ජවිපෙ ආරම්භක සාමාජිකයකුගේ මතක සටහන්

03 වැනි කොටස

අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි.

චීන කොමියුනිස්ට් පක්ෂය යටතේ වන ගොවි සම්මේලනයේ නියෝජිත රැස්වීමක් කොළඹ පක්ෂ කාර්යාලයේදී ශන්මුගදාසන් සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී මට එම රැස්වීම ඇමතීමට අවස්ථාව ලැබුණි. අප පක්ෂය විප්ලවවාදී පක්ෂයක් බවත්, මෙම සහෝදරයින් ද විප්ලවවාදීන් විය යුතු බවත්, අප සටනට පිවිසුණ පසු අපට විරුද්ධ වන්නේ කවරෙක්ද ඔහුට විරුද්ධව අප අත තියෙන ආයුධය එසවිය යුතු බවත්, විනාශ කළ යුතු බවත් කියමින්, අත් දෙකේ තුවක්කුවක් රඳවාගෙන සිටින ලෙසට පෙන්නමින්, එය වටේ කරකවමින් මුලසුනේ සිටි ශන්මුගදාසන් සහෝදරයා දෙසටත් යොමු කළෙමි.


රැස්වීම අවසන් වූවායින් පසු මටත්, අනුරාධපුර ආරියවංශ ගුණසේකර සහෝදරයාටත් ශන්මුගදාසන් සහෝදරයා හමුවන ලෙස දැනුම් දෙන ලදී. පසුව අපි ශන්මුගදාසන් සහෝදරයාගේ කාමරයට ගියෙමු. ඉන්දුනීසියාවට ගොස් අවුරුද්දක් එහි ගොවි සමිතිවල වැඩ කරන ආකාරය පිළිබඳ පළපුරුද්දක් ලබාගෙන පැමිණෙන ලෙස ඔහු මට කීවේය. මා හා දරු පවුල ජීවත් වන්නේ මට ලැබෙන වැටුපෙන් බවත්, එය නොලැබුණොත් මාගේ දරුවත් බිරිඳත් අසරණ වන බවත් මම කීවෙමි. ඒ සඳහා වැඩපිළිවෙලක් සූදානම් කර දිය හැකි බව ශන්මුගදාසන් සහෝදරයා කීවේය. මා කල්පනා කර බලා කියන්නම් කියා මම එළියට ආවෙමි. මෙම අවස්ථාව අතනොහැර ඉන්දුනීසියාවට යාමට කැමති වන ලෙස ගුණසේකර සහෝදරයා මට උපදෙස් දුන්නේය.


පසුව මම සනත් සහෝදරයාටත්, විජේවීර සහෝදරයාටත් මෙය සැල කළෙමි. ඔවුහු දෙදෙනාම මට ඉන්දුනීසියාවට නොයන ලෙසට උපදෙස් දුන්නෝය. ඔවුන්ගේ අදහස වූයේ මෙය ශන්මුගදාසන් සහෝදරයාගේ උගුලක් විය හැකි බවයි. අනික මා ගියහොත් අපගේ ව්‍යාපාරයේ කටයුතුවලට බාධාවක් විය හැකි බව ඔවුන්ගේ අදහස විය. ඉන් පසුව මම ඉන්දුනීසියාවට යාමට අකමැති බව ශන්මුගදාසන් සහෝදරයාට දන්වා සිටියෙමි.
මේ වන විට පක්ෂයේ තරුණ සමිති සම්මේලනය පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පැවැතුණි. විජේවීර සහෝදරයා තරුණ සමිති බොහොමයක් ක්‍රියාකාරී තත්ත්වයට පත් කර අලුත් ශාඛා ද ආරම්භ කර තිබුණි. තරුණ සමිති සම්මේලනයේ ලේකම් ලෙස විජේවීර සහෝදරයා පත්කර ගැනීමේ සැලැස්මක් අපි සූදානම් කළෙමු. ඒ සඳහා ප්‍රාදේශීය තරුණ සමිති ලවා විජේවීර ලේකම් කළ යුතු බවට යෝජනා සම්මත කර මූලස්ථානයට එවීමට සැලැස්වූවෙමු. ශන්මුගදාසන් සහෝදරයා ඔහුට හිතවත් අයකු මේ සඳහා පත්කර ගැනීමට ඔවුන් කටයුතු යොදමින් සිටින බව පසුව මට දැනගැනීමට ලැබුණි. ශාඛා සමිතිවලින් විජේවීර සහෝදරයා ලේකම් ලෙස පත් කළ යුතු බවට යෝජනා පැමිණෙන විට ශන්මුගදාසන් සහෝදරයා විජේවීර සහෝදරයා පූර්ණකාලීන තරුණ කටයුතුවලින් ඉවත් කරන ලදී. පසුව සම්පූර්ණයෙන්ම පූර්ණකාලීන සේවයෙන්ද ඔහු ඉවත් කෙරුණි.
මේ වන විට පක්ෂයේ සිටි සහෝදරවරු කිහිපදෙනෙක් අප සමග වැඩ කිරීමට එකඟව සිටියෝය. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කරුණාරත්න, වරායේ රාජා, ස.තො.ස විමලගුණේ, ලේක්හවුස් ආයතනයේ ටී. ඩී. සිල්වා, ලොකු අතුල, පියතිලක, මිල්ටන් ආදීන් හා තවත් කිහිපදෙනෙක්ම ඒ අතර සිටියෝය. මට අනිත් අයගේ නම් මතක නැත. පිට පළාත්වලින් කතරගම සිරිපාල සහෝදරයා, බටපොල මල්ලියාවඩු ආදීහුද අප සමග එකඟව සිටියෝය.


ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (චීන පිල) තරුණ සමිති සම්මේලනය පැවැත්වීමට පක්ෂය තීරණය කර තිබූ දිනට පෙර දින රාත්‍රී අපි කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී සුවිසල් නිවසක විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයෙමු. මේ සඳහා මෙම නිවස ලබා ගැනීමට හැකි වූයේ මෙම නිවස අයිතිකරු තම පවුල සමග පිටරටක ගොස් සිටියදී නිවස බලා ගැනීමට භාරදී තිබුණේ අප සමග සම්බන්ධ වූ සහෝදරයකුට වීම නිසාය.


මෙම සාකච්ඡාවට කැඳවූයේ තරුණ සමිති සම්මේලනයට සම්බන්ධ වී සිටි අපට හිතවත් සහෝදරවරුන් පිරිසකි.


මෙහිදී විජේවීර සහෝරයා පක්ෂයේ අද පවතින තත්ත්වය සවිස්තරාත්මකව පැහැදිලි කරන ලදී. ඉන්පසුව සෙසු සහෝදරවරු තම අදහස් ඉදිරිපත් කළහ. ඒ අනුව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව විජේවීර සහෝදරයා ලේකම්කමට ඉදිරිපත් නොකිරීමට අපි තීරණය කළෙමු. පක්ෂයේ තරුණ සමිතිය සඳහා ගොනු කරගන්නා සහෝදරයන් පක්ෂය තුළට ගොනු කිරීමක් නොකර අපගේ කණ්ඩායම හෙවත් නව ව්‍යාපාරයට ගොනු කර ගත යුතුයැයි තීරණය විය. කම්කරු සමිති අතර වැඩ කිරීමට අමතරව ගොවි සහෝදරවරුන් හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු තරුණ සහෝදරවරුන් සමග වඩාත් කිට්ටුවෙන් වැඩ කළ යුතු බවද තීරණය කරන ලදී.
සම්මේලනය ඇමතීමට මට අවස්ථාවක් ලදහොත් මගේ කථාවේදී පක්ෂයේ ක්‍රියාමාර්ගය දැඩිව විවේචනය නොකරමින් පක්ෂය තුළ රැඳී සිටිමින් අවශ්‍ය තොරතුරු රැස් කිරීම මට පැවරිණි. පසු දින අප සියලුදෙනාම වෙන වෙනම ගොස් සම්මේලනයටද සහභාගි වූ අතර, මම සම්මේලනය අමතා කථාවක් පැවැත්වීමි.


මේ කාලයේදී 1965 මැද භාගයේදී අක්මීමන ඉන්කම්ටැක්ස් කරුගේ නිවසේ ද විජේවීර සනත් ඇතුළු අප කිහිපදෙනා හමුවී සාකච්ඡාවක් හෝ දෙකක් පවත්වන ලදී. මේ සාකච්ඡාවලට මූලික කණ්ඩායමට අමතරව ඉහත සඳහන් සහෝදරවරු අතුරින් කිහිපදෙනෙක්ද තවත් වෙනත් සහෝදරවරු කිහිපදෙනෙක් ද සහභාගි වූහ.


මේ කාලයේ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේම න්‍යාය යටතේ මහජන යුද්ධයකින් බලය අල්ලාගත යුතු බවට මතයක් දරමින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටි ගාමිණී යාපා ද කණ්ඩායමක් ගොඩනගමින් සිටි බව අපට දැන ගන්නට ලැබුණි.


1965 මහා මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය, චෙල්වනායගම් මහතාගේ නායකත්වයෙන් යුත් පෙඩරල් පක්ෂය, පිලිප් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ, සී. පී. ද සිල්වා මහතාගේ පක්ෂය, දහනායක මහතාගේ පක්ෂය, රාජරත්න මහතාගේ පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවා තිබුණි. 1966 ජනවාරි අට වෙනිදා සියලු වෘත්තීය සමිති එක්වී විශාල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සංවිධානය කළෝය. මෙම විරෝධතා ව්‍යාපාරයේ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීමට පියදාස ආදිපොල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලන කාර්යාලයේදී පවත්වන ලදී. මෙම රැස්වීමට මම ද සහභාගි වීමි. එවකට රාජ්‍ය සේවා මූලස්ථාන කාර්යාලය තිබුණේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල (දැනට ජනාධිපති ලේකම් කාර්යාලය ලෙස පවත්වා ගෙන යන ගොඩනැගිල්ල) පිහිටි ඉඩමේම පාරට යාබදව තිබූ ගොඩනැගිල්ලකය. මෙම සම්මේලනය කොමියුනිස්ට් පක්ෂයේ (මොස්කව් පිල) යටතේ පැවති වෘත්තීය සමිති සම්මේලනයකි.


මේ වන විට මා ලේකම් ලෙස සේවය කළ ඉ.සං.දෙ. කාර්යාල කාර්යාධිකාරී සංගමය ද මෙම සම්මේලනයට අනුබද්ධව තිබුණි. මේ වන විට මම ඉ.සං.දෙ ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේද ලේකම් ලෙසද පත්වී සිටියෙමි. මෙම විරෝධය සංවිධානය කරන ලද්දේ එදින පාර්ලිමේන්තුවෙහි සාකච්ඡාවට ගැනීමට නියමිත වූ දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනතට එරෙහිවය.


ජනවාරි 08 වැනිදා විරෝධය මෙසේ සංවිධානය වන විට ශන්මුගදාසන් සහෝදරයා ලංකාවේ සිටියේ නැත. එම නිසා කොමියුනිස්ට් පක්ෂ චීන පිල යටතේ වූ වෘත්තීය සමිති කර කියා ගත හැකි දෙයක් නොමැතිව සිටියේය. විරෝධයට දවසක් තිබියදී 7 වැනිදා අප කාර්යාලයට වෘත්තීය සමිති සාමාජික සහෝදරයින් පැමිණ කුමක් කරන්නදැයි විමසා සිටිමුත් ස්ථිර තීරණයක් ලබාදීමට කෙනෙකු සිටියේ නැත. එබැවින් කැමති දෙයක් කරන්න කියා ඔවුන්ට දැනුම් දෙන ලදී. මෙම විරෝධතා ව්‍යාපාරය යූඇන්පී හත් හවුල් ආණ්ඩුවට විරුද්ධව පැවැත්වූ එකක් වූ නමුත් ප්‍රධාන සටන් පාඨය උතුරේ භාෂා ප්‍රශ්නය විසඳීමට ගෙන ආ පනතකට විරෝධය පෑම වී තිබූ නිසා විරෝධතාවට සහභාගිවීම පිළිබඳව පක්ෂයේ විරුද්ධ මතයකුත් තිබුණි. 


මෙම විරෝධතාව ජාතිවාදී ස්වරූපයක් ගැනීමට ඉඩ තිබිය හැකි බව ඔවුන්ගේ මතය විය. පසුව අපි කණ්ඩායමද විහාර මහාදේවි උද්‍යානයට පැමිණියෙමු. මේ වන විට විජේවීර, කරුණාරත්න, රාජා හා ලොකු අතුලත් එහි පැමිණ සිටියෝය. එම අවස්ථාවෙහි සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අතේ කිසිවක් ගෙන නොයන ලෙසයි. එවිට මම කෑම ගෙන ආ පෙට්ටි සඟවා තැබුවෙමි.

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.