තම පූර්වතමයා සහ පරම සතුරා වන මහින්ද රාජපක්ෂ මහතා සමග ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත්වූ රහස් සාකච්ඡාවල නොකියූ කතා නම් බොහෝමයකි. එහෙත් එය අවසන් වූයේ ආරම්භ වූ පරිද්දෙන්මය. එනම් අර්බුදයකිනි. 

එම සාකච්ඡාවල අවසන් අදියර පැවැත්වුනේ වචන හරඹයේ කෙළ පැමිණියෙකු වන එස්.බී.දිසානායක මහතාගේ බත්තරමුල්ල නිවසේදීය. 

ආරම්භයේ දී ඔහු සිරිසේන සහ රාජපක්ෂ මහත්වරුන් දෙදෙනා අතර සංවාදයක් ඇතිකිරීමට කිසිදු දායකත්වයක් ලබා නොදුන් බව තරයේ කියා සිටියේය. නමුත් සති දෙකකට ඉහත නව රජයක් තැනීම පසුපස සිටින තැනැත්තා තමා බව කියමින් මෙතෙක් නොතිබූ ගෞරවයක් ඔහු වෙත ඈඳා ගැනීමට දිසානායක මහතා උත්සාහ ගත්තේය.

අවාසනාවකට එය වැඩි කල් නොතිබිණ. පසුගිය සෙනසුරාදා අගමැතිධූරයෙන් ඉල්ලා අස්වූ රාජපක්ෂ මහතා දින කිහිපයකට ඉහත දිසානායක උන්නැහේට හොඳ වචනයෙන් අමතා තිබෙන අතර, එම ඇතැම් වදන් පුවත්පතක පළකිරීමට පවා නොහැකිය.

පාර්ලිමේන්තුවේ බහුතරය දිනා දෙන්නෙමැයි කියා තිබුණ ද, එය දිනා ගැනීමට දිසානායක මහතාට නොහැකි විය.

ඔක්තෝබර් මස 7 වැනිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන්, එම සාකච්ඡාවල දී එවක අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීම තමාට ඉතා දුෂ්කර යැයි ද, තමා ගන්නා උත්සාහයන් බොහෝමයක් ඔහු ව්‍යර්ථ කර දමන්නේ යැයි ද, ජනපති සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා සමග පැවසූ බවට සුවිශේෂී අනාවරණයක් කළේය. එය කියැවූ ඇතැම්හු අපට චෝදනා කරමින් කියා සිටියේ එය උවමනාවෙන්ම ගෙතූ කතාවක් බවයි. කෙසේ වෙතත් කලබලයට පත්වූ කොළඹ සිටින බටහිර රාජ්‍යතාන්ත්‍රිකයෙක් වහාම වික්‍රමසිංහ මහතාව අමතා මේ සම්බන්ධයෙන් ඔහුව දැනුම්වත් කිරීමට කටයුතු කළේය. 

වික්‍රමසිංහ මහතා පසුගිය ඉරිදා (16) උදැෑසන අගමැතිවරයා ලෙස නැවත වරක් දිව්රුම් දීමට නියමිතව සිටියද ඔහු එම අවස්ථාවේ සිටියේ නෝර්වේහි ඔස්ලෝ නුවරට යෙදී තිබූ සංචාරයකින් පසුව බි්‍රතාන්‍යයේ ලන්ඩන් නගරය බලා පැමිණය. වහාම දුරකතනය ඔස්සේ පක්ෂයේ ජේ්‍යෂ්ඨයෝ කිහිපදෙනෙක් ඇමතූ ඔහු ලන්ඩන් නුවර සිටම මේ පිළිබදව ඔවුන්ව දැනුම්වත් කළද උද්ගතව තිබෙන තත්ත්වය තමා යෙදී සිටි වැඩසටහන අතහැර දමා නැවත දිවයිනට පැමිණීමට තරම් හේතුවක් ලෙස ඔහු නොසැළකීය. එය බරපතල නොවේ යැයි වික්‍රමසිංහ මහතා ඇතැම් විට සිතන්නට ඇත.

