කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත්, මඩකලපුවේ දේවස්ථානයකත් බෝම්බ පිපිරවීම තවුෆික් ජමාත් කණ්ඩායම සම්බන්ධ බවට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන්ය. එමෙන්ම එම බෝම්බ ප්‍රහාර සඳහා අවශ්‍ය උපදෙස් හා මෙහෙයවීම අයි.එස්.අයි.එස්. සංවිධානය බාරගෙන ඇතැයි අප පුවත්පත වාර්තා කළේය. බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර එය මේ වනවිට තුන්සියය ඉක්මවා ගොස් තිබේ. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව පන්සියය ඉක්ම වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
යුද විශේෂඥයන්ට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සිවිල් වැසියන් ඉලක්ක කරමින් දකුණු ආසියාවේ සිදුකළ බරපතළම හා දරුණුතම ප්‍රහාරය වේ. ශ්‍රී ලංකාවේ තිස් වසරක් පුරා පැවැති එල්ටීටීඊ ප්‍රහාර හමුවේදීත් සාමාන්‍ය වැසියන් ඉලක්ක කර මෙබඳු පන්නයේ ප්‍රහාරයක් එල්ල කිරීමට එල්ටීටීඊයට නොහැකි විය.
සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කට මැත දෙඩවීම ජාතික සිරිතක් වශයෙන් ප්‍රගුණ කරන්නකි. ලිච්ඡවි සම්ප්‍රදාය අනුගමනය කරන්නේය යනුවෙන් ප්‍රකාශ කළ ද එකිනෙකාගේ මුහුණ දෙස බලා කතා නොකරන තත්ත්වයක් මහවාසල මුදුනින් ඉකුත් සමයේ ප්‍රදර්ශනය වූ බව නොරහසකි. සමගිය බලය වේ යැයි කීව ද අසමගිය මතම පදනම් වෙමින් කටයුතු කිරීමේ තාර්කික වන්දිය ගෙව්වේ පාස්කු ඉරිදාව ලේ කුහරයක ගිලී යාමෙනි. තවුෆික් ජමාත් කණ්ඩායමට මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගැනීමට ඉඩ හසර වෙන් වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට තමන්ට ඇවැසි අනුඛණ්ඩ නිර්මාණය කර ගැනීමට හැකි වූයේ ද ඒ අනුවය.
තවුෆික් ජමාත් කල්ලිය සම්බන්ධයෙන් පළමුව පොලිස් පැමිණිල්ල ලැබෙන්නේ 2010 වසරේදී බව පැවැසේ. ඊට අමතරව 2014 වසරේදී ද තවත් පැමිණිල්ලක් ලැබී තිබේ. 2016 වසරේ නොවැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ එවකට ඇමැතිවරයකු වූ විජයදාස රාජපක්ෂ මහතා අයි.එස්.අයි.එස්. සංවිධානයට අදාළව මෙරට පුද්ගලයන් සම්බන්ධයෙන් පූර්ණ හෙළිදරව්වක් කළේය. ඉහළ ධනවත් මුස්ලිම් පවුල් 4ක සාමාජිකයන් එතෙර දී සටන් පුහුණුව ලැබ මෙරටට පැමිණ ඇති බව ද ඇමැතිවරයා එහිදී අනාවරණය කළේය.
පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළ මෙම කරුණු සම්බන්ධයෙන් සංවේදී වූයේ නම් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය වීමට පෙර මෙම බිහිසුණු ඛේදවාචකය මර්දනය කළ හැකිව තිබිණි.
