ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ බොහෝ ආණ්ඩු බලයට පත්වී වැඩිකල් නොගොස් ජනතා අප්‍රසාදයට පත්වූයේ බූවල්ලන් මෙන් රාජ්‍යතන්ත්‍රය වසාගෙන සිටින ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ ටයි මාරුකිරීමේ උප්පරවැට්ටි සහ පාලකයින්ට උඩ ගෙඩි දෙමින් හීන් නූලෙන් ඇඟ බේරාගනිමින් ඔවුන් සිදුකරන බඩගෝස්තරවාදී ක්‍රමවේදයන් නිසා බව කිවහොත් එය නිවැරැදිය. මේ මා ලියන්නේ පරිපාලන සේවයේ සිටින සියලුම ලොක්කන් ගැන නොවේ. පරිපාලන සේවයේ පහරන සොක්කන් ගැනය. 


මෙවන් ලිපියක් ලිවීමට මා පොල ඹවන ලද්දේ මීට වසර 42කට පෙර මාද රාජ්‍ය සේවයේ සිටියදී ලබාගත් අත්දැකීම් මතකයට නැගුණ නිසාය. 
කොළ පාට, නිල්පාට ටයි මාරුකර ගනිමින් ඡන්දවලින් තේරීපත්වන ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, අණපනත්, චක්‍රලේඛ, නීතිරීති, විවිධ විධි විධානයන් පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා බොහෝ දේශපාලකයින් රැවටීම, ඔවුන්ට වැරැදි උපදෙස්දීම, හොරකමට ඔවුන් පෙලඹවීම, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සඳහා ඔවුන් සමග ගිවිසුම් ඇතිකරගැනීම ආදීය ඇතැම් පරිපාලන නිලධාරීන් ගජරාමෙට සිදුකළ අයුරු කොතෙකුත් අසන්නට, දකින්නට ලැබී තිබේ. 


මෙවැනි අපකීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරීන් අතර දූෂණය, වංචාව, අල්ලස, බොරුව ආදීය පිටුදකිමින් පාලකයින් සමග එක්වී රාජ්‍ය දේපොළ රකිමින් රටට විශිෂ්ට සේවයක් කළ අයද රාජ්‍ය සේවයේ සිටි බව විශේෂයෙන්ම සඳහන් කිරීම වටී. 


ඇන්. කිව්. දියෙස්, බ්‍රැඞ්මන් වීරකෝන්, නාත් අමරකෝන්, රිජ්වේ තිලකරත්න, කේ. එච්. ජේ. විජේදාස, ඩී. බී. අයි. පී. එස්. සිරිවර්ධන, නිශ්ශංක විජේරත්න ආදී පරිපාලන නිලධාරීන් බලයට පත්වූ දේශපාලකයින්ට හරිමග පෙන්වාදුන් අයගෙන් කීප දෙනකු බව මගේ හැඟීමය. එවැනි විශිෂ්ටයන් රැසක් අතීතයේ සිටියහ. අදත් සිටිති. 
රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළම තනතුරු වශයෙන් සලකනු ලබන්නේ අමාත්‍යංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, කොමසාරිස් හෝ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදේශීය ලේකම්වරුන් ආදී තනතුරුය. මෙම තනතුරුවලට පත්වන බොහෝ දෙනා වසර කීපයකින් මහා ධනවතුන් බවට පත්වී කොළඹ ප්‍රමුඛ ප්‍රධාන නගරවල කෝටි ගණන් වටිනා නිවාස, දේපොළ හා යානවාහන මිලටගෙන සුරසැප විඳින්නේ රජයේ සේවයෙන් ලැබුණ පඩියෙන් පමණක්ම දැයි සැකයක් මතුවේ. එය වෙනම කතාවකි. 


මේ මා ලියන්නේ ඔවුන්ගේ පැටිකිරිය විදහා දැක්වීමේ විශ්ලේෂණයක් නොවේ. අතීතයේදී රාජ්‍ය නිලධාරීන් මුළු මහත් රටවාසීන් විසින් බත් දුන් පියා වශයෙන් හඳුන්වනු ලැබූ ඩඞ්ලි සේනානායක අගමැතිඳුන් රැවටූ අවස්ථාවක් පිළිබඳ කෙටි විස්තරයකි. 1970 දී ඩඞ්ලි අගමැතිට ගෙදරයාමටද සිදුවුණේ මේ නිසාය.


මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන්ගේ පුතා වූ ඩඞ්ලි 1965 මාර්තු 23 දින ආණ්ඩුවක් පිහිටුවන ලද්දේය. ඔහුගේ ආණ්ඩුව 1970 මැයි 29 වැනිදා තෙක් පවත්වාගෙන ගියේය. රට පුරා වගා සංග්‍රාමය ඇරඹුවේ මේ ඩඞ්ලි අගමැතිය. ඔහු තම පියාගේ රජයේ කෘෂිකර්ම ඇමැති තනතුර දැරුවේය. රට පුරා වගා සංග්‍රාමය ඇරඹුවේ පියාගෙන් ලද අභාසය නිසාය. 
මේ වගා සංග්‍රාමයට ඔහුට අත දුන්නේ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි විශිෂ්ට දේශපාලකයින් වූ ඇම්. බී. බණ්ඩා, ජේ. ආර්., සී. පී. ද සිල්වා, පිලිප්, ඊ. එල්. බී. හුරුල්ලේ ආදීන්ය. ඇම්. බී. බණ්ඩා කෘෂිකර්ම හා ආහාර ඇමැති තනතුර සහ සිී. පී. ද සිල්වා ඉඩම්, වාරිමාර්ග හා විදුලිබල ඇමැති තනතුරු දැරූහ. ඩඞ්ලිගේ ප්‍රධාන නියමුවන් දෙදෙනා ඔවුන්ය.
රටපුරා ඇරඹු වගා සංග්‍රාමය ඉතා සාර්ථක බව රාජ්‍ය පරිපාලන නිලධාරීහු ඩඞ්ලි අගමැතිවරයාට වාර්තා පිට වාර්තා කළහ. එහෙත් සාර්ථකවූ වගා සංග්‍රාමයක් නැත. ගොවි ජනතාවට ලබාදුන්, වගා ණය, පොහොර, බිත්තර වී ආදීයෙන් බොහෝ රාජ්‍ය නිලධාරීන් දේශපාලකයින් සමග ගසා කෑ අයුරු එකල ප්‍රචලිත විය. යළිත් මව්බිම පෙරදිග ධාන්‍යාගාරයක් බවට පත්කිරීමේ ඩඞ්ලිගේ සිහිනය සැබෑ නොවුණේ මේ නිසාය. 


1970 වර්ෂය ආරම්භයේදී ඩඞ්ලි අගමැති, කෘෂිකර්ම ඇමැති ඇම්. ඩී. බණ්ඩා සහ කෘෂිකර්මයට සම්බන්ධ රජයේ ඉහළම පරිපාලන නිලධාරීන් පිරිසක් සමග කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර, යාපනය ආදී ප්‍රදේශවල වගා කටයුතු නිරීක්ෂණය කිරීමේ ගුවන් සංචාරයක නිරත විය. 


යෝධ වැව්වල ජලය නොපෙනෙන අයුරින් වල් පැළෑටි (ජපන් ජබර) වැවී තිබෙන අයුරු කෙත් වතු යායවල් වශයෙන් හඳුන්වා දෙමින් ඒවා ගුවනේ සිට ඩඞ්ලි අගමැතිට පෙන්වූයේ මේ පරිපාලන නිලධාරීන්ය. හැම විටම කැමරාව කරේ එල්ලාගෙන සිටින අගමැති ඩඞ්ලි තම කැමරාවට ‘ෆිල්ම් රෝල්’ එක පිට  එක දමමින් ගුවන් යානයේ සිට ඡායාරූප ගත්තේය. රාජ්‍ය නිලධාරීන් බත්දුන් පියාට ලණු දුන්නේ මෙසේය. එදා රාජ්‍ය නිලධාරීන් ඉදිරිපත් කළ දත්තයන් වැරැදි බව හෙළිවන විට ඩඞ්ලි ප්‍රමාද වැඩිය. 


1970  මැයි 27 වැනිදා පැවැත්වූ මහ මැතිවරණයේදී ඩඞ්ලිගේ යූඇන්පීය දිනා ගත්තේ ආසන 17ක් පමණකි. ආසන 91ක් දිනාගත් සිරිමාවෝ මැතිනිය අගමැති තනතුරට පත්වූවාය. තම පක්ෂය සතුව තිබූ ආසන 66 යි ආසන 17 බවට පත්වීම නිසා ඩඞ්ලිට අගමැති තනතුර අහිමිවුණේය. ඩඞ්ලිට යළිත්  දේශපාලනයට පිවිසෙන්නට නොහැකිවිය. ඊට වසර 3කට පසු 1973 අප්‍රේල් 13 වැනිදා ඩඞ්ලි ෂෙල්ටන් සේනානායක සදහටම දෙනෙත් පියා ගත්තේය. බත් දුන් පියා ජනතාවට අමතක විය.

 

 


සිරී හීන්පැල්ල
ඡායාරූපය අන්තර්ජාලයෙනි