මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ මහතා

කොරෝනා වසංගතයෙන් පහර වැදුණු ආර්ථිකය යළි නඟා සිටුවීමට රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව, පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් මුහුණ පාන මූල්‍ය දුෂ්කරතා ලිහිල් කිරීම උදෙසා පසුගිය වසරේ පටන් විවිධ මූල්‍ය උත්තේජන අඩංගු වූ ප්‍රතිපත්ති පැකේජයක් ක්‍රියාත්මක කරනු ලැබුවේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාතික බොහෝ සෙයින් අඩු කිරීමෙන් අනතුරුව හා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා වට කිහිපයකදී අඩු කිරීමෙන් අනතුරුව පොලී අනුපාතික ඉතිහාසයේ පෙර නොවැටුණු මට්ටමකට දැන් පහත වැටී තිබේ.


වෙළෙඳපොළ පොලී අනුපාතික පහත වැටීම
පසුගිය වසරේ පටන් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය දිගින් දිගටම පහත හෙළනු ලැබුවේ ඒ මගින් වෙළෙඳපොළ පොලී අනුපාතිකය පහත වැටීමකට ලක්කොට පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම්වලට පහසුකම් සැලසීම උදෙසාය. වර්තමානයේ ස්ථාවර තැන්පතු පහසුකම්වල පොලී අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම්හි පොලී අනුපාතික පිළිවෙළින් සියයට 4.5 සහ සියයට 5.5 දක්වා පහත වැටිණි. අවුරුදු දෙකකට පෙර මෙම පොලී අනුපාතික පැවැතියේ පිළිවෙළින් සියයට 8.0 සහ සියයට 9.00 මට්ටමකය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළ පොලී අනුපාතික තනි ඉලක්කමක මට්ටමට ශීඝ්‍රයෙන් පහත වැටුණේය. උදාහරණයක් දක්වන්නේ නම් දින 364 භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතිකය වසර දෙකකට පෙර සියයට 11ක් තිබී සියයට 5.10 දක්වා පහත වැටුණේය. වානිජ බැංකුවල සාමාන්‍ය බර තැබූ ස්ථාවර පොලී අනුපාතිකය, පසුගිය වසර දෙක තුළ සියයට 11 සිට සියයට 6.53 දක්වා පහත වැටුණේය. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වසරක් උදෙසා ස්ථිර තැන්පතුවල පොලී අනුපාතිකය වසර දෙකක් තුළදී සියයට 11 සිට සියයට 5 දක්වා ඇද වැටිණි.


ඉතිරි කරන දුප්පත් උදවිය දඬුවම් විඳීම
වර්තමානයේ රජයන අඩු පොලී අනුපාතිකය පෞද්ගලික අංශයේ බැංකු ණය වැඩි කිරීමට සැලකිය යුතු තරමේ දායකත්වයක් දක්වා නැති බව පෙනී යද්දී ජීවිත කාලයක් පුරා උපයාගත් දේ ඉතිරි කර ගත් උදවියට අඩු පොලී ආදායමක් පිරිනමමින් එයින් දඬුවම් දී තිබේ.

දිගින් දිගටම ජීවන වියදම ඉහළ යද්දී පොලී අනුපාතික පහත වැටීම දරුණු ලෙස බලපා ඇත්තේ විශේෂයෙන්ම තම මහලු වියේදී පොලී ආදායමෙන් තම ජීවිකාව කර ගන්නා අඩු ආදායම්ලාභීන් ගනයට වැටෙන ජනයා හටය. වැඩි වෙමින් පවතින ඖෂධ හා වෛද්‍ය පහසුකම් වියදමත් සමග එදිනෙදා වියදම් පිරිමසා ගැනීම උදෙසා එකී පොලී ආදායම ප්‍රමාණවත් නොවේ.

මේ රටේ බහුතර වැඩ කරන ජනතාව අවිධිමත් අංශයට අයත් වන අතර ඔවුන් කිසිදු විශ්‍රාම වැටුපකින් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයකින් ආවරණය නොලබන අයයි. එම නිසා ඒ අය විශ්‍රාම ගැනීමෙන් පසු ආදායම ලබන එකම මූලාශ්‍රය වන්නේ ඔවුන්ගේ ඉතිරි කිරීම්ය.

පෞද්ගලික අංශයට දෙනු ලබන බැංකු ණය පහසුකම් වැඩිවීම වෙනුවට අඩු පොලී අනුපාතිකය මගින් රජයට සහ රාජ්‍ය සංස්ථාවලට අඩු වියදම් මගින් ඔවුන්ගේ මූල්‍ය තත්ත්වයේ දුර්වලතා පියවා ගත හැකි වූයේය.


කඩිනමින් වයසට යන ජනගහනය
අඩු පොලී අනුපාතිකයේ සමාජ ආර්ථික ප්‍රතිඵල ජනගහනයේ සිදුවන වෙනස්කම් සමඟ සසඳා බලා විග්‍රහයට ලක් කිරීම අවශ්‍යවේ. සමාන සමාජ ආර්ථික තත්ත්වය සමග සූක්ෂම ලෙස පරීක්ෂා කර බැලූ විට ශ්‍රී ලංකාව ජනගහනයට අදාළ ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තීන් හි වඩා දියුණු අවධියකට පැමිණ තිබෙන බව පෙනී යයි. ශ්‍රී ලංකාව ජනගහනය ඉක්මනින් වයස්ගත වන ලෝකයේ රටවල්වලින් එකකි.

ජනගහනය වයස්ගත වීමට දායක වී ඇති ප්‍රධාන සාධකය වී ඇත්තේ 1970 ගණන්වල පටන් සාඵල්‍යතා අනුපාතිකය වේගයෙන් පහත වැටීමයි. රටේ සමස්ත සාඵල්‍යතා අනුපාතිකය (කාන්තාවක දරුඵල ලබන අවුරුදු ගණන ඇතුළත ලබන සාමාන්‍ය දරුවන් සංඛ්‍යාව) දකුණු ආසියානු කලාපයේ අවම අනුපාතිකය බවට පත්ව ඇති බව ගණන් බලා තිබේ.

ජනගහනය වයස්ගතවීමට බලපා ඇති ඊළඟ සාධකය, රටේ වෛද්‍ය පහසුකම් වැඩිවීම කරණකොටගෙන ඉහළ ගොස් ඇති ජීවිතාපේක්ෂ කාලය හෙවත් පරමායුෂ කාලයයි.

1970 ගණන්වල මැද කාලයේ පටන් ජනගහනයෙන් බාල වයසේ පසුවන්නන්ගේ කොටස දිගින් දිගටම වේගයෙන් පහත වැටෙන අතර ජනගහනයේ අවුරුදු 15 වැඩි පරාසය වේගයෙන් ඉහළ යනු පෙනුණි.
1990 පටන් තත්ත්වය වෙනස් වූයේ ජනගහනයේ ශ්‍රම බලකායට අයත් වැඩ කරන වයසේ (අවු. 15-64 අතර) ජන ප්‍රතිශතය පහත වැටෙන්නට ගත් බැවිනි. ඒ හා සමගාමීව වැඩිහිටි ජනගහනය (අවු. 65ට වැඩි) ජන සංඛ්‍යාව පසුගිය දශක දෙක තුළ ක්‍රමයෙන් ඉහළ ගියේය. එයින් පිළිබිඹු වූයේ ජනගහනය වයස්ගත වීමය.

මහලු වයසේ යැපෙන්නන්ගේ අනුපාතය ඉහළයාම ඉහත කී ජනගහනයට අදාල ප්‍රජා විද්‍යාත්මක ගතිකයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ජනගහනයේ අවුරුදු 14ට අඩු ප්‍රතිශතය 1980 දී සියයට 33ක්ව තිබී මේ වනවිට සියයට 23 දක්වා පහත වැටී තිබේ. ඒ අතර ජනගහනයේ අවුරුදු 64 වැඩි වයසේ පසුවන්නන්ගේ ප්‍රතිශතය මෙකී කාලය තුළ සියයට 5 සිට සියයට 10 දක්වා වැඩි වෙමින් දෙගුණ වී තිබේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩ කරන වයසේ ජනගහනය වසර ගණනක් තිස්සේ පහත වැටී වයස්ගත යැපෙන්නන්ගේ අනුපාතය දෙගුණ වී තිබේ.

(අවුරුදු 65ට වැඩි වයසේ පසුවන ජන සංඛ්‍යාව වයස අවුරුදු 15-64 වයසේ පසුවන ජන සංඛ්‍යාවේ අනුපාතයක් ලෙස ගත් විට) වයස් ගත යැපෙන්නන්ගේ අනුපාතය මේ අනුව 1980 දී සියයට 8 ක්ව තිබී අද වනවිට සියයට 16 දක්වා වැඩි වී ඇත. මීළඟ දශකය අග වනවිට වයස්ගත යැපෙන්නන්ගේ අනුපාතය සියයට 25 පමණ දක්වා වැඩි වෙතැයි ප්‍රකල්පනය කොට තිබේ.

ජනගහනය වයස්ගත වීම ආර්ථිකයට ආකාර දෙකකින් අහිතකර ලෙස බලපානු ඇත. පළමු වැන්න වැඩ කරන වයසේ ජන කොටස පහත වැටීම නිසා ශ්‍රම සැපයුම කෙරේ එය අහිතකර ලෙස බලපාමින් ආර්ථික වර්ධනයට බාධා කිරීමය.

දෙවැන්න ජනගහනය වයස්ගත වීමේ ප්‍රතිඵලයක් ලෙස යැපෙන්නන්ගේ අනුපාතිකය වැඩිවී නිවෙස් මට්ටමේදී සහයෝගිතා ක්‍රමයකුත් ජාතික මට්ටමේදී මහලු වයසේ පසුවන්නන් උදෙසා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයකුත් ඉල්ලා සිටීමය. රජයේ අයවැය සැකසීමේදී මෙම තත්ත්වය තදින් බලපෑම් ඇති කරයි.

ප්‍රමාණවත් සමාජ ආරක්ෂණ පහසුකම් නොමැති තත්ත්වයක් තුළ බැංකු තැන්පතුවලට ගෙවන පොලිය අඩු කිරීම එම පොලී ආදායම් මත යැපෙන වයස්ගත ජනයාගේ ජීවිතවලට නානාප්‍රකාර බලපෑම් ඇති කරනු ලබයි.


වැඩ කරන ජනතාවගෙන් වැඩි පිරිසකට විශ්‍රාමික පහසුකම් අඩුවීම
විධිමත් ලෙස මාසික විශ්‍රාම වැටුප් දීමනා ලැබීමේ හැකියාව ඇත්තේ සියයට 15 පමණ වූ රාජ්‍ය අංශයේ සේවකයන්ට පමණකි. රටේ බහුතර වැඩ කරන ජනතාව සිටින්නේ පෞද්ගලික අංශයේය. එම ප්‍රතිශතය මුළු වැඩ කරන සේවක සංඛ්‍යාවෙන් සියයට 45ක් පමණ වේ. ඔවුහු සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල හැරුණු කොට විශ්‍රාම වැටුප් පහසුකම් නොලබති. ඒ හැරුණකොට විශ්‍රාම ගන්නා අවස්ථාවේ පමණක් සීමිත පාරිතෝෂික දීමනාවක් ඔවුහු ලබති. මේ නිසා විශ්‍රාම ලබා ගන්නා අවස්ථාවේ පමණක් ඔවුන් ලබන මෙම දීමනා ඔවුහු බැංකුවල හෝ වෙනත් මූල්‍ය ආයතනවල තැන්පත් කරති.

