IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හිරගෙයි ලොක්කන් නැටවූ එස්.එෆ්. ලොක්කා

මැතිවරණ උණුසුමින් රත්ව තිබූ අනුරපුර ‘දහයියාගම’ පොළොව ලෙයින් තෙත් කරමින් ඉකුත් දිනෙක තවත් පාතාලයේ කෙරුමෙක් අවසන් ගමන් ගියේය. ඔහු නමින් රණසිංහ මුදියන්සේලාගේ ඉරෝන් රණසිංහය. එහෙත් ඒ නමින් ඔහු හඳුනාගන්නා කෙනකු නැතිවා සේය. “එස් එෆ් ලොකූ” කීවොත් ඒ නම අද වනවිට ‘චරිතයක්’ වී සමාජගතව ඇත.

“ඉරෝන් රණසිංහ”, එස් එෆ් ලොකූ වූයේ කෙසේදැයි දැන් මුළු රටක්ම දනී. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායේ කීර්තිමත් සෙබළකුව සිටි “ඉරෝන්” රණවිරුවකුට ලැබෙන ගෞරවාන්විත සම්මානයක් වූ “රණශූර” පදක්කම ද ලැබූවෙක් වූයේය. අනුරාධපුර කාර්මික පෙදෙසේදී 1986 දෙසැම්බර් 8 වැනිදා උපත  ලද ‘ඉරෝන්’ ඝාතනයට ලක්වන විට තිස්හතර හැවිරිදි වියේ පසුවිය.

අනුරාධපුර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඉරෝන්ට පුංචි සන්දියේ පටන්ම ඇඟේ තිබුණේ “අයියා” වීමේ උණය. ගෙදරින් ඔහුට කතා කළේ ‘‘ලොකූ” ලෙසය. 2007 වර්ෂයේ මැයි 20 වැනිදා සිට 2015 වර්ෂයේ ජූනි මස 30වැනිදා දක්වා වූ වසර අටක කාලයක් යුද හමුදාවේ සෙබළකුව සිටි නිසා ඔහු “එස් එෆ්” විය. ඔහු “එස් එෆ් ලොකූ” වූයේ යුද හමුදාවෙන් පලාවිත් අනුරාධපුර හොල්ලාගෙන සිටි “පතාක යෝධයකු” පා බිම හෙලූ නිසාය.

2015 වර්ෂයේ ඔක්තෝබර් 24 වැනිදා රාත්‍රියේ අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය “පැනරෝමා” නම් රාත්‍රී සමාජ ශාලාවට කඩා පැන්න “ලොකූ” ඇතුළු පිරිස එහි හිමිකරු වූ ගිනස් වාර්තාලාභී සෙන්සේ වසන්ත සොයිසා කපා කොටා මරා දැමූහ. මුළු රටේම ප්‍රසිද්ධ චරිතයක්ව සිටි කරාටේ ශූර වසන්ත සොයිසාගේ ඝාතනය එදවස සමාජයේ මහත් ආන්දෝලනාත්මක සිද්ධිය බවට පත්ව තිබිණි. අනුරාධපුර කැලැත්තෑව ප්‍රදේශයේදී මුදල් මංකොල්ලයක්  සඳහා මිනිසුන් මරා මෝටර් රියක් පිටින්ම වළ දැමීමේ  “කලැත්තෑවේ මහ නඩුවේ”  වරදකරු ව පෝරකයට නියම වූ සොයිසාගේ පුත්‍රයා වූයේ මේ වසන්ත සොයිසාය. අනුරපුර පුදබිමේ ‘‘නයිට් ක්ලබ්” කෙරුවාව පටන්ගෙන සමාජ උදහසට ලක්ව සිටි මේ සොයිසා කපා කොටා මරා දැමීමෙන් පසු “එස් එෆ් ලොකූ” කරළියට එන්නේ චණ්ඩියකු නැතහොත් “අයියා” කෙනකු ලෙසය.

වෙන අයියලා මෙන් නොව මේ අයියාගේ සුවිශේෂී සාධකයක් තිබිණී. මොහු සිය වීරත්වය විදහාපෑවේ අන්තර්ජාලයෙනි. සොයිසා මරා දැමූ එස් එෆ් ලොකූ, තමන් කළ මිනිස් ඝාතනය සාධාරණීයකරණය කරමින් අන්තර්ජාලය ඔස්සේ ජනතාව ආමන්ත්‍රණය කළේය.

