මෙරට පාර්ලිමේන්තුවට අලු‍ත් සාමාජිකයන් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණයේ කටයුතු දැන් ක්‍රියාත්මකය. පාර්ලිමේන්තුවට තේරී පත්වනවා මිස බලෙන් ඇතුළුවී සාමාජිකත්වය ගත නොහැක. පාර්ලිමේන්තු සාමාජිකයා යනු මහජන නියෝජිතයා ය. ඔහු හෝ ඇය හෝ පෞද්ගලිකව ඉල්ලු‍ම් පත්‍ර දමන්නේ නැත. ඉදිරිපත් කරන්නේ නාම යෝජනා මිස ඉල්ලු‍ම් පත්‍ර නොවේ ය. එනම් තමන්ලාගේ නියෝජිතයන් ලෙස පත්විය යුතු යැයි සිතන අයගේ නම් ජනතාව විසින් යෝජනා කරනු ලබන්නේ ය. ඒ කටයුත්ත සියලු‍ ජනයාට එකට කළ නොහැකි නිසා ග්‍රාමීය ප්‍රාදේශීය සහ දිස්ත්‍රික්ක මට්ටමෙන් ජනතා එකඟතාවෙන් තේරී එන අයට අපේක්ෂක අයිතිය අනිවාර්යයෙන්ම ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක වගකීමක් ය. ඒ ක්‍රියාවලිය පක්ෂයක කතිපයාධිපති කල්ලියකගේ අත්තනෝමතිකත්වය උඩ සිදුවන්නේ නම් ඒවා නමට පක්ෂ ය. ඇත්තටම නම්  පක්ෂ නොව කල්ලිය. මැතිවරණවලට පෙර අපේක්ෂකවරණ නැතිකම වනාහි ප්‍රජාතන්ත්‍රවාදය ගිලා බහින කළු කුහරයකි. එහෙත් ලෝකයේ ජන සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය නොව සටකපට ප්‍රජාතන්ත්‍රවාදය බලවත් නිසා බොහෝ තැන්වල පවත්වන්නේ මැතිවරණ පමණි.

ඉල්ලු‍ම්පත්‍ර නොව නාම යෝජනා ඉදිරිපත් කළ පසු පත්වීම් ලබන්නේ සම්මුඛ පරීක්ෂණ හෝ තරග විභාහ මාර්ගයෙන් නොව ජනතාවගේ ඡන්දයෙන් ය. ඡන්දය යනු කැමැත්තය. කැමැත්ත ලබාගත යුත්තේ කැමැත්තෙන් හෝ හරයාත්මක අවබෝධයකින් ය. විවිධ උපා මගින් අකැමැත්ත කැමත්තක් බවට හරවා ගැනීම එනම් කැමැත්ත සකස්කිරීමෙන් හෝ පොළඹවා ගැනීමෙන් හෝ කූට උපාවලින් හෝ බලහත්කාරයෙන් හෝ රැවටීමෙන් හෝ ලබා ගැනීම, යහ ප්‍රජාතන්ත්‍රවාදයට අයිති වන්නක් නොවේ.

එක්කෝ එය ප්‍රජාතන්ත්‍රවාදයකි, නැතහොත් එය සහචර කල්ලිතන්ත්‍රවාදයකි. ගෙයින් ගෙට ගොස්, තමන්ලාව අපේක්ෂකයන් ලෙස යෝජනා කළ ජනයා මුණගැසීමෙන් එහාට ගිය වර්තමාන මැතිවරණ ප්‍රචාරණ ක්‍රමය සහ කර්මාන්තය වනාහි ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සන්නිවේදනයක් නොව දේශපාලන අලෙවිකරණයකි. ඒ අලෙවිකරණයත් සාධාරණ එකක් නොව සේරිවාණිජ පන්නයේ අලෙවිකරණයකි, වෙළඳාමකි.

