ජනාධිපතිතුමාගේ නවතම හෙළිදරව්වෙන් ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම කැලඹීමට පත්ව ඇතැයි කිවහොත් ඒ නිවැරදිය. ඒ මරණීය දණ්ඩනය පිළිබඳවය. හතර දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම අනුමත කරමින් තමා අත්සන් කළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අපරාධ ගැන වරදකරුවන් කර ඇති මෙම පුද්ගලයන් එල්ලා මරා දමන දිනය පවා තීරණය කර ඇති බවත් මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයා පළ කළේය. ඒ ඇසූ අපරාධකරුවන් පමණක් නොව ජන සමාජයත් කැලඹී ගියේය. ජන සමාජයට එය අමුත්තක් වූවේ දීර්ඝ කාලයක් තිස්සේ මරණීය දණ්ඩනය මෙරට ක්‍රියාත්මක නොවූ නිසාය.


ජාත්‍යන්තර ප්‍රජාවද මෙම කාරනය ගැන අසුබවාදීව ප්‍රතිචාර දක්වා ඇත. මෙයින් මානව හිමිකම් උල්ලංඝනය වන බව කියමින් එම තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා ජාත්‍යන්තර ක්‍ෂ්මා සංවිධානය ප්‍රකාශයක් වහාම නිකුත් කළේය. මෙයට පෙර මෙවැනි තීරණයක් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ දී යුරෝපා ප්‍රජාව ඇතුළු රටවල් ගණනාවක් වහාම නැඟී සිටියේය.


මේ කියන්නට යන්නේ අතීත සිදුවීමකි. එහෙත් එය පෞද්ගලික මිත්‍රත්වයක් පිළිබඳ කතා පුවතකි. මරණය පෙනි පෙනී තිබියදීත් තම මිතුරා පාවා නොදුන් ඔහු සමග එකට පෝරකයට නැගි අවංක මිතුරන් දෙදෙනෙකුගේ කතාන්තරයකි. මෙය බොහෝ දෙනා අසා ඇතිවා නිසැකය. එහෙත් කාලීන බව සලකා අපි නැවතත් ඒ ගැන විමසමු.
මෙම කථාවේ ප්‍රමුඛයා උතුවන් කන්දේ සරදියෙල්ය. ඔහුගේ ප්‍රාණප්‍රිය කල්‍යාණ මිත්‍රයා වම්මලේ මරික්කාර්ය. නම් දෙකෙන්ම ඔවුන්ගේ කුල ග්‍රෝත්‍ර හඳුනාගත හැකිය. එනිසා ඒ ගැන අමුතුවෙන් සඳහන් කිරීමට වෙහෙස විය යුතු නොවේ. 


වර්තමානයේ කුමන දෙයට ප්‍රසිද්ධව ඇතද මේ කියන යුගයේ මාවනැල්ලේ අහිංසක ගැමි ජනතාව ජාති ආගම් භේදයෙන් තොරව සාමයෙන් සහෝදරත්වයෙන් සහ අද ජනප්‍රිය ව්‍යවහාරය අනුව කියවෙන ආකාරයට සංහිඳියාවෙන් වාසය කළහ. එක බත් පත බෙදාගෙන කා සමගියෙන් ජීවත් වූ මෙම ජනවර්ග දෙකේ මිනිස්සු තම තමන්ගේ විශ්වාසයට අනුව ආගම් ඇදවූහ. ගහමරා ගන්නට ගියේ නැත. ආගම බලයෙන් ගිල්ලවන්නට ඒ කාටවත් අවශ්‍ය වූවේ නැත. මාවනැල්ලට ආසන්න කඳු සහිත ගමක් වූ උතුවන්කන්ද සරදියෙල්ගේ නිජ බිම විය. පහතරට ගමක වැසියෙකු වූ අදාසි අප්පුගේ රැකියාව වූවේ දුම්කොළ වෙළෙඳාමය. දුම්කොළ රැගෙන උඩරට මාවනැල්ල පෙදෙසට වෙළෙඳාම සඳහා ගිය අදාසි අප්පුට දෛවයේ නියමය පරිදි පිච්චොහාමි මුණ ගැසුණේය. මේ දෙදෙනා අතර ඇති වූ පෙම් සබඳතාව නිමාවට පත් වූවේ උතුවන් කන්ද ගමේ කැදැල්ලක් තනාගෙන එක වහලක් යටට පත්වීමෙනි. මේ දෙදෙනාගේ වැඩි මහලු දරුවා වූ සරදියෙල් කුඩා කල සිටම දරදඬු ගති ඇත්තෙකු වූවේය. මෙම මුරණ්ඩු ස්වභාවය ගොඩනැගුණේ උතුවන්කන්දට යාබද පෙදෙසක් වූ ඉළුක්ගොඩ පන්සලේ අකුරු ඉගෙනගත් ළාබාල වයසේදීමය. ඔහුගේ සිතට ළාබාල අවධියේ සිටම ගොඩනැගී තිබුණු අදහසක් වූවේ පොහොසතුන් නොරිස්සීමය. එය කෙසේ ඇති වූවක් දැයි ඔහුම නොදත්තේය. ප්‍රසිද්ධ පාසල් සුලබ නොවූ එම යුගයේ ගැමි ළමා පිරිසට අකුරු ශාස්ත්‍රය ඉගැන්වූයේ පන්සලේ හාමුදුරුවන්ය. එයට ජාති හෝ ආගම් භේදයක් ද නොතිබුණි. ඉහළ විභාග සමත්වීමේ අරමුණක් එදා ගැමියෝ බලාපොරොත්තු නොවූහ. බෙහෙත් සීට්ටුවක් කියවා ගැනීමට හැකියාව ඇත්නම් එය හොඳටම ප්‍රමාණවත් යැයි එකල ගැමියෝ සිතූහ. 