“අනුරාධපුරේට නයිට් ක්ලබ් කැරෝකේ ඕනේ නැහැ. රෙස්ටුරන්ට් ගණිකා මඩම් ඕනෑ නෑ” ඒ හඬ එඩිතරය. ගාම්භීරය. අනුරාධපුරය දාමරිකයන්ගෙන් දූෂිතයන්ගෙන් බේරා ගැනීමට පැමිණි නූතන සරදියෙල් කෙනෙක් මෙන් විය. ඝාතනයක් සිදුකර මහා පුරාජේරු ගසමින් සිටි මේ අයියාව පොලීසියෙන් හොයද්දී පොලීසියට බියවී සැඟව සිටිමින් ලෝකයාට කිව්වේ එසේය. වීරත්වය විදහාපාමින් වීරයකු වෙන්නට වෙර දරමින් ඔහු පටිගත කළ ඒ වීඩියෝපට අන්තර්ජාලයට මුදාහැර තිබුණද එය නැරඹූ අය දන්නේ ඔහු කියූ දේ පමණී. එහෙත් ඇත්ත ඊටත් වඩා කටුක මෙන්ම භයංකර විය.

“හැමදාම රෑට වසන්තගේ ක්ලබ් එකේ රොත්ත පිටින් බහින මූට, වියදම් කරන්න සල්ලි තිබුණේ නැහැ. හැමදාම ණයට “ෆන්” ගත්තා. අන්තිමට රුපියල් අසූදාහක බිලක් සෙට් වුණා. ඒක ගෙවා ගන්න බැරුව තමා මේ කෝන්තරය පටන් ගත්තෙත්.”

එදවස මේ වෛරය පිළිබදව නිවැරදි තතු දත්තෝ පැවසුවේ එසේය. ඕනෑම කතාවක දෙපැත්තක් තිබේ. ඒ දෙපාර්ශ්වයම කියන කරුණු ඒ ආකාරයෙන් තිබෙද්දී “පැනරෝමා සමාජ ශාලාව” වැසී ගියේ “සොයිසා” වළපල්ලට ගිය පසුය. මුළු අනුරාධපුරයටම පිළිලයක් වීම නිසා වසන්ත සොයිසා මරා දැමුවේ යැයි එස් එෆ් ලොකූ පොලීසියට කීවේය. එහෙත් සොයිසා මරා දින හතරකට වැඩි කාලයක් ප්‍රදේශයෙන් ද පලාගොස් සැඟව සිටි එස් එෆ් ලොක්කා පොලීසියට කොටු වෙන්නේ හලාවත ප්‍රදේශයේ සිටියදීය. ඔහු සමාජ සද්භාවයෙන් යම් ක්‍රියාවක් කළේ නම් සොයිසා මරා ඒ මොහොතේම පොලීසියට ගොස් භාර නොවුණේ මන්ද? එස් එෆ් ගේ කල්ලිය සොයිසාගේ සමාජ ශාලාව කුඩු කර දැමීමට එහි ගොස් සිටියේ මුහුණු ආවරණ ද සහිතව වෙස් වලාගෙනය. කෙළින්  වැඩක් කරන්නේ නම් එසේ වෙස් වලාගත යුතුව තිබුණේද?

එස් එෆ් ලොකූ මරා දැම්මේ ‘‘සුදු චරිතයක් ” නොවේ. හුදෙක්ම මුදල් මත පිහිටමින් අනුරාධපුර පූජා භූමියට නොගැළපෙන සංස්කෘතියක් බිහිකිරීමට උත්සාහ දැරූ “කරාටේ වසන්ත” ගේ චරිතය “කළු වුවත්”, ශිෂ්ට සම්පම්පන්න සමාජය මේ ආකාරයේ කපා කොටා ඝාතනය කිරීම් කිසිසේත්ම අනුමත කරන්නේ නැත. මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එස් එෆ් ලොකූ වසර දෙකක් බන්ධනාගාරගතවිය. එහිදී අපරාධකරුවන් සමග ගනුදෙනු කිරීම සඳහා වූ අපරාධ විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිය ලබා ගැනීමට එස් එෆ්ට හැකියාවක් ලැබී තිබිණි. බන්ධනාගාරය තුළ සිටි වසර දෙකක කාලය එස් එෆ් ගේ ජීවිතය වෙනස්ම මගකට ඇද දැමුවේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ආශ්‍රය නිසාය.

