ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන රජත පුස්තක සම්මාන ප්‍රද‌ානයේ දී මෙවර හොඳම කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් පිදෙන සම්මානය දිනා ගත්තේ අනුරාධා නිල්මිණි කිවිඳියයි. ඒ ඇගේ ‘රිදුම් පිරි පිරිමැදුම්’ කාව්‍ය සංග්‍රහය වෙනුවෙනි. කිවිඳියක, නවකතා රචිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක ලෙස ද ප්‍රකට අනුරාධා අතින් ලියැවුණු අගනා කෘති කිහිපයක්ම වෙයි. සවරංපාලිය, ලාලි කෙළිය, වත්සියපත්, මඳහසක මැදියම ආදී කෘති ඒ අතර වෙයි. මෙවර වීමංසා සංවාදය අනුරාධා සමඟයි.

• රජත පුස්තක සම්මානයට පාත්‍ර වූ මේ කාව්‍ය කෘතියේ ඔබට තේමා සැපයූ අත්දැකීම් ගැන මුලින්ම කතා කරමු.
     පළවෙනිම දේ තමයි මේ පොත ප්‍රකාශයට පත් වෙන්නේ මගේ තුන්වැනි කවිපොත ප්‍රකාශයට පත් වෙලා ගෙවුණු වසර තුනකට පසුවයි. ඒ අනුව 2016 වසරේ සිට සහ ඊට පෙර ලියැවුණු සමහර නිර්මාණත්, 2019 වසරේ නොවැම්බර් දක්වා ලියැවුණු නිර්මාණත් මෙහි සංග්‍රහ වෙනවා. ඒ සියල්ලේම තේමා සහ අමුද්‍රව්‍ය සපයන්නා බවට පත්වෙන්නේ මේ මහපොළවයි. මේ වටා පිටාවයි. සමහර සිදුවීම් රටින් පිටස්තර අත්දැකීම් හෝ කාරණා වුණත් ඒ සියල්ලම පෙරී එන්නේ මනුෂ්‍යත්වයේ ගැඹුරු සිදුරු, දෝනා තුළින්ම තමයි. ඒ හැර සම්මානයක් අරමුණු කොට හෝ සම්මානයක් උදෙසා ලියැවුණු කිසිවක් මෙහි අන්තර්ගතයේ නැහැ.

• ඔබේ බොහෝ කවිවල ස්ත්‍රීවාදී  දෘෂ්ටි වාදය වගේම විරෝධාකල්ප මතුවන බව විචාරකයන්ගේ අදහසක්. මේ විශේෂතාවයට යම්කිසි හේතුවක් තිබෙනවා ද?
     එතැන දී මුලින්ම අපි යම් පැහැදිලිකර ගැනීමක් කරගත යුතුයි කියලා මම විශ්වාස කරනවා.
     මේ ‘ස්ත්‍රීවාදය’ කියන වචනයම අපේ ශබ්දකෝෂයට එන්නේ බටහිර සංකල්පත් එක්ක. ඒ හරහා බැඳුණු යුතුකම් වගකීම්, අයිතිවාසිකම්, වගවීම් සහ වගන්ති සම්මුතීන් ගණනාවක ප්‍රතිඵලයක් විදිහට. ඒක, ඇත්තටම කිසියම් නිර්මාණ කාර්යයකින් පිටස්තරව පවතින වෙනමම ක්‍රියාවලියක්.
     ‘ස්ත්‍රීවාදය’ සහ මගේ කවියෙන් නිර්මිත ස්ත්‍රිය කිසිම විටෙක සමපාත වන්නේ නැහැ. හැබැයි හුඟක් අය මගේ කවිය බැහැර කරන්න අවශ්‍ය ගැළපෙනම ‘මෙවලම’ විදිහට පාවිච්චි කරන්නෙ ඔබ ඔය කියන ‘ස්ත්‍රීවාදී’ යෙදුමයි. මොකද ඔවුන් කිසිම දවසක මගේ කවියෙන් මතු කරන ස්ත්‍රිය කෙබඳු අයෙක් ද යන්න දැනගැනීමට ඇයගේ හඬට සවන් දී නැහැ. පුරාතන පද්‍ය කාව්‍යයේ සිට නූතන කවියන් දක්වාත් එදිනෙද‌ා ජීවිතයේ මහා පොදු සමාජය තුළත්, ‘ප්‍රමෝදයේ වස්තුව’ කියන ස්ථාපිත මතවාදයෙන් බැහැරව ස්ත්‍රිය දෙස බලන්නට තවම අප සූද‌ානම් නැහැ. මගේ කවියෙන් නිරූපිත ස්ත්‍රිය සමාජයට යෝජනා කරන්නේ ඊට වෙනස් අදහසක්. එය ස්ත්‍රීවාදය වැනි තනි අවලස්සන වචනයකට පමණක් ගොනුකළ හැකි යථාර්ථයක් නොවෙයි.
     අනෙක් අතට මම විරෝධාකල්ප ලියන්නියක් වශයෙන් විචාරකයන් අදහසක් මතුකරනවා නම් ඇත්තටම ඒ ගැන කියල විශේෂ දෙයක් මට කියන්න නැහැ.

•   කවිය අද තරුණ පරපුර වැළඳගත් කලාවක්. ඒත් ප්‍රවීණයන් චෝදනා කරන්නේ තරුණ කවියන් බොහෝ දෙනා සම්ප්‍රදාය නොදැන වර්තමානය පමණක් අතපත ගාමින් සිටින බවයි. එවැන්නන්ට කවියේ වැඩිදුර යා නොහැකි බවයි ඔවුන් කියන්නේ. ඔබේ අදහස?
    පළවෙනිම කාරණය රටත් සමාජයත් විනාශයට, අගතියට යොමුකරන ප්‍රවාහයන්ට තල්ලු වීම වෙනුවට කවිය වැනි ඉසියුම් මාධ්‍යයක් කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව නූතන තරුණ ප්‍රජාව පිළිබඳව මට තියෙන්නේ අතිශයින්ම තෘප්තිමත් හැඟීමක්. මම එහෙම කියන්නේ ප්‍රවීණයෙක් කියන හැඟීමෙන්වත් ඔවුන්ට වඩා ඉහළ වේදිකාවක සිට ඔවුන් නරඹන කෙනෙක්වත් වශයෙන් නොවෙයි. ඔවුන් සමඟ එකම වැඩබිමෙක නිශ්චිත වගකීම් කොටස ඉටුකිරීමට යම් උත්සාහයක් ගන්න කෙනෙක් හැටියටයි. අනෙක් අතට ‘සම්ප්‍රද‌ාය’ කියන වචනය මම නම් නිර්වචනය කරගන්නෙ වෙනස් ක්‍රමයකට. දිගින් දිගටම පැවත එන සම්ප්‍රදායන් ආරක්ෂා කළ යුතුයි කියන කාරණයට වඩා මම මුල්කොට සලකන්නේ නිර්මාණකරුවෙකු වශයෙන් තමන්ගේ ඇතුළාන්ත පූර්ණත්වය ළඟාකර ගත හැකි මාර්ග සොයා පහද‌ා ගැනීම. ඒවාට යොමුවීමට ඔහු හෝ ඇය තුළ වන උනන්දුව හා කැපවීම කොතෙක් ද යන්න පිළිබඳවයි.
    හැබැයි ඒකෙන් මම අදහස් කරන්නේ නෑ පෙරදිග, බටහිර, එහෙම නැත්නම් ලතින් ඇමෙරිකානු විචාරකයන්ගේ කවි, කිවිඳියන්ගේ නාම ලේඛනයක් කට පාඩමින් කියාපාන්නට හැකිවීම පමණක් හැද‌ෑරීම වශයෙන් වරදවා අර්ථ දක්වා ගතයුතු බව. සම්ප්‍රදායේ හැදෑරීමේ පූර්ණත්වයේ සාරය තැවරිය යුත්තේ අවසාන වශයෙන් තමන්ගේ නිමැවුම මතයි.
    පරාක්‍රම කොඩිතුවක්කු, රත්න ශ්‍රී විජේසිංහ, මොනිකා රුවන්පතිරණ, ආරියවංශ රණවීර, ලාල් හෑගොඩ, නන්දන වීරසිංහ යන අපේ කවියේ ජීවමාන අග්‍රඵලයම ඒ තර්කයට ප්‍රමාණවත් සාක්ෂි සපයන බව මම මේ මොහොතේත් විශ්වාස කරනවා. ඉතින් නූතන පරපුරට හැදෑරීමක් නැති බවට ප්‍රවීණයන් චෝදනා කරන බව නිර්මාණකරුවෙකුට හෝ නිර්මාණකාරියකට හැඟී යන්නේ නම් කළ යුතු එකම දෙය තමන්ගේම ඇතුළාන්තය දෙස යළි ආපිට හැරී බැලීමයි.