ඉළුක්ගොඩ පන්සලේ පන්සල් පොත් කියවන කාලයේදීම සරදියෙල් දුප්පත් ළමයින් කණ්ඩායමකට නායකත්වය දුන්නේය. මෙම පිරිස කව්රුත් පාහේ මැරයෝය. සරදියෙල්ගේ නායකත්වය යටතේ ඔවුහු පොහොසතුන්ට කැමති නැති පිරිසක් බවට පත්වූහ. මෙම මතභේදය නිසා දිනක් පොහොසත් ළමයින් සහ දුප්පත් ළමයින් අතර ගැටුමක් ඇතිවූවේ පන්සල් භූමියේදීමය. එහිදී පොහොසත් ළමුන් කීප දෙනෙකුටම දැඩි සේ පහර වැදී ලේ සෙලවි තිබුණි. පොහොසත් දෙමාපියෝ කෝපයට පත්වූහ. ඔව්හු ගමේ ආරච්චි වෙත පැමිණිලි කළහ. පොහොසත් ළමයෙකුගේ රන් මාලයක් කඩා ගත්තේ යැයි චෝදනා ලැබූ සරදියෙල් දින තුනකට සිරගෙට නියම විය. ඔහු ආපසු පැමිණෙන විට එවකටත් අඹ යහළුවා වූ මම්මලේ මරික්කාර් සරදියෙල් හමුවීමට පැමිණියේය. දෙදෙනා අතර සුහද සාකච්ඡාවේ දී නොයෙක් අදහස් හුවමාරු විය. තම යහළුවාගේ කරවටා අත යවා ඔහු පිළිගනිමින් “සරදියෙල් ! එහෙ කොහොමද? උඹේ මුහුණට ඔය මොකද වුණේ? ඒක හරියට අර අපට නරක් වුණු පළතුරු ගෙඩියක්වත් නොදෙන නපුරු පලතුරු වෙළෙන්දාගේ මුහුණටත් වැඩිය නපුරු පාටයි. මම්මලේ කීවේය.


සරදියෙල් කට කොනකින් සිනාසී තම මිතුරාට පිළිතුරු දුන්නේය. “මේ දවස් තුනට මට හොඳට වයස ගියා තමයි මම්මලේ මට අවුරුදු සියයක් වයස ගියා වගේ දැනෙනවා. තමන් නොකළ වරදකට දඬුවම් විඳින එක හරි අමාරු දෙයක්. මගේ ඇඟ ඇතුළෙ මොකක්දෝ දෙයක් කැඩිලා බිඳිලා වගේ මට දැනෙනවා.  මං හිතන්නේ ඒ හදවත වෙන්න ඇති. අර කළුවර හිර කාමරේ ඉඳගෙන මම හුඟක් ඇඩුවා. ඒත් මීට පස්සෙ මම ආයෙත් කවදාවත් අඬන්නෙ නැහැ. දැන් මම ඇත්තටම නරක මිනිහෙක් වෙනවා. මගේ හිතවත්ම යාළුවා ඔයා. ඔබ හැමදාම මා එක්ක ඉන්ඩ ඕනෑ. මම ලොකු වුණාම මේකෙ පළිය ගන්නවා. මම කවදාවත් පෝසතුන්ට කරුණාවක් දක්වන්නේ නැහැ.


“හොඳයි එතකොට අපිව අල්ලාගෙන අර අන්ධකාර හිරේට දැම්මොත්.” මම්මලේ ඇසීය.


කුඩා වූවත් ධෛර්ය සම්පන්න සරදියෙල් කීවේ “අපි දක්‍ෂ නම් කවදාවත් අපිව අල්ලන්න බැහැ. අපි අපේ වැඩ හොඳට ප්ලෑන් කරලා කරන්න ඕනෑ. අපි හැම වෙලේම දුප්පතුන්ට කරුණාවන්ත වෙන්න ඕනෑ. පොහොසතුන්ගෙන් කොල්ල කන සල්ලි අපි දුප්පතුන්ට දෙන්න ඕනෑ.” කියාය මෙම පිළිතුරෙන් සතුටට පත් වූ මම්මලේ සරදියෙල්ගේ අත තදින්ම අල්ලාගෙන “මම නුඹත් එක්කමයි. අන්තිම මොහොත දක්වාම මම නුඹ අතහරින්නේ නැතැයි දිව්රුවේය. මෙම ගිවිස ගැනීමෙන් පසු බොහෝ දේ සිදුවිය. ඔව්හු සුදු වතුහිමියන්ගේ ධනය පැහැර ගත්හ. ඒ අතර විශාල තේ වතුවල වැටුප් ගෙවීමට ගෙන ගිය විශාල මුදල් කන්දරාවල් ද විය. මේවායෙන් වැඩි ප්‍රමාණයක් දුගී දුප්පත් ජනයා අතර බෙදා දෙනු ලැබීය. එය ධනවාදයට විරුද්ධ සටනක් ලෙස සමහරු විග්‍රහ කළහ. ලංකාව අල්ලාගෙන තමන් පෙළන බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව කරන හුදකළා සටනක් ලෙස ද සරදියෙල්ගේ සටන අරුත් දැක් වූහ.


සමහර විචාරකයෝ මේ දක්වාත් එම අර්ථයෙන් සරදියෙල්ගේ ක්‍රියා දේශපාලනය කරති.


සරදියෙල්ගේ සහ මම්මලේ මරික්කාර් දිවි ඇතිතුරා එකට කටයුතු කිරීමට ගිවිස ගැනීමෙන් පසු ඉක්මනින්ම පළමු සිදුවීම කරළියට ආවේය. 

 

 


මතු සම්බන්ධයි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි