‘ට්‍රැවල් බබ්ල්’ ක්‍රමයේ සාර්ථකත්වය, යුක්‍රේන සංචාරක ව්‍යාපෘතිය ගැන විවේචන, රාජ්‍ය චක්‍රලේඛ නීති සමාලෝචනය, දේශපාලන පලිගැනීම් කොමිසම් වාර්තාව, පළාත් සභා ගැන ඉන්දීය අවධාරණය, පුවත්පත් මණ්ඩල සංශෝධනය, සමගි ජනබලවේගයේ හවුල්කරුවන්ගේ කනස්සල්ල හා චම්පිකගේ 43 කණ්ඩායම ගැන මෙවර ‘සඳුදා හමුවෙන්’ අදහස් දක්වන්නේ සමගි ජනබලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතායි.  

ප්‍රශ්නය -සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා ආණ්ඩුව ආරම්භ කළ යුක්‍රේන සංචාරක වැඩසටහනට විවිධ චෝදනා නැඟෙමින් තිබෙනවා. විෂය භාර ඇමැතිවරයා පවසන්නේ විවේචන පැවැතියත් එය අඛණ්ඩව සිදුකරන බවයි. ‘ට්‍රැවල් බබ්ල්’ ක්‍රමය ස.ජ.බලවේගය දකින්නේ කෙසේද?
පිළිතුර - ලංකාවේ ආර්ථිකයට සංචාරක කර්මාන්තය අවශ්‍යයි. එහෙත් යුක්‍රේන් සංචාරකයන් ලංකාවට එද්දී අපට වඩා ඒ රටේ කොවිඞ් ආසාදිතයන් වැඩියි. අනෙක් අතට යුක්‍රේනය කියන්නේ ඒක පුද්ගල ආදායම අඩු රටක්. එවැනි රටකින් සංචාරකයන් ගෙනඒම අපේ ආර්ථික ප්‍රශ්නයට උත්තරයක් නෙවෙයි. මහජනයා කොවිඞ් වයිරසයෙන් පීඩාවට පත්වෙලා සිටින වෙලාවක ආණ්ඩුව කළේ අනවශ්‍ය වැඩක්. ඕස්ලිට්‍රේලියාව හෝ නවසීලන්තවය වැනි රටකට ලංකාව විවෘත කළා නම් ප්‍රශ්නයක් නෑ. දැන් මේ කරපු වැඩෙන් වෙලා තිබෙන්නේ සංචාරක ව්‍යාපාරය ගැනත් ජනතාව තුළ භීතියක් නිර්මාණය කරගැනීමක්. මේක හුදෙක්ම එක කණ්ඩායමක්ම සිය ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් මඩිය තරකරගන්න කරපු වැඩක්.

ප්‍රශ්නය -විදේශ සංචාරකයන් සති දෙකක නිරෝධායන කාලයකට අකැමැති යැයි විෂය භාර ඇමැතිවරුන් පවසද්දී වසංගතය හමුවේ නීති දෙකක් තිබිය නොහැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරින් පවසනවා. මේ විවාදවල අතරමැදි එකඟතාවක්  හදාගන්න  පුළුවන්ද?
පිළිතුර - වෙන රටවල සංචාරකයන් ගෙන්වන්නේ නීති පනවා සීමා මායිම් මැදයි. ඒත් ලංකාවේ අපි එහෙම දෙයක් දකින්නේ නෑ. අපට තිබෙන නීතිවත් ඔවුන්ට නෑ. අහිංසක සෆාරි රියැදුරන්ට අත් වූ ඉරණම අපි දැක්කනෙ. අඩුම ගානේ සංචාරක මණ්ඩලයේ නීති රෙගුලාසිවලටවත් අනුගත නොවී එහි සභාපතිතුමියත් නොතකමින් කටයුතු කර තිබෙන්නේ. ව්‍යාපාරිකයන් දෙතුන් දෙනකුගේ වුවමනාවට සංචාරකයන් මේ විදියට ගෙන්වන්න පුළුවන් නම් රටට විදේශ විනිමය උපයන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වන්නේ නැත්තේ ඇයි? අපට පෙනෙන හැටියට නම් අද මේ ආණ්ඩුව පාලනය කරන්නේ ඇමැතිවරුත් නෙවෙයි. ව්‍යාපාරිකයන් කීප දෙනෙක්.

