පාස්කු ඉරිදා ම්ලේච්ඡ සංහාරයට සති දෙකක් ගතවීමට තවත් ඇත්තේ දින දෙකක් පමණි. 2019 අප්‍රේල් 21 වැනි දින උදේ 8.45 වන විට වාර්තා වූ ඒ මූසල අත්දැකීම හමුවේ වික්ෂිප්ත වූ ජනතාවගේ කම්පිත මානසිකත්වයත්, මරණ බියත් අදටද මුළුමනින්ම පහව ගොස් නැතිබව පැහැදිලිය. වසර 30 කට ආසන්න කාලයක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් බැටකෑ අප එයින් නිදහස්ව වසර දහයක් ගතවත්ම මුහුණදුන් ඛේදජනක අත්දැකීම හමුවේ මෙතරම් සසල වන්නේ ගිනිපෙනෙල්ලෙන් බැටකාපු අප කණාමැදිරියාටත් ඇති බය නිසාවෙන් විය යුතුය. 

මුස්ලිම් අන්තවාදීන්ගේ හිස එසවීම අපට පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවටම අනතුරක් බව අප සැම දන්නා කාරණයකි. ඔවුනගේ ඇති කෲරත්වයත්, අන්තගාමීත්වයත් හමුවේ ලොව අහිංසක මිනිසුන් දහස් ගණනක් බල්ලන්-බළලුන් මෙන් සෑම දිනකම ජීවිතයෙන් සමුගන්නා ආකාරය නිරන්තරයෙන් අපට අහන්න-දකින්න ලැබෙන කාරණයකි. අනාගතයේ ලොවට අත්විය හැකි මෙම භයානක ඉරණම කල් ඇතිව හඳුනාගත් නිසාවෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍ය මෙම මුස්ලිම් අන්තවාදයට එරෙහිව අවි අමෝරන්නට විය. එවන් පසුබිමක අපගේ සමහර ඊනියා ප්‍රගතිශීලීන් බටහිර ලෝකයට එරෙහිව ලංකාවේ පෙළපාළි යන්නට වූහ. මෙම කාඞ්බෝඞ් වීරයන්ට නොපෙනුණ අනතුරක් පිළිබඳව මේ රටේ බුද්ධිමතුන් හඬ නගනවිට ඔවුන්ව එන්.ජී.ඕ. කාරයන් ලෙස හංවඩු ගසන්නට විය. ඒ ආකාරයෙන් එදා  වෙනත් රටවල බෝම්බ පුපුරන විට, මනුෂ්‍ය සංහාර වනවිට අප කෙස් පැලෙන තර්ක විතර්ක කළා මිස එවන් අභියෝගයකට ලංකාව විවෘත වීමේ අවදානම පිළිබඳ සැලකිලිමත් නොවූ බව ඉතා පැහැදිලිය. එහෙත් අද අපගේ දොරකඩටම එම අන්තවාදී ත්‍රස්තවාදය පැමිණ හමාරය. දැන් අප තවමත් කරන්නේ එකිනෙකාට චෝදනා නඟමින් තමන්ගේ සුදනත්වය විදහා පාන්න අසාර්ථක උත්සාහ ගැනීමකි. 

එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ජනාධිපතිවරයා පසුගිය කාලය තුළ ආරක්ෂක කවුන්සිලයට අගමැතිවරයා නොකැඳවූ බවත් එම නිසා එතුමන් මේ බව නොදැන සිටි බවය. ඔවුනතර ඇති දේශපාලන විරසකය වෙනුවෙන් රටේ ආරක්ෂාව බිලිදී ඇත්තේ ඒ ආකාරයෙනි. තවද මෙම ප්‍රහාරය සිදුවන වනවිට ජනාධිපතිවරයා සිටියේ විදෙස්ගතවය. එතුමන් පෞද්ගලික නිවාඩුවක් සඳහා සිංගප්පූරුවට ගිය බව වාර්තාවිය. ජනාධිපතිවරයා විදෙස්ගත වෙනවිට අවම වශයෙන් වැඩ බලන ආරක්ෂක ඇමතිවරයෙකු හෝ පත්කර නොයෑම අතිශය බරපතළ වරදකි. රටේ ආරක්ෂාව පිළිබඳ රටේ නායකයන්ගේ ඇති අවම සැලකිල්ලට මෙය හොඳ නිදසුනකි. ජනාධිපතිවරයා මෙම සිදුවීම තමන් දැනගත්තේ මුහුණු පොතෙන් බව පැවසීමද හාස්‍යයට කරුණකි. එය එසේනම් ඔහුගේ ලේකම්වරුන් සහ උපදේශකයන් කළේ මොනවාදැයි සොයා බැලිය යුතුය. තමන්ගේ නායකයා රටේ නැති කාලයේ ඔවුන්ද තමන්ගේ සරමෙන් මූණ වසාගෙන මුහුණු පොතේ ඕපාදූප හෙව්වා විය හැකිය. ඒ තරමට අප රටේ පාලන යාන්ත්‍රණය කඩා වැටී හමාරය.

ඉන්දියානු රෝ ඔත්තු සේවාව සති දෙකකට පෙර සියලු තොරතුරු අපගේ බුද්ධි අංශයට දැන්වූ බව මේවන විට තහවුරු වී හමාරය. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයාගේ ප්‍රකාශ වලින් ද මේ බව තහවුරු විය. ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවී දින කීපයට පසු ජනාධිපතිවරයා ජනතාව අමතන විට පුන පුනා පැවසූයේ හිටපු ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා තමන්ට රෝ ඔත්තුසේවය ලබාදුන් බුද්ධිමය තොරතුරු වසන් කළ බවය. එම වගකීම බාරගත් ආරක්ෂක ලේකම්වරයා සේවයෙන් ඉල්ලා අස්වුවද හිටපු පොලිස්පතිවරයා රටේ පොලිසිය බාර අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයාගේ ඉල්ලීමද තඹ සතයකට ගණන් නොගෙන තම පට්ටම රැකගන්න අසාර්ථක උත්සාහයක නිරතවිය. පක්ෂ-විපක්ෂ සියලු පාර්ශ්ව පොලිස්පති ඉල්ලා අස්විය යුතුයැයි හඬ නඟනවිට එම පොලිස්පතිවරයා කළේ ඔහු හැමදාම කරන පරිදි රටට විහිළු සැපයීමකි. මෙවන් පොලිස්පතිවරයකු සහ රට අතිශය බැරෑරුම් තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක පවා අගමැතිවරයාගේ වචනයටවත් නතුනොවන ආරක්ෂක කවුන්සිලයක් ඇති රටක ආරක්ෂාව පිළිබඳව වෙනම කතා කළ යුතුය. මෙය රටේ ආරක්ෂක අංශයේ කඩාවැටීමක් හෝ බුද්ධි අංශයේ කඩා වැටීමක් නොව ආරක්ෂක යාන්ත්‍රණයේ කඩාවැටීමකි. එසේත් නැතිනම් ආරක්ෂක යාන්ත්‍රණය අතිශය දේශපාලනීකරණය වීමකි. 

කාඞ් කුට්ටමේ රජවරුන් ඉඳිද්දී ජෝකර්ලා පොලිස්පති වීමේ ආදීනව අප අත්වින්දේ අහිංසක ජීවිත 350 කට වඩා බිලිදීමෙනි. හිටපු අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසන පරිදි ආරක්ෂක තොරතුරු වසන්කරමින් වක්‍රාකාරව ජීවිත හානිවලට උදව් දීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාට උපරිම දඬුවම් දීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුය. එවිට සැබෑවටම ජනාධිපතිවරයා මෙම ප්‍රහාරයේ තොරතුරු නොදැනගෙන සිටි බවට සමාජය පිළිගනු ඇත. 