ඔවුන්ගේ ආදායම් මූලාශ්‍ර සීමිත නිසා සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළේ හෝ දේපළ වෙළඳාම් හෝ සමපේක්ෂණ ගනුදෙනුවල නියැළීම වැනි විකල්ප ආයෝජනවල යෙදීමෙන් ඔවුන් වැළකී සිටින්නේ ඒවායේ අවදානම දැරීමට ඇති නොහැකියාව නිසයි.

තමන්ගේම හෝ පවුලේ ව්‍යාපාරවල වැඩ කරන අයගෙන් සමන්විත අවිධිමත් සේවා අංශය සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට 40ක් පමණ වේ. මෙම සේවකයන්ට නිත්‍ය ආදායම් මාර්ග නැත. විධිමත් මූල්‍ය ආයතනවල සේවය ලබා ගැනීම අතින් ඔවුනට ඇත්තේ සීමිත හැකියාවකි. ඔවුන් අතරින් තමන්ගේ සීමිත අරමුදල් බැංකුවල සහ වෙනත් මූල්‍ය ආයතනවල තැන්පත් කළ අය පහළ පොලී අනුපාතිකය නිසා පීඩා විඳිති.


ඉතුරුම් ආදායම්වලට බදු අය කිරීම
අඩු පොලී අනුපාත පොලී ඉපැයීම් මත අය කළ බද්දක් ලෙස සැලකිය හැකිය. උදාහරණයක් දක්වතොත් අවුරුද්දක ස්ථාවර තැන්පතුවකින් දැන් උපයනු ලබන්නේ වර්ෂයකට සියයට 5ක ඉපැයුමකි. වසර දෙකකට පෙර ඉපයූ ප්‍රතිශතය සියයට 11ක් බව ඉහත දක්වා ඇත. මේ නිසා ඉතිරි කරන්නන්ට සියයට 6ක් අහිමිව ඇත. බලධාරීන් විසින් පරිපාලනමය වශයෙන් පොලී අනුපාතිකය බලෙන් පහත නොහෙළුවේ නම් ඉතිරි කරන්නා එම මුදල උපයා ගනී.

මෙම ආදායම් අහිමි කිරීම බද්දක් හා සමානය. එය අවුරුද්දකට සියයට 6 ක ආදායම් බද්දක් ගෙවා දැමුවා හා සමානය. සේවක අර්ථ සාධක අරමුදල් සහ භාරකාර අරමුදල් ඉපැයුම්වලටද අඩු පොලී අනුපාතිකය බලපාන්නේ සාමාජික සේවකයාගේ මුළු ශේෂයට එකතුවන පොලී මුදල අඩුවන බැවිනි.


උද්ධමන බදු
මුදලේ ක්‍රය ශක්තිය කෙරේ (මිලට ගත  හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය කෙරේ) ඇතිවන උද්ධමනයේ බලපෑම සැලකිල්ලට ගත් විට ඉතිරි කරන්නෝ උද්ධමනය නිසා බද්දක් ගෙවා දැමුවා සේ පාඩු විඳිති.

උදාහරණයක් දක්වතොත් නවතම ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් පිළිබිඹු වන්නේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 4.2ක් ලෙසය. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වසරක ස්ථාවර තැන්පතුවක් උදෙසා පොලී අනුපාතිකය සියයට 5කි. මෙම වාර්ෂික පොලී අනුපාතිකයෙන් උද්ධමන අනුපාතිකය අඩුකළ විට (5%-4.2%) වාර්ෂිකව ලබන සැබෑ පොලී ආදායම වන්නේ සියයට 0.8 පමණකි.
පොලී අනුපාත සීමා කිරීමෙන් පීඩා විඳින්නේ කුඩා ඉතුරුම් හිමියාය.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල මුදල් ඉතිරි කරගත් අසරණයන්ගේ ජීවිතවලට ක්ෂුද්‍ර ණය මත පනවා ඇති පොලී සීමා ඇති කරන්නේ අහිතකර බලපෑමකි. මේ බව ආසියානු සංවර්ධන බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු කිරීමේදී නායකත්වය දැරූ ආචාර්ය නිමල් ප්‍රනාන්දු 2006දී ආසියානු සංවර්ධන බැංකුව උදෙසා සැකසූ ‘‘Understanding and Dealing With high Interest Rates on Microcredit” නම් සුවිශේෂ නිබන්ධනයේ කරුණු විස්තර කර තිබේ.

ආචාර්ය ප්‍රනාන්දු එහි මෙසේ කියා සිටී.

‘‘මුදල් ණයට දෙන්නන් තැන්පතු රැස් කළ විට ක්ෂුද්‍ර ණය පොලී අනුපාතික සීමා ඔවුන්ට ඔවුන්ගේ තැන්පතු අනුපාතික පහත හෙළීමට බලපෑම් කරයි. එය ඉතිරි කරන්නන්ට ඇති කරන්නේ අහිතකර බලපෑමකි. මන්දයත් සීමාව විසින් ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල ඉතිරි කරන්නන්ගේ ලාභදායී බව සහ ඉතිරි කිරීම් වැඩිකිරීමේ හැකියාව සීමා කරනු ලබයි. එවිට තැන්පතුකරුවන් ඒවායේ මුදල් තැන්පත් කිරීමට අකැමැති වේ. ඒ මගින් ආයතනික වශයෙන් මුදල් යෙදවීමේ ගැටලුව උග්‍ර අතට පත්කරන අතරම දුප්පත් සේවාදායකයන්ගේ ඉල්ලීමට සහ දේශීය ඉතුරුම් උදෙසා ඇති ඉල්ලුමට සපයනු ලබන වටිනා සේවාවේ හැකියාව දුර්වල කරනු ලබයි.

මූල්‍ය අඩාලවීම්
අඩු පොලී අනුපාතික රටේ මූල්‍ය වර්ධනය අඩාලවීමට හේතුකාරක වී ඇත. එවැනි මූල්‍ය වර්ධනයක් සිදුවන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම්කරුවන් වෙත යන අරමුදල් රජය කරා ගලායන්නට බලපෑම් කළ විටදීය. පොලී අනුපාතිකවලට ඇති කරන සීමා ඇතුළු මූල්‍ය ප්‍රතිපත්ති හරහා රජය (සේවක අර්ථසාධක අරමුදල වැනි) දේශීය ප්‍රභවයන්ගෙන් ණය ලබා ගැනීමට නැඹුරුවේ.  
ඒ සමගම රජය සහ බැංකු අතර සමීප සම්බන්ධතාවක්ද එමගින් ඇතිවේ.

මූල්‍ය අඩාලකිරීම් ඔස්සේ රජයේ දේශීය ණය ගැනුම් උදෙසා මුදල් යොදවා ගත හැකි ආකාරය ශ්‍රී ලංකාවේ මෑතකාලීන අත්දැකීම්වලින් පැහැදිලිවේ. මෙහිදී උද්ධමනීය බලපෑම් නොතකා බැංකු අංශයෙන් අඩු පොලියට රජය ගන්නා ණය ද වැඩි කෙරේ.

මේ ආකාරයට අඩු පොලියට ණය ගැනීමෙන් රජය ණය උදෙසා වැය වන වියදම් අඩු කරගන්නා අතර, මුදල් ඉතුරු කරන්නන් ඒ නිසා දඬුවම් විඳීම සිදුවේ.

