රටට අගමැතිවරයකු අහිමි කළ භික්‍ෂුවකගේ වෙඩි උණ්ඩය

02 වැනි කොටස

 

 

දිනක් සෝමාරාම බොරැල්ලේ අයුර්වේද බෙහෙත් ශාලාවේ සිටියදී, මාපිටිගම බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන, මෝටර් රථයකින් පැමිණ සෝමාරාම එය තුළට කැඳවා ගත්හ.
“වැරදි පාලනය නිසා රට පිරිහෙන බවත්. මෙලෙස ගියහොත් අපට ඉන්නට රටක් නැතිවන බවත්” එහිදී බුද්ධරක්ඛිත සෝමාරාමට පැවසීය. ඔහුගේ පිළියම වූයේ අගමැති එතැනින් ඉවත් කිරීමය.


“ඒ වගේ දෙයක් කළාම අපිට මොකද වෙන්නෙ?” සෝමාරාම ඇසීය.


“අපිට මොකවත් වෙන්නෙ නැහැ. අපේ ගැලවීමට අවශ්‍යදේ ඔක්කොම සැලසුම් කරලයි තියෙන්නෙ” බුද්ධරක්ඛිත පැවසීය.
“ඔබ මේ වැඬේ කළාම, අපි ස්ථිර වශයෙන්ම සති දෙකකින් හෝ තුනකින් ඔබව රිමාන්ඞ් එකෙන් එලියට ගන්නවා” ජයවර්ධන පැවසීය.
“සියල්ල හරියටම හරි යනවා. ඔබ බය වෙන්න එපා” බුද්ධරක්ඛිත සෝමාරාමගේ සිතේ බිය සැක නැති කිරීමට පැවසීය.
“මම මේ වගේ දෙයකට කැමැති වෙන්නෙ මගේ රටට ආගමට කිසිවෙකුට වැරදි දෙයක් කරන්න ඉඩ නොදෙන නිසයි” සෝමාරාම කීය.
තමන්ට ගෝලයන් දෙදෙනෙකු සිටින බවත්, පන්සලක් ඇති බවත් ඒවා රැක ගැනීමට අවශ්‍යය බවත් සෝමාරාම පැවසූවිට ඒ සියල්ලම රැකදෙන බවට ඔවුහු සහතික වූහ. දවසකින් හෝ දෙකකින් සෝමාරාමට පිස්තෝලයක් ගෙනැවිත් දෙන බව ඔවුහු පැවසූහ.


දවස් දෙකකින් හෝ තුනකින් බුද්ධරක්ඛිත, සෝමාරාමට අඩියක් පමණ දිග පිස්තෝලයක් ගෙනැවිත් දුන්නේය. එය උණ්ඩ හයක් දැමිය හැකි පිස්තෝලයක් විය.
එයට පසු දිනක ඔවුහූ ඩිකී සොයිසාත් සමඟ මුතුරාජවෙළට ගියහ. මුතුරාජවෙලේ තිබූ කදුරු ගස්වලට වෙඩි තබමින් සෝමාරාම පිස්තෝලයෙන් වෙඩි තැබීමට පුරුදුවිය. සමහර වෙඩිල්ලක් කදුරු ගෙඩියක පැත්තකට වැදුණි. සමහර වෙඩිල්ලක් කදුරු ගෙඩියක නැට්ටට වැදී එය බිම පතිත විය.
“අපූරුයි අපූරුයි ඔබ එය හොඳට කරනවා” කණ්ඩායම පැවසූවේය.


එයින් පසුව බුද්ධරක්ඛිත හා ජයවර්ධන නිතරම සෝමාරාම මුණගැසෙන්නට පැමිණියහ. එක් දිනයක කොලොන්නාව නගර සභාවේ සභාපති අමරසිංහත්, බුද්ධරක්ඛිත සමග සෝමාරාම මුණ ගැසීමට පැමිණියේය.


 

බුද්ධරක්ඛිත, ජයවර්ධන සහ සෝමාරාම එම කාර්ය සැප්තැම්බර් විසි පස්වැනි දින සිදු කිරීමට තීරණය කළහ.


එදින උදෑසන සෝමාරාම සිතේ ධෛර්ය ඇතිකර ගැනීම සඳහා ඔහුම සකස්කළ බෙහෙතක් පානය කළේය. පසුව ඔහු රොස්මීඞ් පෙදෙසේ අගමැතිවරයාගේ නිවසට ගියේය. අගමැතිවරයා වෙනස් හිමිනමක් සමඟ කතා කරමින් සිටියදී සෝමාරාමගේ ඇඟ බියෙන් ගැහෙන්නට විය. නමුත් ඔහුගත් බෙහෙත ඔහුගේ සිතේ ධෛර්ය වැඩි කළේය.


සෝමාරාම ආලින්දයේදී අගමැතිවරයාට එක වරක් වෙඩි තැබීය. පසුව අගමැතිවරයා නිවස ඇතුලට දිවයද්දී ඔහු පිටුපසින් ගොස් වෙඩි තුනකට වැඩියෙන් තැබීය. එයට පසු කිසිවෙකු තමන්ට වෙඩි තබනු සෝමාරාමට මතකය. එදින එයින් පසුව සිදු වූ දෙයක් ඔහුට මතක නැත.


එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිළිබඳව පුද්ගලයින් හත් දෙනෙකුට විරුද්ධව 1959 නොවැම්බර් 29 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ල ගොනුකරන ලදී. විත්තිකරුවන් ලෙස සඳහන් වූයේ මාපිටිගම බුද්ධරක්ඛිත, හේමචන්ද්‍ර පියසේන ජයවර්ධන, පලිහක්කරගේ අනුරද සිල්වා, තල්දූවේ සෝමාරාම, විජේසූරිය ආරච්චිගේ නිව්ටන් පෙරේරා, විමලා ජයවර්ධන, කරෝලිස් අමරසිංහ, එෆ්. ආර්. ඩී. සොයිසා හෙවත් ඩිකී සොයිසාද එදින අධිකරණයට ඉදිරිපත් කළත් නඩු විභාගය ආරම්භ වීමට පෙර ඔහු නඩුවෙන් ඉවත් කරන ලදි. තල්දූවේ සෝමාරාම, බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමට අමතරව අගමැතිවරයා ඝාතනය කිරීම පිළිබඳව චෝදනාවටද විත්තිකරු විය.


කොළඹ මහේස්ත්‍රාත් එන්. ඒ. ද සිල්වා ඉදිරියේ 1959 දෙසැම්බර් 17 දින නඩු විභාගය ආරම්භවිය. නඩු විභාගය ආරම්භයේදී නීතිපතිවරයා කරෝලිස් අමරසිංහට කොන්දේසි සහගත සමාවක් ලබාදී, පැමිණිලි පක්ෂයේ ප්‍රධාන සාක්කිකරුවකු වශයෙන් ඉදිරිපත් කරන ලදි. නඩු විභාගය අවසන වූයේ 1960 ජූලි 12 වැනි දිනය. එහිදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් විමලා විජයවර්ධන නිදහස් කරන ලදි.


කොළඹ අලුත්කඬේ මහාධිකරණයේදී 1961 පෙබරවාරි 22 වැනි දින බණ්ඩාරනායක ඝාතන නඩුව ආරම්භ විය. සතාසිවම් නඩුව, ටර්ෆ් ක්ලබ් මංකොල්ලය වැනි ආන්දෝලනාත්මක නඩු විභාග කළ විනිසුරු ටී. එස්. ප්‍රනාන්දු බණ්ඩාරනායක ඝාතන නඩුවේ විනිශ්චයකාරයා විය.


නඩු විභාගය අවසානයේ අනුරද සිල්වා වැරැදිකරුවෙකු නොවන බව ජූරි සභාව ඒකමතිකව තීරණය කළ අතර නිව්ටන් පෙරේරා නිවැරැදි බව තීරණය වූයේ 5, 2 ඡන්දයෙනි. විනිසුරු ටී. එස්. ප්‍රනාන්දු ජූරිය අමතා කළ ප්‍රකාශය 1961 මැයි 05 වැනි දින ආරම්භ වී මැයි 11 දින දක්වා පැවතුණි. එම දේශනය යතුරු ලියනය කළ කඩදාසි 458 කින් සමන්විත විය. බුද්ධරක්ඛිත, ජයවර්ධන, සෝමාරාමට එරෙහි චෝදනාවලට ඔවුන් වැරදිකරුවන් බව ජුරියේ ඒකමතිකව තීරණය විය. 


ඒ නිසා ටී. එස්. ප්‍රනාන්දු විනිසුරුවරයා ඔවුන් තිදෙනාටම මරණීය දණ්ඩනය නියම කරන ලදි. පසුව විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන ලදි. එහිදී බුද්ධරක්ඛිත සහ ජයවර්ධනගේ මරණීය දණ්ඩනය ඉවත්කර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. පසුව විත්තිකරුවන් තමන්ගේ අභියාචනය ප්‍රිවිකවුන්සිලයට ඉදිරිපත් කළහ. එහිදීද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන ලද තීන්දුව වෙනස් නොකරන ලදි.


1959 සැප්තැම්බර් 25 වැනි දින කොළඹ රොස්මීඞ් පෙදෙසේ අංක 65 යන ස්ථානයේදී සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ඝාතනය කිරීමට වැරදිකරු වූ තල්දූවේ සෝමාරාම වැලිකඩ බන්ධනාගාරයේදී එල්ලා මරණ ලදි. මාපිටිගම බුද්ධරක්ඛිත සහ හේමචන්ද්‍ර පියදාස ජයවර්ධනට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ අතර සිරගතව වසර කීපයකින් බුද්ධරක්ඛිත සිරගෙදරදීම මියගියේය. 1977 අගෝස්තු 04 වැනි දින එච්. පී. ජයවර්ධන සිරෙන් නිදහස් විය.

 

 

පීටර් කැනියුට් පෙරේරා
ඡායාරූප : අන්තර්ජාලයෙනි