දේශපාලනයේ ඇත්ත - බොරුවට ද, බොරුව - ඇත්තට ද, මාරු කිරීමේ කලාව ගෝලීයව හඳුනාගත හැකි සංසිද්ධියකි. කිසියම් ව්‍යසනයක් සිදුවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන යම් දේශපාලනඥයෙක් සිය තනතුරින් ඉල්ලා අස්වීම අද ලෝකයේ අතිශය විරල සිදුවීමකි. මෙම දේශපාලන නාටකයන්ගේ හාස්‍යජනකම ජවනිකාව වන්නේ ජනතාව තමන් පවසා සිටින දෙය විශ්වාස කිරීම හෝ නොකිරීම නොසලකා, තමන් ගත් පියවර සාධාරණීකරණය කිරීමෙහි ලා ගෝනි ගණන් කරුණු ගෙනහැර දැක්වීමට දේශපාලනඥයින් කටයුතු කිරීමය.

ලොව බලවත්ම රාජ්‍යය ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයට ද මෙම ව්‍යාධියෙන් ගැලවී යාමට නොහැකිව ඇත. ඇමරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඔහු කෙරේ විශ්වාසයභංගව ඇතැයි පැවැත්වෙමින් තිබෙන විමර්ෂණයකට මුහුණ දෙමින් සිටී. පසුගිය ජූලි මාසයේ යුක්රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි අමතා, 2020 ජනපතිවරණයේ සිය ප්‍රතිවාදියකු ලෙස ඉදිරිපත් වන ජෝ බයිඩන් ගැන තොරතුරු පිරික්සා දන්වන ලෙස ඉල්ලා සිටියේයැයි ට්‍රම්ප්ට නැගී තිබෙන චෝදනාව වේ. මෙහි විශේෂම කාරණය වන්නේ ඇමරිකා කොංග්‍රසය ඒ වන විටත් අනුමත කර තිබූ, ඇමරිකාවෙන් යුක්රේනයට ලබාදීමට නියමිත වූ යුද ආධාර ඒ අයුරින් ලබාදීමට නම්, තමා වෙනුවෙන් මෙම උපකාරය සිදුකළ යුතුව තිබෙන බව ට්‍රම්ප් යුක්රේන ජනපතිවරයාට පවසා ඇතැයි අනාවරණයව තිබීමය.

නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වෙන ජනපතිවරණයට තවත් සති 3ක පමණ කාලයක් ඉතිරිව තිබෙන තැන ශ්‍රී ලංකාවේ ද මේ හා සමාන සිදුවීමක් ගෙවුණු සතියේ සිදුවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මුල් පෙළ සාමාජිකයන් දෙදෙනෙක් මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශ හමුවේ එය ගත්තේ විකාරරූපී ස්වභාවයකි. එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කළ මෙම ප්‍රකාශය එහි ආරම්භය විය.

පසුගිය 5 වැනිදා රාත්‍රියේ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා හමුවේදී ස්ථීර තීන්දුවක් ගැනුණේ නැහැ. එසේ තීන්දුවක් ගැනුණු පසු එය මාධ්‍ය වෙත දැනුම් දෙනවා.

පොහොට්ටු ලාංඡනය වෙනස් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙතින් කර තිබෙන ඉල්ලීම එලෙසම පවතින බව ද, තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා ජනතා සන්ධානය සමග අත්වැල් බැඳගැනීමක් ගැන තීරණයක් ගෙන නොමැති බව ද, ශ්‍රී ලංකා පුරවැසියන්ට සිතාගැනීමට ඔහු ඉඩහළේය. කෙසේවුව ද, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා වඩා සෘජු කරුණු දැක්වීමක නිරත විය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව සෙනසුරාදා රාත්‍රියේ තීරණය කළා. පුවත්පත් සාකච්ඡාවකදී එය ජනපතිවරයාම නිවේදනය කිරීමට නියමිතව තිබුණා.

එහෙත් ඔහු ද, පසුව ඔහුම කළ එම ප්‍රකාශයට පරස්පර විරෝධී අදහස් දැක්වීමක යෙදිණ. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිතැගි අනුව එසේ ප්‍රකාශ සිදුකළ බව එකකි. ඔවුන් එසේ පැවසූ දෑ ජනතාව එසේම විශ්වාස කළේ ද, යන්න තවත් එකකි.

අමරවීර සිය ප්‍රකාශයෙන් මෙම පසුගිය සතියේ මෙම තීරුවෙන් පමණක් නොව සන්ඬේ ටයිම්ස් මුල් පිටුවෙන් සිදුකළ තිබූ අනාවරණය, එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂට කොන්දේසි විරහිතව සහාය දැක්වීමට තීරණය කළ බව, තහවුරු කළේය. මේ සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශ ඉරිදා පෙරවරු 11ට නිකුත් කිරීමට නියමිත බව ද, එම වාර්තාවල වැඩිදුරටත් දැක්විණ. මධ්‍යම කාරක සභාවේ දී ගැනුණු එකම තීරණය මෙය පමණක් නොවීය.

එකඟතාවයට අනුව ජයසේකර සහ අමරවීර ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දූත කණ්ඩායමක් පසුගිය ඉරුදින උදයේ නුගේගොඩ, මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගොස්, එහිදී ඔහු සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගීවීමට නියමිත විය. අනතුරුව පසුදා, එනම් සඳුදා දින, ගෝඨාභය රාජපක්ෂ සිය නාමයෝජනා පත්‍රය ජාතික මැතිවරණ කොමිසමට භාරදීමට පැමිණෙන අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දූත පිරිසක් එක්වීමට ද, සැලසුම් කර තිබිණ. එහෙත් ජනපති සිරිසේන, ඔහු කැඳවීමට සිටි පුවත්පත් සාකච්ඡාව අවලංගු කළා පමණක් නොව, ඉහත අවස්ථාවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් සහභාගී නොවිය යුතුයැයි උපදෙස් දුන්නේය. සෙනසුරාදා රාත්‍රිය ගෙවී ඉරිදාට එළිවන සමයේ අතරතුර කුමක් හෝ වරදක් සිදුව තිබිණ.

ඇතැමුන් ජයසේකර සහ අමරවීරගේ ප්‍රකාශයෙන් ඒ අයුරින්ම භාරගත්හ. එහෙත් තවත් කොටසක් එවැනි ප්‍රකාශයක් සිදුකිරීමට හේතු වූ කරුණු කවරේදැයි ප්‍රශ්න කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට තීරණයක් ගෙන පැය කිහිපයක් ගතවූවායින් පසුව කුමක් හෝ සිදුවී ද? සහාය ලබාදෙන බවට රාජපක්ෂවරුන් හමුවේ පෞද්ගලිකවම ප්‍රකාශ කළ ජනපතිවරයා නැවත වරක් ඔහුගේ ගිනිය නොහැකි තරම් වන, ගන්නා තීරණ වෙනස් කිරීමේ පිළිවෙතට යොමුවන්නට ඇත්තේ මන් ද?

