අද මාර්තු දෙවැනිදායි. හිරු නොබසින අධිරාජ්‍යයට සමස්ත හෙළබිමම අත්පත් කර දෙමින් උඩරට ගිවිසුම අස්සන් කරන ලද්දේ අදින් වසර 206 කට පෙර එනම් 1815 මාර්තු 02 වනදා යැයි බොහෝ පතපොතෙහි  සඳහන් වේ. පාසල් පෙළ පොත්හි පවා එසේ සඳහන් වෙතත් සැබැවින්ම උඩරට ගිවිසුම අස්සන් කරන ලද්දේ මාර්තු 02 වැනිදා නොව මාර්තු 10  වැනිදා බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත් අඩංගුවට පත්වීමත් සමගම උඩරට පාලනය පිළිබඳව යම් සමථයකට පත්විමට ඉංග්‍රීසි පාලකයින්ට අවශ්‍ය විය. උඩරට ගිවිසුම සැකසෙනුයේ ඒ වෙනුවෙනි. උඩරට ආක්‍රමණය සඳහා බුද්ධිය මෙහෙයවා කටයුතු කළ අති විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික ඥාණයක් තිබූ පුද්ගලයෙකු සේ සැළැකෙන ජෝන් ඩොයිලි (JOHN D,OYLY) මේ ගිවිසුම කෙටුම්පත් කළේය.

සිංහල භාෂාවද හොඳින් හැසිරවීමට සමත් වූ තැනැත්තකු වන ඩොයිලි විසින් ලහිලහියේ සැකසූ ගිවිසුම ප්‍රකාශයට පත් කිරීම 1815 මාර්තු 2 වැනිදින පස්වරු 4.00 ට මහනුවර මගුල් මඩුවේ දී සිදුකරන්නට සියලු විධිවිධාන යෙදිණි. මේ පිළිබඳව වන හොඳම වාර්තාව වන්නේ එවකට ඉංග්‍රිසින් විසින් ප්‍රකාශයට පත්කරන ආණ්ඩුවේ ගැසට් පත්‍රයයි. 1815 මාර්තු 6 වැනිදා නිකුත් වූ රජයේ ගැසට් පත්‍රයේ ඇති විස්තරය මෙසේ ආරම්භ වෙයි.

“මහා රාජෝත්තමයාණන් වහන්සේ ගේ ආණ්ඩුව කන්ද උඩරට දිසාවල පිහිටුවාලීම සඳහා මුලින් ඇති කරගන්නා ලද සම්මුතියේ කොන්දේසිවලට අනුව පිළියෙල කරන ලද්දා වූ ප්‍රසිද්ධ ලේඛනයක් හෙවත් ගිවිසුම් පත්‍රයක් ඉදිරිපත් කරන ලදුව එය පළමුව ඉංග්‍රීසියෙන්ද දෙවනුව සිංහලෙන්ද කියවීමෙන් පසු එක්මතික තීරණයකට එළඹ ගන්නා ලද්දේය”

එදින ගිවිසුම අස්සන් නොකළ බව එයින්ම කියැවේ. එය කියවා ඒකමතික තීරණයකට එළැඹි බව කියැවෙන නමුත් එම ඒකමතික තීරණය ගැනද සැක සංකා ඉපැදේ.

අස්ගිරි මල්වතු නාහිමිවරුන්ද, ඇහැලේපාළ, මොල්ලිගොඩ ඇතුළු මහ අදිකාරම්වරුද මොහොට්ටාලලා, කෝරාළලා, විදානේලා, මෙන්ම අනෙක් සුළු මුලාදෑනියෝද එහි රැස්ව සිටියහ.

බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ නිලයක් දැරීම පිළිනොගත් නමුත් බි්‍රතාන්‍ය ආණ්ඩුවේ මිතුරා ලෙස පමණක් පෙනී සිටීමෙන් සෑහීමකට පත්වන බව පැවසූ ඇහැලේපොළ මහ නිළමේ ප්‍රථමයෙන්ම තනිව ශාලාවට පිවිසි බවත් ආණඩුකාර තැන විසින් ඔහු මහත් හරසරින් පිළිගන්නා ලද බවත් ආණ්ඩුකාර තැනගේ දකුණුපසින් හෙතෙම අසුන් ගත් බවත් ගැසට් පත්‍රයෙහි සඳහන්ය.

මහ අදිකාරම ලෙස එවකට කටයුතු කළ මොල්ලිගොඩ මහ නිළමේ ඇතුළු කන්ද උඩරට අනෙක් ප්‍රභූ පිරිස ශාලාවට ඇතුල්වන අවස්ථාවේ ආණ්ඩුකාර තැන මෙන්ම ඇහැලේපොළ මහ නිළමේද හුනස්නෙන් නැඟිටිමින් ඔවුන්ට ආචාර කළ බවත් උඩරට නිල ඇඳුමින් සැරසුණු සිංහල නායකයන් හා මුලසුනෙහි සිටි ආණඩුකාරවරයා සහ ඔවුන් වටකොට දෙපසින් පේලියට සීරුවෙන් හුන් ඉංග්‍රිසි භටයන් ද සුසැදුනු ශාලාව මහත් සිරියක් ඉසිලී යැයිද ඉංග්‍රිසින් වාර්තා කර තිබේ.

උත්සව සභාව අරඹන්නට පෙර සතුටු සාමිචි කතා පැවැති බවත් ආණ්ඩුකාරවරයා විසින් වග විස්තර විමසීම හේතුවෙන් සිංහල නායකයන් සතුටට පත්ව සිටි බවත් සඳහන්ය. එහි දී ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රීග් උඩරට නායකයන්ට ස්තුති කර ඇත්තේ තම හමුදා සේනාංකයන් උඩරට ජයගැනීමට ගිය සේනාංකයන්ට ඒ ඒ දිසාවන් භාර නිලධාරින් දැක්වූ සැළකිලි පිළිබඳවය. සිංහල වැසියන් ආඥාදායකත්වයෙන් ගලවා ගැනීමට හැකිවූ බව ඔහුගේ කතාවේ දී රැස්ව සිටි උඩරට ප්‍රභූ පිරිසට දිගින් දිගටම ඒත්තු ගන්වන්ට උත්සාහ කර ඇති බව ද පෙනේ.

එමෙන්ම පුද්ගලික නිදහස මෙන්ම දේපොළ ඇතුළු අනෙක් අයිතිවාසිකම් ද රැකදෙන බවටත් තමන් රට පාලනය කරන කාළ පරිච්ඡේදය තුළ  බි්‍රතාන්‍ය ආණ්ඩුවේ සාධාරණ ආශිර්වාදය සිංහලයන්ට ලබාදෙන බවටත් ආණුඩකාරයා එහි දී ප්‍රතිඥාදුන් බවද සඳහන් වෙයි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් මුදාහල කෲර ආඥාදායකත්වය හමුවේ තමන් ගලවාගනු ලැබුයේ ඉංග්‍රිසි හමුදා විසින් යැයි සිතන තැනට උඩරට නිලධාරින් ගෙන එන්නට ආණ්ඩුකාරවරයා එහි දී සමත්වන්නට ඇත. එහි දී ජේම්ස් සදර්ලන්ඩ් විසින් ඉංග්‍රිසි භාෂාවෙන්ද, ඒබ්‍රහම් ද සේරම් මුදලි විිසින් සිංහලෙන් ද ගිවිසුමේ කෙටුම්පත කියවා ඇති අතර ඒ පිළිබඳව රැස්ව සිටි පිරිසේ නිහඬතාව ඉංග්‍රිසි පාලකයන් විසින් වටහා ගෙන ඇත්තේ අනුමත කිරීමක් ලෙසින් බව පෙනේ.

මාර්තු 06 වැනිදා ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇති “මහ රාජෝත්තමයාණන් වහන්සේගේ ආණ්ඩුව කන්ද උඩරට දිසාවල පිහිටුවීමට මුලින් ඇති කරගන්නා ලද සම්මුතියේ කොන්දේසිවලට අනුව පිළියෙල කරන ලද ප්‍රසිද්ධ ලේඛනය හෙවත් ගිවිසුම් පත්‍රයක් ඉදිරිපත් කරන ලදුව එය පළමුව ඉංග්‍රිසියෙන් ද දෙවනුව සිංහලෙන් ද කියැවීමෙන් පසු ඒකමතික තීරණයකට එළැඹ ගත්තේය.” යනුවෙන්  සඳහන් වන ඡේදයෙන් ඒ බව පැහැදිලිය.

ගැසට් පත්‍රයේ සඳහන් නොවෙතත්, එහි රැස්ව සිටි සංඝයා වහන්සේලා අතර වැඩ සිටි වාරියපොල සුමංගල හිමියෝ, එවනවිටත් ඔසවා තිබු ඉංග්‍රීසි කොඩිය ඇද බිමට දමන්නට ඇත්තේ අස්සන් නොකරන ලද ගිවිසුමක නිල බලයක් නොමැති බැවින් ඉංග්‍රිසි පාලකයන්ට කොඩියක් එසැවිමට අවසර නොමැති නිසා විය හැකිය යන්න ඉතිහාසඥයන්ගේ මතයයි.

පෙර කී ගැසට් පත්‍රයේ සඳහන්ව ඇති පරිදි, ඉංග්‍රිසි ධජය එසැවීමෙන් පසු නගරය දෙසින් කාලතුවක්කු වෙඩි මුර ආචාරයක් පැවැත්විණ. පසුව ෂෂෂ වැනි ජෝර්ජ් රජතුමන් මුළු ලංකාද්වීපයේම රජු යැයි ප්‍රකාශ කළ අතර රට අභ්‍යන්තරය බි්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පවරාගන්නා ලද බව ද ප්‍රකාශ විය. වාරියපොල සුමංගල හිමියන් විසින් ඉංග්‍රිසි ධජය බිම හෙලූ බව එහි කිසි ලෙසකින් සඳහන්ව නැත. එහෙත් එම සිද්ධිය අස්ගිරි විහාරයේ පුස්කොළ පොතක සඳහන්ව තිබේ.

එමෙන්ම සුමංගල හිමියන් විසින් බිම හෙලූ කොඩිය යලි එසවූයේ එදිනම ද නැත්නම් ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව ද යන්න ගැනත් හෙළි කරගත හැකි සාක්ෂි නැත.

1815 මාර්තු 02 වැනිදා බි්‍රතාන්‍යයන්ගේ මෙකී ගිවිසුම ප්‍රකාශයට පත් කළ දා පිළිබඳව බි්‍රතාන්‍යයන්ගේ ලේඛනවල ආණ්ඩුකාරවරයා විසින් ගිවිසුමට අදාළ කරුණු ඉදිරිපත් කළ අන්දම ගැන ද සඳහන් වේ. එහි දී ගිවිසුමට අදාල කරුණු ඩොයිලි වෙත පැහැදිලි කළ පසු ඔහු එය මොල්ලිගොඩ නිළමේට විස්තර කළ අතර එය සභාවට විස්තර කිරීම මොල්ලිගොඩ නිළමේගේ කර්තව්‍යය විය.

එකී සටහන්වල විශේෂයෙන් ගොඩපොල මිල්ලම දිසාවේ ගැන සඳහන් කර තිබේ.

“සභා ගර්භයේ දැනුමෙන් ද, හැඩරුවින් ද, තේජස් විලාශයක් උසින් හා මහතින් වැඩුණු ඔහුගේ දේහය සභාවේ ඉහළින් මතුවී පෙනුණේය. ඔහු අනෙකුත් නායකයන් ගිවිසුම සම්බන්ධයෙන් කළ සාකච්ඡාවලට නිහඬව සවන් දෙමින් ද නානා කාරණා පැහැදිලි කරදෙමින් ද සියලු දෙනාගේ සම්මුතිය ලබා ඒ බව මොල්ලිගොඩ මහ අදිකාරම් වෙත දන්වන්නට යෙදුණි.” යැයි වාර්තාවල සඳහන්ව තිබේ.

එමෙන්ම ඇහැලේපොළ මහ නිළමේ ප්‍රධානත්වයක් ගෙන මෙම සාකච්ඡාවට සහභාගි නොවුන ද සිදුවන හැම කටයුත්තක් කෙරෙහිම විශේෂ සැළකිල්ලක් දැක්වූ බවත් තේජාන්විත ලීලාවෙන් හා සිත් ඇද ගන්නා අයුරින් ද සැදී පැහැදී සිටි අතර කරුණාන්විත කතාවෙන් ද යුතු වී යැයි එම වාර්තාවන්හි සඳහන් වේ.

පරිවර්තක ජෝන් ඩොයිලි ඔහුගේ වාර්තාවන් හි මෙසේ කියයි.

“මාර්තු 02 වැනිදා. මඟුල් මඩුවේ සවස 4.00 ට පමණ ආණඩුකාරයා විසින් කන්ද උඩරට පළාත් පිළිබඳ සකස් කරන ලද රාජ්‍ය ආඥාපනත කියවන ලදී. එය ඇසීමට අදිකාරම්වරු දිසාවේවරු හා අනෙක් උඩරට ප්‍රභූන් ද පැමිණ සිටියහ. පසුව මොහොට්ටාලවරු හා පහත් නිලධාරින් හැර අනෙක් වැදගත් ප්‍රභූන්ට ද කියවන ලදී. රාජකීය ධජය ඔසවන ලදී. රාජකීය ආචාරය පවත්වන ලදී. යහපත් උණුසුම් දිනයකි. අහස පැහැදිලිය.”

මේ සම්බන්ධව කිර්තිමත් ඉතිහාස`ඥයකු වන ශ්‍රීමත් පෝල් ඊ. පීරිස් මහතා පවසන්නේ ගිවිසුමේ අන්තර්ගතය ව්‍යාකූල වුව ද එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රධාන නායකවරු සැකයකින් තොරව වටහා ගත්  බවය.

උඩරට ගිවිසුම වගන්ති 12 කින් සමන්විත වන අතර පළමු වගන්තිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දුර්දාන්ත පාලනය පිළිබඳවය.

දෙවැනි වගන්තිය වන්නේ රජු රාජ්‍යත්වයෙන් නෙරපන ලද බව හා ඔහුගේ පවුලේ උදවිය හා නෑදෑ පරපුරට සදහටම රාජ්‍යත්වය අහිමිකළ බවත් කන්ද උඩරට ප්‍රදේශවල ආදිපත්‍යය පිළිබඳ මලබාර්වරුන්ට තිබු අයිතිය අවලංගු කිරීම පිළිබඳවය.

තෙවන වගන්තිය රජුගේ පිරිමි පාර්ශවයේ නෑදෑයින් උඩරට ප්‍රදේශවලට ඇතුළුවීම සපුරා තහනම් කිරීම හා ඔවුන් උඩරට රාජධානියේ සතුරන් ලෙස සටහන් කිරීමය.

සිව්වැන්න වන්නේ සිංහල සිරිත් විරිත් ගරුකරමින් ඉංග්‍රිසි ආණ්ඩුව විසින් ආණ්ඩුකාරවරයකු හා දිසාපතිවරුන් පත් කර ඔවුන් විසින්  රටේ පාලනය පවත්වාගෙන යාමය.

පස්වැන්න වන්නේ උඩරට ප්‍රධානීන් හා සාමාන්‍ය වැසියන් අදහන බුද්ධාගමත් බුද්ධ ශාසනයත් දේව ආගමත් ආරක්ෂා කරන බවට වන පොරොන්දුවය.

හය වැන්න වන්නේ ශරීරාවයව කැපීමේ වධ බන්ධන තහතනම් කිරීමය.

හත්වැන්න මරණීය දණ්ඩනය දීමේ බලය ආණ්ඩුකාරයා සතුවන අතර මරණ දඬුවම ලද යුතු තරමේ අපරාධ ඒජන්තවරු ඉදිරිපිට දී විභාග කිරීමට පොරොන්දු විමය.

අටවැන්න වන්නේ සිවිල් අපරාධ නඩු පෙර පරිදිම සිංහල මුලාදැනිවරුන් විසින් විභාග කරනු ලබන අතර අවශ්‍ය විටක මැදිහත්විමේ බලය ඉංග්‍රීසි ආණ්ඩුව සතුව පැවැතීමය.

නමවැන්න වන්නේ උඩරැටියන් නොවන අයගේ නඩු ඉංග්‍රිසි නීතියට අනුව විසඳීමට පොරොන්දු වීමය.

දසවැන්න වන්නේ උඩරට යටත්කර ගැනීමට කලින් බි්‍රතාන්‍යයන් විසින් නිකුත් කළ ආඥා සියල්ල අවලංගු කිරීමට ද පොරොන්දු වීමයි.

එකොලොස් වැන්න සිංහලේ රාජ නියමයන් අනුව ආදායම් පාලන නඩත්තුව ඒජන්ත්වරුන් විසින් එකතු කිරීමට පොරොන්දුවී තිබිණි.

දොළොස් වැන්න වූයේ උඩරට ප්‍රදේශවල වෙළඳාම් කටයුතු දියුණු කිරීමට පියවරගන්නා බවය.

ගිවිසුම සම්බන්ධව බි්‍රතාන්‍ය ආණ්ඩුව කටයුතු කර ඇත්තේ අදියර තුනකින් බව පෙනීයයි. එහි පළමුවැන්න ගිවිසුම කෙටුම්පත් කිරීමයි. එහි දී බි්‍රතාන්‍යයන් වෙනුවෙන් විශාල බරක් කරට ගත්තේ ජෝන් ඩොයිලිය. දෙවැන්න වන්නේ ගිවිසුමේ වූ වගන්ති ප්‍රසිද්ධියේ කියවීමේ අවස්ථාවයි. මේ අවස්ථාවේ පස්වැනි වගන්තිය පිළිබඳව විරෝධතා පැන නැගී ඇතැයි සමහර තැන්වල දී කියැවේ.

තෙවන අදියර වන්නේ අස්සන් තැබීමේ අවස්ථාවයි. මෙහි දී ඩොයිලි ගේ දිනපොතේ 246 පිටුවේ සඳහන්ව ඇත්තේ මාර්තු 10 දා අස්සන් තැබූ බවය.

කෙසේ වෙතත් ඩොයිලි ගේ දිනපොතේ සඳහන් කරුණු කාරණාවලට අනුව උඩරට ගිවිසුම අස්සන් තැබූ වේලාව සහ දිනය පිළිබඳව පවතින පරස්පරතාවලින් පෙනී යන කරුණක් වන්නේ එය මඟුල් මඩුවේ දී කියවන අවස්ථාවේ දි මහත් විරෝධතා පැන නැගුණු බවය.

උඩරට ගිවිසුමට අස්සන් කළ උඩරට ප්‍රධානීන් වන්නේ ඇහැලේපොළ අදිකාරම, මොල්ලිගොඩ අදිකාරම, පිළිමතලව්වේ සබරගමුවේ දෙවැනි අදිකාරම , සතරකොරළේ දිසාව වන පිලිමතලව්වේ. මොනරවිල කැප්පෙටිපොල, රත්වත්තේ, දුල්ලෑවේ, මිල්ලෑවේ, ගලගම, ගලගොඩ, යන නිලධාරින් 11 දෙනාය.

උඩරට ගිවිසුම ගැන විමර්ශනය කරන කල්හි එහි මුල් පිටපතේ වූ අස්සන් සහිත පිටුවෙන් පිටපත් කිහිපයක්ම ඇතැයි පෙනී්යයි. 1984 දී එවකට ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වූ ආචාර්ය හරිස්චන්ද්‍ර සිල්වා මහතා විසින් සොයාගන්නා ලදුව දැනට එම දෙපබාර්තමේන්තුවේ තැන්පත් කර ඇති අතර තවත් පිටපතක් ජෝන් ඩොයිලි විසින් සකස් කරනු ලැබ ඇති අතර එහි පිටපත් මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් උඩරට මහා කැරැල්ල ග්‍රන්ථයේ තෙවන වෙළුමට ඇතුලත් කර ඇත.

මෙකී පිටපත් දෙකෙහි උඩරට ප්‍රධානීන්ගේ අස්සන්වල බරපතල පරස්පරතාතවන් ඇතැයි ඉතිහාස`ඥයෝ පවසති.

එකී ගිවිසුමට අස්සන් කරන්නට 1815 මාර්තු 02 වැනිදා වනවිට උඩරට ප්‍රධානීන්ට අවසර නොතිබුණේ ඒ වනවිට බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් උඩරට ප්‍රධානීන්ගේ තනතුරු අහෝසි කර තිබු බැවින් යැයි පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.

ඔහු පවසන්නේ එකී තනතුරු යළි ලබා දුන්නේ මාර්තු 03 වැනිදා බවය. ඒ අනුව උඩරට ප්‍රධානීන්ගෙන් වරින්වර අස්සන් ලබාගත් බවත් මාර්තු 10 වැනිදා යළි අස්සන් ලබාගන්නා අවස්ථාවේ ද ඇහැලේපොළ, මොල්ලිගොඩ හා ගලගොඩ යන ප්‍රධානීන් තිදෙනා නොපැමිණි බවත් හෙතෙම සඳහන් කළේය.

පසුව මාර්තු 18 දා මොල්ලිගොඩ  හා ගලගොඩගේ අස්සන් ලබාගෙන ඇති අතර එදින රාත්‍රියේ ඇහැලේපොළ නිළමේ ගේ නිවසට ගොස් ඔහුගේ අස්සන ලබාගෙන ඇතැයි හෙළිවන බව ද කී මනතුංග මහතා ඒ අස්සනෙහි පවා පරස්පරයන් ඇතැයි ද කියා සිටියේය.

කෙසේ වෙතත් උඩරට ගිවිසුම අස්සන් කළ දිනය ලෙස බොහෝ තැන්වල සඳහන් වන 1815 මාර්තු 02 වැනිදා එය අස්සන් කළ දිනය නොවන බව මේ වනවිට පැහැදිලිව පෙනීයන්නේ යැයි කී මනතුංග මහතා එම ගිවිසුම පිළිබඳව විවාදාත්මක කරුණු බොහොමයක් ඇතැයිද පෙන්වා දුන්නේය.

මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද සූරින් “උඩරට මහ කැරැල්ල” 3 වැනි වෙළුමේ 383 පිටුවෙහි මෙසේ සඳහන් වේ.

“කඩවතේ දී මේ තල්පත අතට ගත් මොල්ලිගොඩ, රජු කෝපවන පරිදි අක්‍රෝෂ පරිභව මුඛයෙන් පතක් ලියා ඇහැලේපොලගේ අස්සන එහි යෙදී” යැයි සදහන් කරයි.

එයින් පෙනී යන්නේ උඩරට නායකයන් නොයෙක් අවස්ථාවන් හිදී නොයෙක් උවමනාවන් වෙනුවෙන් තම කණ්ඩායමේ අස්සන් පවා ව්‍යාජව යොදා ඇති බවකි. කෙසේ වෙතත් උඩරට ගිවිසුම ද තම අභිමතය පරිදි ඉංග්‍රිසින් විසින් ඉතා සූක්ෂම ලෙස උඩරට ප්‍රධානින් ඉදිරියේ තබා සම්මත කර ගත් එකක් බවත් පෙනීයයි.

සටහන. විනීතා එම් ගමගේ