ප්‍රශ්නය - මේ කාරණය ගැන අවශ්‍ය නම් පරීක්ෂණයක් කළ හැකි යැයි නාමල් රාජපක්ෂ ඇමැතිවරයා සමගි ජනබලවේගයට පාර්ලිමේන්තුවේදී පිළිතුරක් දුන්නා. එවැනි පරීක්ෂණයක් ඉල්ලීමේ සූදානමක් තිබෙනවද?
පිළිතුර - නාමල් රාජපක්ෂ මහතා මේ දේවල් සිදුවන්නේ යම් ව්‍යාපාරිකයකුගේ වුවමනාවට යැයි එතැනදී යම් ඉඟියක් දුන්නා. කෙහොම වුණත් අපි  ආණ්ඩුවේ පරීක්ෂණ ගැන නම් සෑහීමකට පත්වෙන්නේ නෑ. අපිට විශ්වාසත් නෑ. ඒ නිසා ජනතාව මේවාට සිය තීරණය ලබාදේවි යැයි අපි හිතනවා. ආණ්ඩුවත් එය දන්නවනෙ. එනිසා තමයි ආණ්ඩුව මැතිවරණයකට යන්න පවා අද බයවෙලා ඉන්නේ.
 
ප්‍රශ්නය - දයාසිරි ජයසේකර ඇමැතිවරයාට කොවිඞ් වැළඳීම සමග පාර්ලිමේන්තු පොකුරක් ගැන යම් කුකුසක් මතුව තිබෙනවා. මැති ඇමැතිවරුන්ගේ පී.සී.ආර් පරීක්ෂාවක් සඳහා යම් ඉල්ලීමක් තිබෙනවද?
පිළිතුර - කොවිඞ් වසංගතයට සමාජයේ බෙදීමක් නෑ. කොහොම වුණත් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. හැබැයි මිථ්‍යාදෘෂ්ටික වැඩ කරලා වැඩක් නෑ. මොකද ඇමැතිවරු කියන්නේ මිනිස්සුත් එක්ක වැඩිපුරම ගැවසෙන පිරිසක්.

ප්‍රශ්නය - ජනතාවට සමීප ක්ෂේත්‍ර ගණනාවක දැනට පවතින චක්‍රලේඛ, උපදෙස්, අවසර පත්‍ර හා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය, රාජ්‍ය මූල්‍ය හා බදු ආදායම් පිළිබඳ නීති සමාලෝචනයට ජනාධිපතිවරයා කොමිසමක් පත්කළා. මෙම පියවර ගැන ඔබේ අදහස කුමක් ද?
පිළිතුර - මම හිතන්නේ එවැනි ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. දේශීය හෝ විදේශීය ආයෝජකයන්ට සිය ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නීතිය හරස්වීම විශාල බාධකයක්. වැඩක් කරන්න ගියාම කල්ගත වෙනවා. ඒවාට ක්‍රමවේද හදන්න ඕනෑ. ඊට හොඳම උදාහරණය නම් ප්‍රේමදාස ජනාධිපතිවරයායි. ඇඟලුම් කම්හල් දෙසීය වැඩපිළිවෙළ ක්‍රියාවට නගද්දී එතුමා කමිටු පත්කළේ නෑ. හැබැයි මම දකින්නේ ජනාධිපතිවරයාගේ අත්දැකීම් නැතිකමයි. එක වෙලාවකදී ඔහු තමන්ගේ වචනය චක්‍රලේඛය යැයි කියනවා. තවත් අවස්ථාවක කමිටු පත්කරනවා.

ප්‍රශ්නය -දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ අධිකරණ තීන්දු අභියෝගයට ලක්වන නිර්දේශ ඇතැයි යම් විවාදාත්මක තත්ත්වයක් තිබෙනවා. මේ සාකච්ඡාව ගැන ස.ජ.බලවේගය කෙතරම් දුරට සැලකිලිමත් ද?
පිළිතුර - ආණ්ඩුව මේ කියන්නේ අපේ අධිකරණය කෙරෙහි විශ්වාසයක් නෑ කියන එකනෙ. හොරකම්, මිනීමැරුම්, ළමයින් අතුරුදන් කිරීම් ආදී අපරාධ සම්බන්ධයෙන් අධිකරණය මගින් තීන්දු දුන්නේ නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළාට පසුවයි. දැන් එම තීන්දු වෙනස්කිරීමට හදනවා නම් මෙය තනිකරම දේශපාලන කොමිසමක්. වසර කීපයකට පෙර නීතිපතිවරයා පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටියා. අද නීතිපතිවරයා වැරැදිකරුවන් වෙනුවෙන් පෙනීසිටිනවා. මේක නීතිය නැමීමක්. ජනාධිපතිවරයා මේ උත්සාහ කරන්නේ වැරැදි කළ පිරිස්වලට සමාව දීමටයි. මෙමගින් සිදුවන්නේ මේ රටේ නීතියේ ආධිපත්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කිරීමයි.