ඇතැම් විට ඔහු එදා නැවත පැමිණියේ නම් තත්ත්වය අදට වඩා වෙනස් වන්නට ද ඉඩ තිබිණ.

නොවැම්බර් මස 25 වැනිදා ප්‍රකාශයට පත්වූ සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ජනපති සිරිසේන මහතා කියා සිටියේ ඔහු වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කළ යුතු බවට තීරණයක් ගත්තේ ඔක්තෝබර් 20 - 25 අතර කාලයේ දී බවය.

“ඒ මම මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා පවත්වමින් සිටි නිසා නොවේ” යයි ද ජනාධිපතිවරයා පැවසුවේ ය.

ඔක්තෝබර් මස 26 වැනිදා රැයේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගීව සිටි අතරවාරයේ අගමැති ධූරයේ දිව්රුම් දීම සදහා මහින්ද රාජපක්ෂ මහතා ක්ෂණිකව පැමිණියේ ඒ සම්බන්ධයෙන් ඊට පෙර පැවැති එකගතාවයක ප්‍රතිඵලයක් ලෙස බව ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකි කාරණයකි. ඔහු බලා සිටියේ එම දුරකතන ඇමතුම ලැබෙන තෙක්ය. නමුත් එම සම්මුඛ සාකච්ඡාවේදීම, “මම ඒ රැස්වීමට එක් වුනේ නැහැ” යයි ජනපතිවරයා පැවසුවේ ය.

ඔහු ඒ සදහන් කළේ දිසානායකගේ නිවසේ පැවැති රැස්වීම පිළිබඳවය. එම රැස්වීමට සහභාගීවූ බව ප්‍රසිද්ධියේ පිළිගැනීම ඔහුව නින්දාවට ලක්වීමට කාරණයක් විය හැකිව තිබිණ. නමුත් ඔහු සැබෑ වශයෙන්ම එහි ගිය බව දැන් පැහැදිලිවම අනාවරණයව ඇත.

කොටින්ම, ජනපති සිරිසේන මහතා ශ්‍රී ලංකා රජයේ ප්‍රධානියා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ද වේ. ඔහු යෙදී සිටි රහස් සාකච්ඡා සම්බන්ධයෙන් කිසිවෙකුත් කිසිවක් දැන සිටියේ නැත. එය තවත් හොදින් පැහැදිලි කළ හැකි වන්නේ ජනපතිවරයා හිතවත් අමාත්‍යවරයකුගෙන් ලැබුණු දුරකතක ඇමතුමකිනි.

“මට කණගාටුයි කියන්න. ඔයා ලියලා තියෙන කතාව වැරදියි. එහෙම දෙයක් තියෙනවා නම් මම කලින්ම ඒ ගැන දැනගෙන ඉන්නවා” යයි ඔහු පැවසුවේ ය. සියල්ල මෙහෙයවූ ජනපති සිරිසේන මහතා ඒ සියල්ලම තමා ළඟම රහසක් ලෙස තබාගත්තේ ය. ඒ සියල්ල දැන් ඉතිහාසයට එක්ව අවසන්ය.

ගෙවුණු දින 52ක කාලය පුරාම ජනපතිවරයා නැවත නැවතත් කියා සිටියේ කිසිදු අවස්ථාවක වික්‍රමසිංහ මහතා නැවතතත් රටේ අගමැතිවරයා ලෙස පත් නොකරන බවය. පසුගිය 4 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සමුළුවේ දී එය තවත් දුරට ගෙන යමින් ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම කැමැත්ත පළකළ ද, ඔහු නැවත වරක් වික්‍රමසිංහට මහතාට නම් අවස්ථාවක් ලබා නොදෙන බවය.

පසුගියදා එක්සත් ජාතික පෙරමුණේ දූත පිරිසක් හමුවූ අවස්ථාවේදීත් ඔහු කියා සිටියේ වික්‍රමසිංහගේ මිතුරු කවයේ කිසිවකුට හෝ ද අගමැති පුටුව ලබානොදන බවය. වික්‍රමසිංහ මහතා අගමැති තනතුරේ දිව්රුම් දුනහොත් තමා පැයක්වත් ජනපති පුටුවේ නොසිටින බව ද ඔහු වරක් කීවේ ය.

නව අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය

පසුගිය ඉරිදා පෙරවරු 11.00 ට ශ්‍රී ලංකාවේ ජනපතිවරයා, රජයේ ප්‍රධානියා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා, රටේ සේනාධිනායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් විසින් අවධාරණය කරමින් කියනු ලැබ සිටි දෙයට ප්‍රතිවිරුද්ධ දෙයම කළේය. ඔහු රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැතිවරයා ලෙස පත් කළේ ය. 

නව අගමැතිවරයා පත් කිරීම සිකුරාදා රාත්‍රියට යෙදී තිබුණ ද, ඒ වන තෙක්ම මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්ව නොතිබිණ. 

ඉරිදා දින සන්ධ්‍යාවේ හෝ සදුදා (17) දිනයේ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ද නියමිතව පැවැතිණ. එම කැබිනට් මණ්ඩලයට වික්‍රමසිංහ මහතාගේ මිතුරු කවයේ යැයි කියා සිටි පුද්ගලයින් ද ඇතුළත් වන්නට තිබිණ. 

ජනපති සිරිසේන මහතාගේ මේ දක්වා ක්‍රියා කලාපය ගත් කළ, ශ්‍රී ලංකාව එදා මෙදා තුර අත්දුටු බරපතලම දේශපාලන අර්බුදය නිර්මාණය කර, සියල්ලටම ඉහළින් තමා සිටිනා බව පෙන්වන්නට උත්සාහ කර, රට ආර්ථිකමය වශයෙන් ආගාධයකට තල්ලු කර, අවසානයේ පැවැති තත්ත්වයම නැවත ඇති කිරීමට කටයුතු කිරීමට යන්නේ කිසිදු හා හූවකින්, දේශනයක් සිදුකිරීමකින්, ජනතාව ඇමතීමකින්, ඔහුගේ හිත මිත්‍ර ජනතාවගෙන් සමාව අයැදීමකින් යනා දී කිසිවෙකින් තොරවය. වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිව්රුම් දෙනවාට වඩා තමා පොළොන්නරුවට යාමට කැමැති බව කීවද, ජනපති සිරිසේන මහතා තවමත් සිටින්නේ කොළඹය.

සිරිසේන මහතා සහ රාජපක්ෂ මහතා, තමන්ට අවැසි පාර්ලිමේන්තු බහුතරය නොමැති බව දැනගත්තේ දීගයෙන් පසුවය. ජනපතිවරයා පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කරමින් එය නැවත රැස්වීම නොවැම්බර් මස 16 වැනිදා දක්වා කල් දැමූ අතර, එකක් පසුපස එකක් නැඟෙන්නට ගත් දැඩි විරෝධය හමුවේ එම දිනය නොවැම්බර් මස 14 වැනිදා දක්වා ඉදිරියට ගෙන ආවේ ය. 

කැබිනට් මණ්ඩලයක් පත් කිරීමෙන් පසුව ද ගැටලුවල අඩුවක් නොතිබිණ. 

සෞඛ්‍ය සහ ඛනිජ තෙල් සම්පත් යන අමාත්‍යධූරයන් හිස්ව පැවැති අතර, නීතිපතිවරයාගේ මතය වූයේ ඇමැතිවරු පත් කරන තෙක් එම අමාත්‍යංශවලට ලේකම්වරු පත්කිරීමේ හැකියාවක් නොමැති බවය. මේ හමුවේ රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යධූරය භාරගන්නා ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යධූරය භාරගන්නා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටිය ද, ඔවුහු දෙදෙනම එය ප්‍රතික්ෂේප කළෝ ය. අවසන මහින්ද රාජපක්ෂ,  චමල් රාජපක්ෂ සහ ගාමිණී අතුකෝරළ යන මහත්වරුන් පිළිවෙලින් සෞඛ්‍ය හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යවරුන් ලෙස ලහිලහියේම පත් කරන ලදි. 

අගමැති රාජපක්ෂ මහතාට එරෙහිව සකස් කර තිබූ විශ්වාසභංග යෝජනා ද්විත්වය, එකකට පසු අනෙක බැගින් අවස්ථා දෙකක දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමේ අවස්ථාවල සිට රජය පාර්ශවයට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය නොමැති වීමේ ගැටලුව වඩාත් ඉස්මතු වන්නට ගැනිණ. එම විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවල ඉතිහාසයේ මෙතෙක් නොදුටු ඉතාම අශිෂ්ඨ, අශීලාචාර හැසිරීමක් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දැකබලා ගැනීමට මුලු රටටම පමණක් නොව ලෝකයටම හැකිවිය. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

බහුතරයේ හිඟය හමුවේ ජනපති සිරිසේන මහතා සහ රාජපක්ෂ මහතා අතර ඔවුනොවුන්ගේ පක්ෂ සාමාජිකයන් සහ උපදේශකයින්ගේ ද සහභාගීත්වයෙන් සාකච්ඡා ගණනාවක් පැවැත්විණ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාව ජනපතිවරයාට ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයෝය. ඔවුන් එය ඉදිරිපත් කළේ ආරම්භයේ සිටම ඉක්මන් මැතිවරණයක් ඉල්ලා ඉදිරිපත් කර තිබූ ඉල්ලීම පදනමේ සිටය. එම යෝජනාවට ජනපතිවරයා එකඟ වූ අතර, එතැන් සිට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නෛතික පසුබිම අධ්‍යනය කිරීමට දෙපාර්ශවයම යොමුවිය.

එසේ කිරීමට නීතිමය බාධාවක් නොමැති බවට මුලින්ම මතයක් ගෙන ආවේ හිටපු අගවිනිසුරු සරත්.එන්.සිල්වා මහතාය. පවත්නා ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අවස්ථාවක් තිබෙන බව කියා සිටි ඔහු ඒ බව තහවුරු කිරීමට ව්‍යවස්ථාවේ වන විවිධ වගන්තීන් අර්ථ නිරූපණය කර සටහන් තබා තිබූ විසල් ලිපිගොනුවක් පවා ජනපතිවරයාගේ අතට ලබාදුන්නේ ය. 

ජනාධිපති නීතිඥවරයකු වන විජයදාස රාජපක්ෂ මහතාද එම මතය තවදුරටත් තහවුරු කරමින් ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බාධාවක් නැති බව කියා සිටියේ ය. හිටපු අධිකරණ අමාත්‍යවරයකු ද වන විජයදාස මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව පාර්ලිමේන්තුවේ පවා මතුවූ නෛතික ගැටලුවලට සාර්ථක මගපෙන්වීමක් සිදුකිරීම අරබයා නීති විශාරදයෙක් ලෙස ද සැළකෙන්නෙකි. ජනපතිවරයාට තවදුරටත් නීති උපදෙස් ලබාදෙමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බාධාවක් නොමැති යැයි කියා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු ප්‍රධානියා වන මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාය.

ජනපති සිරිසේන මහතාගේ ප්‍රධානීත්වයෙන් පැවැති සාකච්ඡාවක දී භාවිතයට ගත හැකි තවත් අවස්ථා ද්විත්වයක් සම්බන්ධයෙන් අවධානය යොමුවිය. 

ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ෆයිසර් මුස්තාපා මහතාගේ නිර්දේශය විය. හිටපු අධිකරණ ඇමැති, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජික නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ හමුවේ මුනිවත රැක්කේ ය. මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය දැයි ජනතාවගෙන් විමසා සිටීම එම ජනමත විචාරණය පැවැත්වීමේ අරමුණ විය. නමුත් ජනපති සිරිසේන මහතා ඒ වන විටත් හිත හදාගෙන සිටි අතර, පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බව සදහන් ප්‍රකාශයකට අත්සන් තැබුවේ ය. 

2096 70 අංක යටතේ එම ගැසට් පත්‍රය නොවැම්බර් මස 9 වැනිදා ප්‍රකාශයට පත් කැරුණු අතර, එයින් පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බවත් ජනවාරි මස 5 වැනිදා මැතිවරණය පැවැත්වෙන බවත් නිවේදනය කෙරිණ. මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුම කාරණයක් වන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අරබයා වන ව්‍යවස්ථාමය අවසරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටින ලෙස සිය ළඟම හිතවතුන් කිහිපදෙනෙකුම කළ ඉල්ලීම නොසළකා හැරීමට ජනපතිවරයා කටයුතු කිරීමය. 

ඒ සදහා අඩුම වශයෙන් දින 3ක කාලයක් ගතවනු ඇතැයි ඔවුහු කියා සිටියහ. රටේ ජනපතිවරයා වශයෙන් ව්‍යවස්ථාමය කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටීමට ජනපති සිරිසේන මහතාට ව්‍යවස්ථාවෙන්ම අවකාශය සළසා දී තිබේ. නමුත් සිය ධූර කාලය පිළිබදව මින් පෙර කැරුණු ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමක දී, සෘණාත්මක පිළිතුරක් ලැබීමේ අත්දැකීම, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමෙන් වැළකී සිටීමට ජනපති සිරිසේන මහතාව යොමු කළේ යැයි සිතිය හැකිය.

විසිරුවා හැරීමේ නියෝගය අභියෝගයක්

පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය හමුවේ තම මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇතැයි කියමින් විවිධ පාර්ශව 10ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියහ. දෙමළ ජාතික සන්ධානයේ නායක රාජ්වරෝතයම් සම්බන්දන්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සිලෝන ජනතා කොංග්‍රසයේ නායක රිෂාද් බදුර්දීන්, ජාතික මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, දෙමළ ප්‍රගමනවාදී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ඔවුහු වූහ. එම පාර්ශවයන් නියෝජනය කළ තවත් අයගේ නම් ද එම පෙත්සම්හි අන්තර්ගත විය. මෙම පාර්ශවයන්ට අමතරව තවත් පෙත්සම්කරුවෝ 8 දෙනෙක් ද සිටියහ.

ඉහළින්ම සිදුවෙමින් තිබූ වංචා සහ දූෂණ හමුවේ, නිර්ලජ්ජිතව කැරෙමින තිබූ බලයේ අවභාවිතය හමුවේ, කඩාවැටෙමින් තිබූ ආර්ථිකයක් හමුවේ, සංචාරක පැමිණීම පහතට වැටී තිබූ අවස්ථාවක් හමුවේ, රටේ ප්‍රතිරූපය තවදුරටත් දේශීයව මෙන්ම විදේශීයව ද පහතටම වැටෙමින් තිබිය දී ද, ශ්‍රී ලංකා පුරවැසියන්ට ආඩම්බර විය හැකි යමක් තිබිණ. එය නම් රටේ අධිකරණ පද්ධතියේ උත්තරීතරම ආයතනය වන ශ්‍රේෂ්ඨාධිකරණයයි. 

වහෙන් ඔරෝ භාෂාවෙන් දේශපාලඥයින් නිකුත් කරමින් සිටි තර්ජනයන් හමුවේ වුවද, එය අභීතව සහ ස්වාධීනව ක්‍රියාත්මක විය. නොවැම්බර් මස 13 වැනිදා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝගයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

එයින් පසුව අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පසුගිය බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනපතිවරයා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ව්‍යවස්ථා විරෝධීයැයි ඒකමතිකව නිවේදනය කළහ. බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත මළල්ගොඩ යන විනිසුරුවන් සහ මූර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය, එම සත්පුද්ගල විනිසුරු මඩුල්ල නියෝජනය කළහ.

නඩු වාර්තාවේ දැක්වෙන ආකාරයට, 

නඩුවේ නියෝගය පදනම්ව තිබෙනුයේ ව්‍යවස්ථාවේ 33(2)සී වගන්තිය, අංක 62 වගන්තිය සහ අංක 70 වගන්තිය, නිවැරදිව කියවිය යුතුවන ආකාරය, තේරුම්ගත යුතුවන ආකාරය සහ පදනම් කරගත යුතුවන ආකාරය මත පදනම්වය. 

නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය, ඉහත සදහන් වගන්තිවලට ඉහළින් යමින්, එම වගන්තීන්ගෙන් ප්‍රකාශයට පත්කැර තිබෙන බලතල සහ ක්‍රමවේදයන්ට හා පරස්පර විරෝධී බවත්, ඒ නිසාම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කැර තිබෙන සිය මූලික අයිතිවාසිකම් ඒ හමුවේ උල්ලංඝණයව තිබෙන බවත් පෙත්කම්කරුවෝ 60 දෙනා නගන චෝදනාවය. අප හමුවේ තිබෙන කාර්යය වන්නේ, නිකුත් කර තිබෙන මෙම ගැසට් නිවේදනය - මෙම වගන්තීන් යටතේ ප්‍රකාශයට පත්කර තිබෙන බලතලයන් සහ ක්‍රමවේදයන් ප්‍රකාරව පවතීදැයි හෝ නොපවතීදැයි යන්න විමර්ශණය කිරීමය.

පහත දැක්වෙන්නේ පිටු 88කින් යුතු නඩු වාර්තාවෙන් ගත් සංක්ෂිප්ත උපුටනයකි.

33(2)(සී), 62(2) සහ 70, යන වගන්තීන් විශ්ලේෂණය කැර එම පදනම යටතේ නිගමනය කෙරෙන්නේ,

1. ව්‍යවස්ථා වගන්ති 33(2) ප්‍රකාරව, පාර්ලිමේන්තුව කැඳවීමට, සභාවාරය අවසන් කිරීමට සහ විසිරුවා හැරීමට ජනපතිවරයාට බලය ඇත

2. ජනපතිවරයාට එම බලය භාවිතා කළ හැකි වන්නේ ව්‍යවස්ථාවෙන් ප්‍රකාශයට පත්කර තිබෙන කොන්දේසි ඇතුළත සහ අංක 70 වගන්තිය යටතේ සදහන් කර තිබෙන ක්‍රමවේදයන්ට හා සීමාවන්ට අනුකූලවය

3. පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනපතිවරයාට හැක්කේ අංක 70(1) වගන්තියේ පළමු පරිච්ඡේදයේ ඇති කොන්දේසිවලට අදාළව පමණකි

4. අංක 70(1) වගන්තියේ දෙවන ඡේදය ප්‍රකාරව ධූර කාලයෙන් වසර 4 හමාරකට නොඅඩු කාලයක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනපතිවරයාට හැකියාවක් නොමැති අතර, එම කාලය ඇතුළත එවැන්නක් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් (නොපැමිණි අය ද ඇතුලුව) එයට අදාළ යෝජනාවක් සම්මත කරගැනීමක් හරහා කැරෙන ඉල්ලා සිටීමක දී පමණකි. එවැනි යෝජනාවක් ඉදිරිපත් වුව ද, එම යෝජනාව ප්‍රකාරව ක්‍රියාත්මක වීම හෝ නොවීම තීරණය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ ජනපතිවරයා අතය.

5. පාර්ලිමේන්තුවේ ධූර කාලයෙන් වසර 4 හමාරක් ගතවූ පසුව සිය අභිමතය පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හරහා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනපතිවරයාට අවසරය ඇත.


6. පළමු රැස්වීමේ සිට වසර 5ක කාලයක් ගෙවීමෙන් පසු ජනපතිවරයාගේ කිසිදු මැදිහත්වීමකින් තොරව පාර්ලිමේන්තුවේ ධූර කාලය ඉබේටම අවසන් වන අතර, එය ව්‍යවස්ථාවේ අංක 62(2) වගන්තිය ප්‍රකාරව සිදුවේ.


7. එවන් පස් අවුරුදු ධූර කාලයක් අවසානයේ ජනපතිවරයා ව්‍යවස්ථාවේ අංක 70(5)(බී) වගන්තිය ප්‍රකාරව කටයුතු කළ යුතුවන අතර, ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කැරෙන දිනයේ සිට මාස 3ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ නව පාර්ලිමේන්තුව කැඳවෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත යුතුය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරු නලීන් ද සිල්වා කියා සිටියේ මෙවැන්නකි.

“මගේ අදහස අනුව, ඉහත ඉදිරිපත් කර තිබෙන තර්ක කිරීම් සහ නිගමනයන් හමුවේ අවධානය යොමු කළ යුතුම වන ප්‍රධානම කාරණය වන්නේ ව්‍යවස්ථාපිත අර්ථදැක්වීම්වල මූලික සිද්ධාන්තය වන, ව්‍යවස්ථාපිත සදහනක් එහි සරල සහ සාමාන්‍ය අර්ථයෙන් පැවැතිය යුතු බවත්, ව්‍යවස්ථාපිත සදහන් අර්ථ ගැන්වීම අරබයා පැහැදිලි භාෂාවක් පැවැතිය යුතුවීම තවදුරටත් ශක්තිමත් කළ යුතුව තිබෙන කාරණයක් වන බවත්, යන්නය. ව්‍යවස්ථාපිත සඳහන් පොදුවේ කියවා තේරුම්ගත හැකි තත්ත්වයෙන් පැවැතිය යුතුම වන අතර, ව්‍යවස්ථාව කාර්යක්ෂම සහ විවිධ අර්ථ නිරූපණයන්ට ඉඩක් නොමැති තත්ත්වයක පවත්වාගත හැක්කේ එවිටය”

“ඒ සමගම, ඉහත සදහන් කර තිබෙන තර්කයන් සහ නිගමනයන් ගෙනහැර දැක්වීමේ දී, අදාළ ව්‍යවස්ථාපිත සඳහන්වල අරමුණුවලට ඔබ්බෙන් යන පරිදි, එම සදහන් අවභාවිතා කිරීමක් හෝ වැරදි අරුත් ගැන්වීමක් හෝ සිදුකර නොමැති බව සඳහන් කළ යුතුමය. මගේ අදහසට අනුව, මෙම අර්ථ දැක්වීමේ කාර්යභාරය භාරගෙන සිටින මේ අධිකරණයට, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ, නීතියේ ස්වාධිපත්‍ය ස්ථාපිත කිරීමේ, බලය බෙදා හැරීමේ සහ නුදුසුදු, නොගැලපෙන බලතලයන් කුමන හෝ මහජන අධිකාරියකට නොලැබී තිබෙන බව සහතික කිරීමේ, වගකීමක් තිබේ. මෙම තීන්දුව ආරම්භයේ සදහන් කළ පරිදි 8 වැනි පාර්ලිමේන්තුව බලයට පත්ව වසර 4 හමාරක කාලය ඉක්මවීමට ප්‍රථමයෙන් එය විසිරුවා හැරෙන බව සදහන් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබීම අවිවාදිතය. එමෙන්ම විසිරුවා හරින ලෙස ඉල්ලා කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මතව නොමැති බව ද අවිවාදිතය”

“එනිසාවෙන්, ඉහත සදහන් කර තිබෙන තර්ක සහ නිගමනයන් මත පදනම්ව, ව්‍යවස්ථාවේ 70(1) වගන්තියෙන් ප්‍රකාශයට පත්කර තිබෙන අවසරයන්ට පරිබාහිරව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවත්, එනිසාවෙන්ම එය අවලංගු බවත්, මට කියා සිටීමට සිදුවේ.”

