‘ආසියාවේ ප‍්‍රබලයා වන චීනය, ඇමෙරිකාවට අභියෝග කරමින් ලෝක බලවතා වන දිනය වැඩි ඈතක නොවෙයි.’ ජගත් ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස එයයි. කොරෝනා ජරමර මැද, ලොවට තම හපන්කම් පෙන්වමින් චීනය හඳෙන් පස් සාම්පල රැගෙන ඒමට රොබෝ යානයක් ද යැවීය. ඒ අනුව, ඇමෙරිකාව සහ සෝවියට් දේශයට පසු හඳෙන් පස් රැගෙන එන තෙවැනි රට වනු ඇත්තේ චීනයයි.

ශ්‍රී ලංකාවේ අපට නම් චීනය කිසිසේත් ආගන්තුක නොවෙයි. අප පමණක් නොව, ලොව බොහෝ රටවල, ඇමෙරිකාවේ පවා, ‘මේඩ් ඉන් චයිනා’ චීන නිෂ්පාදන බහුලය.

වොෂින්ටන් අගනුවරට ගොස්, සිහිවටන ලෙස, ධවල මන්දිරයේ හෝ කැපිටල්හිල් ගොඩනැගිල්ලේ කුඩා ස්මාරකයක් මිලදී ගත්තොත්, එහිද ඇසට පෙනෙන නොපෙනන අයුරින් ‘මේඩ් ඉන් චයිනා’ යනුවෙන් සඳහන් වෙයි.

ඉන්ජිනේරු විස්කම් සඳහා ප‍්‍රකට ආසියාවේ බලවතා ජපානය වුවත්, මේ වනවිට ජපානයට නොදෙවැනි ලෙස චීනය ඉදිරියට පැමිණ අවසන්ය. චීන ඉන්ජිනේරුවන්ගේ බලමහිමය කියාපාන පාලම් රැසක් චීනයේ දකින්න ලැබේ. ‘අසිහායි එල්ලෙන පාලම’ එයින් එකකි. මෙම පාලම ඉදිකර ඇත්තේ කඳුකර ප‍්‍රදේශයකට ඉහළින් කඳු අතරේය.

චීනයේ හුනාන් පළාතේ, ජිෂෝ කඳුකරයේ ඉදිකළ අසිහායි පාලම අයත් වන්නේ, ‘ජී 65 බෝටෝ’ සහ ‘මැයෝමිංග්’ අධිවේගී මාර්ගයටය. නිරිතදිග චීනයේ ෂොංග්චිංග් නගරසභා බලප‍්‍රදේශය සහ ෂැංග්ෂා පළාත යා කෙරෙන්නේ මෙම පාලම හරහාය. පාලම ඉදිකර ඇත්තේ මීටර් 1,146 ක් (අඩි 3,760 ක්) ඉහළින් අහසේය. උමඟකින් උමඟකට යා වෙන, ලොව උසින්ම පිහිටි එල්ලෙන පාලම මෙයයි. මෙය වචනයේ පරිසමාප්තියෙන් ‘ගුවන් පාලම’කි.

2013 වනවිට, මෙය ලෝකයේ 13 වැනි උසම පාලම වන අතර, ලොව නව වැනි ස්ථානයේ ඇති දිගම එල්ලෙන පාලම ද වෙයි. රාත්‍රී කාලයේ මාර්ගය ආලෝකවත් කිරීමට මෙම පාලමට විදුලි බුබුළු 1,888 ක් සවි කර තිබේ. පාලම ඉදිකිරීම ඇරඹුණේ 2007 වසරේ ඔක්තෝබරයේය. ඉදිකිරීම් අවසන් වූයේ 2011 වසරේදීය. 2012 වසරේ, චීන වසන්ත උළෙල වෙනුවෙන් තාවකාලිකව පාලම විවෘත කෙරුණත්, එය නිල වශයෙන් විවෘත වූයේ 2012 මාර්තු මාසයේය.

පාලම ඉදි කිරීමට චීනයට ණයක් ලබාගැනීමට සිදුවිය. ඒ, ආසියානු සංවර්ධන බැංකුවෙනි. එම ණය මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 208 කි. පාලම ඉදිකිරීම සඳහා වැය වුණු සම්පූර්ණ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 610 කි. අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 64 ක් ඉදි කිරීමට ද එම මුදල වැය කෙරුණු බව පැවැසෙයි. පාලම සහ අධිවේගී මාර්ගය භාවිතයට ගැනීමෙන්, ජින්ෂු පළාතේ සිට ෂාඩොං පළාතට යෑමට ගත වන කාලය පැය 4 කට සීමා වෙයි.