ප්‍රශ්නය -කොමිසම් නෛතික වශයෙන් අභියෝගයට ලක් කළ හැකිව තිබියදීත් එය නොකළේ යැයි ඇතැමුන් සමගි ජනබලවේගයටත් චෝදනා එල්ල කරනවා. වැඬේ වැරැදි නම් ස.ජ.බලවේගය ඊට විරුද්ධ නොවූයේ ඇයි?
පිළිතුර - සමගි ජනබලවේගය හැටියට අපි මේ ගැන මාධ්‍ය සාකච්ඡා පවත්වා කතා කළා. මන්ත්‍රීවරුන් පිරිසක් අල්ලස් හා දූෂණ චෝදනා කොමිසමට පැමිණිල්ලක් කළා. එතකොට ඔවුන් මොකක්ද කළේ? මන්ත්‍රීවරුන්ට විරුද්ධව මේ කොමිසමෙන්ම යම් යම් නියෝග නිකුත් කරන්න පටන්ගත්තා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කතා කරන්නවත් බැරි තත්ත්වයක්. අපි සම්පූර්ණයෙන්ම දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම ප්‍රතික්ෂේප කරනවා. එමගින් ගන්නා ක්‍රියාමාර්ගත් නීත්‍යනුකූල නෑ.  

ප්‍රශ්නය -පුවත්පත් මණ්ඩලය විනිශ්චය ආයතනයක් බවට පත්කිරීමට මේ වනවිට කැබිනට් යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. පුවත්පත් මණ්ඩලය අහෝසි කර පුවත්පත් පැමිණිලි කොමිසම ශක්තිමත් කිරීමට දුන් පොරොන්දුව ඉටු නොකිරීමෙන් මේ තත්ත්වය නිර්මාණය වී යැයි ජනමාධ්‍ය සංවිධාන ඔබලාටත් චෝදනා කරනවා. චෝදනාව පිළිගන්නවද?
පිළිතුර - පුවත්පත් මණ්ඩල නීති සංශෝධනයෙන් මාධ්‍යවේදීන්ගේ ලිවීමේ අයිතිය හෝ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පාලනයට ආණ්ඩුව කටයුතු කරනවාදැයි අපි දන්නේ නෑ. කෙසේ වෙතත් ඕනෑම දෙයක් විවේචනය කිරීමේ අයිතිය මේ රටේ ජනමාධ්‍යවේදීන්ටත් ජනතාවටත් තිබිය යුතුයි. හැබැයි මාධ්‍ය වල්වැදීම නවත්වන්නත් ඕනෑ. ජනතාවට තොරතුරු ඉදිරිපත් කරනවාට වඩා ආණ්ඩුව ආරක්ෂා කිරීම වෘත්තිය කරගත් මාධ්‍යත් ඉන්න බව අපි දන්නවා. කෙහොම වුණත් අදාළ නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු ඉදිරිපත් කිරීමට අපි සූදානම්.

ප්‍රශ්නය - ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයන්ට දඬුවම් කිරීම යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක්. එහෙත් පසුගියදා පැවැති ඔහුගේ 12 වැනි ගුණ සමරුවට සහභාගී වුණේ පවා ස.ජ.බ එකම මන්ත්‍රීවරයායි. දැන් ඔබලාට ලසන්ත වික්‍රමතුංග අමතකද?
පිළිතුර - ඒක අමතකවීමක් නෙවෙයි. ලසන්තගේ ඝාතකයන් අනාවරණය කරගැනීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් පෙනීසිටියා. ඔවුන් නීතිය හමුවට ගෙන ආ යුතු යැයි අපි කිව්වා. අනුස්මරණ අවස්ථාවට අපි සහභාගී නොවුණා නම් අපි අතින් යම් වරදක් වී ඇති බව අපි පිළිගන්න ඕනෑ. කෙසේ වෙතත් අද වනවිට ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනයේ නිලධාරින්ව සිරගත කරන තැනට ඔවුන්ට මරණ තර්ජන එල්ලවන තැනට පත්වී තිබෙනවා. හරි නම් ජනමාධ්‍ය කතා කරන්න ඕනෑ අපි ගැන නෙවෙයි. ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට අදාළ මේ ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත ගැනයි. ජනමාධ්‍ය විපක්ෂය විවේචනයට වඩා ලසන්ත ඝාතන විමර්ශකයන් ගැන සොයාබලනවා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ.

ප්‍රශ්නය -අපරාධ විමර්ශකයන්ට මරණ තර්ජන එල්ල වී ඇති නම් ප්‍රධාන විපක්ෂය ඒ ගැන විධිමත් මැදිහත්වීමක් කරනවද?
පිළිතුර - අපි මේ ගැන නිතරම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය හමු පවත්වා කරුණු අවධාරණය කරනවා. ඒ වගේම රටේ නීතිය ගැන ජාත්‍යන්තරයටත් කරුණු කියන්න ඉදිරියේදී කටයුතු කරනවා.