ඉකුත් සමයේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කිරීමේ සිදුවීම් මාලාවක් ක්‍රියාත්මක විය. එහෙත් වැඩි දිනක් ඉක්ම යාමට මත්තෙන් එහි සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. එසේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් හෙළි කරගත් තොරතුරුවලට අනුව වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි ත්‍රස්තවාදීන්ගේ පුහුණු කඳවුරක් සොයා ගැනුණි. අක්කර සිය ගණනක් පුරා විහිදුණු මෙම පුහුණු කඳවුරේ තිබී සී4 වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ 250ක්, නයිට්‍රජන් ගැලුම් 6ක්, ඩෙටනේටර් 99ක් සොයා ගැනුණි. ඊට අමතරව මෙම කඳවුරේ දී ත්‍රස්තවාදීන්ට අවි පුහුණුව හා මරාගෙන මැරෙන පුහුණුව ලබා දී තිබූ බව ද විමර්ශනවලදී අනාවරණය විය.
සහජාන් හෂීම් යනු තවුෆික් ජමාත් කල්ලියේ නායකයා ලෙස හඳුනාගෙන ඇති ත්‍රස්තයාය. මෙම ත්‍රස්තයා නිරන්තරයෙන් මෙම කඳවුරට පැමිණ ගිය අයකු බව ද අනාවරණය වී තිබේ.
රටේ නිර්මාණය වී ඇති හදිසි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව ඉකුත් අඟහරුවාදා රැස් වූ අතර විපක්ෂ නායකවරයා රජයෙන් විමසා සිටියේ වනාතවිල්ලුවේ ආයුධ ගබඩාව හා පුහුණු කඳවුර සම්බන්ධයෙන් කෙරුණ පරීක්ෂණ අතරමඟ නතර වූයේ ඇයි ද යන්නය.
සැබැවින්ම මුළු මහත් ජාතියම නැඟිය යුතු ප්‍රශ්නය ද එයයි. මේසා දරුණු බරපතළ විනාශයක් කළ ත්‍රස්තවාදී සංවිධානයක් ආරම්භයේදීම මැඬලීමට තිබූ අනගිතම අවස්ථාවක් මඟහරිනු ලැබුවේ කාගේ වුවමනාවකට ද? ජාතික ආරක්ෂාවට වඩා තමන්ගේ පටු හා පවිටු පරමාර්ථ ඉටු කර ගැනීමේ වුවමනාව තිබුණේ කාට ද?
අරලියගහ මැඳුරේ තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කබීර් හෂීම් ඇමැතිවරයා ප්‍රකාශ කළේ මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු ඉහළ දේශපාලන උපදෙස් අනුව මුදාහැර ඇති බවය. එමෙන්ම එම සිද්ධියේ මහ මොළකරුවන් පොලිසියට බාරදෙන බව බස්නාහිර පළාතේ මුස්ලිම් දේශපාලනඥයකු පොලිසියට පොරොන්දු වී සිටි බව ද මාධ්‍ය වාර්තාවල සඳහන්ය. එහෙත් මෙතෙක් එය ක්‍රියාත්මක වී නැති බව ද වාර්තා වේ.
ජාතික ආරක්ෂාව සියල්ලටම ඉහළින්ය. එය සමග සූදු ක්‍රීඩාවේ නියැලීමට කිසිවකුට හෝ අයිතියක් නැත. එහෙත් සිදුවන්නේ එයම නම් අපට කීමට තිබෙන්නේ ද අබ වපුරා මුං බලාපොරොත්තු වීම අනුවණකමක් පමණක් නොව තක්කඩිකමක් බවය.
COMMENTS
ආණ්ඩුවේ ලොක්කෝ කියවනවා නම් මෙන්න කතු වැකි.
මෙවැනි කතුවැකියක් කියවා බලන්න තරම්වත් රටට ආදරය කරන කී දෙනාද අද ඉහල පුටුවල ඉන්නේ. බොහෝ දෙනා සේවය කරන්නේ රටට නොව වැටුපට පමණි.
ජනාධිපතිතුමනි ඔබගේ මඩු වලිගයෙන් තලාගත යුත්තේ අපිමය. මෙවන් දේශපාලන අදබාලයන් පත් කිරීම වෙනුවෙන්... ඔබලාට බොහොම පින්. මේ පව් ඔබේ කරමත පැටවී අවසන් .