මෙම සිදුවීමත් සමඟ රටේ ආරක්ෂාව බරපතළ අර්බුදයකට පත්ව ඇති බව විපක්ෂ ක්‍රියාකාරීහු දැඩිලෙස රජයට චෝදනා එල්ලකරමින් සිටිති. බුද්ධි අංශයේ විශාල පිරිසක් ජනාධිපතිවරයා ප්‍රමුඛ මෙම ආණ්ඩුව විසින් සිරගත කරනු ලැබ ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හාමුදුරුවෝද චෝදනා කරමින් කියා සිටියහ. එම ස්වාමීන්වහන්සේ එයට නිදසුන් ලෙස ගන්නේ තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ චෝදනාව යටතේ බන්ධනාගාරගතව සිටින හිටපු නාවික හමුදා මධ්‍ය ප්‍රකාශක ඇතුළු පිරිසකි. මෙහිදී රටේ සාමාන්‍ය පුරවැසියකු ලෙස මට ඇති ප්‍රශ්නය වන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ රජයද එසේ නැතිනම් අධිකරණයද යන්නය. අධිකරණ තීන්දුවක් මත තාජූඩීන්ගේ ඝාතන තොරතුරු වසන් කළ පොලිස් නිලධාරියකු බන්ධනාගාර ගත කිරීම, එක්නැළිගොඩ ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය කළ හෝ අතුරුදහන් කළැයි කියන හමුදා නිලධාරියකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම රජය විසින් බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමක් ලෙස හුවා දැක්වීම අධිකරණ තීන්දුවක් හෑල්ලුවට ලක් කිරීමකි. 2010 ජනාධිපතිවරණයෙන් අනතුරුව එවකට හිටපු හමුදාපතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ගණනාවකට අත්වූ ඉරණම අපට මතකය. එහෙත් එම සිදුවීම් රටේ ආරක්ෂක අංශ අඩපණ කිරීමක් ලෙස මෙම දේශප්‍රේමීන් නොදකින්නට ඇත. 

කෙසේ හෝ පටු දේශපාලනික වාසියක් උදෙසා රටේ ආරක්ෂාව පිළිබඳ විවෘතව සංවාද කිරීම නොකළ යුත්තකි. මෙයින් සිදුවන්නේ ආරක්ෂක අංශ අධෛර්යමත් වීම සහ රටේ ආරක්ෂක රහස් සතුරන්ට විවෘත වීමක් පමණි. මෙම ම්ලේච්ඡ ප්‍රහාරය ඉදිරියේ අප නැවත වරක් යුදමය අත්දැකීම් සහිත ඉතා දක්ෂ සහ පරිණත හමුදා නිලධාරීන් සහ ඉතා ශක්තිමත් බුද්ධි අංශයක් අපරට තුළ සිටින බවට සාක්ෂි සහිතව ඔප්පුකිරීමට අපට හැකිවිය. බුද්ධි අංශ ශක්තිමත්ව තිබුණා යැයි පවසන සමයේදී එල්.ටී.ටී.ඊ. කාඩරයෝ කොළඹට ගුවනින් පැමිණ ප්‍රහාර එල්ල කළහ. කටුනායක ගුවන්තොටුපොළට විශාල හානියක් සිදුකළහ. එපමණක් නොව ආරක්ෂක හිටපු ලේකම්වරයාටද බෝම්බ තැබීමට තරම් ආරක්ෂාවේ හිඩැස් පැවතිණ. එහෙත් මෙම සිදුවීම සිදුවී පැය කීපයක් ඇතුළත ආරක්ෂක අංශ ලබාගත් ජයග්‍රහණ දෙස බලනවිට අපගේ බුද්ධි අංශය සහ ත්‍රිවිධ හමුදාව ඉතා ශක්තිමත් වී ඇති බව පැහැදිලිය.

රජය දැන් කළ යුතු වන්නේ සිදුවන ප්‍රහාරයේ දිග-පළල සෙවීමට වඩා ඉතා ඉක්මනින් කඩාවැටුණු මිනිස් ජීවිත නඟා සිටුවීමයි. 20 දින සිට රට, රටේ ආර්ථිකය, සහ ජන ජීවිතය එක්තැන නතරවී ඇත. අප්‍රේල් මස 21 දින විවෘත කිරීමට නියමිතවූ පාසල් තවම වසා දමා ඇත. විශ්වවිද්‍යාල සියල්ලද වැසී ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශවල බොහෝ සේවකයන් සේවයට වාර්තා කර නැත. කිතුණු සහ මුස්ලිම් පල්ලිවල පූජා සියල්ල නවතා ඇත. පන්සල්වල තත්ත්වයද එසේමය. මෙවර වෙසක් කලාප සහ තොරණ ඉදිකිරීම්ද තහනම්ය. මැයි දින පෙළපාළි සියල්ල ද නැවතිණ. ආර්ථික මධ්‍යස්ථාන අඩපණ වීම නිසා ගොවීන්ට තම එළවළු ටික අලෙවි කරගත නොහැකිවී ඇත. ආයෝජකයන්ගේ නොපැමිණීම නිසා කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනිකරණය පහත වැටී ඇත. ප්‍රධාන හෝටල් කීපයක්ම වැසී ඇති අතර සංචාරකයන්ගේ පැමිණීමද පහත වැටී ඇත. මේ ආකාරයේ රටේ සමස්ත අංශයේම කඩා වැටීමක් එල්.ටී.ටී.ඊ. ගැටුම් සමයේ වත් අප අත්විඳ නැත. එමනිසා රජය විසින් නැවත ජනජීවිතය යථා තත්ත්වයට ගොඩනැංවීමට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමත් රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමත් යන අංශ කෙරෙහි අවධානය යොමුකිරීම කළ යුතුය.

රජයේ අවධානය යොමුවිය යුතු අනෙක් කරුණ වන්නේ විවිධ අන්තවාදී මූලධර්මවාදීන් සමාජය පුරා පතුරන විෂබීජ විනාශ කිරීම සහ ඒ සඳහා නිර්මාණය වූ පසුබිම කඩා හෙළීමයි. සාමාන්‍ය කියමනකට අනුව පාදඩයාගේ අවසන් නවාතැන්පොළ ජාතිවාදය සහ ආගම්වාදයයි. ජාතිය සහ ආගම යනු ලොවක් හදන්නට මෙන්ම ලොවම විනාශ කළ හැකි භයානක අවි දෙකකි. සිංහල, දෙමළ, මුස්ලිම් අන්තවාදීන් සියල්ල සෙල්ලම් කරන්නේ මෙම අවිදෙක සමගය. එල්.ටී.ටී.ඊ.ය තම අරගලයේ පදනම ලෙස යොදාගත්තේ ජාතිවාදයයි. මුස්ලිම් අන්තවාදයේ පදනම ආගම්වාදයයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය විධිමත් ආරම්භය සටහන් වන්නේ 1983 වසර ලෙසයි. එදා දේශපාලකයන් උතුරේ වගුරවන ලද ජාතිවාදය හමුවේ අළුයට පැවති ගිනි එළියට ආවේ අපගේ හමුදා නිලධාරීන් 13 දෙනකු යාපනයේදී ඝාතනය කිරීමත් සමඟය. එදා රජය තමන්ගේ වගකීම නිසිලෙස ඉෂ්ට නොකිරීම නිසා ජනතාව නීතිය අතට ගෙන කැලෑ නීතිය රජකර විය. කළු ජූලියේ නිර්මාණකරුවන් දකුණේ වුවද උතුරු-නැගෙනහිර යුද්ධයෙන් බැටකෑවේ එම පළාත්වල ජීවත්වන ජනතාවය. එයින් වැඩිම ප්‍රතිශතයක් අහිංසක සිංහල ජනතාවය.

මුස්ලිම් අන්තවාදීන්ගේ හිස එසවීමද අද-ඊයේ සිදුවූවක් නොව. ජනාධිපතිවරයා පවසන පරිදි එයට වසර 15 ක පමණ ඉතිහාසයක් ඇත. එහි ශීඝ්‍ර වර්ධනයක් 2013 සිට වාර්තා වූ බවද එතුමා පවසා ඇත. එහෙත් ඒ සඳහා නීතිය නිසිලෙස ඉටුකිරීමට රජයන් දෙකම අපොහොසත් වී ඇත. තමන්ට අවශ්‍ය දේශපාලන සහයෝගය ලබාගැනීම උදෙසා නයි පැටවුන්ට කිරිපොවා ඇත්තේ අප ඡන්දය දී මහගෙදරට පත්කර යැවූ අපගේම නායකයන්ය. එයට ඇති ආසන්නතම නිදසුන වන්නේ වනාතවිල්ලුවේ දී හමුදා අත්අඩංගුවට පත් මුස්ලිම් අන්තවාදීන් නිදහස් කර යැවීමයි. මෙලෙස රජය තමන්ගේ වගකීම නොසලකා කටයුතු කිරීමේදී නැවත වරක් ජනතාව කැලෑ නීතිය රජ කරවන්න පටන් ගැනිණ. බොදු බලය, රාවණා බලය, වැනි අන්තවාදී බලවේග හිස ඔසවන්නේ මෙවන් පසුබිමකය. අද රටේ ඇති එවන් සංවිධාන සංඛ්‍යාව අති විශාලය. මේ පාර්ශ්වද කැත්තට-පොල්ල මෙන් සිංහල බෞද්ධ ජාතිවාදයද හරි අපූරුවට වපුරමින් සිටිති. මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම හෝ දිගන ප්‍රදේශයේ ඇති වූ යම් සිදුවීමක් හෝ වැළැක්වීම සහ නීතිය ක්‍රියාවට නැංවීම රජයේ කාර්යයක් වුවද රජයට පෙර එයට උර දෙන්නෝ ඉහත කී අන්තවාදීහුය. බුද්ධ දර්ශනයේ කිසිදු දහම් කරුණක් තුළ මෙවැනි හැසිරීම් සාධාරණීකරණය කළ නොහැකිය. එයට සාපේක්ෂව පාස්කු ඉරිදා මිනිස් සංහාරයෙන් අනතුරුව කාදිනල්තුමා ඇතුළු කතෝලික පූජකවරුන්ගේ හැසිරීම අතිශය ප්‍රසංසනීය බවද ප්‍රකාශ කළ යුතුය. තම ආගමික වතාවත්වල නිරතවෙමින් සිටි අහිංසක නිරායුධ මිනිසුන් ඝාතනය කළත් රටේ අනෙකුත් සිංහල බෞද්ධ සහ කතෝලික ජනතාව ඉතා ඉවසිලිවත්ව කටයුතු කළ නිසා මහ ලේ වැගිරීමක් නවතා ගැනීමට අපට හැකිවිය. දැනට හමුදා අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ ආයුධ ප්‍රමාණය දෙස බලන විට එදා දිගනදී ඇතිවූ ගැටුම වැනි ගැටුමක් ඇති වුණේනම් නැතිවිය හැකිව තිබූ ජීවිත ගණන අති විශාල විය හැකිය.

මුස්ලිම් ජාතිවාදයට එරෙහිව ප්‍රතිවිරුද්ධ ජාතිවාදය පෙළගැසෙන්නේ රජය විසින් තම වගකීම හරිහැටි ඉටු නොකිරීම නිසාය. එම නිසා රජයේ විශේෂ අවධානය මේ සඳහා යොමුවිය යුතුය. රටේ ජාතික ප්‍රතිපත්තියක් තුළ ජාතිය පදනම්වූ සියලු දේශපාලන පක්ෂ සහ පාසල් තහනම් කළ යුතුය. ජාතිය හෝ ආගම පදනම් කරගත් දේශපාලන පක්ෂයක ඡන්ද යාන්ත්‍රණය ජාතිවාදය හෝ අගම්වාදයයි. ඔවුන් තම ඡන්දදායකයා උද්දීපනය කරන්නේ ජාතිවාදය සහ ආගම්වාදය වපුරමිනි. මෙය දෙමළ සහ මුස්ලිම් පක්ෂවලට පමණක් නොව තම බඩගෝස්තරවාදය වෙනුවෙන් ජාතිවාදය පතුරන සිංහල පක්ෂවලටද පොදු කරුණක් විය යුතුය. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ යම් සංශෝධනයකින් අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුය. 

ජාතිවාදයට සාපේක්ෂව ආගම්වාදය මත නිර්මාණය වන ත්‍රස්තවාදය දමනය කිරීම වඩා පහසුය. එයට අවශ්‍ය වන්නේ නිවැරදි අවබෝධයක් සහ සර්ව ආගමික සංහිඳියාවකි. රජය කළ යුත්තේ අගම්වාදයට පැලැස්තර විසඳුම් සොයන්නේ නැතිව වඩා නිවැරදිව ප්‍රශ්නය දෙස බලා සැමට පිළිගත හැකි දිගු කාලීන විසඳුම් කරා යොමුවීමයි. අදටත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මුස්ලිම් අන්තවාදයේ අපේක්ෂා අපැහැදිලිය. ඔවුනගේ ඉල්ලීම් මොනවාද යන්න තවමත් ප්‍රකාශවී නැත. මෙම ප්‍රහාරයෙන් පසු බි්‍රතාන්‍යයේ පැවති උද්ඝෝෂණයක ප්‍රකාශ වූයේ සිංහලයන් විසින් මුස්ලිම්වරුන්ට ප්‍රහාර එල්ල කරනු ලබන නිසා ඔවුන් මෙලෙස ප්‍රතිචාර දැක්වූ බවයි. එහෙත් එය සාධාරණීකරණය කළ හැකි තර්කයක් නොවන බව පැහැදිලිය. අනෙක් තර්කය වන්නේ රජය මත්ද්‍රව්‍ය මාෆියාවට එරෙහිව ක්‍රියාත්මක කරවන දැවැන්ත වැටලීම්වලට විරෝධය පැතිරවීමට මෙම ප්‍රහාරය එල්ල කළ බවය. වර්තමානයේ මත්ද්‍රව්‍ය සහ මත්කුඩු මාෆියාව අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදයේ ප්‍රධානතම ආදායම වන බැවින් එම තර්කයේ යම් වලංගු බවක් තිබිය හැකිය. එම නිසා රජය මෙම ප්‍රහාරයේ සුලමුල නිවැරැදිව හඳුනාගෙන අවශ්‍ය කඩිනම් පියවර ගැනීම වැදගත්වේ. ඒ සඳහා නිර්දේශපාලනික ප්‍රවේශයක් තුළ සිට ආරක්ෂාව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමත්, ආරක්ෂක හමුදාවලට සහ බුද්ධි අංශයට අවශ්‍ය නිදහස සහ යටිතල පහසුකම් ලබාදීමත් රජය විසින් කළ යුතුය. එමෙන්ම පටු දේශපාලනික න්‍යායන් පසෙකලා සියලුදෙනා එකට එක්ව - එක්සේසත්ව රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුකිරීමට පෙරට ආ යුතුය. දශක තුනක යුද්ධයකට අවසන් තිත තැබූ යුද සෙනෙවියාද, එම යුද්ධයේ මෙහෙයුම් කටයුතු කළ ආරක්ෂක ලේකම්වරයාද, එවන් බැරෑරුම් අවස්ථාවක රටට නායකත්වය දුන් නායකයාද වර්තමානයේ සක්‍රීය දේශපාලනික චරිතයෝය. ඔවුන් කුමන දේශපාලනික මතයක් නියෝජනය කළද රජය මෙම පාර්ශ්වවල සහයෝගයත් උපරිම වශයෙන් ගතයුතුය. එම පාර්ශ්වද රට ගැන සිතා ඔවුන්ගේ දායකත්වය රජයට උපරිම වශයෙන් ලබාදිය යුතුය. එමගින් පොරවෙන් කපන්න ඉඩ නොතබා මුස්ලිම් අන්තවාදීත්වය නියපොත්තෙන්ම කඩා දැමීමට රජයට හැකිවනු ඇත.

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ
ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා