හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණානුස්මරණය මේ මස 26 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1899 දා රදලයකු ලෙස උපත ලැබුවේ හොරගොල්ල වලව්වේය. රදල නිවසේ ඉංග්‍රීසි සිරිත් විරිත් අනුගමනය කළ පරිසරයක හැදුණ නමුත් ජාතික සිරිත් විරිත් හා ජාතික හැඟීම් ඔහු තුළ කුඩා කල පටන්ම වර්ධනය විය. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකුට දැරිය හැකි උසස්ම තනතුර දරා උපාධියද ලැබ එංගලන්තයේදී බැරිස්ටර්වරයකු ලෙස නීති වෘත්තියට ඇතුළත් වී පැමිණ සියලු සම්පත් පරිත්‍යාග කරමින් සඳලුතලෙන් බැස දේශපාලනයට පිවිසියේ තමා උපන් පන්තියට සේවය කිරීමට නොව ජනතාව දුකින් මුදා ගැනීමටය. එතුමා එදා දැමූ පදනම ඉතිහාසයේ සදා සුදිලෙයි.

ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය හමුවේ ඔහු පළමුවෙන්ම කළ කථාව ලෙස සැලකෙන්නේ ‘‘වර්තමාන පාර්ලිමේන්තු ක්‍රමය නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතා සඳහා පිළිතුරු නොසපයයි’’ යනුවෙන් 1921 නොවැම්බර් 17 වැනිදා කළ කතාවය. වාද විවාදවලින් තත්ත්වය දියුණු කර ගත් එතුමා පසුකාලයේදී ඔක්ස්ෆර්ඩ් සිසුන් අතර ආසියාවේ රිදී සීනුව යන විරුදාවලිය ලැබීමට සමත් විය.

1927 දී කොළඹ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වෙමින් පළමුව දේශපාලනයට පිවිසි බණ්ඩාරනායක මහතා 1931 දී වේයන්ගොඩ මැතිවරණ කොට්ඨාසයෙන් නිතරගයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්විය. 1947 මහ මැතිවරණයේදී ඡන්ද කොට්ඨාසයකින් ලද විශාලම වැඩි ඡන්ද ලැබූ බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂ රජයේ පළාත් පාලන හා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, පාර්ලිමේන්තුවේ සභානායක වශයෙන්ද කටයුතු කළ අතර එම පක්ෂයේ උපනායකයාද විය.

ඔහු කොතැනක වැඩ කළද එතැන වර්ණවත් කළේය. ඉහළ වගකීම් දැරීමට සුදුස්සෙක් වූයේය. කළ යුතු දේ පසුවට නොතබා ඒ මොහොතේම කර සෙසු දේශපාලකයන්ට ආදර්ශයක් දුන්නේය. ඔහු නිසා එක්සත් ජාතික පක්ෂය බැබළුණේය. ඒ අතර පක්ෂයේ ඊළඟ නායකයා ලෙස ඩඩ්ලි සේනානායක මහතා පත් කිරීමට ඩී.එස්. සේනානායක මහතා කටුයතු කරමින් සිටියේය. එහි ප්‍රතිඵලය වූයේ තමන් දැරූ පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ද, සභානායක ධුරයෙන් ද එක්සත් ජාතික පක්ෂයෙන් ද ඉල්ලා අස් වූ බණ්ඩාරනායක මහතා විපක්ෂයේ අසුන් ගැනීමය. ඒ අවස්ථාවේ එතුමාගේ සෙවනැල්ල මෙන් විපක්ෂයේ අසුන් ගත්තේ වත්මන් ජනාධිපතිතුමාගේ ආදරණීය පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1952.09.02 වැනිදා ආරම්භ කැරිණි. බණ්ඩාරනායක තරුණ වියේ පටන් තම සිත් සතන් තුළ බලපෑ ගැමියා ප්‍රමුඛ පංච මහා බලවේග සංවිධානය කිරීමේ කාර්යය එතැන් සිට ඇරැඹුවේය. 1956 තෙක් ලාංකීය දේශපාලන ව්‍යාපාරය තුළින් ලද අත්දැකීම් එතුමාගේ දේශපාලන අදහස වර්ධනය වීමට මෙන්ම දේශපාලන ප්‍රතිපත්ති තීරණය වීමේදීත් බලපෑවේය. මෙයට සමගාමීව එතුමා තුළ තිබූ විචක්ෂණශීලී දේශපාලන ක්‍රියාදාමය ජාතික නායකත්වය කරා එතුමා ළඟා කරවීය.

ධනවාදය හා සමාජවාදය වෙනුවට මැදි පිළිවෙතක් ඉදිරිපත් කළ බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයට දේශපාලන වශයෙන් විරුද්ධ සෙසු පක්ෂවල සහයෝගය ලබා ගත යුතු බව තේරුම් ගත්තේය. සිංහලයන් අතර මුලින්ම සමගිය ඇතිකර ගත යුතු බවත් පසුව සෙසු ජනකොටස් ඒකාබද්ධ කර ගත යුතු බවත් ඔහුගේ අදහස විය.

ශ්‍රී ලංකාවට යෝග්‍ය වන්නේ ස්වදේශීය ජන සංස්කෘතික රටාවට ගැළපෙන දේශපාලන තීන්දු බව එතුමාගේ අදහස විය. සමකාලීන දේශපාලන න්‍යායන් අවබෝධ කර ගනිමින් යථාර්ථවාදී දේශපාලන අදහස් ඉදිරිපත් කිරීමට ඔහු සමත් විය. මහජන සිතුම් පැතුම් තේරුම්ගෙන ඊට අනුරූප ලෙස දේශපාලන ප්‍රතිපත්ති සකස් කිරීමට මෙතුමා සමත් විය.