ප්‍රශ්නය - ලංකාවට පැමිණි ඉන්දියානු විදේශ ඇමැතිවරයා අවධාරණය කළේ 13 වැනි සංශෝධනය මගින් අර්ථවත් බලය බෙදීමක් කළ යුතු බවයි. පළාත් සභා ගෙනඒමට මුල් වූ පැරැණි එ.ජා.පය හැටියට මේ ගැන ඔබලාගේ ස්ථාවරය කුමක් ද?
පිළිතුර - ආණ්ඩුවමනේ මේ වැරැද්ද කරගෙන තිබෙන්නේ. 2005 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණෙනතුරු මේ රටේ තිබුණේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්. එහෙත් රාජපක්ෂ පාලන කාලයේදී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය එක පැත්තකට බර වුණා. මේ නිසා විදේශ රාජ්‍ය අපේ රටට ඇඟිලිගහන්න පටන්ගත්තා. එහි නරකම තැනට දැන් පැමිණ තිබෙනවා. 13 වැනි සංශෝධනය එදා එක්සත් ජාතික පක්ෂය ගෙනාවේ ජනවාර්ගික අර්බුදයට විසඳුමක් පිණිසයි. රට සභා, ෆෙඩරල් ක්‍රම ගැන කතා කරලා අවසානයේදී තමයි පළාත් සභා දුන්නේ. පළාත් සභා පැවැතිය යුතු යැයි අපි කියනවා. ඒ ඉන්දියාව කියන නිසා නෙවෙයි. ජනවාර්ගික අර්බුදයට උත්තරයක් සඳහායි. එම ජනයාට යම් සාධාරණ බලයක් හිමි විය යුතුයි. ඉතින් පළාත් සභාවලට හිමි පූර්ණ බලය ලබා දිය යුතු බව සමගි ජනබලවේගයේ අදහසයි.

ප්‍රශ්නය -සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පහුගිය 4 වැනිදා රැස්වුණා. පක්ෂයේ ඉදිරිය සම්බන්ධයෙන් ගත් තීන්දු මොනවාද?  
පිළිතුර - පළමුවෙන්ම අලුත් පක්ෂයක් විදියට සමගි ජනබලවේග පක්ෂ ව්‍යවස්ථාව අපි සම්මත කරගත්තා. ඊළඟට පක්ෂයේ නිලධාරින්, සංවිධායකයන් පත්කරමින් පක්ෂය ගමට ගෙනයෑමේ වැඩපිළිවෙළ සකසා තිබෙනවා. ඒ වගේම මේ රටේ ව්‍යවස්ථාවිරෝධී හා ජනතාවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විරෝධතා පැවැත්වීමට අපි කටයුතු කළා. පක්ෂය ගම් මට්ටමට ගෙනයෑම සමග මෙම ක්‍රියාමාර්ග වඩාත් ජාලගත වේවි.

ප්‍රශ්නය -දෙමළ ජනතා පෙරමුණ සමගි ජනබලවේගයේ ප්‍රධාන හවුල්කරුවෙක්. එහෙත් එහි නායක මනෝ ගනේෂන් චෝදනා කරන්නේ ස.ජ.බ සන්ධානයක් හැටියට ලියාපදිංචි කටයුතු පමා කිරීම ගැන තමා සිත් වේදනාවෙන් පසුවන බවයි. මේ කාරණාව බොරුද?
පිළිතුර - එම දෙමළ මුස්ලිම් පක්ෂ සමග අපි සන්ධානගත වෙලා තිබෙනවා. අවබෝධතා ගිවිසුමක් අස්සන් කර තිබෙනවා. දැනට සමගි සන්ධානයක කෙටුම්පත සකස් කර තිබෙනවා. ඒ සන්ධානයෙහි සියලුම මිත්‍ර පක්ෂ සන්ධානගත වෙනවා. ප්‍රමාදයක් කිව්වාට මහමැතිවරණය අවසන් වී තවම මාස පහක කාලයක් ගතවෙලා තිබෙන්නේ. ඒ මාස පහට අපි විශාල වැඩකොටසක් කළා.

ප්‍රශ්නය - ඔබ එසේ කීවත් මාධ්‍ය වාර්තා පළවෙන්නේ ස.ජ.බ නායකයකු වූ චම්පික රණවක ඇතුළු පැරැණි හෙළ උරුම කණ්ඩායම ‘43’ නමින් වෙනම කණ්ඩායමක් පිහිටුවන බවයි. එය නිවැරැදි ද?
පිළිතුර - චම්පික රණවක මන්ත්‍රීවරයා මේ ගැන අප සමග සාකච්ඡා කළා. එතුමා අදාළ කණ්ඩායම සඳහා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටියා. අපි ඒ ගැන සාකච්ඡා කරනවා. කොහොම නමුත් මේ ආණ්ඩුවට විරුද්ධව බල කඳවුරු කීපයක් ගොඩනැගීමටත් අපි අවශ්‍ය කටයුතු කරනවා.

(***)
(සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)