දේශද්‍රොහී චෝදනාවකට ලක්ව ජර්මනියේ ලෑන්ඩ්ස්බර්ග් බන්ධනාගාරයේ සිරගත කර සිටි ඇඩොල්ෆ් හිට්ලර් මාස නවයකට පසු හිරෙන් නිදහස්ව පැමිණියේ වෙනදාට වඩා වෙනස් මිනිසෙකු ලෙසිනි.


ජර්මනිය ඉතාමත් සාමකාමී රාජ්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරීපත් වූ රජය පෙරළා දැමීමට 1923 නොවැම්බර් දී කුමන්ත්‍රණයක් කිරීමේ චෝදනාව යටතේ ඔහු මෙලෙස සිරගත කර තිබිණි. 


සිරගතව සිටිය දී හිට්ලර් තමන් කළ කාර්යයේ බරපතළකමත්, එවැනි කුමන්ත්‍රණයකින් පාලන බලය අල්ලාගත නොහැකි බවත් හොඳින් අවබෝධකරගෙන සිටියේය. ඔහු වෙනස් වූ නිදහස් මිනිසකු විය. 


ජර්මන් හමුදාවේ සහ වෙනත් රාජ්‍ය අංශයන්ගේත් ජනතා සංවිධානයන්ගේත් සහයෝගය නොමැතිව බලහත්කාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පෙරළා දැමීමට උත්සාහ ගැනීමේ නොමේරූ බව ඔහු හොඳින්ම තේරුම්ගෙන සිටියේය. මේ නිසාම ඔහු නැවත වරක් ඒ වරද නොකිරීමට අදිටන් කරගෙන තිබිණි. ඔහුගේ නාසි පක්ෂයේ තරුණ ජර්මානුවන්ට ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට එරෙහිව පියවර ගැනීමේ ආවේගය කොතෙක් තිබුණ ද යළිත් පෙර වැරැද්ද කිරීමට හිරෙන් නිදහස් වූ හිට්ලර් සූදානම් වූයේ නැත. ඔහුගේ බලාපොරොත්තුව වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළට පැමිණ ජර්මනියේ බලය අල්ලා ගැනීමයි. 


ඔහු සිරගෙදර සිටිය දී මෙසේ ලියා තිබිණි. 


“ සන්නද්ධ කුමන්ත්‍රණයකින් බලය ලබා ගැනීම සඳහා වැඩ කරනවා වෙනුවට කතෝලික හා මාක්ස්වාදී නියෝජිතයන්ට එරෙහිව කටයුතු කිරීම අවශ්‍යය. ඒවා ඉක්මවා යාමට වැඩි කාලයක් ගත වුවහොත් අවම වශයෙන් ප්‍රතිඵලය ඔවුන්ගේම ව්‍යවස්ථාවෙන් සහතික වනු ඇත. එහෙත් ඉක්මණින් හෝ පසුව අපට බහුතරයක් ලැබෙනු ඇත.”‍ 
ඒ වනවිට ඔහුගේ අභිප්‍රාය වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ලබාගෙන නාසි පක්ෂය ආණ්ඩුවක් ලෙස සංවිධානය කිරීමයි. ඒ සඳහා කල්ගතවන බවත් බලා සිටීමට සිදුවන බවත් ඔහු මනාව අවබෝධ කරගෙන සිටියේය. 


ජර්මානු රජය නාසි පක්ෂය සහ එහි නිල පුවත්පත වන වොල්කිෂර් බීබාචර් (මහජන නිරීක්කෂකයා) තහනම් කර තිබිණි. ජර්මනියේ අගමැතිවරයා හමුවූ හිට්ලර් තම පක්ෂයේත් පුවත්පතේත් තහනම ඉවත්කර දෙන ලෙස ඉල්ලා සිටියේය. නීති විරෝධී ක්‍රියාවල නොයෙදීම, ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීම හා ව්‍යවස්ථාවේ නීති රීති අනුව කටයුතු කරන බවටත් වූ පොරොන්දුව මත ඔවුන්ගේ තහනම ඉවත් කෙරිණි. 


තහනමෙන් පසු ඉතිහාසයේ මෙවන් සතියක් වූ 1925 පෙබරවාරි 26 වැනි දින පුවත්පතේ නව පිටපත පළ කෙරිණි. එහි දීර්ඝ කතුවැකිය “නව ආරම්භයක්”‍ යනුවෙන් සටහන් කර තිබිණි. 


පසුදින පෙබරවාරි 27 වැනි දින නාසීන් ඔවුන්ගේ පළමු දැවැන්ත රැළිය පැවැත්වූයේය. හිට්ලර් මේ රැළියේ දී නාසි පක්ෂයේ නායකයා ලෙස තම බලය තහවුරු කර ගත්තේය. ඒ වනවිට නාසි පක්ෂයේ ඇතිවී තිබූ බල අරගල සියල්ල එතැනින් නිමාවට පත්විය.


මෙය ජර්මනිය පමණක් නොව සමස්ත ලෝකයේම ඉතිහාසය වෙනස් කරන ඓතිහාසික සිදුවීමක් බවට පත් වූයේය.  


නමුත් නාසි අනුගාමිකයන් 6000කට වැඩි පිරිසක් අමතා උද්වේගකාරී කතාවක් පැය දෙකක් පුරා කළ හිට්ලර්ට අගමැතිවරයාට දුන් පොරොන්දුව අමතක වී තිබිණි. ඔහු යළි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට, මාක්ස්වාදීන්ට හා යුදෙව්වන්ට එරෙහිව තම පරණ පුරුදු තර්ජනයම එල්ල කරන්නට පටන් ගත්තේ ඒ දිර්ඝ කතාව අතරමැද දී ය. 


ප්‍රතිඵලය වූයේ රජය ඔහුට ප්‍රසිද්ධියේ කතා කිරීම වසර දෙකක කාලයක් තහනම් කිරීමයි. තම ශූර කථිකත්වයෙන්ම සාර්ථකත්වය ළඟා කරගන්නා හිට්ලර්ට එය විශාල පසුබැසීමක් විය. නමුත් ඔහු පසුබට වූයේ නැත. දැඩි උත්සාහයකින් නාසි පක්ෂය යළි ප්‍රතිසංවිධානය කළේ පාක්ෂිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එයට සම්බන්ධ කරගනිමිනි. 


ගතවූයේ වසර 08කට ආසන්න කාලයකි. හිට්ලර්ගේ නාසි පක්ෂය ජර්මනියේ බලයට පත්වූයේය. හිට්ලර් රාජ්‍ය නායකයා ලෙස දිවුරුම් දුන්නේය. ඉන් හරියටම සති හතරකට පසු 1933 පෙබරවාරි 27 වැනි සඳුදා රාත්‍රී ජර්මනියට අමතක නොවන රාත්‍රියක් විය. ජර්මනියේ පාර්ලිමේන්තුව පිහිටි බර්ලිනයේ රීච්ස්ටැග් ගොඩනැගිල්ලේ මහා ගින්නක් හට ගත්තේය. 


ගින්න පිළිබඳ පළමු තොරතුරු වාර්තා වූයේ රාත්‍රී 9.00ට ය. පොලිසිය හා ගිනි නිවන භටයන් පැමිණෙන විට ප්‍රධාන නියෝජිත ගොඩනැගිල්ල ගිනිදැල්වලින් මුළුමනින්ම වැසී ගොස් තිබිණි. 


පොලිසිය මේ ගින්න පිළිබඳ කරන ලද දැඩි පරීක්ෂාවකින් පසු හිට්ලර් කියා සිටියේ මෙය ලන්දේසි කවුන්සිලයේ කොමියුනිස්ට් වාදියකු වූ මැරිනස් වැන් ඩර් ලු‍බ් ඇතුළු කොමියුනිස්ට් කඳවුරේ කඩාකප්පල්කාරී වැඩක් බවයි. ඔහු ඇතුළු කොමියුන්ස්ට් නායකයන් හතර දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය. සිවිල් ක්‍රියාකාරකම් අත්හිටුවීමට හා ජර්මනියේ කොමියුනිස්ට් පක්ෂය දැඩි මතධාරීන් මර්දනය කිරීම සඳහා හදිසි නියෝගයක් සම්මත කරන ලෙස හිට්ලර් ජනාධිපති පෝල් වොන් ගෙන් ඉල්ලා සිටියේය. නියෝගය සම්මත කෙරිණි. 


එය සම්මත කිරීමෙන් පසු රජය කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන් ඇතුළු කොමියුනිස්ට්වාදීන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගනු ලැබීය. කොමියුනිස්ට් පක්ෂය මෙසේ මර්දනය කිරීමේ ප්‍රතිඵලය වූයේ හිට්ලර්ගේ නාසි පක්ෂය පාර්ලිමේන්තුවේ බහුත්ව පක්ෂයක සිට බහුතරය දක්වා ගොස් තම බලය තවදුරටත් තහවුරු කරගැනීමයි. 


“රීච්ස්ටැග් ගින්න”‍ යන යෙදුම එතැන් සිට සිවිල් අයිතිවාසිකම් සීමා කිරීම හෝ පළිගැනීම සඳහා මෙන්ම තම අභිලාෂයන් ප්‍රවර්ධනය කරගැනීම සඳහා යම් පාලන අධිකාරියක් විසින් ව්‍යාජ ලෙස කරනු ලබන සියලු‍ ක්‍රියා හැඳින්වීම සඳහා යොදා ගැනීමට දේශපාලන විචාරකයෝ පුරුදුව සිටිති. 


හිට්ලර් නාසි පක්ෂයේ පළමු මහා රැළිය පැවැත්වීමත් (1925) ජර්මන් පාර්ලිමේන්තුව ගිනි ගැනීමත් (1933) පෙබරවාරි 27 වැනි දිනයකත් මෙවන් සතියක සිදුව ඇත. 

 

 

 

සජීව විජේවීර
ඡායාරූප අන්තර්ජාලයෙනි