1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගත් මහජන එක්සත් පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මැතිවරණයට එළඹෙන්නේ මෙම පසුබිම මතය. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් පැමිණි සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග ඒකරාශී කොට ගම් මට්ටමෙහි සිට පුළුල් වැඩපිළිවෙළක් හඳුන්වාදීම තුළින් මහජන එක්සත් පෙරමුණට විශිෂ්ට ජයක් ලබා ගැනීමට හැකි විය.

එතුමා බලයට පත්වීමෙන් පසු රටේ දේශපාලන, ආර්ථික හා සාමාජීය විප්ලවයක් ඇතිවිය. එතෙක් ධනවතුන් කිහිප දෙනෙකු සතුව තිබූ ශ්‍රී ලංකාවේ වෙළෙඳාම ඇතුළු ආර්ථික ක්‍රියාවලිය පොදුජන ව්‍යවසාය ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම මගින් නව මාවතක් විවෘත කරනු ලැබීය.

ස්වභාෂා අධ්‍යාපනය සියලු ප්‍රදේශවල ව්‍යාප්ත කළේය. කොටසකට පමණක් එතෙක් සීමා වූ අධ්‍යාපන පහසුකම් සියලු ජන කොටස් වෙත ගලා යෑමට ඉඩ සැලැස්වීමෙන් අධ්‍යාපනයේ දැවැන්ත විප්ලපයක් ආරම්භ විය. අද රට තුළ මෙන්ම රටින් පිටතත් අනේක විධ සේවා සපයන විද්වතුන් අති විශාල සංඛ්‍යාවක් සාමාන්‍ය පවුල්වලින් බිහිවී ඇත්තේ මේ නිසාය. ඔවුහු සැවොම 1956 විප්ලවයෙන් බිහි වූ දරුවෝය.

බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ඇති කළ සමාජ විප්ලවය නොවන්නට තමන් වෙත එල්ල වී තිබූ පීඩනයෙන් මිදී සමාජ කරලියේ තමන්ට හිමි ස්ථානය සොයා ගැනීමට ගම්බද තරුණ තරුණියන්ට අවස්ථාව නොලැබෙනු ඇත.

අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා යනාදී කුමන ක්ෂේත්‍රයක් ගත්තද ඒවායෙන් ලැබෙන ප්‍රතිලාභ වැඩ කරන ජනතාව ඇතුළු සාමාන්‍ය ජන කොටස් වෙත ලබාදීම සඳහා ස්ථිර අඩිතාලමක් දැම්මේය. සාධාරණ වැටුප් සේවා පහසුකම් හා විශ්‍රාම ගිය පසු අර්ථසාධක සුබසාධක පහසුකම් ලබාදීම ඇතුළු වැඩ කරන පංතියේ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගත් මුල්ම නායකයා බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ය. දේශපාලනය විසින් මෙහෙයවිය යුතු සෑම අංශයක් කෙරෙහිම විහිදුන දර්ශනයක් බණ්ඩාරනායක දර්ශනය තුළ විය. එම දර්ශනය තුළ රට ප්‍රපාතයට නොවැටී සෞභාග්‍යය දෙසට කැඳවාගෙන යාමට අවශ්‍ය සංකල්ප ගැබ්ව තිබිණි.

ශක්තිමත් රාජ්‍ය අංශයක් තිබිය යුතු යැයි කල්පනා කළ එතුමා ගුවන්තොටුපළ, වරාය, තෙල් හා බස් ජනසතු කළේය. එමගින් රක්ෂණ සංස්ථාව, රාජ්‍ය බැංකු රාජ්‍ය සංස්ථා රාශියක් ආරම්භ කිරීමට යෝග්‍ය වූ ආර්ථික පදනම වැටිණි.

එතුමා සිය යුග කාර්ය පෙළගස්වමින් ජනතා අවශ්‍යතා සඳහා ලබාගත් ආණ්ඩු බලය පවත්වා ගනිමින් අවුරුදු තුනහමාරක කාලයක් උදාර සටනක් කළේය. එය නොඉවසූ පිරිසක් එතුමා ඝාතනය කළත් සැබැවින්ම දේශපාලනයටත්, දාර්ශනික මතවාදයටත් එතුමාගේ පෞද්ගලික චරිත ලක්ෂණ එක් කළ විශිෂ්ටාර්ථයක් තවත් සියවස් කලක් වුවද ඉක්මවා වර්ධනය වෙමින් පවතිනු ඇත.

පොදු ජනතාව කළගුණ දනිති, කළගුණ දක්වති, සලකති. එය සැබෑ සිංහල බෞද්ධ සිරිතය. අති නිර්මල උතුම් දහම් පණිවිඩයකි. ඒ ‘‘සාරධර්ම’’ ගැබ්ව ඇත. අදත් සිංහල බෞද්ධයන් ඒ සාරධර්මය කළගුණ සැලකීම අකුරටම ක්‍රියාවට නගන බවට වෙනත් සාක්ෂියක් මීට වඩා අවශ්‍ය නැත.

හිටපු අගමැති බණ්ඩාරනායක මහතාට නිවන් සැප ලැබේවා.

(*** රූබන් වික්‍රමආරච්චි)