පාර්ලිමේන්තුවේ සාමාජිකයා (Member of Parliament - MP) යන්නට සිංහල කතා කරන්නන් භාවිතා කරන්නේ මන්ත්‍රී, මන්ත්‍රීවරයා, මන්ත්‍රීතුමා වැනි වචන ය. මන්ත්‍රී යන්න බිඳී එන්නේ මන්ත්‍රණ යන සංස්කෘත පදයෙනි. මන්ත්‍රණය කරනවා යනු සාකච්ඡා කරනවා යන්නය. ඒ අනුව මන්ත්‍රී යනු සාකච්ඡා කරන්නා යන අර්ථය ගෙන එන්නකි. ඒ පැහැදිලි කිරීම දැනගත්තේ පරසිදු සිංහල භාෂා ගුරුවරයෙකු වන මා මිත්‍ර සුසිල් ජයසිරි ගෙනි. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයට අනුව මන්ත්‍රී යනු රාජාදීන් හා රහස් සාකච්ඡා පවත්වන අය, දේශපාලනය සඳහා පත් කළ අය, උපායෙහි දක්ෂයා, මන්ත්‍ර දන්නා යන තේරුම් ඇති පදයක් ය. මන්ත්‍රීන් යනු සාකච්ඡා කරන්නා නම් ආණ්ඩුකාලය පුරාම අඩුම තරමින් විනාඩියක හෝ කිසිම කතාවක් පාර්ලිමේන්තුවේ නොකළ අය හැඳින්විය යුත්තේ කවර නමකින් ද යන්න අපගේ විමසුමට ලක්විය යුතුය. ඔවුන් එසේ කතා නොකළාට නැවත නැවතත් ඔවුන්ට අපේක්ෂක වරම් ලබා දෙන පක්ෂ යැයි කියාගන්නා අය පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් ද යන්න පිළිබඳවත් අපගේ අවධානය යොමු විය යුතුය. සටකපට ප්‍රචාරණය අවශ්‍ය වන්නේ මෙවැනි අය දිගින් දිගටම පාර්ලිමේන්තුවට යැවීමට මිස සැබෑ ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට යැවීමට නම් නොවේ ය. මේ මගින් බලයට පත්වන මන්ත්‍රීන්ට ගැළපෙන නියම අර්ථය ශ්‍රී සුමංගල ශබ්දකෝෂයෙහි ඇති රාජාදීන් හා රහස් සාකච්ඡා පවත්වන්නා සහ උපායෙහි දක්ෂයා යන්න බව මගේ යෝජනාවය.

රටක ක්‍රියාත්මක වන්නේ යහ ප්‍රජාතන්ත්‍රවාදය නම් ඊටම ගැළපෙන පක්ෂ ක්‍රමයක් නම් ඒ දෙකම නියෝජිතයන් සඳහා වන අපේක්ෂකයන් තේරීම සඳහා ද ජනයාට මූලිකත්වය දෙන යාන්ත්‍රණ සකසා ගන්නේය. එහෙම ජනයා තෝරා දෙන අපේක්ෂයන්ට අමුතු ප්‍රචාරණයක් අවශ්‍ය නැත. ඔවුනට සමාජ දේශපාලන සාක්ෂරතාවක් ලබාදීමේ දැනුවත් කිරීමේ කූටෝපායික නොවන සරල ක්‍රමවිධි භාවිතා කිරීමේ වැරැද්දක් නැත. එසේ නොමැතිව කෝටි ගණනින් මුදල් සහ සහචර සම්බන්ධතා යොදා ගනිමින් රටේ සියලු ආකාරයේ මාධ්‍ය මගින් සිදුකරන ක්‍රියාන්විත,  වනාහි ප්‍රජාතන්ත්‍රවාදයට නොව සටකපට දේශපාලන අලෙවිකරණයට අයත් වන්නකි. එපමණක් නොව අපේක්ෂිත බල වැයික්කි පුරා දැන්වීම් කටවුට් ප්‍රදර්ශනය කිරීමට ද නිදහස ඉල්ලති. මේ තත්ත්වය වනාහි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධාර්මික ගැටලු‍වකි. ඉන් එකක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් දැයි නොදැන සිටීමය. අනෙක එය දැනගැනීමට වුවමනාවක් නැති කමය. අනෙක එය කණපිට ගැසීම මගින් තම පෞද්ගලික බල වුවමනාව සපුරා ගැනීමය. මා මිත්‍ර ජගත් ලියනාරච්චි කියන ආකාරයට නම් මෙරට ඇත්තේ ‘හෙල්මට් ප්‍රජාතන්ත්‍රවාදයකි’. ඒ ගැන පසුව පහදමි.