සෙනසුරාදා රාත්‍රියේ ඔහු මහින්ද, බැසිල් සහ ගෝඨාභය යන රාජපක්ෂ සොහොයුරන්ට ජනපති ලේකම් කාර්යාලයට ආරාධනා කළේ ද, මෙම කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටම බව සඳහන් කළ යුතුය.
හෙටම අත්සන් කරවා ගන්න යැයි ඔහු කළ ප්‍රකාශයෙන් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට ඔහු ඉතා කැමැත්තෙන් සිටි බව පැහැදිලි විය.
ඇයි ඔබ තරගයට ඉදිරිපත් වන්නේ නැත්තේ? යැයි බැසිල් රාජපක්ෂ මහතා ජනපතිවරයාගෙන් විමසා සිටි බව මෙම සාකච්ඡාව පිළිබඳ දැනුම්වත් ජනපති සිරිසේනට සමීප ආරංචි මාර්ගයක් පැවසුවේය. ඒ අරබයා ඔහු අනුගමනය කරන ස්ථාවරයන් අනුවම නොවූව ද, එසේ නොකිරීමට හේතු දෙකක් තිබෙන බව ජනපතිවරයා පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් පසුව නුවර දළදා මාළිගාව ඉදිරිපිට සිටගෙන නැවත වරක් ජනපතිවරණයට ඉදිරිපත් නොවන බවට දුන් පොරොන්දුව ඉන් එකක් බවත්, ජයග්‍රහණය කිරීමට නම් තමාට අඩුම වශයෙන් දැනට තිබෙන බලවත් දේශපාලන පක්ෂවලින් එකක් හෝ (එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ එක්සත් ජාතික පක්ෂයෙන්) වුවමනා වීම අනෙක බවත්, ඔහු පැහැදිලි කර තිබේ. සාකච්ඡාව අවසානයේ දෑත් එක්කොට ආයුබෝවන් යැයි ජනපතිවරයාට සමාචාර කළ රාජපක්ෂ සොහොයුරෝ පිටත්ව ගියහ. පළමුව මේ සම්බන්ධයෙන් දෙවරක් ශ්‍රී ලංකාවේ ජනපතිධූරය ද, වරක් අගමැතිධූරය ද හෙබවූ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 10ක කාලයක් පුරාවට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතා දක්වන අදහස් කෙරේ අවධානය යොමු කිරීම වටී.

ජනපති සිරිසේන කළ ආරාධනය මත අපි සෙනසුරාදා, ඔක්තෝබර් 5 වැනිදා එහි ගියා. ඔහුගේ පක්ෂය ශ්‍රී ලංකා ජනතා සන්ධානය හා අත්වැල් බැඳගැනීමට සූදානම් බවත්, ගෝඨාභය රාජපක්ෂගේ ජනපති අපේක්ෂකත්වයට සහාය දෙන බවත්, ජනපතිවරයා අපට පැවසුවා. එම පණිවුඩය ඇසූ අපට ඇතිවුණේ සතුටක්. බොහොම මිත්‍රශීලීව සහ ආචාරසම්පන්නව තමයි අපි අතර හමුව පැවැත්වුණේ. මට කියන්න පුළුවන් එපමණයි.

අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ප්‍රධාන ජන රැලියේ දී සහාය දැක්වීම වෙනුවෙන් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ජනපතිවරයාට නොවේ) ස්තූති කළේය. පසුගිය ඉරිදා උදෑසන පැයෙන් පැය ගතවන්නට ගත් කාලය ගැන රාජපක්ෂවරුන් නොඉවසිලිමත් විය. පවත්වන්නට නියමිතව තිබූ මාධ්‍ය හමුව අවලංගු කර තිබෙන බවත්, නාමයෝජනා අත්සන් තැබෙන අවස්ථාවට කලින් කතා කරගත් පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දූත පිරිසක් සහභාගී නොවනු ඇති බවත්, ඔවුහු දැනගත්හ. එපමණක් නොව පසු දිනයේ ගෝඨාභයගේ නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිසමට භාරදෙන අවස්ථාවට ද, එම පක්ෂයේ කිසිවෙකුත් සහභාගී නොවනු ඇති බවත් රාජපක්ෂවරු දැනගත්හ.

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ පංති සගයෙක් වන හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ ඔහු සමග එකට උගත් සහ වර්තමානයේ ෆේස්බුක් සමාගමේ මාධ්‍ය ප්‍රකාශයවරයා ලෙස කටයුතු කරන ක්‍රිස් හියුස්ගේ කියමනක් මෙහි දී සිහියට නැගේ.

බොරුවක් කියන්නේ හරියට හිම බෝලයක් වගේ දෙයක්. එක පටන් ගන්නේ බොහොම පොඩියට. ඒත් පෙරළීගෙන යනකොට ඒක ටික ටික ලොකු වෙලා අන්තිමට දරාගන්න බැරි තරමටම ලොකුම වෙලා, කැඩිලා බිදිලා යනවා. එතකොට තමයි ඇත්ත එළියට එන්නේ.

ශ්‍රී ලංකාව හිම වැටීමක් අත්නොදකින බැවින්, හිම බෝලයකට මඩ බෝලයක් සමාන කිරීම අපට වඩාත් ගැලපේ. හිම බෝල පුපුරා යන්නා සේම පුපුරා යන අපගේ මඩ බෝලවලින් තැනෙන්නේ මඩ තටාකය. එකක් පසුපස එකක් කලින් පැවසූ දෙයට හාත්පසින්ම වෙනස් ප්‍රකාශ සිදුකරන ජයසේකර සහ අමරවීර මුහුණ දී සිටින තත්ත්වය තේරුම්ගත හැකිය. නිදහසට දැක්වීමට තරම් කරුණක් ඔවුන්ට තවදුරටත් ඉතිරිව නොමැත. සත්‍ය කරුණු ප්‍රබන්ධයෙන් වසන ඔවුන්ට, එසේ කිරීමට සිදුව තිබෙන්නේ ද කොන්ද කෙලින් තබාගෙන, ඔවුන් කෙරේ ජනතාවගේ විශ්වාසයක් ඇතිවන ආකාරයටය. මේ සියල්ල ඔවුන්ගේ නායකයා ආරක්ෂා කරගැනීම වෙනුවෙන්ය.

එක්සත් ජාතික පක්ෂ දෙදෙනා සහ ජනපති සිරිසේනගේ හමුවීම
ජනපතිවරයා නැවත වතාවක් සිය සිතැඟි වෙනස් කරගැනීමට පසුගිය ඉරිදා දියත් කිරීමට නියමිතව තිබූ සැලසුම් වෙනස් කිරීමට හේතු වූ ප්‍රධානම කාරණය විය. එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ යන ප්‍රේමදාස කඳවුරේ මුල් පෙළ සාමාජිකයෝ දෙදෙන හා පුරාම එදින උදයේ ජනපතිවරයා හමුවීමට පැමිණියහ. රාජපක්ෂට සහාය දැක්වීමට ඔහු ගෙන තිබෙන තීරණය ප්‍රේමදාස පරාජයට පත්කිරීමේ වෑයමක් ලෙස අර්ථ දැක්වීමට තිබෙන ඉඩකඩ ඔවුහු ජනපතිවරයාට පෙන්වා දුන්හ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දක්වන්නේ කුමන පාර්ශ්වයට ද, එම පාර්ශ්වය ජයග්‍රහණය කරනු ඇති බවට ඔහුම වරක් සිදුකර තිබූ ප්‍රකාශයකට, හෂීම් සහ කුරේ අවධානය යොමු කළහ. මෙසේ ජනපතිවරයා වෙත පීඩනය එල්ල කැරෙන අතරවාරයේ, සජිත් ප්‍රේමදාස මහතා ද ඔහු හා සම්බන්ධ වෙමින් මෙම කාරණාම ගෙනහැර දැක්වූයේය. එපමණක් නොව, සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ ආකාරයට ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීම අරබයා ජනපතිවරයාගේම පවුලේ කොටසක් ද, ඔහු කෙරේ අමනාපයෙන් සිට ඇත.

තවත් ප්‍රේමදාස ආධාරකරුවන් දෙදෙනෙක් දුරකතනය ඔස්සේ ජනපතිවරයා හා සම්බන්ධවී අදහස් හුවමාරු කරගත්හ. මේ හමුවේ දෙදිනක් පුරාවට දීර්ග කරුණු සමාලෝචනයක යෙදෙන අතරවාරයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර කවය සමග, මහලේකම්වරුන් දෙදෙන ද ඇතුළු, වාද විවාදවල යෙදීමට ද, ඔහුට සිදුවිය. සෙනසුරාදා රැයේ පක්ෂ මධ්‍යම කාරක සභාව ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට ගත් තීන්දුව එලෙසම ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ජනපතිවරයාට හිතවත් මෙම කවයේ සාමාජිකයෝ ඒකමතිකවම කියා සිටියහ. ඒ හමුවේ තවත් වාද විවාදවලට දොරටු විවර විය.

ජනපතිවරයා සිටියේ අර්බුදයකට මැදිවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ඔහුගේ ස්ථාවරය කෙතරම් දුර්වලවී තිබුණේ ද යත්, ඔහු සිතනා ආකාරයට ඉදිරි කටයුතු දියත් කිරීම සඳහා පක්ෂ සාමාජිකයන් එකතු කරගැනීමට පවා ජනපති සිරිසේනට නොහැකිව තිබිණ. එසේ කිරීමට උත්සාහ කිරීම යනු පක්ෂයෙන් බිදී යනු ඇති කොටසක්, අනුරාධපුරයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන රැලියේ වේදිකාව මතට ගොඩවීමට මාර්ගය පාදන්නක් බව ජනපතිවරයා අවබෝධ කරගත්තේය. එක්සත් ජාතික පක්ෂය හා එක්වීමේ සූදානමින් පසුවූ කණ්ඩායමක් ද, විය. ජනපති ලේකම් කාර්යාලයේ ඔහු යටතේ සිටි කොටසක් ඒ වන විටත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය හා එක්ව සිටියේය. මෙම අවබෝධය හමුවේ, තමාට තිබෙන එකම විකල්පය වන්නේ අවස්ථාවට ගැලපෙන පරිදි කටයුතු කිරීම පමණක් බව ජනපතිවරයා තේරුම් ගත්තේය. ඒ අනුව අපක්ෂපාතීව කටයුතු කරන බව නිවේදනය කළ ඔහු, තාවකාලිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරයෙන් ඉවත් විය. එසේ කිරීමෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභයට සහාය දැක්වීමට තීරණය කර තිබීම හමුවේ ප්‍රේමදාස කඳවුරෙන් තමාට එල්ල විය හැකි චෝදනාවෙන් ගැලවී ගැනීමට හැකිවෙතැයි ඔහු අදහස් කළේය. අනෙක් පසින් එසේ කළහොත්, රාජපක්ෂට සහාය දැක්වීයැයි ඔහුට එරෙහිව චෝදනා නැගීමට ද, හැකියාවක් නොලැබේ. එසේ හෙයින් එවන් ස්ථාවරයක් අනුගමනය කිරීම වඩා සුදුසු සහ ධනාත්මක බව ජනපතිවරයා සිතුවේය. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයින්ගේ සහභාගීත්වයෙන් ඔහු සිදුකළ මත විමසුමක දී, නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ජනපති සිරිසේන ඉදිරිපත්විය යුතුයැයි යන්න බහුතර මතය වූ බව යන කාරණය ඔහු සැලකිල්ලට ගත්තේ නැත. තවද, ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් ඉදිරිපත් කැර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කිරීම ද, ජනපතිවරයා මෙවැනි ස්ථාවරයක් අනුගමනය කිරීමට හේතු වූ තවත් ප්‍රබල කාරණයක් විය. ඔහු සිතා සිටියේ ගෝඨාභයට අවාසි සහගත තීන්දුවක් අධිකරණයෙන් ලැබෙනු ඇතැයි කියාය.

ජනපතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන් වෙතත් එම තැනැත්තා සමග කුමන හෝ එකඟතාවයක් ඇතිකර ගත හැකි වනු ඇතැයි ජනපතිවරයාගේ විශ්වාසයයි. ඒ නිසාම ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කළේය. රෝහණ ලක්ෂ්මන් පියදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයකු මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක් ද වේ. සුළුතර ජන කොටසක් නියෝජනය කරන එක්තරා හිටපු අමාත්‍යවරයෙක් ද ජනපතිවරයාගේ මෙහෙයුමට මැදි විය. අනෙක් පාර්ශ්වය වෙත රහසේ තොරතුරු ගෙන යමින් සිටින්නේයැයි ඔහුට ජනපතිවරයා දැඩිව දොස් පැවරුවේය.

ජනපතිවරයාගේ අභ්‍යන්තර මිතුරු කවය නියෝජනය කළෝ පවා දිගහැරෙමින් තිබුණු සිදුවීම් සමුදාය කෙරේ සිටියේ මහත් අප්‍රසාදයෙන්ය. ඔවුහු තම තමන්ගේ සිතැඟි හිතමිතුරන් අතරේ බෙදාගත්තේය. ඒවා ඇතැමෙක් මෙම ලිපියේ සදහන් කිරීමට පවා නොහැකි මට්ටමේ වේ.

මේක හරියට යුද හමුදාපතිවරයා තමන් යුද්දයට නොයා නිලධාරීන් සහ අනෙක් සොල්දාදුවන් පමණක් යුද්දයට යවනවා වගේ වැඩක්. ඔහු පාලනය අතට ගන්නට බලාගෙන ඉන්නේ යුද්දයෙන් පස්සේ. පෙරමුණට ගොස් නායකත්වය දෙන්න ඔහුට වුවමනාවක් නැහැ, කෝපයට පත්ව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුල් පෙල සාමාජිකයෙක් පැවසුවේය.

මේක මහා පිළිකුල් සහගත දෙයක්, තවත් අයෙකුගේ අදහස විය. හරිනම් සිදුවිය යුතුව තිබුණේ ආරම්භයේ සිටම ජනපතිවරයා නිර්පාක්ෂික පිළිවෙතක් අනුගමනය කිරීම බව අනෙක් කණ්ඩායමේ අදහස විය. එසේ වී නම් ඔහුට මෙවර නැවතත් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට හැකිවන්නට තිබූ බව ඔවුහු කීහ.

ජනපතිවරයා පියවරක් පසුපසට ගැනීමට සැබෑවටම හේතුව වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස පාර්ශ්වයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදක ව්‍යුහය වන මධ්‍යම කාරක සභාව ගත් තීරණය යම් පමණකින් හෝ ආපස්සට හැරවීමට හැකිවීම වන අතර, සත්‍ය වශයෙන්ම සිදුවූයේ ද එයයි. ප්‍රේමදාස, මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන ලෙස ජනපති සිරිසේනව කුළු ගන්වමින් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඔහු වෙනුවෙන් දිනාදීමට වෑයම් කරමින් ද සිටියේය.

ප්‍රේමදාස හා ජනපති සිරිසේන අතර සබදතාවය දිගු කාලයක සිට පැවතෙන්නකි. අගමැතිධුරය භාරගන්නා ලෙස පවා ජනපතිවරයා වරක් ඔහුගෙන් ඉල්ලා සිටි බව දැන් සියලුම දෙනා දන්නා කාරණයකි. දැන් පැනනැගී තිබෙන ගැටලුව වන්නේ මෙරට පැරණිතම දේශපාලන පක්ෂවලින් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොපමණ නම් කාලයක් සිය පණ රැකගත හැකිවනු ඇති ද යන්නයි. ජනපති සිරිසේන සිය පෞද්ගලික වුවමනාවන් පිරිමසා ගැනීම උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ඔහුට හිමි ස්ථානය දෑවැද්දක් ලෙස වෙනත් පාර්ශ්වයක් වෙත පවරා දීමට කටයුතු කර ඇතැයි බහුතරයකගේ අදහස වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභයට සහාය දැක්වීමට තීරණය කර තිබීම සම්බන්ධයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ට්විටර් පණිවුඩයක් හරහා සිය පිළිකුළ පළ කළාය. ජයග්‍රාහකයා කවුරුන් වුවද, එම පුද්ගලයා ජයග්‍රහණය කරවීමේ තීරණාත්මක සාධකය තමා සහ තම පක්ෂය බව පෙර අවස්ථාවක කියන්නට යෙදුනද, අවසන ජනපති සිරිසේන තීරණය කළේ නිර්පාක්ෂික පිළිවෙතක් අනුගමනය කිරීමටය. මැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ නායකත්වය යළිත් භාරගැනීම ඔහුගේ සැලසුමයි.
 
දේශපාලනයෙන් විශ්‍රාම යෑමේ කිසිදු අදහසක් තමාට නොමැති බව ඔහු දැනටමත් ප්‍රකාශ කර ඇත.
ජනපතිවරයා සිය තීරණය පක්ෂයේ අභ්‍යන්තර කවය වෙත පසුගිය සඳුදා දැනුම් දුන්නේය. එළැඹෙන දින (එනම් අඟහරුවාදා) අනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 17 දෙනාගේ ද සහභාගීත්වය ඇතිව මාධ්‍ය හමුවක් පවත්වන ලෙස ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලා සිටියේය. මධ්‍යම කාරක සභාවේදී ගැනුණු, පසුගිය සතියේ මෙම තීරුවෙන් මෙන්ම සන්ඬේ ටයිම්ස් මුල් පිටුවෙන් අනාවරණය කළ සියලු කරුණු සහ කාරණා සම්බන්ධයෙන් සිල්වා එම හමුවේ දී මාධ්‍ය දැනුම්වත් කළේය. අන්තර්ගතයට අලුතින් එක්ව තිබුණේ එක් කරුණක්, එනම් ජනපතිවරයා නිර්පාක්ෂිකව සිටීමට තීරණය කර තිබෙන බව, යන්න පමණකි. ප්‍රේමදාස පාර්ශ්වයෙන් පමණක් නොව පවුලේ සාමාජිකයන්ගෙන් එල්ල කැරුණු පීඩනය ඵලදරා තිබිණ. දින දෙකක් පුරාවට ජනපතිවරයා ඉදිරියේ ගතයුතුව තිබෙන පියවර සම්බන්ධයෙන් කිරාමැන බැලීමක යෙදුණේ ඒ නිසාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් දෙපළක් වන දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක යන මහත්වරු, අනුරාධපුරයේ පැවැති ගෝඨාභය රාජපක්ෂගේ පළමු ජන රැලියේ වේදිකාවට ගොඩවූහ. රාජපක්ෂවරුන්ගේ පරම සතුරෙක් ලෙස වරක් නම් දරා සිටි දුමින්ද දිසානායක, එම වේදිකාවේ දී ගෝඨාභයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන බව සඳහන් නිවේදනයක් කියැවූයේය. එසේ කිරීමට සිදුවීම නිසාදෝ ඔහු ලැජ්ජාවට පත්ව සිටි සෙයක් පෙනෙන්නට තිබිණ. ඔහුගේ මිතුරා වන වීරකුමාර, මුලින්ම නියෝජනය කළේ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණයි. පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැති මාරු කළේය.

ප්‍රධාන ගැටලුව වූයේ අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා ද යන්න. තුන්වැනි ප්‍රධාන අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ වුවමනාවක් තමන්ට නැති බව ජනපතිවරයා පැවසුවා. ඒ අනුව අපිට විකල්ප තුනක් - සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීම, ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීම එහෙමත් නැතිනම් නිර්පාක්ෂික පිළිවෙතක් අනුගමනය කිරීම, ඉතිරි වුණා. රට ඉතාම දුෂ්කර තත්ත්වයක පවතින විට නිහඬව සිටීමේ හැකියාවක් අපට නැහැ. රට ආරක්ෂා කරගත යුතුමයි. ඒ නිසා අපි ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වන්න තීරණය කළා, මාධ්‍ය හමුව අමතමින් නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේය. එය එක්තරා අතකට උනන්දුව දනවන සුළු ප්‍රකාශයකි. සිල්වා පවසා සිටියේ පක්ෂයේ නායකයා වන ජනපති සිරිසේන දරන ස්ථාවරයම නොවේ.

සජිත් ප්‍රේමදාස හා අත්වැල් බැඳගැනීමේ විකල්පයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබුණු බව යන්න දැනගැනීම ඇත්තෙන්ම උනන්දුව දනවන සුළුය. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාන කළ හැක්කේ කුණාටුවකට හසුව දේශපාලනය නම් මුහුද මැද විනාශව සිටිය දී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් නෞකාවෙන් ඇදගෙන යමින් තිබෙන නියමුවකු රහිත අබලන් නෞකාවකටය.

සෙනසුරාදා (ඔක්තෝබර් 5 වැනිදා) පැය භාගයක පමණ ප්‍රමාදයකින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ විය. රාජපක්ෂ සොහොයුරන් හා ජනපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවට සහභාගීව සිටි ජනපති සිරිසේන එහි පැමිණියේ තරමක් ප්‍රමාද වීය. ජනපතිවරණයේ දී සහාය දැක්විය යුතුයැයි සිතන අපේක්ෂකයා කවුරුන් ද යන්න නොවළහා පවසන ලෙසට ජනපතිවරයා මධ්‍යම කාරක සභිකයන්ගෙන් ඉල්ලා සිටියේය. පළමුව අදහස් දැක්වූයේ ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දිසානායක මහතාය. ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්විය යුතු බව සඳහන් කළ ඔහු, සාකච්ඡාව ඒ දෙසටම ගලා යෑමට ආරම්භක තල්ලුව දුන්නේය.

ඒ අනුව ඔහුට පසුව අදහස් දැක්වූ අනෙක් සියල්ලෝම කියා සිටියේ රාජපක්ෂට සහාය දැක්විය යුතු බවය. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාපා, ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඔවුන් අතරින් ප්‍රධාන විය. ඉරිදා දිනයේ මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකිරීමේ රාජකාරිය ඔවුහු ජනපතිවරයාට පැවරූහ. ඒ අනුව එළැඹෙන දිනයේ දී තමා එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන තෙක් මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් දැක්වීමෙන් වළකින ලෙසට ජනපතිවරයා පැමිණ සිටි මධ්‍යම කාරක සභා සාමාජිකයෙන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය.

සෙනසුරාදා රාත්‍රියේ පැවැති රැස්වීමට සහභාගීව සිටි මධ්‍යම කාරක සභා සාමාජිකයන් විසිදෙනාම වගේ ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වන්නට ඒකමතිකව තීරණය කළා, ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය. එම තීරණය ජනපතිවරයා පිළිගත් බව ද, කිසිදු අයෙකුට ඊට පටහැනි අදහසක් නොතිබූ බව ද, ඔහු වැඩිදුරටත් කීවේය.

දින දෙකක ප්‍රමාදයකින් පසුව පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ පළමු අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අත්සන් තැබුවේය. මේ හරහා ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ සාමාජිකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වේ. එම සන්ධානයේ ව්‍යවස්ථාව සහ සන්ධානයේ නායකයා වන මහින්ද රාජපක්ෂගේ නායකත්වය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නා බව අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමෙන් ගම්‍ය වන වෙනත් වැදගත් කාරණාය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද, ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ අනෙක් සාමාජික පක්ෂ මෙන් හිමිවන්නේ සාමාජිකයකුගේ තත්ත්වය පමණකි.

ගිවිසුම අත්සන් තැබීමේ උත්සවයට සහභාගීව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර අදහස් දක්වමින්, සිය පක්ෂය ආරක්ෂා කරගැනීම සඳහා කාර්යයන් ගණනාවක නිරත වන්නට සහ ප්‍රකාශ ගණනාවක් සිදුකිරීමට තමාට සිදුවූ බව පැවසුවේය.

අපි කිසිම අවස්ථාවක අපේ පක්ෂය පාවා දුන්නේ නැහැ. ඒ නිසා අපට බොහොම ලෙහෙසියෙන්ම එකිනෙකා සමග අත්වැල් බැදගන්න පුළුවන්.

ජනපතිවරයා, මධ්‍යම කාරක සභා සාමාජිකයන්, මැතිවරණ සංවිධායකයන් සහ පක්ෂ ආධාරකරුවන් මෙහිලා මහත් වෙහෙසක් දැරූ බව ද, ජයසේකර පැවසුවේය.

නායක මහින්ද රාජපක්ෂට ස්තුති කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා, ජනපතිවරයාගෙන් ලත් අනුශාසනා විශේෂයෙන් සිහිපත් කළේය. දෙපාර්ශවය අත්වැල් බැඳගැනීම සම්බන්ධයෙන් එය ඔහු ජනපතිවරයාට කළ ස්තුති කිරීමක් වැනි විය. සිය ප්‍රථම ප්‍රේමය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව සඳහන් කළ ඔහු, ඔවුන්ගේ නව පක්ෂය කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටකර නොදමන බව අවධාරණය කළේය.

ජනපතිවරයා විනාඩි 2කට පැමිණ යයි
දෙපාර්ශ්වය අතර පළමු අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වයෙන් එහි මහලේකම් සාගර කාරියවසම් මහතා ද, අත්සන් තැබූහ. කාරියවසම් එහි පැමිණ සිටියේ අභාවප්‍රාප්තව සිටි ඔහුගේ මවගේ අවමංගල්‍ය කටයුතුවල නිරතව සිට ලද මද ඉසිඹුවකිනි. උත්සවය අවසානයේ එහි සංවිධායකයෝ අපහසුතාවයට පත්කළ අවස්ථා කිහිපයක්ම සනිටුහන් වූ අතර, ඉන් ප්‍රධානම වූයේ දිවා ආහාරය ලබාගැනීම සඳහා සියලුදෙනාම උත්සව ශාලාවෙන් පිටට ගොස් සිටි අවස්ථාවේ ජනපති සිරිසේන එහි පැමිණීමය. ඔහු ගිවිසුම අත්සන් තැබුණු ස්ථානය ආසන්නයේ අසුන් ගත්ත ද, විනාඩි 2කට වඩා වැඩි කාලයක් එහි රැදී නොසිටි ජනපතිවරයා වහාම ආ පයින්ම පිටත්ව ගිය බව සිද්ධිය ඇසින් දුටුවෙක් පැවසුවේය. ජනපතිවරයා පිටත්ව ගියේ එම ස්ථානයේ ඒ වන විට රැදී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් කණ්ඩායමක් ද මගහැරය. යෝජිත මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දිවා ආහාරය අවසන් වන තෙක් එහි රැදී සිටින ලෙස ඔවුන්ට පක්ෂ මහලේකම් ජයසේකර උපදෙස් දී තිබිණ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි විරහිතව සහාය දක්වන බව දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමෙන් හොඳින්ම පැහැදිලි වේ. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් ගත් විට පියවර කිහිපයක්ම ආපස්සට තැබීමක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ වෙනස් කළ යුතුව තිබෙන බවට ඔවුන් අවධාරණය කළ ආකාරය සැලකීමේ දී, එය තවත් හොඳින් අවබෝධ වේ. මෙම අවබෝධතා ගිවිසුම පාර්ලිමෙන්තු මැතිවරණ සමයේ පමණක් බලාත්මක වන අතර, ඒ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමෙන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණයන්වල සියයට 31ක අපේක්ෂකත්වය හිමිය. කැබිනට් අමාත්‍යවරුන් පත්කර ගැනීමේ දී සහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ දී සැලකිල්ලට ගැනෙන්නේ ද මෙම අනුපාතයමය.

වඩා වැදගත් අවබෝධතා ගිවිසුම වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතර අත්සන් තැබීමට නියමිත අවබෝධතා ගිවිසුමය. කෙසේ වුවද, නිර්පාක්ෂිකව සිටීමට ජනපතිවරයා තීරණය කර තිබීමත් සමග ඒ අරබයා බරපතල ගැටලු කිහිපයක්ම පැන නැග ඇත. ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව එහි සාමාජිකයකු වන දේශපාලන පක්ෂයක නායකයා, ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ නියෝජ්‍ය නායකයකු ලෙස නම් කරනු ලැබීමට හිමිකම් කියන අතර, තමන් නියෝජනය කරන පක්ෂය යටතේ ශ්‍රී ලංකා ජනතා සන්ධානයට ලේකම්වරයකු නම් කිරීමේ අයිතියක් ද, ඔහුට හිමි වේ.

එපමණක් නොව ඔවුන්, ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ ප්‍රතිපත්ති සම්පාදක ව්‍යුහය වන විධායක කමිටුවේ සාමාජිකයන් ලෙසද පත්වේ. මේ අනුව සැලකීමේ දී, නිර්පාක්ෂිකව සිටීමට ගෙන තිබෙන තීරණය නිසා ජනපති සිරිසේනට ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ නායක අසුනක් හිමිවීමට තිබෙන්නේ ඉතා අවම ඉඩකඩකි. මෙම කාරණය පිළිබදව ඉදිරි සතියේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්වය සාකච්ඡා කිරීමට නියමිත වුවත්, මුලින් සහාය දක්වන බව පැවසූ ජනපතිවරයා පසුව මෙසේ නිර්පාක්ෂිකව සිටීම හමුවේ එම කාරණය සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට ඔවුන් දැනටමත් ඉටාගෙන තිබේ.

මෙය ඉදිරි දින කිහිපයේ දී ලිහාගත නොහැකි ගැටලුවක් බවට පත්වන ලකුණු දැනටමත් පෙනෙන්නට තිබෙන අතර, එම නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්, විශේෂයෙන්ම පක්ෂයේ මුල් පෙළ නියෝජනය කරන්නන්, දැන් ඔවුන්ගේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධව සිටින බැවින් ජනපතිවරයාගේ සටන ඔහුටම තනිවම සටන් වැදීමට ඉඩ හැර, ඔහුව අත්හැර දැමීමට ඉඩ තිබේ. එසේ වීමට ඉඩ තිබෙන්නේ ජනපති සිරිසේන පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය පවරා ගැනීමට කටයුතු කළහොත්ය. අනෙක් අතට ජනපති සිරිසේන වෙනුවට වෙනත් අයකු තෝරාගන්නවා ද, යන්න ගැන තීරණයක් ගැනීමට දැනට පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට සිදුවනු ඇත.

13 (ඉරිදා) දෙපාර්ශ්වය අතර දෙවැනි අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ඉදිරිපත් කළේය. ඔවුන් සැලසුම් කර තිබුණේ එදින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගනයේ දී සමුළුවක් පැවැත්වීමටය. එහෙත් වෙනත් කණ්ඩායමක් එම ස්ථානය වෙන්කර ගෙන තිබෙන බව ඔවුහු පසුගිය සිකුරාදා වන විට දැනගත්හ. අත්සන් තැබීමට නියමිත අවබෝධතා ගිවිසුමට අමතරව, වැදගත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර යම් අවබෝධයක් ඇතිව තිබෙතත්,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් එම කරුණු කවරේදැයි මේ දක්වාම රහසක් ලෙසම තබාගනිමින් සිටී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධීකරණයයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමේ ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරනු ඇත. එනම් ගෝඨාභයගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මුසුවීමක් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මුසුවීමක් හෝ සිදුනොවනු ඇත.

මැතිවරණ ව්‍යාපාරය ඇරඹේ
මෙවර ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂක දෙපළගේ මැතිවරණ ව්‍යාපාරයන් දැනටමත් ආරම්භව අවසන්ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මංගල ජන රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පසුගියදා පැවැති අතර, වාර්තාගත ඉහළ ජනකායක් එයට සහභාගීව සිටියේය. ගාලු මුවදොර පිටිය මෙන්ම යාබද ගාලු පාර ද ඔවුහු පිරුවූහ. ඩ්‍රෝන යානා ආධාරයෙන් ගුවනේ සිට ගත් වීඩියෝ දර්ශන ඇතුළුව, සජිවීව විකාශනය කැරුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන රැලිය ප්‍රේමදාසගේ ප්‍රතිරූපය වඩාත් ඉහළ නැංවූයේය.

ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන නිලධාරීන් එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපාරයන්ගෙන් ආදර්ශ ලබාගෙන තිබෙන බව පෙනුනේ එරට මෙන් එක් කැපී පෙනෙන තනි මැතිවරණ තේමාවකින් ප්‍රේමදාසගේ මැතිවරණ රැලිය සැරසීමට ඔවුන් කටයුතු කර තිබීම හමුවේය. එක්ව ඉදිරියට, එම තේමාව විය. එක්සත් ජනපදයේ මැතිවරණ ව්‍යාපාරවල අපේක්ෂකයන්ගේ පවුලේ සාමාජිකයන් ජන රැලිවලට සහභාගීවනවා සේම, ප්‍රේමදාසගේ පවුලේ සාමාජිකයෝ ද ගාලු මුවදොර පැවැති ජන රැලියට එක්ව සිටියහ.

ප්‍රේමදාස ජනතාව අමතමින් අදහස් දක්වන ආකාරයේ පැහැදිලි වෙනසක් මේ දිනවල දැකගත හැකි අතර, එය ගාලු මුවදොර රැලියේ දී පැහැදිලි ලෙසම කැපී පෙනිණ. ඔහු දැන් ජනතාවට පොරොන්දු ලබා දෙන්නේ මේ සජිත්, නැතිනම් සජිත් වන මම යැයි සඳහන් කැරය. එක්සත් ජාතික පක්ෂය හෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යැයි කිසිදු සඳහනක් ඔහු කරන්නේ නැත. මෙහිදී සිහිපත් වන්නේ ඔලුව අතගා ටොක්කක් ඇන්නා වැන්න යන සිංහල ආත්තෝපදේශයයි. ජනපති අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබීම සඳහා සටන් කිරීමට සිදුවූ බව සඳහන් කළ ප්‍රේමදාස, එසේ වුවත් ඔහු වෙත පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව ඇගයීය.

සජිත් ප්‍රේමදාසගේ මංගල රැලියට ගාලු මුවදොර පිටියට පැමිණි මහා ජනකාය නොසලකා හැරිය නොහැකිය. එක්සත් ජාතික පක්ෂයට විවිධ ප්‍රදේශවලින් තවමත් හිමි ප්‍රබල සහාය එයින් මනාව පිළිබිඹු විය. කෙසේ නමුත් මහා ජනකායකගේ සහභාගීත්වය වැදගත් වන්නේ ජන රැලිවල දී නොව ඡන්ද මධ්‍යස්ථානවලදීය. අතීතය සැලකිල්ලට ගැනීමේ දී, ගාලු මුවදොර පිටිය පිරවීමට ජනතා විමුක්ති පෙරමුණ සමත් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සමත් විය. එහෙත් එම අවස්ථා දෙකහිම ජන සහභාගීත්වය පැවැතියේ සජිත්ගේ රැලියට වඩා අඩු මට්ටමකය. කෙසේ නමුත් අගමැති වික්‍රමසිංහ උපදෙස් දී තිබී ඇත්තේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසුව ජන රැලිය පවත්වන ලෙසටය. එසේ කිරීමෙන් ඡන්දදායකයා මත වැඩි කාලයක් බලපැවැත්වෙන බලපෑමක් ඇති කළ හැකි වනු ඇති බව ඔහු පෙන්වා දී තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සමන්විත වන මැතිවරණ කොට්ඨාස 17හිම ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය. මැතිවරණ ක්‍රමයේ සමානුපාතික නියෝජනයට ස්තුති වන්තවන්නට ආසන 17කින් තෘප්තිමත්වීමට ඔවුනට සිදුවූ අතර, ඒ අනුව ආසන 7ක් එක්සත් ජාතික පක්ෂයට ද, ආසන 3ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද, හිමිවිය. ජනතා විමුක්ති පෙරමුණට දිනාගත හැකිවූයේ ආසන 2ක් පමණකි. මෙම මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පිළිවෙලින් තෙවැනි සහ සිව්වැනි තැන්වලට පත්ව තිබීමෙන් ඡන්ද දායකයාගේ කැමැත්ත කුමක් ද යන්න පිළිබිඹු වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකීමේ දී මෙම ප්‍රතිඵලය එම පක්ෂයේ නායකයන් තනතුරුවලට හෙට්ටු කරමින්, ප්‍රමුඛත්වය ලබාදිය යුතු කාරණා අමතක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පක්ෂයට බිම් මට්ටමේ හිමිව තිබූ සහාය තවදුරටත් සෝදාපාලුව ගොස් ඇති බවට ලැබුණු සහතිකයකි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ සහායක කාර්යයක් ඉටුකළ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබෙන ප්‍රතිඵලය ද පවතින්නේ ඉතාම අවම මට්ටමකය. ප්‍රතිශත වශයෙන් ගත් කල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට 57ක් ද, එක්සත් ජාතික පක්ෂය සියයට 24ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 13ක් ද, ජනතා විමුක්ති පෙරමුණ සියයට 6ක් ද, බැගින් ඡන්ද හිමිකරගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිශත එක් කළ විට සියයට 69.1ක ප්‍රතිශතයක් ලැබේ. 2015 ජනපතිවරණයේ දී ඇල්පිටිය ආසනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය (බුලත් කොළය) සියයට 52.7ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගැනීමට සමත් විය. එම වතාවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සියයට 40.83ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගත්තේය.

වසර හතරකට වැඩි එක්සත් ජාතික පෙරමුණු පාලන සමයේ දී ඔවුන් 2015ට වඩා කෙතරම් දුරකට පසුබැස තිබෙනවා ද, යන්න ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵලයෙන් මනාව පැහැදිලි වේ. 2015 පාර්ලිමෙන්තු මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇල්පිටියෙන් ඡන්ද 34,275ක් දිනාගත් අතර, එක්සත් ජාතික පක්ෂය ඡන්ද 26,559ක් දිනාගැනීමට සමත් විය.

ආරක්ෂක ඇමැතිධුරය ෆීල්ඞ් මාර්ෂල්ට
සිය පළමු ජන රැලියේදී ප්‍රේමදාස අනපේක්ෂිත ප්‍රකාශයක් සිදුකරමින් තමා ජනපතිවරයා ලෙස පත්වූවායින් පසුව රටේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයා ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාව පත්කිරීමට සහතික වන බව පැවසුවේය. යුද්දය ජයග්‍රහණයෙන් කෙළවර කළ ජනරාල්වරයා සමග ප්‍රේමදාස සංවාදයක නියැළී සිට ඇති බව රැලියට පසු දිනම පැහැදිලි විය. සිකුරාදා පුවත්පත්හි සම්පූර්ණ පිටුවල පළව තිබුණේ සජිත් ප්‍රේමදාස ජාතික ආරක්ෂාව පළමු තැන තබයි හරි දේ කරන්න හරිම පුද්ගලයාව තෝරා ගනී යැයි සඳහන්ව තිබුණු දැන්වීමකි. සිය කතාවේ විනාඩි 3ක පමණ කාලයක් ප්‍රේමදාස වැය කළේ සරත් ෆොන්සේකා වෙනුවෙන්ය.

සාමාන්‍ය ඇඳුමින් සැරසුණු සජිත් ප්‍රේමදාස සම්මුඛ පරීක්ෂණයකින් රැකියා සඳහා පුද්ගලයින් තෝරනු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල පුරා හුවමාරු වෙමින් පැවැති අතර, උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු යැයි ප්‍රේමදාස තමන් හමුවට එන පුද්ගලයින් රැකියා සඳහා වර්ග කරනු එහි සටහන්ව තිබිණ. ෆීල්ඞ් මාර්ෂල්වරයාට ද රැකියාව හිමිවීමට යන්නේ එලෙස බව ඇඟවෙන අයුරින් එම වචන යොදන ලද ඔහුගේ ඡායාරූපයක් ද සමාජ ජාලවල හුවමාරු විය.

ප්‍රේමදාස සමග සංවාදයක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ෆොන්සේකා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග අදහස් හුවමාරු කරගෙන තිබෙන බව සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය. කෙසේ වුවත් දෙදෙන අතර සංවාදය සාර්ථක නොවුණු බව මේ සම්බන්ධයෙන් දැනුම්වත් ආරංචි මාර්ගයක් පැවසුවේය. 2009 මැයි මාසය වන විට එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කිරීම සඳහා එක්ව කටයුතු කළ ගෝඨාභය සහ ෆොන්සේකා දෙදෙන, අවසන පරම සතුරන් බවට පත්වූහ.

ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරණ කාර්ය මණ්ඩලයට අනුව ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකා යනු මිලිටරිමය කාරණාවලට අදාළව ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ඔවුන් දක්වන ප්‍රතිචාරයයි. කොටි ත්‍රස්තයින්ට විරුද්ධව ෆොන්සේකා හමුදාව මෙහෙයවූ බව පවසන ඔවුහු, ජනපති අපේක්ෂක ගෝඨාභයගේ සටන් පාඨය වන්නේ ද, ජාතික ආරක්ෂාව බව පෙන්වා දේ. ප්‍රේමදාසගේ අනුමානයන් නිවැරදි වුවහොත්, එයින් අදහස් වන්නේ ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකාට යුද හමුදාවට සහ පොලිසියට අදාල දේශපාලන අණ දෙන්නාගේ භුමිකාව ඔහුට හිමිවන බවය. එක්සත් ජාතික පක්ෂය කොතෙක් ඉල්ලා සිටිය ද, මෙම භුමිකාව ඔහුට පවරාදීම ජනපති සිරිසේන නැවත නැවතත් ප්‍රතික්ෂේප කළේය. එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ ද ෆොන්සේකාට එම වගකීම පවරන ලෙස ඉල්ලා සිටියේ මුත්, ජනපතිවරයා එම සෑම ඉල්ලීමක්ම ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුවත් මෙම යුද විරුවාට එරෙහිව එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් කිහිපයක් සංචාරක තහනමක් පනවා ඇත. ඔහුට එරෙහිව නැගී තිබෙන මානව හිමිකම් කඩකිරීමේ චෝදනා එයට හේතුව වේ. එවන් තත්ත්වයක, මානව හිමිකම් කඩකළේ යැයි නැගෙන විරෝධතා නොසළකා හැරි ජනපති සිරිසේන, නව හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීමට පියවර ගත්තේය. එසේ කිරීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස ලෙබනනයේ ස්ථානගතව සිටින ශ්‍රී ලංකා සාමසාධක හමුදා කණ්ඩායමට එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දුන්නේ පසුගිය මාසයෙන් අවසන් වන්නට තිබුණු ඔවුන්ගේ සේවා කාලයේ නිමාවත් සමග නැවත සියරට බලා පිටත්වන ලෙසය. කෙසේ නමුත් ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම නැවත මෙරට බලා පිටත්වීම එළැඹෙන දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනට පියවර ගෙන ඇත.
අපේක්ෂක රාජපක්ෂ ද අනුරාධපුරයේ පැවැති ඔහුගේ පළමු ජන රැලියේ දී ආරක්ෂක අංශයට ආමන්ත්‍රණය කළේය. වාර්තාගත ජන සහභාගීත්වයක් අමතමින් ඔහු කියා සිටියේ සාවද්‍ය චෝදනා මත දැනට සිරගත කර සිටින යුද විරුවන් නොවැම්බර් 17 වැනිදා උදෑසන වන විට නිදහස් කරන බවය. ජනපතිවරයා ලෙස පත්වුවහොත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමටත් පෙරම ඔහු ප්‍රමුඛකත්වය ලබාදෙනු ඇත්තේ මෙම කාරණයට බව පෙනෙන්නට තිබේ.

කෙසේ නමුත් ගෝඨාභයගේ ප්‍රකාශය යම් පමණකින් ආන්දෝලනාත්මක වන අතර, එයට හේතුව වන්නේ හේතු කාරණා ඇතිව හෝ නැතිව, මෙම හමුදා සාමාජිකයන්ට සිරදඬුවම් පනවා තිබෙන්නේ අධිකරණ ක්‍රියාවලයික ප්‍රතිඵලයක් ලෙස වීමය. ඒ අනුව සැලකීමේ දී ඔවුන් එකවර නිදහස් කිරීම යනු අන්තර්ජාතික වශයෙන් අනව්‍යශ අවධානයකට ශ්‍රී ලංකාව ලක්වන සහ ඔවුන් දක්වන ප්‍රතිචාරවලට හේතු දැක්වීමට සිදුවන කාරණයක් වනු ඇත.

අනුරාධපුර රැලිය අමතමින් ගෝඨාභය මෙසේ කීවේය.
අපි නිර්මාණය කරපු ප්‍රෞඩ යුද විරුවන්ට මේ රජය සැලකුවේ කොහොමද කියලා ඔබ දුටුවා. ඔවුන්ව හැඳින්වුණේ යුද අපරාධකරුවන් හැටියට. බුද්ධි සේවා විනාශ කෙරුණා. 2005 වසරේ ජනපති රාජපක්ෂ වැඩ භාරගත් අවස්ථාවේ වවුනියාවෙන් එහාට යන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ කියන එක ඔවුන් දැනගත යුතුයි. නැගෙනහිරින් තුනෙන් දෙකක්ම අපට අහිමිවෙලා තිබුණේ. අහිමි වූ භුමිය නැවත දිනාගන්නට ජනපති රාජපක්ෂට පෙරමග සකස් කර දුන්නේ මේ යුද විරුවන් බව ඔවුන් දැනගත යුතුයි. ඉන් අනතුරුව අපි ජනතාවට දෙවුන්දර ඉදන් පේදුරුතුඩුව දක්වාම නිදහසේ ගමන් කරන්නට අවස්ථාව සලසලා දුන්නා.

එහෙත් අවුරුදු 10කට අඩු කාලයක් දී, ජනතාවට ඔවුන්ගේ නිදහස අහිමි වුණා. දැන් බෝම්බයකට හසුවෙන්නේ නැතිව පල්ලියකටවත් යන්නට ඔවුන්ට බැහැ. ආගමික ස්ථානයකට යන්නට තිබුණු නිදහස ජනතාවට දැන් අහිමි වෙලා. ඔබේ ආරක්ෂාව සහතික කෙරෙනවා. එය තමයි අපේ වගකීම වනු ඇත්තේ. පදනම් විරහිත චෝදනා මත ආරක්ෂක අංශයේ ගොඩ දෙනෙක් සිරගත කර සිටිනවා. ඒ වගේම, ඔබව ආරක්ෂා කරපු සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට, ඔවුන් වසර 22ක සේවා කාලය සම්පූර්ණ කර තිබෙනවා නම්, ජනපති රාජපක්ෂ මීට පෙර අවස්ථාවක පොරොන්දු වුණා වගේ ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමටත් පියවර ගන්නවා.

1951 සැප්තැම්බර් මස 2 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙන් දිනකට පසු උපන් ජනපති සිරිසේන මෙවර ජනපතිවරණයේ දී නිර්පාක්ෂික පිළිවෙතක් අනුගමනය කිරීමට තීරණය කිරීම හා සමග අත්වනු ඇති ඵල සැලකිය යුතු කාලයක් යනතෙක් මෙරට දේශපාලන ක්ෂේත්‍රයට බලපෑම් එල්ල කරනු ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හමුවේ බිම් මට්ටමේ පවා සිය අනන්‍යතාව අහිමි කරගනිමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ඉදිරියේ ද තිබෙන්නේ ප්‍රශ්නාර්ථයකි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා ගිය ගෝඨාභය පසුගිය සිකුරාදා රැයේ යළි දිවයිනට පැමිණියේය. ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයෙන් ලැබුණු ජවයෙන් ප්‍රමුදිතව ඔහු නැවතත් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනු ඇත. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස හමුවේ තිබෙන අභියෝගය වන්නේ සිය ජන රැලිවලට පැමිණෙන මහා ජනකාය ඒ අයුරින්ම ඡන්ද පොළ වෙත ද, ගෙන්වා ගැනීමය. ඔහු ඡන්ද දිනාගත යුතුම වන අතර, ප්‍රේමදාසට තීරණාත්මක වනු ඇත්තේ එයයි. ගෙවුණු ඉරිදා දින ඔහු මොණරාගල දී මහා පරිමාන ජන රැලියක් පැවැත්වීමට නියමිතව තිබිණ. මැතිවණ ව්‍යාපාරය දැන් ක්‍රමයෙන් උණුසුම් වෙමින් ඇත.

පරිවර්තනය
කෝවිද ගුණසේකර