මීගමුව කොළඹ ප්‍රදේශවල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා “ඇයි හොදයි කම්” පැවැත්වූ එස් එෆ් ලොක්කා හෙරොයින් ව්‍යාපාරයට එහිදී අත්පොත් තැබුවේය. බන්ධනාගාර ලොක්කන් එස් එෆ් ලොකූ  ඇමතුවේ ‘‘පුතා” යනුවෙනි. ඒ තරමටම බන්ධනාගාර බලධාරීහු ඔහුට මෙන්ම ඔහුගේ මුදලට නතුව සිටියහ. එස් එෆ් ලොකූ බන්ධනාගාරයෙන් එළියට පැමිණි පසුත් මේ කියන බන්ධනාගාර බලධරයන් සමග බන්ධනාගාරය තුළටම ගොස් සාද පවත්වා තිබීම සම්බන්ධයෙන් ද කරුණු හෙළි වී තිබුණි.

ඉතාමත් ඉක්මනින් පෝසතකු වන එස් එෆ් ලොක්කාට බන්ධනාගාර ජීවිතයෙන් පසු එකවරම “අපේකම” “බෞද්ධකම” ආරූඪ වන්නට විය. අනුරාධපුර බෞද්ධ කටයුතු වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කළ මොහුගේ සැබෑ ස්වරූපය දන්නෝ දනිති. රට ජාතිය ගැන කැක්කුමක් පුංචි සන්දියේ සිටම තිබුණා නම් අද එස් එෆ් ලොකූ කෙනෙක් නැත.

අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ තරුණයන්ගේ ක්‍රිකට් උන්මාදයට පිළිතුරු දුන් එස් එෆ් ලොකූ, ක්‍රීඩා සමාජවලට යහමින් මුදල් වියදම් කළේය. තරුණ තරුණියන්ගේ නොයෙක් සමාජ ක්‍රියාකාරකම් හමුවේ පෙරමුණ ගෙන ඉදිරිපත් වන එස් එෆ් ලොකූ ඔවුන් අතර නැතුවම බැරි චරිතයක් බවට පත්කර ගත්තේ ද ඔහුගේ සහචරයන් විසිනි. අදට ගැළපෙන ෆේස් බුක් මෙන්ම යූ ටියුබ් චරිතයක් ව සිටි ‘ලොකූ’ සිය චරිතය බබළවා ගන්නට බැලුවේ අන්තර්ජාලයේ උදව්වෙනි.

වසර දහයකින් සිය ඡන්දය භාවිත කර නැති එස් එෆ් ලොකූ මෙවර මහ මැතිවරණය වෙනුවෙන් එක්තරා දේශපාලනඥයකුට උදව් කිරීමේ අරමුණෙන් අනුරාධපුරයට එන්නේ වෙනත් ප්‍රදේශයක ජීවත් වෙමින් සිටියදීය.

“අවි ගත්තෝ නසින්නේ අවියෙන්මය” යන නියත කියමන කාටත් වගේම එස් එෆ් ලොකූගේ හිතේ නිතර නිතර හොල්මන් කරන්නට වී තිබිණි.

“කොහොමත්  මං ටාගට් එකක් නේ. ගමේ ඉන්න බෑ.” තම හිතවතුන් ට එසේ කී එස් එෆ් ලොකූ ගිය වසරේ අග භාගයේදී ව්‍යාජ නමකින් ගුවන් බලපත්‍රයක් ආධාරයෙන් සවුදි අරාබිය බලා ගොස් ඇත්තේ මේ රටේ නීතියටත් කොලේ වසාය. එහෙත් ලංකාවේ මෙන් සෙල්ලම් දැමීමට එහි නොහැකිය. නැවත නොඑන්නම ගිය ඒ ගමන පසෙක ලා එස් එෆ් ලොකූ නැවතත් මේ වසර මුලදී ලංකාවට එන්නේ “මට එහේ ඉන්න බෑ බං’’ කියමිනි.

ඉඩක් ලද හැකි හැම අවස්ථාවකදීම ‘ජිම්’ එකට යන්නට ඔහු අමතක කළේ නැත. කායවර්ධන පුහුණුවරයකු වූ ‘සමන්’ මාතර ප්‍රදේශයේ ජීවත්ව සිට දැන් දෝහා රාජ්‍යයේ ජීවත්වන එස් එෆ් ලොකූගේ හොඳම හිතවතෙක් වීය. මේ වසර අගදී ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන කායවර්ධන තරගාවලියකට එස් එෆ් ලොකූ ඉදිරිපත් කිරීමට දැඩි වෙහෙසක් දරමින් සිටියේ මේ සමන් ය.

“උඹ කොහොමත් දිනනවා ලොකූ. අනිවාර්​යයෙන්ම කප් එක ගහන්නේ උඹ.”  සමන්ගේ දැඩි විශ්වාසය මත එස් එෆ් ලොකූ නිතරම පුහුණු කටයුතු කළේය. ඔහුගේ පුහුණුකරු වූයේ සමන්ය. සමන් ඔහුට පුහුණු කරන්නේ ‘වට්ස් අප්’ හරහාය. මේ අන්තර්ජාල පුහුණු කිරීමේ අවසානය “කප්’ එක ගැසීමට දෙදෙනාම බලා සිටියහ. කාලය ඉගිල ගියේ ඒ හීන මැද ඔවුනොවුන් ජීවත් කරමිනි.

ඡන්දය පැවැති දිනයට පෙර දින රාත්‍රියේ අනුරාධපුර අලුත් බස් නැවතුමේදී දෙපිරිසක් අතර කලබලයක් ඇතිවිය. එක් පාර්ශ්වයක් වූයේ එස් එෆ් ලොකූ ය. ඡන්ද කලබලයෙන් පසු එස් එෆ් යන්නේ ඔහුගේ පෙම්වතිය බැලීමටය. ඇය, හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් සිරගතව සිටින අයකුගේ බිරිදක්වන අතර එක්දරු මවකදවන බව පොලීසිය කියයි.

“තව ටිකක් වෙලා ඉඳලා යන්නකෝ අප්පච්චි”

එස් එෆ් ලොකූ ඇයට සමුදී යන්නට සූදානම් වෙද්දී ඔහු තව මොහොතක් නවතා ගන්නට ඇය උත්සාහ ගත්තා ය.
“බෑ පොඩි කේස් එකක් තියෙනවා. මං ඉක්මනට යන්න ඕනෑ.” තමාට එල්ල වී ඇති මරණ තර්ජනය හෝ කුමක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට ඉව වැටී තිබෙන්නට ඇත. එහෙත් එය කුමක් දැයි මෙතෙක් තහවුරු නොවූ කාරණයකි.

සුපුරුදු පරිදි පසුදින උදෑසන මෝටර් රථයට නැගී එස් එෆ් ලොකූ, සිය පෙම්වතිය ද සමග අනුරාධපුරයට එන්නේ කායවර්ධන මධ්‍යස්ථානයට ගොස් ශාරීරික ව්‍යායාම කිරීම සඳහාය. පැය කිහිපයක් එහි රැඳුණු දෙදෙනා ඉන් පිටත්ව නගරයට පැමිණ එළවළු මල්ලක් ද මිලට ගෙන නිවස බලා පිටත්ව එන්නේ දහවල් 11. 30 ට පමණය. වෙනදා මෙන් එස් එෆ් ලොකූ වාහනය වේගයෙන් පදවමින් ආවේය. අනුරාධපුර දහයියාගම රේල්ගේට්ටුව අසලදී ඔහු වාහනයේ වේගය මදක් අඩු කළේය. එමපණකි.