අලෙවිකරණය සඳහා ප්‍රචාරණය අවශ්‍ය වන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය නැති සහ අදාළ නැති නොවිකිණෙන භාණ්ඩ, අවශ්‍ය අදාළ විකිණෙන ඒවා  බවට පත්කර ගැනීමට ය. ඇස්කිමෝවරුන්ට ශීතකරණ මිල දී ගැනීමට සිදු කිරීම ප්‍රචාරණයේ කෙළවර යැයි ප්‍රකාශ කරන්නේ ඒ නිසාය. හැබැයි අවසානයේ ඇස්කිමෝවරුන්ට ශීතකරණවලින් ඇති පලක් නැත, මහජනයාට මන්ත්‍රීන්ගෙන් පලක් නැත.

දේශපාලන අලෙවිකරණය විෂයට අනුව දේශපාලන වෙළෙඳපොළ තුළ අපේක්ෂකයා යනු දේශපාලන භාණ්ඩයකි. ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්නේ ජනයා නොවේ. එබැවින් ඔවුහු ඒ භාණ්ඩය ගැන කිසිවක් නොදනිති. ඒ නිසා ජනයා යනු දේශපාලන පාරිභෝගිකයෝය. ඒ අනුව මැතිවරණ ප්‍රචාරණය යනු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොව දේශපාලන බඩු විකුණන ප්‍රචාරණ ක්‍රියාන්විතයකි. එනම් වෙළඳ තන්ත්‍රවාදයකි. ඒ අයිතිය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය මන්තරයක් සේ ජපකරන පක්ෂ ලේකම්ලා කියන්නේ ‘අපි කොහොමද අපේ අපේක්ෂකයන් ජනතාවට හඳුන්වා දෙන්නේ?’ කියා ය. ජනයා ඇසිය යුත්තේ ‘අපි නොදන්න අය අපි වෙනුවෙන් ඉදිරිපත් කළේ මොන එහෙකට ද?’ යන්නය.

මා හිතන ආකාරයට මේ මොහොතේ මැතිවරණ ප්‍රචාරණය පිළිබඳව මැතිවරණ කොමිසම සහ බල-දේශපාලන කණ්ඩායම් අතර පවතින විරසකය සහ මත භේදය ගැන අපගේ අවධානය යොමු විය යුත්තේ ඉහත කී පුළුල් සන්දර්භයේ පිහිටා ය.

ජනතාවත් මැතිවරණ කොමිසමත් නිරීක්ෂණ කණ්ඩායමුත් ඒ ගැන අවධානය යොමුකොට නැත. සිදුවන්නේ මැතිවරණ කොමිසම ඉතාම ඉහළට ඔසවන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ  සියලු‍ දෙනා අවභාවිතාවේ යෙදවීම ය. මේ මැතිවරණය ස්වකීය මුල්‍ය ලාභය සඳහා පාවිච්චි කරන සහ කොල්ලකන වෙළඳ ප්‍රචාරණ කොම්පැනිවල ගොදුරු බිමක් බවට පත්ව ඇත. එනම්  ඒ හයිනාවන් සහ ගිජු ලිහිණින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපරිමයෙන් භුක්ති විඳින බව පෙනේ. පොදු ජනයාගේ මුදල් මිලියන දහසක් පමණ ඍජුවම වැය කොට මේ නටන නාඩගම තමන්ලාට එරෙහිව සිදුකරන කොඩිවිනයක් බව ජනතාව තේරුම් ගත් දවසක මේ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය උපදිනු ඇත යන්න මගේ විශ්වාසය ය.   