අඩු පොලී අනුපාතිකය විසින් මූල්‍ය පද්ධතිය අඩාලවන වාතාවරණය පවත්වාගෙන යනු ලබන අතර, එහිදී ඉතිරි කිරීම් සහ ආයෝජන යන කාර්ය දෙකම අධෛර්යයට පත්වේ. මේ බව 1973දී රොනල්ඩ් මැකින්නොන් සහ එඩ්වඩ් ෂෝ යන දෙදෙනා හඳුන්වා දුන් මූල්‍ය වර්ධන උපන්‍යාසයන්හිදී පැහැදිලිව විස්තර කර තිබේ.


එක විට ඉටු කළ නොහැකි කාර්ය ත්‍රිත්වය
ශ්‍රී  ලංකා මහ බැංකුව පසුගිය සති කිහිපයේ, ප්‍රාග්ධනය පිටතට ගලා යෑම සිදුවන අතරතුර විනිමය අනුපාතිකයටත්, පොලී අනුපාතිකවලටත් ඇති ග්‍රහණය ලිහිල් කොට සකස් කරන්නට පටන් ගත්තේය. මෙය කිසිදු ආකාරයකින් ප්‍රශ්න කිරීමකට භාජන කළ නොහැකි Impossible Trinity නමැති අර්ථික න්‍යායේ වලංගුභාවය පිළිබිඹු කරන්නකි.

(විදේශ විනිමය අනුපාතිකය ස්ථාවරව තබා ගැනීම, ප්‍රාග්ධනය පාලනයකින් තොරව නිදහසේ ගලා යන්නට සැලසීම හා ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම යන කාර්ය තුන එක විට කළ නොහැකි බව මෙම න්‍යායෙන් පැහැදිලි කෙරේ)

මෑතකදී පැවැත්වූ මූල්‍ය ප්‍රතිපත්ති විග්‍රහ කිරීමේ හමුවේදී අනාවරණය වූ ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුව දැනට පවතින අඩු පොලී අනුපාතිකය ස්ථිරව පවත්වා ගැනීමටත් විනිමය අනුපාතිකය ඩොලරයට රුපියල් 185 සීමාවේ රඳවා ගැනීමටත් තීරණය කර තිබේ.

කෙසේ වුවද වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ යන සෙයක් පෙන්නුම් කෙරෙද්දී මෑතකාලයේ පැවැති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ඒවා කල්පිරීමේදී ගෙවන පොලී අනුපාතිකය සුළු වශයෙන් ඉහළ ගියේය. රජයේ සුරැකුම්වලින් ලැබෙන පොලී ආදායම අඩු නිසා ශ්‍රී ලංකා මහ බැංකුව නිතුත් කළ සුරැකුම්වලට වඩා මිලදී ගනු ලැබුවේ අඩු ප්‍රමාණයකි.

විනිමය අනුපාතය සලකා බැලූ විට ශ්‍රී ලංකා මහ බැංකුව රිසි වූ පරාසය තුළ නොරැඳී රුපියල ඉන් ඔබ්බට ගොස් ඩොලරයට රුපියල් 200 මට්ටමේ එහා මෙහා ගැවසුණේය.
මේ අතරතුර ශ්‍රී ලංකා මහ බැංකුව අංශක තුන්සිය හැටකින් (360) ආපසු කැරකී අපනයනකරුවන්ට හා බැංකුවලට ඍජු නියමයන් නිකුත් කරමින්, රුපියල පහත වැටීම වළක්වා මූල්‍ය අධිකාරිත්වය පවත්වාගනු පිණිස විදේශ විනිමය කොටසක් විකුණා දමන ලෙස ඉල්ලා සිටියේය.

එවැනි ප්‍රතිපත්තිමය විපර්යාස වලින් සනාථ වනුයේ ඉහත කී එක විට ඉටු කළ නොහැකි කාර්ය ත්‍රිත්වය (Impossible Trinity)  පිළිබඳ න්‍යායයි. එම න්‍යායෙන් කියනුයේ කිසිම මහ බැංකුවකට ප්‍රාග්ධනය පිටතට ගලා යාමකින් තොරව එක විට විනිමය අනුපාතික සහ පොලී අනුපාතික සකස් කිරීම කළ නොහැකි බවයි.