මුල්ම පැමිණිල්ල ආවේ 2010ලු නේද? දැන් විපක්ෂ නායක අහනවලු වනාතවිල්ලු පරීක්ෂණවලට මොකද වුනේ කියල.
මේ අය කොයි වෙලාවේවත් වැඩ නැහැ.
රාජපක්ෂ පාලනයට විකල්පයක් ලෙස අප තෝරාගත් මොවුන් ඉතාම පහත් ලෙස මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවම පාවාදී තිබේ. ළඟ එන මැතිවරණයේදී නම් බොරු ප්‍රචාරවලට නොරැවටී, ජාතික ආරක්ෂාව ගැන සිතා ඡන්දය දියයුතුමයි.. කිමද ජාතික ආරක්ෂාව නැති තැන ආර්ථිකය හෝ වෙන කිසිම දෙයක් කළ නොහැක. ඊළඟ ඡන්දය, ඔබත්, මමත් මෙන්ම අපේ දරුවනුත් මේ ලංකාවේ ජීවත්වෙනවද? නැද්ද? යන තීරණාත්මක සාධකය බව මත තියාගන්න..
මේ කාලකන්නි දේශපාලුවන්ට හෙන ගැහුවත් මදි ඡන්ද වලට කෑදර කමට කරන වැඩ වලට මුන්ට නැවත ඡන්දෙ දීල පාර්ලිමේන්තු යවනවද?
දේසපාලන අසමගිය 19 වන ව්‍යවස්ථාව තුලින් පාලනය සම්පුර්ණයෙන්ම වියවුල් සහගත වීම මෙයට හේතු වී ඇත සුළු ජාතික ඡන්ද පසුබිම එක්තරා පවුලක් ඉලක්ක කරගනිමින් රටේ පාලනය ව්‍යවස්ථාව වෙනස් කිරීම මේ සඳහා පිරිසක් අනුවන ලෙස ද්වේශය තනතුරු නොලැබීම වැනි කරන නිසා අත එසවීම පාලනය කල පිරිසේ බොහොමයක් වැඩි පිරිසක් අන්‍ය ආගමික සංස්කෘතියක් වීම දනවතුන් බලය ගෙන මුදල් හම්බ කිරීමට පෙළඹීම අඩිය නිසා රට විනාශ වී ඇත.....
අපේ ලොක්කෝ මෙව්වා තවම දැකලා නෑ. පව් ඒගොල්ලෝ මෙව්වා දන්නේ නෑ.. බනින්න එපා ඒගොල්ලන්ට
තවුෆික් නෙවේනේ තව්හීද්..
ඔය නම් නොකියන දේශපාලකයන්ගේ නම් දැම්මා නම් තමයි වඩා හොඳ... එය බාධාවක් නොවේ. ඡන්ද දායකයන්ට ඊළඟ ඡන්දෙදි සලකන්න පුලුවන් එතකොටනේ...
වැදගත් තොරතුරු මහජනතාවට නොදෙන - තොරතුරු දැනගැනීමේ පනත ....... සියලු ජාතීන්ට එක සමාන නීතියක් නැති ( විශේෂයෙන් මහා ජාතියට) - ප්‍රජාතන්ත්‍රවාදය ........ සියලු ජාතීන් අතර අසමගිය වපුරන - සාමය සහ සංහිඳියාව....... එදිනෙදා ජීවිතයවත් බයක් සැකක් නැතිව ගෙවාගත නොහැකි වචනයට පමණක් සීමාවූ - නිදහස....... මහජනතාව නොමග යවන වචනයට පමණක් සීමාවූ මෙවැනි බොරුවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද?
මේ රජය දැන ගන්න ඔනේ වනාතවිල්ලුවෙ සිද්දිය වේලේ මේ ආයුධ බෝම්බ මොකට ගෙනාවද කියලා සොයා බලලා පියවරක් ගන්න. ඇමතිලා කරන තරමක් බලේට එන්නෙ ලාබ වාසි ගන්න. එදා කොටි අපේ රටට කරපු විපැත්තිය මහින්ද හිටපු නිසා අද අපි බේරිලා ඉන්නවා