පොළොවේ පය ගසා ඇවිදින දේශපාලනඥයන් සමාජයෙන් හමුවන්නේ කලාතුරකිනි. ජනතාව ලවා තමාට සර් කියා ගැනීමේ ආසාවත්, රථගායත්, වරප්‍රසාදත්, අයථා වාසීත් නිසා ජනතාව විසින් පත්කර යැවූ නියෝජිතයන්ට මුල අමතක වී තිබීම සාමාන්‍ය දෙයක් වී ඇත.


එහෙත් ලොව පහළ වූ විශිෂ්ටතම ජනනායකයකු ලෙස පිළිගන්නා ඇමෙරිකානු ජනපති ධුරය දැරූ ඒබ්‍රහම් ලින්කන් තුළ වූයේ එවැනි සර් කෙනෙකු නොව පොළොවේ පය ගසා යන පිරුණු මිනිසෙකි.


1809 පෙබරවාරි 12 වන ඉරු දින ඇමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ නොලික්ක්‍රික් නම් ජනශූන්‍ය මුඩු බිමක අටවාගත් ජරාජීර්ණ පැල්පතක නිර්ධන මව්පිය යුවළකට ද‌ාව ලින්කන් දරුවා උපත ලද්දේය.


තොම්සන් ලින්කන් නම් වූ ඔහුගේ පියාට රස්සා කිහිපයක්ම පැවරුණු නමුත් ඒ එකක්වත් හරිහැටි නොකළ නිසා ‘කම්මැලියා’ යැයි නමක් පටබැඳිණ.
පසුකලෙක ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ට විරුද්ධවාදින් සරදම් කළේ ඔහුගේ පියාගේ චරිතය පටලවමිනි. ලින්කන් ඔවුන්ට පිළිතුරු දුන්නේ සමච්චලයෙනි. ‘ඔව් මගේ තාත්තා සපත්තු මහන්නෙක් තමා. එයා කාලයක් පාරේ කම්කරුවෙක්. බුරුසු සාදන්නෙක්. පාරු කාරයෙක්, වලසුන්ට උගුල් අටවන්නෙක්. ඒ වුණාට එයා තරම් දක්ෂ නිර්මාණශීලි තාත්තා කෙනෙක් මං දැකලා නැහැ. එයාගෙ පුතා වීම මට හරි ආඩම්බරයක්.’


ජනපති ලින්කන් තමාගේ අතීතය කිසිවිටෙක ජනතාවට වැසැංගුවේ නැත. එතරම්ම ඔහු විවෘත මිනිසකු විය. ඇතැම් දේශපාලනඥයන්ට මෙන් ඔහුට මුහුණු දෙකක් තිබුණේ නැත.
වැස්සකටවත් පාසල් නොගිය අසරණ කාන්තාවක වූ ලින්කන් ගේ මව හැන්සි හැන්ක්ස්ය. ඇයට පැහැදිලි පියෙකු සිටියේ නැති අතර ජීවත්වන්නට විඳි දුක නිසාම මව මියගියාය. පියා ද ඇයට සැලකුවේ නැත. එහෙත් පියා සමග අමනාප නොවූ ලින්කන් කෞතුක වස්තුවක් සේ ඔහු රැකගත්තේය.


සැතපුම් හතරක දුෂ්කර පාසල් ගමනක් කුසගින්නේම ගිය ලින්කන් තමන් ගැනම කලකිරී කැලේ පැන්නේය. පියාගේ පැල්පතට වී ලෑලි දොරේ අඟු‍රුවලින් ලියමින් තමන්ම අකුරු ඉගෙනීමට උත්සාහ කළේය. කුසගින්න නිසාම දර කැපූ කුඩා ලින්කන් තම කුඩා නැගණියට හොඳ දවසක් උද‌ාකරන්නට මහන්සි ගත්තේය.
‘මගේ ජීවිතය ඝාතනය කිරීමට තරම් සමහරු බාධා හිරිහැර කළා. ඒත් ඒ සියල්ල මා විඳ දරා ගත්තා. මගේ ජීවිතයේ බරපතළම ඛේදවාචකය ඒවා නොවෙයි මගේ විවාහයයි.’
ඒබ්‍රහම් ලින්කන්ගේ ජීවිත කතාව ලියූ හොනොරි විල්සි මොරෝ (Honore Willsie Morrow) එසේ ලියයි. මාරි ටොඩ් නමැති තරුණිය බොහෝ වෑයම් කොට ලින්කන්ව දැලේ දමාගත් බවත් විවාහයට බියෙන් ඔහු සැඟවී සිටියදී ප්‍රසිද්ධ හා අප්‍රසිද්ධ තැන්වල ද ඔහු සොයාගිය බවත් කියැවේ.


සෙනෙට් මන්ත්‍රීවරුන් මැද ද ධවල මන්දිරයේදී හා ජනතාව අතර ද ලින්කන් සමග රණ්ඩුකර අපහාස කළ ඇය ඔහුට පහර දී ගෙයින් එළියට දැමීමට තරම් දරුණු වූවාය. එහෙත් සියල්ලෝම ඇයට ශාප කළ අතර, ලින්කන්ට අනුකම්පා කළහ. තම නිල බලය වැරදි ලෙස භාවිත කර ඇය මරා දැමීමට හෝ අතුරුදන් කිරීමට පවා ඔහුට යෝජනා එන්නට ඇත.
එහෙත් ලින්කන් ඉවසුවේය. ඔහු නපුරු බිරිඳ ඇමතුවේද අම්මා යන ගෞරව නාමයෙනි.
‘මං නපුරක් කරන විට එය මට දැනෙනවා. ඒ වගේම හොඳක් කරන විට මටත් යහපතක් දැනෙනවා. මගේ ආගම ඒකයි. ඒ තුළින්ම මට රැකවරණය ලැබේවි.’ ලින්කන් සගයන්ට කීවේය.


ජනපති ලින්කන්ගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් 25,000 කි. ඒත් ඔහු තම වැටුප අබිබවා පැන්සයක් හෝ වැය නොකළේය. රජයේ මුදල් සූරා නොකෑවේය. ඒත් මාරිටෝඩ් කළේ අනිත් පැත්තය. ඇඳුම් මෝස්තර, නවීන භාණ්ඩ, සැප පහසුකම් සඳහා වසරකට ඇමෙරිකානු ඩොලර් 75,000 ක් වැය කළේ අත දිගහැරය. ඒ නිසාම ඇය ණයකාරියක වූවාය. ඇතැම් රජ පවුල් මෙන් තම සුඛවිහරණය උදෙසා රටටත් ලෝකයාටත් ණය නොවූ ජනපති ලින්කන් ජාතික මූල්‍ය අරමුදලට හෝ ලෝක බැංකුවට රට උගස් නොකළේය. බලය ලැබූ පළියට සක්විති රජකු මෙන් උමතු නොවීය.
‘මං දන්න ලොකු මිනිසුන් අතර ලින්කන් මහත්මයා වෙනස්ම කෙනෙක්. එයා කෑවේ බීවෙත් චාමෙට. ඔරොත්තු දෙන තරමට. උදේ ආහාරය බිත්තරයක් සමග කර කළ පාන් පෙත්තක් හා කෝපි කෝප්පයක් විතරයි. වයින් උගුරක් වත් කටට ළංකළේ නෑ.’
රාජ භෝජනය වෙනුවෙන් උසස්ම වර්ගයේ ආහාර පාන රජමැදුරේත්, පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේත් ජනපති නිල නිවාසවලත් ඕනෑ තරම් තිබිණ. ජනපති ලින්කන් උදර පෝෂණය තැකූ පුද්ගලයකු නොවූ ජනතා සේවකයකු බව මින් පැහැදිලි වේ.


කෙසේ වෙතත් ලින්කන් සහ මාර්මොඩ් යුවළට දරුවෝ සිව් දෙනෙක් වූහ. රොබට්, එඩ්වඩ්, විලියම් සහ ටැසීය. එම දරුවන් අතරත් අසූවිය ඉක්ම වූයේ රොබට් පමණි. ලින්කන් රොබට් පුතාගේ මුල් ගුරුතුමාට ලියූ ලිපිපෙළ අද ද ලෝකයේ සම්භාවනාවට පත්වෙමින් පවතී. 


Zfoda; පුරා බැංකු ගිණුම් තරකරන පාලකයන් සිටින ලොව තුළ ඔවුන්ට පාඩම් ඉගැන්විය හැකි නායකයන් ද සිටින බව මගේ පුතාට කියා දෙන්න.’ දේශපාලන නායකයකු වීම හතරවරිගයටම හම්බ කර ගැන්මේ වරමක් නොවන බව ලින්කන් ක්‍රියාවෙන්ම ඔප්පු කළේ තම බිරිඳගේ බාහිර ආටෝප පිස්සුව මායිම් නොකරමිනි.
කෙසේ වුවත් තනි වූ මාරිටොඩ් හෙවත් ලින්කන් ආර්යාව තමාගේ අපූරු පරණ ඇඳුම් පැලඳුම් රැගෙන වෙස්වළාගෙන සාප්පු ගානේ ගොස් ජීවත්වන්නට අලෙවි කළාය.
ජනපති ලින්කන් අපූරු සෞන්දර්යවාදියෙකි. ඔහු රොබට් පුතුගේ ගුරුවරයාට ලියූ ලිපිවල මෙසේ සඳහන් වේ.
‘‘අහස් කුස නිදහසේ පියාසර කරන විහඟු‍න් හිරු කිරණින් ඔදවත් වූ මී මැස්සන් හරිත මිටියාවත බබළවන සුන්දර වන කුසුම් නරඹා සොබාදහමෙන් ගුප්ත රසය විඳගැන්මට පුතුට කාලය දෙන්න.’’


