අත අතට පත් ලේකම්වරු - 05

කලක් පක්‍ෂයේ සම ලේකම්වරයකු ලෙස කටයුතු කළ තවත් ප්‍රබලයෙකු ලෙස සඳහන් කළ හැකි දේශපාලඥයෙකු වන්නේ දොස්තර ඩබ්ලිව්. ඩී. ද සිල්වා මහතාය. ගැමි බෞද්ධ පරිසරය ඇති ප්‍රදේශ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පදනම වශයෙන් සලකන ලදී. එහෙත් කොළඹ නගරය නියෝජනය කරමින් දේශපාලන බලයක් ගොඩනගා ගැනීමට සමත් වූ නායකයකු ලෙස දොස්තර ඩබ්ලිව්. ඩී. ද සිල්වා මහතා හඳුන්වා දිය හැකිය. කොළඹ මහ නගර සභාවේ ආසනයක් දීර්ඝ කාලයක් තිස්සේ ජයගැනීමට එතුමාට හැකිවිය. එක් දහස් නවසිය පනහේ දසකයේ නගර සභාවට පත් වූ ඔහු දීර්ඝකාලයක් එය රැක ගැනීමට සමත් විය.


එක් දහස් නවසිය හැටේ මාර්තු මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප අපේක්‍ෂකයා වශයෙන් තරඟවැදුණු ඒ මහතා සුළු ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් විය. එවර වමේ බොහෝ පක්‍ෂවලින් අපේක්‍ෂකයෝ තරගයට ඉදිරිපත්ව සිටියහ. 1960 ජුලි 20 වැනිදා පැවැති මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප- - සමසමාජ - කොමියුනිස්ට් යන පක්‍ෂ තුන නිතරග සම්මුතියක් යටතේ තරග කළ බැවින් ඩබ්ලිව්. ඩී. ද සිල්වා මහතාට ජය ගැනීමට පහසු විය.


බෙහෙවින් ක්‍රියාශීලි සහ ජනප්‍රිය දේශපාලකයෙකු වුවත් ඒ මහතාට තම නිල කාලය මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණේ නැත. ඔහු පරලෝසැපත් වූවේය.


ශ්‍රී.ල.නි.පයේ කම්කරු සමිති ව්‍යාපාරය ආරම්භ කිරීමේ පුරෝගාමියා වන්නේද ඔහුය. ඕනෑම අවස්ථාවක දිවා රැය බේදයක් නොමැතිව මහජන සේවයට ඇප කැපව සිටි ඔහු ජනතාව විසින් ආදරයෙන් සඳහන් කරනු ලැබුවේ දඩි බිඩි සිල්වා යනුවෙනි.


ඉන් පසුව ලේකම් ධුරය හෙබ වූ නායකයෙකු වන්නේ රත්නසිරි වික්‍රමනායක මහතාය.


එඩිතරව අදහස් ප්‍රකාශ කරන සෘජු, ප්‍රතිපත්ති ගරුක මහත්මයෙකු වූ රත්නසිරි වික්‍රමනායක මහතා එම ගුණාංගයන් නිසාම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම දක්වා වූ දුර ගමනක් පැමිණියේය.


1933 මැයි මස 05 වැනි දින උපත ලැබූ මෙතුමාගේ පවුලේ අය මහජන සේවය ගැන ප්‍රකට වූ පුද්ගලයෝ වූහ. රයිගම් කෝරලයේ ජනතාවගේ තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ඔවුන්ගේ සුබසාධනය කෙරෙහි යොමුවීමෙන් ඔව්හු වාමාංශික දේශපාලන මතවාදය කෙරෙහි ඇදී ගියහ. අධිනීතිඥයෙකු ලෙස සමත්වීමේ අදහසින් කෙරගෙන ගිය අධ්‍යාපනය ද අතර මග නවත්වා වික්‍රමනායක මහතා 1960 මාර්තු 19 වැනිදා පැවැත් වූ මහා මැතිවරණයේදී හොරණ ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් පත් වූවේ පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පැවති මහජන එක්සත් පෙරමුණේ අපේක්‍ෂකයා වශයෙන් තරග බිමට පිවිස ජය ලැබීමෙනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු විසි හතකටත් අඩුය. 


ඔහු අතින් පරාජයට පත් වූවේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ හිටපු මුදල් ඇමතිවරයෙකුද වූ ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතාය. එම මැතිවරණයේදී බලයට පත් එ.ජා.ප. සුළුතර ආණ්ඩුවට සහාය දීමට තම පක්‍ෂය ගත් තීරණයට එකඟ නොවූ ඒ මහතා 1960 ජූලි මැතිවරණයේදී තම අසුන ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස තරග කර ජය ගැනීමට සමත් වූවේය. කිසිදු දිනක ප්‍රගතිශීලි දේශපාලනයට පිටු නොපාමින් ක්‍රියාකළ ඒ මහතා 1965 සහ 1970 මැතිවරණ දෙකේදීම සිය හොරණ ආසනය පහසුවෙන් ජය ගත්තේය. ඒ අනුව 1970 දී අධිකරණ නියෝජ්‍ය ඇමැති ධුරය පිරිනමන ලදුව වටිනා සේවාවක් ඉටු කළේය. ඔහුගේ කාර්යශූරත්වය සැලකිල්ලට ගත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය 1975 සිදු වූ අමතා්‍ය මණ්ඩල සංශෝධනයේදී රත්නසිරි වික්‍රමනායක මහතාට වැවිලි කර්මාන්ත ඇමති ධුරය පිරිනැමුවේය. 1976 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා වශයෙන්ද එතුමා පත්වීම් ලැබීය. එම ලේකම්ධුරය දැරූ සමය පක්‍ෂයට ඉතා සංකීර්ණ සහ අර්බුදවලින් ගහණ අවධියක් වූවේය. එනිසා බෙහෙවින්ම දුෂ්කර යුගයක අසීරු කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වූ බව සඳහන් කළ යුතුය.


1977 මහා මැතිවරණයේදී පක්‍ෂය ලැබූ දැවැන්ත පරාජයෙන් පසු පක්ෂය නැවත ජයග්‍රාහී මාවතට යොමු කරවා ගැනීමටත් අලුත බිහි වූ ජේ. ආර්. ජයවර්ධන රජයේ දහසකුත් එකක් මර්දනයන්ට මුහුණදෙන පාක්‍ෂිකයා බේරා ගැනීම සඳහාත් ඔවුන් ධෛර්යමත් කර පක්‍ෂය තුළ රඳවා ගැනීමට ක්‍රියාකිරීම මෙන්ම පක්‍ෂය ප්‍රතිසංවිධාන කර ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත් කිරීමද යන මහා කාර්යභාරයක් එතුමා වෙත පැවරුණි. එම සියලු කටයුතු මනා සේ ඉටු කිරීම නිසා රජයේ දැඩි පළිගැනීම්වලට ලක්වීමටද වික්‍රමනායක මහතාට සිදු විය. කෙසේ වුවත් අප්‍රතිහත ධෛර්යයෙන් යුත් නායකයෙකු වූ එතුමාව දුර්මුඛ කිරීමට හෝ දේශපාලන බිමෙන් පලවා හැරීමට හෝ ප්‍රතිවාදී නුල් සූත්තරකරුවන්ට නොහැකි විය.


යළිත් 1993 පළාත් සභා මැතිවරණය හරහා තරගකාරී දේශපාලනය ඇරඹූ ඔහු එයින් ජයග්‍රහණය කර බස්නාහිර පළාත් සභාවේ ඇමති තනතුරක් ලැබීය. 1994 මහා මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කර ජය ගැනීමට සමත් වූවේය. ඒ එවකට ක්‍රියාත්මක වූ මනාප ඡන්ද ක්‍රමය අනුව කළුතර දිස්ත්‍රික්කයේ පළමුවැන්නා වශයෙනි. එම වාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු රජයේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු වැවිලි කර්මාන්ත ඇමතිවරයා වශයෙන් විශාල වගකීම් සම්භාරයකට උර දුන්නේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රෝගී තත්ත්වය සහ වයෝවෘද්ධ භාවය නිසා අගමැති ධුරයෙන් සමු ගනිද්දී එම පුරප්පාඩුව සඳහා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ භාග්‍යය ලද්දේත් රත්නසිරි වික්‍රමනායක මහතාය.


රත්නසිරි වික්‍රමනායක මහතා කාර්ය බහුලත්වය නිසා පක්‍ෂ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරට පත් කර ගන්නා ලද්දේ සෝමසාර දසනායක මහතාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හැට වසරකට අධික ඉතිහාසය තුළ (එම යුගයේ) දේශපාලන ක්ෂේත්‍රයෙන් බැහැර කෙනෙකු ලේකම්ධුරයට පත්කර ගන්නා ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සාමාජිකයෙකු වශයෙන් රාජ්‍ය තන්ත්‍රයේ උසස් තනතුරු රැසක් දීර්ඝ කාලයක් තිස්සේ හොබවමින් රටට මහඟු සේවාවක් කළ මෙතුමා 1970 සමගි පෙරමුණු රජයේ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කරනු ලැබීය.


පක්‍ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම ඇතුළු බොහෝ බාධකයන්ට මුහුණදෙමින් සිටි පක්‍ෂ කළමනාකාරිත්වය හා එහි පරිපාලන ව්‍යුහය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමේ පහසුව සලකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යොදවා ගැනීමේ අවශ්‍යතාව ගැන පක්‍ෂ නායකත්වය අවධානය යොමු කරන්නට ඇතිවා නිසැකය. එනිසා දේශපාලන ක්ෂේත්‍රයෙන් බැහැර වූ අයෙකු ප්‍රථම වරට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ධුරයට පත්කර ගනු ලැබීය. 1990 දක්වා එතුමා මහඟු මෙහෙවරක් කරමින් පක්‍ෂයේ අභ්‍යන්තර සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීමේ අනගි මෙහෙවරෙහි යෙදුණු බව සඳහන් කළ හැක. 


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් 1989 දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරනු ලැබ ව්‍යවස්ථාදායකයේ සේවය කිරීමටද ඒ මහතාට අවස්ථාව සලසා දෙන ලදී. එහෙත් දීර්ඝකාලයක් දේශපාලන ක්ෂේත්‍රයේ රැඳී සිටීමට උනන්දු නොවූ සෝමසාර දසනායක මහතා එම පාර්ලිමේන්තු වාරයෙන් පසු දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් සමු ගත්තේය.

 

 

 


මතු සම්බන්ධයි.

 

 


සෝමසිරි වික්‍රමසිංහ