• සම්මාන නිසා නිර්මාණකරුවන්ගේ කිසියම් උද්‍යෝගයක් දකින්න පුළුවන්. ඒත් එන්න එන්නම සම්මාන උත්සවවල විනිවිදභාවය හා වගකීම් සහගත බව දියාරු වෙමින් තිබෙන බවයි බොහෝ දෙනා කියන්නේ. නිර්මාණ රචිකාවක් හා මාධ්‍යවේදිනියක් හැටියට මේ තත්ත්වය කොහොමද දකින්නේ?
    නිර්මාණකාරියක් විදිහට නම් සම්මාන උලෙළ පිළිබඳව කතා කරන්න යමක් ඇති කියල මම හිතන්නේ නෑ. මොකද පෞද්ගලිකව මට අනුව සම්මාන කියන්නේ මුළුමනින්ම නිර්මාණකරණයට පිටස්තර කාරණයක්. ඒත් පොතක් කියන්නේ අවසානෙ වෙළෙඳපොළ භාණ්ඩයක් බවට පරිවර්තනය වෙන මොහොතෙදි එහි තීරක සාධකය බවට ‘සම්මානය’ පත්වෙනවා. මේක ලංකාවට පමණක් නොවෙයි ලෝකයේම පත පොතට අද‌ාළ බව විශ්ව සාහිත්‍ය සම්මාන ප්‍රද‌ානයන්ගෙන් පසුව ඒ පොත් වෙළෙඳපොළ හැසිරීම පිළිබඳව උනන්දු කෙනෙකුට දැක බලාගත හැකියි. හැබැයි ලෝක මට්ටමෙන් පැවැත්වෙන එවැනි අති දැවැන්ත සම්මාන උලෙළ පවා හැකිතාක් වගකීම් සහගතව වගේම විනිවිද පෙනෙනසුළු චෝදනා අවම වන අයුරින් පැවැත්වීමට ඒ සංවිධායක මඩුලු අවංකවම කැපවෙන බව අපට පෙනෙනවා.

• සියලු සම්මානවලින් පසු බොහෝ පොත්පත් අමතක වෙලා යනවා. මේ පොත් ගැන පසු විපරම් සංවාදයක්, විචාරයක්, කතිකාවක් දකින්නට නැති තරම්. නිසි විචාරයක් නැති සාහිත්‍යයේ දියුණුවක් අපේක්ෂා කළ හැකි ද?
    සාහිත්‍යය කියන වචනයත් එක්කම මුල් කාලෙ අපට අහන්න ලැබුණු අනිත් වචනය තමයි ‘ගුරුකුලය’. ඒ කාලෙ මේ වචනයත් එක්කම එක විශ්වවිද්‍යාලයක නමකුත් ඈඳිලා තිබුණා.
    අද වන විට මේ ‘ගුරුකුල’ කියන සංකල්පය තනි තනි විශ්වවිද්‍යාල, දැවැන්ත නිර්මාණකරුවන්, තමන් විචාරකයන් යැයි තමන් විසින්ම කියා ගන්නා පිරිස් සහ අවසාන වශයෙන් මුහුණු පොතේ සාහිත්‍ය සෙල් පිළිම වශයෙන් වන්දනාමාන ලබන්නන්ගේ ආශ්‍රිත කණ්ඩායම් සූප්පු කරන ‘ලොසින්ජරයක්’ බවට නිර්මාණය වෙලා ඉවරයි. සමහර ගජමිතුරු කල්ලි හිතන්නෙ කවිය ඔවුන්ගේ අයිතියක් කියල. එවැනි පසුබිමෙක, වටා පිටාවක, හොඳ කෘතියක් පිළිබඳව යහපත් සාහිත්‍ය සංවාදයක්, විචාරයක්, කතා බහක් ඇතිවේ යැයි සිතීම පවා මට අනුව නම් විහිළුවක්.

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)