2012 සැප්තැම්බරයේ, ‘අසිහායි එල්ලෙන පාලම’ ජාත්‍යන්තරයට ගියේය. ඒ, පාලම මත පැවැත්වුණු ජාත්‍යන්තර ‘බේස් ජම්පිං’ උළෙල හේතුවෙනි. ‘බේස් ජම්පිං’ යනු වීර වික‍්‍රමවල යෙදීමට ප්‍රිය කරන තරුණ තරුණියන් ඇදෙනසුළු රැහැනකින් (ඉලාස්ටික් බෑන්ඩ් වැනි) පාද ගැට ගසාගෙන උස් තැනක සිට පහළට පැනීමය. අසිහායි එල්ලෙන පාලම යොදා ගනිමින් පැවැත්වුණු ‘බේස් ජම්පිං’ සැණකෙළියට රටවල් 13 ක් නියෝජනය කරමින් තරුණ තරුණියන් 40 කට වැඩි දෙනකු සහභාගී වූ බව ද පැවැසෙයි.

චීනය අද ලොව සෑම අංශයකින්ම ඉදිරියෙන් සිටී. ලෝකයේ ආනයන අපනයන ක්ෂේත‍්‍රයේ ඉදිරියෙන්ම සිටින රට චීනයයි. ලොව කිසිම රටකට නොදෙවැනි අයුරින්, විදෙස් සංචිත මුදල ඇත්තේ චීනය සතුවය. ඇමෙරිකාවට වඩා දෙගුණයකින් මෝටර් රථ චීනය නිෂ්පාදනය කරයි. ඇමෙරිකාවේ ප‍්‍රධාන සමාගම් 11 ක හවුල්කරුවා වන්නේ චීනයයි. ලොව අංක එකේ රත්තරන් නිෂ්පාදකයා චීනයයි. ලොව වැඩියෙන්ම සිමෙන්ති භාවිතයට ගන්නා රට චීනයයි. ඇමෙරිකන් ඔලිම්පික් කණ්ඩායම අඳින ඇඳුම් කට්ටල පවා නිර්මාණය කරන්නේ චීනයයි. රට රටවල නත්තලට භාවිත කරන ප්ලාස්ටික් නත්තල් ගස්වලින් සියයට 80 ක් නිපදවන්නේ චීනයයි.

2001 වසරේ අල් කයිඩා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විනාශ වී යළි ඉදිවන නිව්යෝක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ජනෙල් වීදුරු ලබා දීම කරන්නේ චීනයයි. ලෝකයේ දුර්ලභ අමුද්‍රව්‍යවලින් සියයට 90 ක් නිෂ්පාදනය කරන රට වන්නේ ද චීනයයි. ඇමෙරිකාවට වඩා 6 ගුණයකින් ගල් අඟුරු සහ 11 ගුණයකින් වානේ නිෂ්පාදනය කරන්නේ චීනයයි. ලොව වැඩිම බලශක්ති පාරිභෝගිකයා චීනයයි. ලොව ප‍්‍රමුඛ පෙළේ සුළං සහ සූර්ය බලශක්ති නිෂ්පාදකයා චීනයයි.

අනාගතයේ දිනෙක, චීනය ඇමෙරිකාව පරදා ලෝක බලවතා වනු නිසැකය. වත්මත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පමණක් නොව, ඇමෙරිකාවේ නව ජනාධිපති වීමට නියමිත ජෝ බයිඩන් ද ඒ බව අවබෝධ කරගෙන අවසන්ය. ට‍්‍රම්ප් මෙන්ම, බයිඩන් ද චීනයට කිසිදු බුරුලක් ලබා නොදීමට තීරණය කර ඇත්තේ එහෙයිනි. 2016 වසරේ දී ඩොනල්ඩ් ට‍්‍රම්ප් බලයට පත් වූයේ ද, චීනය ඇමෙරිකානුවන්ගේ රැකියා අවස්ථා උදුරා ගැනීමට විරෝධය පළ කරමිනි. පසුගිය 3 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කර, ජනපති ධුරයට තේරී පත් වුණු ජෝ බයිඩන් ද ට‍්‍රම්ප්ටත් වඩා චීනය සම්බන්ධයෙන් දළදඬු ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමට සූදානම් වෙයි. අනාගතයේ දිනෙක  ඇමෙරිකානුවන් මිලියන ගණනින් චීන සමාගම්වල රැකියාව කරනු ඇත.

චීන පුවත් සේවා ඇසුරිනි

(*** ලුසිත ජයමාන්න)