විනිසුරු ආබෲගේ තීන්දුව

විනිසුරු සිසිර ද ආබෲ මහතා දෙමළ ජාතික සන්ධානය ගොනු කර තිබූ පෙත්සමට අදාළව තම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙසේ කීවේ ය.

“ඉහත සදහන් කළ කරුණුවලට අනුව ජනරජයේ ජනපතිවරයා නිකුත් කර තිබෙන....රජයේ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන..ප්‍රකාශය....පෙත්සම්කරුවා වෙනුවෙන් ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම් කඩකර තිබෙන බව මම තීන්දු කරමි. පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බව නිවේදනය කරමින් ජනරජයේ ජනපතිවරයා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ව්‍යවස්ථාවේ අංක 70(1) සහ අංක 70(3) වගන්තීන් හා අනුගත නොවන හෙයින් එම ගැසට් නිවේදනය පදනම් විරහිත සහ අවලංගු බව මම මීට පෙර අවස්ථාවක තීන්දු කළෙමි. ඉහත සදහන් හේතු ප්‍රකාරව මම ජනරජයේ ජනපතිවරයා රජයේ ගැසට් පත්‍රය හරහා, පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බව දක්වා නිකුත් කර තිබෙන නිවේදනය පදනම් විරහිත බව අවලංගු බව මෙයින් කියා සිටිමි..”
නීතිපතිවරයා සහ අනෙක් පාර්ශවයන් ව්‍යවස්ථාවේ අංක 33(2)(සී) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සදහා ජනපතිවරයා වෙත ස්වාධීන, අභියෝග කළ නොහැකි, බලයක් පවතින බවට දක්වා ඉදිරිපත් කර තිබූ කරුණු දැක්වීමක් ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ ද කීවේ ය.

ඉහත සදහන් කළ ආකාරයට නීතියේ සිද්ධාන්තයන් සහ ව්‍යවස්ථාමය අර්ථකතනයන් හඳුනාගැනෙමින් තිබූ අවස්ථාවේ, මෙම අධිකරණය සෑම අවස්ථාවකම, අපගේ නීතියෙන් ජනපතිවරයාට හෝ වෙනත් රාජ්‍ය නිලධරයකුට හෝ වේවා අත්තනෝමතික බලතල හිමිනොවන්නේය යන පදනමේ සිට කටයුතු කළ බව තරයේම කියා සිටිය යුතුය. ව්‍යවස්ථාවේ අංක 33(2)(සී) වගන්තිය මත පිහිටා ජනපතිවරයාට ඔහු කැමැති පරිදි පාර්ලිමේන්තුව කැඳවීමට, සභාවාරය අවසන් කිරීමට සහ විසිරුවා හැරීමට අවසරය තිබේයැයි පැවසීම, ව්‍යවස්ථාවේ අංක 70 වගන්තියේ පැහැදිලි ලෙස සදහන් කර තිබෙන, එම අවසරයන් හා අදාළවන කරුණු නොසළකා හැරීමකි. එනිසාවෙන් එය ප්‍රතික්ෂේප කළ යුතුය..

අගවිනිසුරුවරයා නඩු තීන්දුව කියවන අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වටා විවිධ පිරිස් පොදි ගැසී සිටියහ. අමතර ආරක්ෂාවක් සපයා තිබුණු අතර, කැරලි මර්දන කණ්ඩායම් සහ ජල ප්‍රහාරක ට්‍රක් රථද සූදානම් කර තිබිණ. මූලෝපායික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයකට ද අමතර ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන තිබිණ. අරලියගහ මන්දිරය පිටත කලාපය, ජනපති ලේකම් කාර්යාලය සහ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවස එම ස්ථානවලින් ඇතැමක් විය.