අද අප රට මුහුණ පාන බොහෝ ආර්ථික ව්‍යාධීන් හි අලගිය මුලගිය තැන් ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනයට හසු නොවන ඒවා බව පේරාදෙණිය සරසවියේ මගේ ජ්‍යෙෂ්ඨයකු වූ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් හට සාධාරණය ඉටු කරනු පිණිස කිව යුතුය.

පසුගිය සෑම රජයක්ම අයවැය හිඟය පියවා ගත්තේ විදේශ ණය ගැනුම්වලින් සහ දේශීය ණය ගැණුම්වලිනි. වසර ගණනාවක් තිස්සේ මෙම මූල්‍ය පරතරය පියවා ගන්නට ණය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ණය කන්දරාවක් ගොඩගැසී තිබේ.

වසංගත තත්ත්වය මධ්‍යයේ ගෝලීය මූල්‍ය වෙළෙඳපොළෙන් ඇතිවූ පීඩනය සහ රාජ්‍ය විනිමය ණය පොලී අනුපාත දුර්වල වීමත් සමග රජය දේශීය බැංකුවලින් ණය ගැනීමට පෙළඹී ඇත්තේ මූල්‍ය වෙළෙඳපොළේ පවතින පිඩාකාරී තත්ත්වයෙන් ගොඩඑන්නටය.

මේ නිසා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනයෙන් ලබන පොලී ආදායම් ඉහළ යාම ඇතුළුව පොලී අනුපාතික ඉහළයාමේ ප්‍රවණතාවක් ඇති වූයේ ඒවා පහත මට්ටමක පවත්වා ගැනීමට රජය උත්සාහ දරන අතරේමය. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ මුහුණ දෙන ජය ගැනීමට අසීරු අභියෝගයකි. මාගේ විශ්වවිද්‍යාල (එකම වසරේ) සගයකු වූ මහාචාර්ය සුමනසිරි ලියනගේ මෑතකදී පුවත්පතකට ලියූ ලිපියක් මම කියවීමි. ඔහු මා සමග අතිදක්ෂ ගුරුවරයකු වූ මහාචාර්ය එච්.ඒ. ද එස්.  ගුණසේකරගෙන් මූල්‍ය සහ බැංකු කරණය විෂය හැදෑරුවෙකි. පසුගිය දශක තුනේදී ශ්‍රී ලංකාව තුළ චිරාගත මූල්‍ය කරණ වට්ටෝරුව අසාර්ථක වූ බවට ඔහු තර්ක කරයි.

මහාචාර්ය ලියනගේ මෙසේ කියා සිටී.
‘‘දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5ක මූල්‍ය හිඟය පවත්වා ගැනීමේ මූල්‍ය ශික්ෂණය උද්ධමනය මූලික කරගත් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට මහ බැංකුවට ඇති නිදහසත්, වෙළෙඳ හා ප්‍රාග්ධන හුවාමරුවේ ලිබරල් කරණයත්, ගෙවුම් ශේෂ පියවා ගැනීම උදෙසා තාවකාලිකව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමත් මෙම මූලධර්මවලට අයත්වේ. කෙටියෙන් කිවහොත් මෙම චිරාගත ක්‍රමවලින් යෝජනා කරනුයේ ‘‘වොෂින්ටන් සම්මුතියේ සම්මතයන් දීර්ඝ කාලයේදී නිරවද්‍යකරණ පියවර ලෙස දැඩිව අනුගමනය කරන ලෙසයි.’’

මගේ වැටහීම අනුව එක පිට එක පැමිණි සෑම රජයක්ම, වඩාත් අවශ්‍ය වූ සර්ව ආර්ථික නිරවද්‍යකාරක පියවර (අය වැය හිඟය පවත්වා ගැනීම, නම්‍ය පොලී අනුපාත පවත්වාගැනීම, විනිමය අනුපාත පවත්වා ගැනීම ආදිය) අනුගමනය කිරීම උදෙසා අවශ්‍ය නවීකරණයන් කරන විට දශක ගණනාවක් තිස්සේ අභියෝගවලට මුහුණ පෑවේය.

බලධාරීන් එවැනි අභියෝගවලට හරිහැටි මුහුණ දීමට අසමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ලිබරල් කරණයේ (නිදහස් කරණයේ) යහපත් ප්‍රතිඵල නෙළා ගන්නට නොහැකි වූයේය.
එම නිසා චිරාගත ක්‍රමයේ දුර්වලතාවලට වඩා ආර්ථික අතින් සාර්ථක තත්ත්වයට පත් වීමට නොහැකි වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ ප්‍රතිපත්තිමය සීමාකරණ ජය ගැනීමට බලධාරීන් තුළ වූ නොහැකියාවයි.


විචක්ෂණශීලී මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ඉතා වැදගත්වීම
ශ්‍රී ලංකා මහ බැංකුවට පොලී අනුපාතක සහ විනිමය අනුපාතික එක විට සකස් කරමින් ප්‍රධාන ආර්ථික මූලධර්මවලට පටහැනිව ක්‍රියා කරන්නට සිදු වූයේ වර්තමානයේ පවතින සාර්ව ආර්ථික අස්ථාවර භාවය නිසාය. එම අස්ථාවර භාවයට මූලිකම හේතුව මූල්‍ය ප්‍රතිපත්ති ලෙස ස්ථානගතකොට නොතිබීමයි.

අඩු පොලී අනුපාතිකය ඔස්සේ රජයටත්, රාජ්‍ය සංස්ථාවලටත්, බැංකු අංශයෙන් බරට ණය ගැනීමේ හැකියාව උදාවිය. එයින් බොහෝ දුරට දඬුවම් වින්දේ ඉතිරි කරගන්නන්ය. එවැනි ප්‍රතිපත්තිමය ස්ථාවරය අහිතකර බලපෑම් ඇති කරන්නේ ඉතිරි කරන්නන්ගේ ජීවන තත්ත්වයට පමණක් නොවේ. එයින් දේශීය ඉතුරුම්වලට ද අහිතකර බලපෑම් ඇති වූ ආකාරය මෑතකදී අඩු පොලී අනුපාතකය නිසා සිදුවූ දේශීය ඉතුරුම් පහත වැටීමේ ප්‍රවණතාවෙන් පෙනිණි. විශේෂයෙන්ම ක්ෂුද්‍ර ණය පොලියට සීමා පැනවීම නිසා සුළු වශයෙන් ඉතිරි කරන්නන් අධෛර්යයට පත්වූහ.

පොලී අනුපාතිකය ඉතා අඩු  වූ විට, ප්‍රතිපත්තිමය පොලී අනුපාතික භාවිතා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවට වෙළෙඳපොළ දුර්වලතාව පාලනය කිරීමට ඇති ඉඩ කඩද සීමා වේ.

රටේ වර්ධනය වෙමින් පවතින වැඩිහිටි ජනගහනයත්, අවිධිමත් අංශයේ රැකියා කරන අනාරක්ෂිත වූ විශාල පිරිසත් සැලකිල්ලට ගෙන පොලී අනුපාතයට අදාළ ප්‍රතිපත්ති නැවත සකස් කිරීම අත්‍යවශ්‍ය බව පෙනී යයි.
එකට බැඳුණු සාර්ව ආර්ථික රාමුවක් තුළ මූල්‍ය ප්‍රතිපත්ති යළි සකස් කළ යුත්තේ පොලී සහ විනිමය අනුපාත එහෙ මෙහෙ කරමින් නොව ස්ථිරසාර ආර්ථික ස්ථාවරභාවය අරමුණු කරගෙනය.


(***)
2021 මාර්තු 25 Daily FT හි පත්‍රයේ පළවූ
Low Interest Rate  Policy Punishes Savers
ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