අනිසි ලෙස ඉහළ විදුහල්වලට දරුවන් ඇතුළු කරවා උසස් අධ්‍යාපනය ලබාදෙන දේශපාලන ඇඟිලි ගැසීම් තුළින් සුදුසු දරුවාට ලැබිය යුතු අධ්‍යාපනය හා විභාග ජයට බාධා පමුණුවා තම දරුවාට විශේෂ වරප්‍රසාද තුළින් ඉහළට නැගීමට වරම් දෙන රජ පවුල් සිටින සමාජයක් හා සුදුස්සාගේ රැකියා වරම් උදුරාගෙන සිය පුතුන්ට එය ලබාදෙන බලවතුන් සිටින සමාජයක් එද‌ා ද තිබිණ.


ඒබ්‍රහම් ලින්කන් ඒ ගැන මෙසේ ලියයි.


‘පාසලේ විභාගවලින් අසමත් වීම වංචාවෙන් සමත් වීමට වඩා නම්බුකාර යුක්ති යුක්ත බව මගේ දරුවාට වටහා දෙන්න.’


‘වරදක් කළහොත් ඊට දඬුවමක් ද විඳින්නට සිදුවේ. එය නොලැබුණහොත් අනාගතයේදී දරුවා දරුණු අපරාධකරුවකු වනු ඇත. දඬුවම තුළ ආදරය ඇත’
‘ඔහුට කරුණාවෙන් සලකන්න. වැඩි ආදරය නොදක්වන්න. ඉස්තරම් වානේ පදම් වන්නේ ගිනියම් උදුනකිනි.’ ඒබ්‍රහම් ලින්කන් නමැති පියා ගුරුවරයාට කියා දුන්නේය.
ලොව සිටින කුමන තරාතිරමකම දරුවන් තමාගේ දරුවන් හා සමාන ලෙස සැලකූ ලොව එකම ජන නායකයා ඒබ්‍රහම් ලින්කන් විය හැකිය. වරක් ධවල මන්දිරයේ පැවැති රැස්වීමක් මැදට කෙළිදෙලෙන් පසුවී දූලි පෙරාගෙන ආ දරුවන් ඇකයට ගත් පියෙකු ලෙස මාධ්‍යය ඔහු ගැන හඳුන්වා දෙයි.


මෙවැනි අවවාද දුන් ලින්කන් බලයෙන් උමතුව ගුරුවරුන්ට බැණ වැදුණේවත්, දණ ගැස්සුවේවත් මාරු කළේවත් නැත. ගුරු ගෞරවය රකිමින් නීතියට හිස නැමීය. දරුවාට ජයත් පරාජයත් විඳ ගැන්මට කියා දෙන්න යැයි කීවේය. පොතෙහි සැඟවී ඇති රමණීයත්වය යථාරූපිව සහ සංනිවේදනාත්මකව නිරූපණය කර දරුවාගේ මනස ගොඩනැංවීමට ජනපති ලින්කන් දී ඇති උපදෙස් අධ්‍යාපන මනෝ විද්‍යාඥයකුගේ අදහස් තරම් සාර්ථකය.


යථාර්ථවාදී සුන්දර මිනිසකු වුවද ඒබ්‍රහම් ලින්කන් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා විය. රාජ්‍යය තුළ පවතින අවුල් වියවුල්, මතවාද, කුමන්ත්‍රණ, තර්ජන, ගර්ජන අතරට මැදි වූ සිරකරුවකු ලෙස ඔහු නම් කළ ද වරදක් නොවේ.


මනස ඔද්දල් වූ 27 හැවිරිදි රංගන ශිල්පියකු වූ ජෝන් විල්කීස් බූත් (John Wilkes Booth) මරුවකු විලසින් ඔහු හඹා ආවේය.


1865 අප්‍රේල් 15 වැනිද‌ා ෆෝඩ් නෘත්‍යාගාරයේ නාට්‍යයක් නරඹමින් සිටි ජනපති ලින්කන් වෙඩි තබා ඝාතනය කරන්නට තරම් ඔහුට වුවමනා වූවේ ලෝක ප්‍රසිද්ධිය ලබාගැනීමේ උමතු ආශාවයි.


හීනමානයෙන් හා ආත්මාර්ථකාමයෙන් උමතු වී සිටි විල්කිස් බූත් එම වෙඩි උණ්ඩවලින් පළිගනු ලැබුවේ මුළුමහත් මානව සමාජයෙන්මය. කිසිවකුට වරදක් නොමැතිව තමා සිදුකරන යුගමෙහෙය පමණක් දත් ඒබ්‍රහම් ලින්කන් නමැති යුගපුරුෂයා පැය නවයක පමණ මාරාන්තික සටනකින් පසු දැයෙන් සමුගත්තේය.


‘පියාණනි ඔහුට අනුකම්පා කළ මැනව. ඔහු කරන්නේ කුමක්දැයි ඔහුම නොදන්නා බැවිනි.’


යේසුස් වහන්සේගේ අවසාන වදන් සිහිපත් කරමින් මෙම මතවාදි ශ්‍රේෂ්ඨ ජනනායකයා වියෝ විය.

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය අන්තර්ජාලයෙනි