‘ලංකාවේ ඇත්තේ හෙල්මට් ප්‍රජාතන්ත්‍රවාදයකි’ යැයි ඉහත සඳහන් කළ දෙය කෙටියෙන් පැහැදිලි කර ගනිමු. මෙරට යතුරුපැදිකරුවන් සහ කාරියන් බොහෝ දෙනකු හෙල්මට් පළඳින්නේ ආරක්ෂාවට නොවේ. පොලීසිය දඩ ගසාවි යන බියට ය. එසේම මෙරට දේශපාලකයන් ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ඇඳුම් ආයිත්තම් පළඳින්නේ පොදු ජන යහපත සහ නියෝජනය සඳහා නොව පෞද්ගලික බල අරමුණු සාධනය සඳහා ය.  ප්‍රජාතන්ත්‍රවාදය ගැන සැබෑ බැඳීමකින් නොවේ ය. මේ පැහැදිලි කිරීමට එකඟ අයකු අත එසවිය යුත්තේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට පක්ෂව ද? විරුද්ධව ද?

ගෙයින් ගෙට යෑම හැර සියලු‍ ආකාරයේ මැතිවරණ ප්‍රචාරණ වැඩ නීතියෙන්ම තහනම් කළ යුතුය යන්න මගේ යෝජනාව ය. ඒ යටතේ මුදල් ගෙවා හෝ නොගෙවා සිදුකරන රේඩියෝ, රුපවාහිනී සහ  පුවත්පත් ප්‍රචාරණය තහනම් කළ යුතුය. සමාජ මාධ්‍ය නියාමනය කළ යුතුය. ඒ සියල්ල කළ යුත්තේ නීතියේ පාලනයට යටත්ව මිස කාගේ හරි වුවමනාවට නොවිය යුතුය. සියලු‍ බල-දේශපාලන කණ්ඩායම්වලට, පුද්ගල ප්‍රවර්ධනය සඳහා නොව, සිය කණ්ඩායමේ අදහස් ප්‍රවර්ධනය කිරීමට පමණක් සාධාරණව මාධ්‍ය කාල ලබාදෙන නෛතික විධි විධාන සැකසිය යුතුය. ඒවා රාජ්‍ය පෞද්ගලික දෙඅංශයටම අදාළ කළ යුතුය. හරවත් දේශපාලන සන්නිවේදනය යටගොස් සටකපට දේශපාලන අලෙවිකරණය බලවත් වී බාල බඩු ඉහළම මනාපවලට අලෙවිවන සමාජයක, ගාල කඩාගත් මැතිවරණ ප්‍රචාරණ නිදහස සීමා කළ යුතුමය. ඒ සඳහා නීති අවශ්‍යය.

එසේම මැතිවරණ කොමිසම කඹ ඇදීමේ සහ චණ්ඩිපාට් දැමීමේ සරල රසාස්වාදයෙන් මිදී පුද්ගල බල-පෙරේතකරුවන්ගෙන් සහ  වෙළඳ ප්‍රචාරණ කර්මාන්තයෙන් එනම් හයිනාවන්ගෙන් සහ ගිජු ලිහිණින්ගෙන් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීමට මැදිහත් විය යුතුය. ඊට නීති අවශ්‍යය. ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත සංස්කෘතියක් නැති රටක අසරණ ජනයාට පිහිටක් පැතිය හැක්කේ නීතියෙන්ම පමණි. හැබැයි ඒ දේවාලයටත් හෙණගසා තිබුණොත් කාට කියන්නද මේ දුක?

***

කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක