂපාතීත්වය ප‍්‍රකාශ කළේය. ඩිගෝල් මෙයට විරුද්ධ වී බි‍්‍රතාන්‍යට පලා ගියේය. එහි සිට ප‍්‍රංශය වෙනුවෙන් තාවකාලික රජයක් මෙහෙයවීය. බි‍්‍රතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ඇමෙරිකා ජනාධිපති ෆ‍්‍රැන්ක්ලින් රූස්ට්වෙල්ට් යන නායකයෝ ඩිගෝල්ට උදව් කළහ. ”ප‍්‍රංශය සටනක් පැරදුණු බව ඇත්තයි. එහෙත් යුද්ධය පැරදුණේ නැත. අපි එය ජය ගන්නෙමු.” කියමින් ඔහු ප‍්‍රංශය වෙනුවෙන් කැපවූවේය. හමුදා සේවයේ යෙදී සිටියදී පලායාම ගැන චෝදනා කර මාෂල් පතේන් ඩිගෝල්ට විරුද්ධව යුදධාධිකරණයේ නඩු පැවරීය. ඩිගෝල්ට මරණීය දණ්ඩනය නියම විය. එහෙත් ඔහු අල්ලා ගත නොහැකි විය. ලන්ඩයේ ජීවත් වූ බැවිනිි.
 
ඩිගෝල් ප‍්‍රංශයේ රාජ්‍ය නායකත්වය භාර ගන්නා අවධියේ ඒ රටේ දැවෙන ප‍්‍රශ්නයක්ව තිබුණේ ඇල්ජීරියානු ප‍්‍රශ්නයයි. එය ඉතා සංකීර්ණ ප‍්‍රශ්නයක් වශයෙන් ලෝක සාමයට ද තර්ජනයක්ව පැවතුණි. උතුරු අප‍්‍රිකාවේ විශාල රටක් වූ ඇල්ජීරියාවේ ජනතාව අරාබි සංස්කෘතියෙන් පෝෂණය ලද ඉස්ලාම් ආගම අදහන බහුතරයකින් සමන්විත වූ රටකි. ප‍්‍රංශ යටත් විජිතයක් වශයෙන් දීර්ඝ කාලයක් පැවතීම නිසා එහි පදිංචි වූ ප‍්‍රංශකාරයෝ ද බහුල වූහ. හැටේ දශකයේ මුල් යුගයේ පැවති ලෝක ප‍්‍රවණතාවට අනුව එම රටේ ජනතාව ද තමන්ට ජාතික නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් මාරාන්තික ගරිල්ලා සටනක් මෙහෙයවමින් සිටියහ. එයට නායකත්වය දුන්නේ බෙන් කෙඩා සහ බෙන් වෙලා යන නායකයෝය. ඇල්ජීරියානු ජාතික විමුක්ති පෙරමුණේ ධජය යටතේ ඔවුහු සටන් වැදී සිටියහ. ප‍්‍රංශ රජය එරටට නිදහස ලබා දීමට යම් පමණක එකඟ බවක් පෙන්වූවත් එයට එරෙහිව සටන් වැදුණු ආයුධ සන්නද්ධ කල්ලියක් ප‍්‍රංශයේත් ඇල්ජීරියාවේත් සටන් වැදී සිටියේය. එහි නායකයා වූවේ රාවුල් සලාන් නමැති ප‍්‍රංශ ජාතික යුද නායකයෙකි. ඔවුන්ගේ මතය වූවේ කිසිදු හේතුවක් නිසා ප‍්‍රංශය ඇල්ජීරියාවට නිදහස ලබා නොදිය යුතු බවය. එය සදාකාලිකව ප‍්‍රංශ යටත් විජිතයක් වශයෙන් තබාගත යුතු බව ඔවුන්ගේ මතය විය. මෙම තුන්කොන් සටන නිසා ප‍්‍රංශයේත් ඇල්ජීරියාවේත් වැගිරුණු රුධිරය අපමණය. මේ ගැන කිසිදු බියක් නොදැක් වූ ඩිගෝල් දක්‍ෂිණාංශික අන්තවාදීන්ට කන් නොදී එම රටට නිදහස ලබා දුන්නේය. 
 
ස්ථාවර දේශපාලන වාතාවරණයක් නොමැති නිසා සතියෙන්, මාසයෙන්, වර්ෂයෙන් දෙකෙන් ප‍්‍රංශයේ ආණ්ඩු වැටෙමින් තිබෙන වකවානුවක චාල්ස් ඩිගෝල් බලයට පත් වූවේය. රටට ස්ථාවර රජයක් ඇති කිරීමට නම් තමාට පූර්ණ බලැති විධායක ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයක් අවශ්‍ය බව ඔහු දැඩිව කියා සිටියේය. ප‍්‍රංශ ජනතාව එම ශක්තිය ඔහුට ලබාදුන්නේය. පොරොන්දු වූ පරිදි ප‍්‍රබල ප‍්‍රංශයක් ඔහු නිර්මාණය කළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් බින්දුවට වැටී තිබුණු ෆ‍්‍රෑන්ක් මුදල් ඒකකය ක‍්‍රමයෙන් ශක්තිමත් විය. විශාල ආර්ථික දියුණුවක් ද සැලසුනි.
 
දෙවැනි ලෝක මහා සංග‍්‍රාමයෙන් පසු නව ලෝක රටාවක් ඇති කිරීම උදෙසා පවත්වනු ලැබූ මහා බලවතුන් හතර දෙනාගේ යෝල්ටා සමුළුව මෙන්ම ඉන්පසු අන්තර්ජාතික ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රංශයට හිමි බලවත් තත්ත්වය නිසැකවම ස්ථාවර විය. එහෙත් බටහිර කඳවුරේ ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය ආදී රටවලට වඩා වෙනස් ස්වාධීන විදේශ ප‍්‍රතිපත්තියක සිට ඩිගෝල් රට පාලනය කළේය. ඔහු කටයුතු කළේ ප‍්‍රංශයට වාසි ගෙන දෙන තමන්ගේම ප‍්‍රතිපත්තියක සිටිමිනි.
 
එහෙත් සියල්ල සර්ව ශුභවාදී නොවීය. ජෙනරාල් චාල්ස් ඩිගෝල් බලයට පත්වීමෙන් දසවැනි සංවත්සරය එළඹෙද්දී සෝබෝන් විශ්ව විද්‍යාලයේ සිසුන් අතර බරපතළ නොසන්සුන්කමක් හට ගත්තේය. තම ජීවන තත්ත්වය උසස් කර ගැනීමේ අරමුණ ඇතිව ප‍්‍රංශයේ සංවිධානාත්මක කම්කරු පංතිය තමන්ගේ වෘත්තීය ඉල්ලීම් රජය වෙත ඉදිරිපත් කරමින් සිටියේය. ප‍්‍රංශයේ කම්කරු පංතියට ඓතිහාසික වශයෙන්ම හිමිවන ගෞරවයක් ද වේ. ලෝකයේ ප‍්‍රථම සමාජවාදී විප්ලවය සිදුකර එය සාර්ථකත්වයට මඟ පාදා පැරිස් කොමියුනය නම් සමාජවාදී පාලන ඒකකය ගොඩනැගීම සිදුකළ විප්ලවවාදී ක‍්‍රියාදාමයේ ගාමක බලවේගය වූයේ ප‍්‍රංශයේ ගොවි කම්කරු පීඩිත ජනතාවයි. එසේම ඩිගෝල්ගේ යුගය වනවිට ද ප‍්‍රංශයේ ඉතා බලගතු කොමියුනිස්ට් පක්‍ෂයක් ක‍්‍රියාත්මක වෙමින් තිබුණි. රතු කඳවුරේ රටක හැරුන විට විශාලම සාමාජිකත්වය හා පාර්ලිමේන්තු නියෝජනය කොමියුනිස්ට් පක්‍ෂයක් සතුව තිබුණේ ඉතාලියේ සහ ප‍්‍රංශයේය. ඉතාලියේ රතු නායක පැල්මිරෝ ටොග්ලියාටි මෙන්ම කෘතහස්ත කොමියුනිස්ට් නායකයකු වූ ප‍්‍රංශයේ රතු නායක මොරිස් තෝරේ ද විශාල වෘත්තීය සමිති ව්‍යාපාරයක් මෙන්ම විශ්ව විද්‍යාල තුළ බලවත් ශිෂ්‍ය ව්‍යාපාරයක් ද ගොඩ නංවා තිබුණි.
 
දීර්ඝ කාලයක් බලයේ සිටීම අප‍්‍රසාදයට මුල්ම හේතුවක් බවට ලෝකයේ කොතනකින් බැලූවත් දක්නට ලැබෙන නිදසුන් බොහෝය. ‘‘නිතර දකින කුකුළාගේ කරමලය සුදු පාට’’ යැයි අපේ ගම්බද රසවතෙකු අරුත් ගන්වා ඇත්තේ එබැවිනි. ප‍්‍රතාපවත් ඩිගෝල් මහ සෙනෙවියාට අත්වූවේත් එවැනි ඉරණමකි. 1967 මාර්තු මාසයේ පැවති ප‍්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේදී, න්‍යායික මතභේද අත්හැර එක්සත් වූ ප‍්‍රංශයේ වාමාංශික බලවේගය වැඩි වාසි දිනා ගනිමින් ශක්තිමත් විපක්‍ෂයක් ලෙස ඉදිරියට පැමිණියේය. මෙය අගමැති වැලරි ගිස්තාච් දෙස්තාන්ගේ රජය අපහසුතාවට පත්වීමට හේතුවක් වූවා සේම යම් යම් අසහනකාරී හැඟීම්වලින් පරිපීඩිතව සිටි ශිෂ්‍ය හා කම්කරු පන්ති බලවේගයට විශාල ශක්තියක් ධෛර්යයක් මෙන්ම ආශ්වාදයට ද හේතුවක් විය.
 
ඉතිරිය ලබන සතියට...
 
සෝමසිරි වික‍්‍රමසිංහ