බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යයට අප්‍රිකානු මහාද්වීපය යටත්වීමෙන් පසුව එතෙක් නිදහසේ කල් ගෙවූ කළු ජාතික මිනිසුන්ට උරුම වූයේ වහල්කම පමණි. අප්‍රිකානු මහාද්වීපය සදාකාලික වහල්භාවයේ තබා ගැනීමට බටහිර ලෝකයේ ධනවාදී රටවලට අවශ්‍ය වූයේ අප්‍රිකානු භූමියේ ඇති රත්රන්වල සිට දියමන්ති දක්වා වූ ඛනිජ ද්‍රව්‍ය සූරා කෑම සඳහාය. මෙසේ සූරා කෑමට ලක්වූ අප්‍රිකානු රටවලින් කොංගෝවට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. ස්වභාවික සම්පත්වලින් සපිරි කොංගෝව ඉතා දිළිඳු රාජ්‍යයක් බවට පත්කර තිබුණේ දීර්ඝ කාලීන සූරා කෑමේ ප්‍රතිඵලයක් වශයෙනි.


ඇමෙරිකාව, බි්‍රතාන්‍යය හා ප්‍රංශය වැනි අධිරාජ්‍යවාදී රටවල් අප්‍රිකාව කොටස් වශයෙන් යටත් කරගෙන සිටි අතර අප්‍රිකාවේ කොටසක් වූ කොංගෝ ප්‍රදේශය පැවතියේ ප්‍රංශ හා බෙල්ජියම් අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක් ලෙසය. මෙම තත්ත්වය තුළ කොංගෝ වාසීන්ට අධ්‍යාපන අයිතිය සේම දේශපාලන පක්ෂ හෝ සංවිධානයන් ගොඩනංවා ගැනීමේ ඉඩකඩ අහුරන ලද අතර බෙල්ජියම් පාලකයන් ඉදිරියේ මුනිවත රකිමින් බෙලහින ලෙස ජීවත්වීම හැර ඔවුනට වෙනත් විකල්පයක් උරුම කර දී නොතිබුණි.
‘ටැංගනිකා කොන්සලන්ස්’ යනුවෙන් හැඳින්වූ බි්‍රතාන්‍ය ව්‍යාපාරිකයන්, ඇමෙරිකාවේ ප්‍රභූ පන්තියේ ‘රෝක් පැලර්’ පවුල් සමාගම් සහ බෙල්ජියම් වෙළෙඳ ව්‍යාපාරිකයන් විසින් කොංගෝවේ සාරය ධනය උරාබොන ලදී. විශේෂයෙන් කොංගෝවේ ප්‍රාන්තයක් වන කටංගාව පරමාණු ජලකර, බෝම්බ සහ න්‍යෂ්ටික අවි ආයුධ නිපදවීමට අවශ්‍ය යුරේනියම් ලබාගැනීමටත්, දියමන්ති, රේඩියම්, තඹ, ගල් අඟුරු, සින්ක්, කොබෝල්ට් සහ වෙනත් ඛනිජ වර්ග ලබාගැනීමටත් හැකි ඉතා වටිනා ධන නිධානයකි. බෙල්ජියම් අධිරාජ්‍යවාදීන් මෙම ප්‍රදේශයෙන් උපයා ගත් ධනය සුළුපටු නොවීය.


මෙකී තත්ත්වයන් කොතෙක් කෲර ලෙස බලගැන්නුවද අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල පැවැති නිදහස් අරගල හා ජාතික විමුක්ති ව්‍යාපාර පිළිබඳ මහජන අදහස් කොංගෝව දෙසටද ව්‍යාප්ත විය. ඒ අනුව අධිරාජ්‍යවාදයට එරෙහි සටන් පෙරමුණක්ද කොංගෝ දේශයෙන් මතුවෙමින් තිබුණි.
යටත්විජිතවාදයේ භීෂණය, කෲර බව, හිංසනය ළමා වියේ සිටම වටහා ගත් කොංගෝවේ සාරය ධනය උරාබීමට තවදුරටත් ඉඩදිය නොහැකි බවට හඬ නැගූ අයෝමය තරුණ නායකත්වයක් අධිරාජ්‍යවාදීන්ට දැවැන්ත අභියෝගයක් එල්ල කරමින් කොංගෝවෙන් බිහිවිය. ඔහු මුතේතෙලා ගෝත්‍රික පැටි්‍රස් ලුමුම්බා ය.
1925 ජුලි මස 02 වැනි දින කොංගෝවේ දිළිඳු ස්වදේශික පවුලක පැටි්‍රස් ලුමුම්බා උපත ලැබුවේය. මේ අවධිය වනවිට බෙල්ජියම විසින් කොංගෝව යටත් කරගෙන සිටි අතර බෙල්ජියම් රාජ ආණ්ඩුව විසින් කොංගෝ ස්වදේශිකයන්ට තම මව්බිම තුළදී කිසිදු වරප්‍රසාදයක් භුක්ති විඳීමට ඉඩ ලබා දුන්නේ නැත. කොංගෝ ජාතිකයන් සියලු දෙනාම පාහේ අධිරාජ්‍යවාදින්ගේ සුළු සේවකයෝ පමණක්ම වූහ.


උසස් අධ්‍යාපනය ලැබීමට ස්වදේශිකයන්ට අවස්ථාවක් හිමි නොවූ බැවින් දිළිඳු පවුලක ඉපදුණු පැටි්‍රස් ලුමුම්බා තැපැල් කාර්යාලයක ලිපිකරුවෙකු ලෙස සේවයට බැඳුණේය. මෙසේ තැපැල් ලිපිකරුවකු ලෙස සේවය කරමින් සිටියදීම මොහු බෙල්ජියම් අධිරාජ්‍යවාදීන්ගෙන් තම මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ සටනට පිවිස සිටියේය. එම සටන මෙහෙයවීම නිසා 1956 වර්ෂයේදී වසර 02ක සිර දඬුවමකට යටත්වීමට පැටි්‍රස් ලුමුම්බාට සිදුවිය.


සිරගෙදරින් නිදහස ලැබීමත් සමඟම ලුමුම්බා ඉතා ශක්තිමත් දේශපාලන පදනමක් ගොඩනඟා ගනිමින් බෙල්ජියම් පාලකයන්ට එරෙහිව සටන් වැදුනි. 1958 වසරේදී කොංගෝ ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීමෙහිලා පුරෝගාමියකු ලෙස ඔහු කටයුතු කළ අතර පසුව එම සංවිධානයේ සභාපති ධුරයට ද පත්වූයේය. 1959 වර්ෂය වනවිට කොංගෝව තුළ මර්දනය කළ නොහැකි තරමට ජාතික විමුක්ති ව්‍යාපාරය ශක්තිමත් වී තිබුණි. ලුමුම්බාගේ දේශපාලන දර්ශනය සමාජවාදී වූ අතර අධිරාජ්‍යවාදය පරාජය කර ජාතික විමුක්ති සටන තුළින් අප්‍රිකාව නිදහස් කර ගත යුතු බවට දේශපාලන මතවාදයක් ගොඩනැඟිය. 1959 වසරේ ඔක්තෝබර් මාසයේ ලුමුම්බාගේ මූලිකත්වයෙන් ඇතිවූ නිදහස් අරගලයේදී බෙල්ජියම් හමුදාව අතින් කොංගෝ සටන්කාමීහු 30 කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත්වූහ. විමුක්ති සටන් ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන සක්‍රීයව කටයුතු කිරීම හේතුවෙන් ලුමුම්බාව හමුදා අත්අඩංගුවට ගෙන යළි සිරගත කරන ලදී.


මේ වනවිට කොංගෝව තුළ මර්දනය කළ නොහැකි මෙල්ල කිරීමට අපහසු ජාතික සටනක් බිහිවී ඇති බව අධිරාජ්‍යවාදීහු විශේෂයෙන් බෙල්ජියන්වරු අවබෝධ කරගත්හ. ලුමුම්බාට එරෙහි නඩුව 1960 ජනවාරි 18 වැනිදා විභාගයට ගැනුණු අතර එදිනම බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී කොංගෝ රාජ්‍යයේ අනාගතය තීරණය කෙරෙන වටමේස සාකච්ඡාවද ආරම්භ විය. මෙහිදී කොංගෝවට ඉක්මනින් නිදහස ලබාදෙන බවට අධිරාජ්‍යවාදීහු සපථ කළහ. ඒ අනුව ලුමුම්බා සිරභාරයේ සිටියදීම කොංගෝවේ ප්‍රථම මහ මැතිවරණය 1960 මැයි මස 22 වන දින පවත්වන ලදී. එහිදී ලුමුම්බාගේ ‘ජාතික කොංගෝ පෙරමුණ’ මූලිකත්වය ගෙන සක්‍රීයව කටයුතු කළේය. මීට අමතරව ජෝසෆ් කසුවුබුගේ  ‘අබතෝ පක්ෂය’ ත්, ඇනටොයින් ගිසෙන්ගා ගේ ‘අප්‍රිකානු සහයෝගිතා පෙරමුණ’ත්, ලුමුම්බා සමඟ එක්සත් පෙරමුණකට එක්විය. මහ මැතිවරණයේදී ලුමුම්බාගේ පක්ෂය වැඩි ආසන ගණනක් දිනාගත් අතර දෙවැනි තැනට පත්වූයේ ගිසෙන්ගා ගේ අප්‍රිකානු සහයෝගිතා පෙරමුණයි. කසුවුබුගේ අබකෝ පක්ෂයට හිමිවූයේ අඩු ආසන ගණනකි. අත්අඩංගුවට ගත් පැටි්‍රස් ලුමුම්බා නිදහස් කිරීමට කටයුතු කරන ලද අතර 1960 ජුනි මස 23 වැනිදා 35 හැවිරිදි ලුමුම්බා කොංගෝ රාජ්‍යයේ ප්‍රථම අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. 

 

මතු සම්බන්ධයි.

 

එම්. තාරික්
ඡායාරූප අන්තර්ජාලයෙනි