 සැනින් වෙඩි වරුසාවකට තෙමෙන්නට එස් එෆ් ලොකූට සිදුවිය. ඒවන විට ඔහුගේ පෙම්වතිය සිට ඇත්තේ ඔහුට පිටුපස ඇති අසුනේ හිඳගෙනය. අති දක්ෂ වෙඩික්කරුවෙකු ටී 56 ගිනි අවියකින් උණ්ඩ හතරකින් එස් එෆ් ලොකූගේ පපුව සිදුරු කර තිබිණී. එතැනින් එහා සිදුවූ සියලු සිදුවීම් මේ වනවිට මුලු මහත් රටක්ම දනී.

‘රේල් ගේට්ටුව ළඟදී කාර් එක ස්ලෝ කළා. “ඩෝං ඩෝං ගාලා සද්දයක් ආවා. මං හිතුවේ රතිඤ්ඤා පත්තු කරනවා කියලා. වෙඩි වැදිච්ච ගමන් අයියා ටික වේලාවක් වෙඩි තියපු අය දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ පැත්තකට ඇලවුණා. අපේ පස්සෙන් ආපු ස්කූටි බයික් එකක හිටි දෙන්නෙක් තමයි මේක කළේ. අවුරුදු දහයකින් ඡන්දය දැම්මේ නැහැ කියලා තමයි එයා මෙහේ ආවේ. අයියා ගමේ ඉන්න කැමැති නැහැ. උසාවි යන්න ඕන නිසා හිටියේ.” එස් එෆ් ගේ පෙම්වතිය පොලීසියට කියා තිබුණේ එසේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ විවිධ පැතිකඩ ඔස්සේ ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ කියන ලොකූගේ පෙම්වතිය සම්බන්ධයෙන් ද පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය කියයි. ඇය මෝටර් රියේ පිටුපස ආසනයේ පැමිණ සිටියේ ඇයිදැයි යන්න ගැටලුවක්ව තිබේ.

“එස් එෆ් ලොකූ” ට වෙඩි තිබ්බේ කවුද?
මහ මැතිවරණය වෙනුවෙන් අමතර පොලිස් බලඇණි සීරුවෙන් සිටි මොහොතක ලොක්කා බලාපොරොත්තු නොවූ ඝාතකයන්ගේ ඉලක්ක සැපිරූ මේ ඝාතනය පිටුපස සිටින්නේ කවරෙකු විය හැකිද? එස් එෆ් ලොකූ බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකු සමග සමීප සබඳතා පත්වමින් ඔවුන්ගෙන් හෙරොයින් ලබා ගෙන ඇත්තේ “දෙන්නම් කාසිවලට” බවත් පසුව ඒවා ඔහු විසින් අනුරාධපුරය අවට ප්‍රදේශවල සිය ගෝල බාලයින් ලවා විකුණනු ලැබ ඇති බවත් මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සැක පළ කරයි. එස් එෆ් ලොකූ රුපියල් කෝටි පහකට අධික මුදලක් මේ ජාවාරම්කරුවන් වෙත ලබාදීමට තිබී ඇති අතර ඔවුන් මගහැර කට්ටි පනිමින් සිටි නිසා මේ ඝාතනය සිදුකරන්නට ඇතැයි යන්න ද පොලීසිය සැක පළකරයි. ඔවුන් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මීගමුව ප්‍රදේශයේ වෙඩික්කුරුවකු මෙම ඝාතනය සිදුකර පලා  යන්නට ඇතැයි ද විමර්ශකයින් සඳහන් කරයි.

අවි ගත්තෝ අවියෙන් නැසෙති යන්න නැවතත් සිහිපත් කරමින් එස් එෆ් අවසන් ගමන් ගොසිනි. නාවල නිහාල්ගේ පටන් අවි ගෙන සිටි පාතාලයන් නැසුනේ ප්‍රතිවිරුද්ධ කල්ලියක අවියකිනි. නැතහොත් පොලිස් වෙඩි පහරකිනි. ඔවුන්ට කිසිදා සුවදායී මරණයක් අත්වී නැත. ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කළ සොත්ති උපාලිට පොලීසියද කිව්වේ සර් කියාය. එහෙත් ඔහු ඝාතනය වන්නේ ද පාතාලයේ ප්‍රතිවිරුද්ධ කල්ලියක සාමාජිකයකු වූ කඩුවෙල රාජා විසිනි. කඩුවෙල වසන්ත වෙසක්  පුන් පොහෝ දිනකදී ඝාතනය කර දමන්නේ කරාටේ ධම්මික විසිනි. ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයකු ලෙස සිටි බැද්දගානේ සංජීව මරා දමන්නේ ධම්මික අමරසිංහ නැමැත්තා විසිනි. අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ධම්මික අමරසිංහ ඝාතනය වන්නේ චමින්ද උදයකුමාර නැමැති තවත් පාතාලයකු අතිනි. අංගොඩ ලොක්කා ද අද කොහි සිටිත් දැයි කිසිවකු නොදනී. මේ පාතාලයට දිගු ගමනක් නැත. ඔවුනොවුන් ම ඔවුන් මරා ගනිති. එය ස්වභාවධර්ම නීතියයි. ලොක්කා ලෙසින් නම් ලැබුවද මැරෙන්නේ සොක්කන් ලෙසය.

විශේෂයෙන්ම කිව යුතු දෙයක් ඇත. අන්තර්ජාලයෙන් මෙවැන්නවුන් වීරයන් නොකළ යුතුයි. එෆ් බී වීරයන් යනු රටට වැඩදායී අයවලුන් නොවේ. අන්තර්ජාලය භාවිත කරන සියල්ලන්ම මෙය වටහාගතයුතු කරුණක් වෙයි.

පාතාලය මත්කුඩු මේ කියන දෙක දම්වැලක පුරුක් මෙනි. රටක සංවර්ධනයේ ප්‍රධාන බාධක වන්නේ මේ දම්වැල්ය. සෞභාග්‍යයේ ඉදිරි දැක්ම උදෙසා යන මේ ගමනේදී පාතාලය හෝ මත්කුඩු අවශ්‍ය නැත. එය සංවර්ධනයේ ඉදිරි දැක්මට බාධකයකි. එසේ වී නම් සිදුකළ යුත්තේ ඒ දම්වැල් පුරුක් හොඳින් හෝ නරකින් කඩා බිඳ දැමීමයි. විනාශ කර දැමීමයි. සාමකාමී යහපත් සමාජයක් උදෙසා බලධරයින් එය ඉටුකළ යුතුම වූ වගකීමකි.

(*** විමුක්ති කුමාරසිංහ)



අදහස් (5)

හිරගෙයි ලොක්කන් නැටවූ එස්.එෆ්. ලොක්කා

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 13 August 2020 12:21 PM

" ඇඟ මස් පිපී තිබුණත් යෝධයෙකු ලෙස ... හොර මැර චණ්ඩි විරුවන් වන්නේ කෙලෙස ... මිනිසුන් මරා කුඩු විකුණා ලබන යස ... ඉසුරෙන් කුමට ලැබුණත් රස මිහිරි රස ... "

:       0       366

SL Thursday, 13 August 2020 04:56 PM

කොහොමින් කොහොමින් හරි කුඩු බෙදන මුල් පුරුක් මේ වගේ උන් බිල්ලට දීලා තවමත් බන්ධනාගාර නිලධාරීන් ට සහ පවුල වල අයට කුඩු වලින් යැපෙන්නේ විලි ලැජ්ජාවක් නැතිව ද.?

:       0       98

Royfedricks Thursday, 13 August 2020 10:18 PM

අැතුලත් මුදලිව මැරුවේ සොත්ති උපාලි නොවේ. ‘සුදු මහත්තයා‘ නම් පුද්ගලයෙකු විසිනි. වික්ටර් අයිවන් ඒ ගැන පවසා ඇත.

:       1       6

Akila Friday, 14 August 2020 03:49 AM

මොනව උනත් ෆේස්බුක් එකේම ජීවිතය ගෙවන අනුරපුරයේ බබාලා ව ගොනාට අන්දන හැටිනම් මෙයා හොඳට දැනගෙන ඉඳලා තියනවා

:       6       119

UPUL Friday, 14 August 2020 09:25 AM

ඔබට අජරාමර නිවන් සුව... ඔබ අපට හිත හොඳ යාලුවෙකි.. ඔබ කාට හොඳ නැති වුණත් අපට හොඳයි හැමදාමත්...

:       1016       230

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 121 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 240 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 345 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 76 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 523 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 287 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site