ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ‘අතුරු මැතිවරණ’ හා ‘අතුරු මැතිවරණ ප්‍රතිඵල’ පිළිබඳව දේශපාලන විචාරකයින් විශේෂ අවධානයක් යොමු කළේ ඒ තුළින් කාලීන ජනතා මතය බොහෝදුරට හෙළි වන නිසාය.


මහ මැතිවරණයකින් ආණ්ඩුවක් බලයට පත් වූ පසු යම් කරුණකින් පාර්ලිමේන්තුවේ යම් ඡන්ද කොට්ඨාසයකට තේරී පත් වුණු මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී පදවිය අහෝසි වුවහොත් ඒ වෙනුවෙන් අතුරු මැතිවරණයක් පවත්වා නියෝජිතයකු පත්කර ගැනීම සමානුපාතික ඡන්ද ක්‍රමය පටන් ගැනීම තෙක් පැවති ක්‍රමයයි. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ 1989 පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයට පසුව සිදුවූයේ යම් මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී පදවිය අහෝසි වුවහොත් ඒ වෙනුවට ලැයිස්තුවේ ඊළඟට සිටි පුද්ගලයා පුරප්පාඩු වූ මන්ත්‍රී පදවියට පත් කිරීමයි.


කෙසේ වුවද 1989ට පෙර පැවති මෙම අතුරු මැතිවරණ ක්‍රමය තුළින් මහජන මතය උරගා බැලීමට අවස්ථාව සැලසීම අගය කළ යුතුය. අතුරු මැතිවරණයක් ආසනයකට දෙකකට හෝ ඊට වැඩි ගණනකට සීමා වුවත් ඡන්දය දින ශ්‍රී ලංකාවාසී වැඩි පිරිසක් මහ ඡන්දයක දී ආකාරයෙන් රාත්‍රි නිදිවරාගෙන ප්‍රතිඵල ඇසීමට පුරුදු වී සිටියේ ඒ තුළින් අමුතුම විධියේ දේශපාලන ආශ්වාදයක් ලැබෙන බැවිනි. විශේෂයෙන් විරුද්ධ පක්ෂයේ අයට නව ජවයකින් නැගී සිටින්නට එම ප්‍රතිඵල හේතුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ අනුව ජනමාධ්‍ය පවා සමහර කරුණු හුවා දැක්වීම තුළින් අමුතුම ආකාරයේ උත්තේජනයක් ලබාදීමට සමත් වෙයි. 


1965-1970 අතර පැවති ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ පාලන සමයේ පැවති බෙන්තර ඇල්පිටිය, බළංගොඩ, බණ්ඩාරවෙල යන ආසන 3 සඳහා එකවර පැවති අතුරු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට එම ආසන 3ම අහිමි වූ අයුරු මතකය. දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සෑම අයෙක්ම බලා සිටි එම අතුරු මැතිවරණය ගැන එවකට සමහර පුවත්පත් වාර්තා කර තිබුණේ විශාල සිරස්තල යොදා ගනිමින් ‘‘ඩඩ්ලිට තුනම නෑ’’ වැනි අමුතු ආකාරයේ වැකි යොදා ගනිමිනි.


මෙවැනි පසුබිමක් යටතේ මාගේ අවධානය විශේෂයෙන් යොමු වූයේ 1974 පැවති කලාවැව අතුරු මැතිවරණය ගැනයි. එවකට මම කැලණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරු අතර ‘‘එක්සත් සමාජවාදී ශිෂ්‍ය පෙරමුණට සම්බන්ධ වී එහි ප්‍රධාන පෙළේ නිලධාරියෙකු වශයෙන් කටයුතු කළෙමි. කලාවැව මැතිවරණ කොට්ඨාසය රජරට අනුරාධපුර ප්‍රදේශයේ ඓතිහාසික ආසනයක් වන අතර 1960 මාර්තු හා ජූලි, 1965 සහ 1970 වර්ෂවල පැවති මහා මැතිවරණ 4කින් එම අසුන ජයගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආර්. බී. රත්නමලල මහතාය. එතුමා 1974 වසරේ අවසාන භාගයේ දී අභාවප්‍රාප්ත වූ අතර ඒ අනුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියට සිදුවිය. ඒ අනුව අගමැතිතුමිය එවකට රජයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ ශ්‍රීලනිපයේ රජරට නායක මෛත්‍රීපාල සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේ හොඳම සුදුස්සෙකු තෝරා ගැනීමටයි. විශේෂයෙන් අගමැතිතුමිය කමිටුවට උපදෙස් දුන්නේ ‘ඉතාම හොඳ සුදුස්සා තෝරන්න. අනුරත් ඇහැගහගෙන ඉන්නවා’ කියලයි. කෙසේ වෙතත් මේ අතරතුර අනුර බණ්ඩාරනායක මහතාගේ මිතුරෙකුගේ මාර්ගයෙන් විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට ද දැනගන්නට ලැබුණේ අනුර බණ්ඩාරනායක මහතා ද කලාවැවට ඇස ගසා සිටින බවයි.


ඒ අනුව තම සගයින් කීප දෙනෙකුට එජාප නායක විපක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන මහතා කීවේ ‘‘අනුර ශ්‍රී ලංකා එකෙන් එනවා නම් ඒක ලොකු දෙයක්. අපි කවුරුවත් නොදා නිතරගයෙන්ම එයාට දෙමු’’ කියලයි. ජේ. ආර්. එසේ කීවේ කවර කරුණක් අරමුණු කරගෙන දැයි සිතා ගැනීමට අපහසු වුවත් ජයවර්ධන මහතාගේ ක්‍රියා පිළිවෙත් දන්නා බොහෝ දෙනා ප්‍රකාශ කළේ ‘‘මේක නම් ජේ. ආර්.ගේ අමුතුම ගැටයක්’’ කියලයි. කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ මතය දැනගත් පක්ෂයේ ප්‍රබලයින් කීප දෙනෙක්ම බලවත්සේ විරෝධය දක්වා සිටියහ. ඔවුන් කීපදෙනෙකුට ඉවත්වීමට පවා හේතුවිය. එසේ වුවත් ශ්‍රීලනිප නාමයෝජනා මණ්ඩලයට අනුරගේ නම ඉදිරිපත් වී නොතිබූ අතර තෝරාගෙන තිබුණේ අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රී ආර්. බී. රත්නමලල මහතාගේ පුතෙකු වූ ඩී. බී. රත්නමලල මහතාය. අපේක්ෂකයා තේරීම පිළිබඳව විවිධ මතිමතාන්තර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් එක්සත් ජාතික පක්ෂය තුළත් ඇති වූ අතර අවසානයේ දී ශ්‍රීලනිපයෙන් ඩී. බී. රත්නමලල මහතාත් එක්සත් ජාතික පක්ෂයෙන් ඒ. එම්. එස්. අධිකාරි මහතාත් තරග කළහ. දැඩි ඡන්ද සටනකින් පසු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ඒ.එම්.එස්. අධිකාරි මහතා වැඩි ඡන්ද 2857 කින් ජයග්‍රහණය කළේය.
මෙම ජයග්‍රහණය භුක්ති විඳීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ එක්සත් සමාජවාදී ශිෂ්‍ය පෙරමුණේ අප සූදානම් වූයේ ඡන්දය දිනට දින කීපයකට පෙර  සිටය. 1974 නොවැම්බර් 27 වැනිදා අතුරු මැතිවරණය පැවති අතර නොවැම්බර් 24 වැනිදා සිට අප සූදානම් වූයේ ජයග්‍රහණය ඉතා ඉහළින් භුක්ති විඳීමටය. එවකට සරසවියේ ශිෂ්‍ය සංගම් බලය හිමිකර ගෙන සිටි කොමියුනිට් පක්ෂයට සම්බන්ධ ජාතික ශිෂ්‍ය සංගමය ඒ සඳහා අපහට අවහිර කරනු ඇතැයි කල්තියාම සිතුව ද අපගේ ශිෂ්‍ය සංවිධානයේ බලය හා ශක්තිය පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගත යුතු යයි අපි කල්පනා කළෙමු.


එවකට ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංවිධානය හා ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ ශිෂ්‍ය සංවිධානය හා අනිකුත් ශිෂ්‍ය සංවිධාන අපගේ වැඩවලට දැඩි බාධා සිදු නොකළත් ජාතික ශිෂ්‍ය සංගමය නිරතුරුවම විවිධ බාධා එල්ල කළ බව මතකය. එසේ වුව ද එම ශිෂ්‍ය සොයුරන් සමග අපගේ සුහදතාව නොකැඩී පැවති අතර අප සිතුවේ මේ අවස්ථාවේ දී එලෙසම බරපතළම විරෝධයක් නොදක්වා සිටිනු ඇතැයි කියාය. එසේ වුවද අප හට දැනගන්නට ලැබුණේ ඡන්ද ප්‍රතිඵල අනුව එජාපය දිනුවොත් අප එය ඉහළින්ම ජය ඝෝෂාවක් බවට පත් කර ගතහොත් අමතක නොවන පාඩමක් උගන්වන බවට ජාතික ශිෂ්‍ය සංගමයේ නායකයින් වහසිබස් දෙඩූ බවයි. කෙසේ වුවද ඡන්දය දිනය දා හැන්දෑවේ සිට පෑලියගොඩ ශිෂ්‍ය නේවාසිකාගාරයේ දී අපගේ ශිෂ්‍ය සංගමයේ 25 දෙනෙක් පමණ ගී කියමින් නටමින් විනෝද වෙමින් ඡන්ද ප්‍රතිඵල ඇසීමට සූදානමින් සිටියහ. මට මතක හැටියට එවකට අප සමග සිටි දැනට අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ සුනන්ද මද්දුම බණ්ඩාර, පසුව ඇමැතිවරයෙකු වූ ඉමිටියාස් බාකීර් මාකර් වැනි අය ඇතුළු අප 25 දෙනෙකු පමණ අපගේ ශක්තිය පෙන්වීමට හා සතුට පළකිරීමට මෙසේ විනෝද වෙමින් සිටි අතරතුර රාත්‍රී 2.35ට පමණ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක අධිකාරී මහතා ජයග්‍රහණය කළ අතර ඉන් ප්‍රීති ප්‍රමෝදයට පත් අපි විනෝදවීමේ ස්වභාවය තවත් තීව්‍ර කරමින් දැඩි ලෙස විනෝද වීමු. නොදැනුවත්වම, නොසිතූ පරිදි ජරාව මිශ්‍ර කරන ලද වතුර බාල්දි 3ක් පමණ විනෝද වූ විශාල කාමරයේ ජනෙල්වලින් ඇතුළට ආවේ ඇතුළේ විනෝද වූ අප සියලු දෙනා ගඳින් ජරාවෙන් නහවමිනි. කෙසේ වෙතත් කිසිවෙකු සමග ගැටුමක් ඇතිකර නොගත් අපි එළිවෙන තුරු විනෝද වූයේ විශේෂිත වූ සරසවි ජීවිතයේ එබඳු අමතක නොවන සිද්ධියක්වත් නොමැති නම් ‘කිසිත් ගතියක්’ නැති නිසාවෙනි.