විජේවීර අවසන්වරට සිටි උලපනේ ශාන්ත මේරි වතුයායේ බංගලාව.

 

 

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඝාතනය වී මෙම මස 13 වැනිදාට වසර 30ක් සපිරෙයි. ඝාතනයට ලක්වීමට පෙර අවසන් මොහොතේ ඔහු යටිබිම්ගතව සිටියේ උලපනේ ශාන්ත මේරි වතුයායේ බංගලාවකය. මේ ලියැවෙන්නේ, වැවිලිකරුවකු ලෙස ‘නිමලසිරි අත්තනායක’ නමින් උලපනේදී පෙනී සිටි විජේවීරගේ රහසිගත ජීවිතය පිළිබඳ සටහනකි.


ජනතා විමුක්ති පෙරමුණ 1983 ජුලි මාසයේදී එවකට පැවැති රජය විසින් තහනම් කරන ලද අතර එහි නායකයන් අත්අඩංගුවට ගැනීමට නියම කළේය. එසේ කරන ලද්දේ 1983 දී ඇතිවූ ජාතිවාදී කෝලාහලය දඩමීමා කරගනිමිනි. ඒ අවස්ථාවේදී විජේවීර ඇතුළු ඉදිරිපෙළ නායකයෝ යටිබිම්ගත දේශපාලනය සඳහා යොමුවූහ. අසීරු කාලපරිච්ඡේදයේ කතරගම වනාන්තරයට ඇතුළු වූ විජේවීර ඇතුළු පිරිස දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් ජවිපෙ දේශපාලන කටයුතු කරගෙන ගියහ.


1984 අප්‍රේල් 29 වැනි දින විජේවීර, බිරිය හා දරුවන් හපුතලේ ආසන්නයේ හල්දුම්මුල්ල වල්හපුතැන්න නිවෙසට පදිංචියට ගිය අතර බිරිය හා දරුවන් එහි සිටින අතරතුර,  විජේවීර දේශපාලන කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාවන්හි බැහැර ගියේය. ඒ වනවිට විජේවීරගේ මෙන්ම පවුලේ සෙසු අයගේද රට හඳුනන බාහිර ස්වරූපය වෙනස් කර තිබිණි. විජේවීර, අත්තනායක මුදියන්සේලාගේ ශාන්ත නිමලසිරි අත්තනායක නමින් පෙනී සිටි අතර ඔහුගේ බිරිඳ සමරකෝන් ආරච්චිලාගේ ශ්‍රියානි චන්දිමා යන නම භාවිතා කළාය. විජේවීර සහ දරු පවුල 1987 ජුනි මාසය දක්වා එම නිවසේ පදිංචිව සිටියහ.


බණ්ඩාරවෙල අක්කර 13කින් යුතු නෙළුව ලෙව්වේගොඩවත්ත ජවිපෙ වෙනුවෙන් සෝමවංශ අමරසිංහ විසින් මිලදී ගත් අතර විජේවීර සිය දරු පවුල සමඟ 1987 ජුලි මස එහි පදිංචියට ගියේය. එහි සැක කටයුතු සිදුවීමක් හේතුවෙන් 1988 ජුලි මාසයේ අග විජේවීර හා දරු පවුල බණ්ඩාරගම උපතිස්ස ගමනායකගේ නිවසේ ගත කළහ. ඉන් අනතුරුව මීගොඩ පිහිටි නිවසෙහි 1988 අගෝස්තු මස අග දක්වා තාවකාලිකව පදිංචිව සිටියහ.


අක්කර 5කින් යුක්තවූ උලපනේ ශාන්ත මේරි වත්තේ බංගලාවට විජේවීර, බිරිඳ හා දරුවන් සමඟ ගියේ 1988 සැප්තැම්බර් මස 01 වැනිදාය. විජේවීර උලපනේට පැමිණෙද්දී ජවිපෙ ක්‍රියාකාරිත්වය හා ජවිපෙට එරෙහි ක්‍රියාකාරිත්වයද පිම්මේ වර්ධනය වී තිබිණි. භීෂණයෙන් රට භීතියට පත්ව තිබූ අතර අනාගතය පිළිබඳව ජනතාවට වූයේ අඳුරු බලාපොරොත්තුවකි.


උලපනේ ශාන්ත මේරි වත්ත සොයා දුන්නේ නෙළුව ලෙව්වෙගොඩ වත්තේ කළමනාකරු ලෙස පෙනී සිටි පක්ෂ මධ්‍යම කමිටුවේ අයෙකි. ශාන්ත මේරි වත්තේ මුල් අයිතිකරු මහනුවර පදිංචිකරුවකු වන අතර ඔහු ඉඳහිට වත්තට පැමිණෙන අයෙකු නිසා උලපනේ ශාන්ත මේරිවත්තට විජේවීර සහ දරු පවුල එනවිට එහි බංගලාව සම්පූර්ණයෙන් ගරා වැටෙන තත්ත්වයක තිබුණි. ඒ අනුව මෙම බංගලාව පදිංචිය සඳහා සුදුසු තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙනි. බංගලාවේ අලුත්වැඩියා කටයුතු සඳහා බාස්වරුන් උලපනේ ගමෙන්ම සොයා ගන්නා ලදී.


උලපනේ ශාන්ත මේරි වත්තේ බංගලාව රුපියල් 375,000කට ජවිපෙ මගින් මිලට ගෙන තිබුණේ විජේවීරගේ සහ විජේවීරගේ බිරිඳ වන චිත්‍රාංගනීගේ ව්‍යාජ නම් වූ, ශාන්ත නිමලසිරි අත්තනායක සහ ශ්‍රියානි චන්දිමා සමරකෝන් යන ලෙසිනි. ඉඩමට අදාළ ඔප්පුව ලියන ලද්දේ ඉඩමේ අයිතිකරුගේ සහෝදරයාගේ මහනුවර පිහිටි නීතිඥ කාර්යාලයේදී 1988 අගෝස්තු මාසයේදීය. මෙම කටයුතුවලට මූලිකවම සෝමවංශ අමරසිංහ සහභාගි විය. වැවිලිකරුවකු ලෙස අත්තනායක නමින් උලපනේදී පෙනී සිටි විජේවීරගේ මෙම ජීවිතය පිළිබඳ කිසිවකුට සැක සංකා ඇති නොවීම පිණිස එය වඩාත් සුඛෝපභෝගී එකක් බවට පත් කිරීමට ජවිපෙ කටයුතු කළේය. ඒ අනුව තම නායකයාගේ පරිහරණය වෙනුවෙන් සුදු පැහැති අංක 15 ශ්‍රී 7920 දරණ මිට්සුබිෂි ලාන්සර් වැගන් වර්ගයේ මෝටර් රථයක්, නිවසට දුරකථනයක් හා ‘මිනිබාර්’ එකක් ලෙස උලපනේ බංගලාවේ ස්ථාපිත කිරීමට ගමනායක ඇතුළු පකෂයේ ඉහළ නායකත්වය කටයුතු කළේය.


දුරකථනයේ අංකය 52413 වූ අතර එයින් ඇමතුම් ලබාගෙන තිබුණේ මසකට එකක් දෙකක් පමණි. කොළඹ ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් වෙතින් මෝටර් රථය මිලදී ගෙන තිබුණේ රුපියල් දෙලක්ෂ විසිදහසක මුදලකටය. බංගලාවේ අල්මාරි කැබිනෙට්ටු පුරවා තිබුණේ විස්කි, බ්‍රැන්ඩි බෝතල්වලිනි. අලුත්ම බෝතල හා හිස්වූ බෝතල්ද ඒ අතර විය. කාගේත් ඇස ගැටුණේ, බෝතල් වෙත නිසා ගමේ ප්‍රසිද්ධ වූයේ ‘වත්තේ අත්තනායක මහත්තයා හොඳට බොන කෙනෙකු’ බවය.


දැඩි හිතක් සහිත විප්ලව වාදියකු වුවද රෝහණ විජේවීර තුළ ආදරණීය පියෙක් ජීවත් වූවේය. ඔහු තම දරුවන්ට අසීමිතව ආදරය කළේය. ඔවුන් පාසලකට යවා හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ඔහු ප්‍රිය කළේය. ඒ අනුව කළුතර ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයෙන් නිකුත් කරන ලද ව්‍යාජ අස්වීම් සහතික දෙකක් මගින් වැඩිමහල් දියණිවරුන් වූ දීපානි චාමලි අත්තනායක සහ සුරනි විදිෂා අත්තනායක යන දෙදෙනා උලපනේ මහා විද්‍යාලයට ඇතුළත් කරන ලදී. එසේම අත්තනායක පවුලේ දරුවන්ට අමතර අධ්‍යාපනය ලබාදීමට වත්තේ බංගලාවට ගුරුවරියක්ද පැමිණියාය.


චිත්‍රාංගනී ගේ අත් උදව්වට ලොකු නංගි නොහොත් හම්බන්තොට චමිලා සෙව්වන්දි 1988 සැප්තැම්බර් මසදී ද පොඩි නංගි නොහොත් චම්මා හේමාචන්දි 1989 අප්‍රේල් මසදී ද බංගලාවට පැමිණ තිබුණි. මේ දෙදෙනා පක්ෂයේ ක්‍රියාකාරිණියන් දෙදෙනකු වූ අතර ආහාර පිසීම සහ දරුවන් බලා ගැනීම ඔවුනට පැවරුණි. මීට අමතරව විජේවීරගේ ආරක්ෂකයා සහ වත්ත පිටිය භාරව සිටි පැරැණිතම ජවිපෙ සාමාජිකයකු වූ වයෝවෘද්ධ ‘ඒකනායක අංකල්’ ද උලපනේ බංගලාවේ සිටියේය. විජේවීර කිසි කලෙක සිය බිරිය සමග හෝ ඇය ඉදිරිපිට දේශපාලන සාකච්ඡා කළේ නැත. ඔහු සෑම විටකම කටයුතු කළේ සිය පවුල සහ දේශපාලනය කොටස් දෙකක් ලෙස වෙන්කර තැබීමෙන්ය.

 

විජේවීර සිටි උලපනේ බංගලාව වර්තමානයේ දිස්වන අයුරු. 1991 වසරේදී පනතක් මගින් ජාතික තරුණ සේවා සභාවට පවරා දී ඇත.

 


ශාන්ත මේරි වතුයාය පිහිටියේ කන්ද මුදුනමය. ඒ ආසන්නයේ තවත් බංගලාවකි. කන්ද පාමුල ගම පිහිටා තිබුණි. ගම මායිමෙහි නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය වැටී ඇත. රටේ තත්ත්වය ගැන පණිවුඩ රැගෙන නිතර උලපනේ බංගලාවට පැමිණි කිහිප දෙනෙක්ද වූහ. ඒ අතර සෝමවංශ අමරසිංහ, එච්. බී. හේරත්, ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි ප්‍රනාන්දු යන අය වූහ. කෙසේ වුවද දේශපාලන මණ්ඩලයේ සියලු සාමාජිකයන් විජේවීර සිටින තැන දැන සිටියේ නැත. එසේම ඔවුන් ඒ පිළිබඳව ප්‍රශ්න කළේද නැත. දේශපාලන මණ්ඩලයේ සමහරු විජේවීර සිටි තැන නොදැන සිටියද ඇතැම් විට පක්ෂයේ පහළ සාමාජිකයින් කිහිප දෙනකු විජේවීරගේ පදිංචිය දැන සිටි බව රහසක් නොවේ. ඒ ශාන්ත මේරි වතුයාය සොයා දුන් නෙළුව ලෙව්වේගොඩ වත්තේ කළමනාකරු ලෙස පෙනී සිටි පක්ෂ මධ්‍යම කමිටුවේ සහෝදරයාය. ඊට අමතරව පක්ෂ පණිවුඩ එහා මෙහා ගෙන ගිය අසළ යම් යම් තොරතුරු දැන සිටින්නට ඇත. 


රෝහණ විජේවීර පමණක් නොව උපතිස්ස ගමනායක, ඩී. එම්. ආනන්ද, එච්. බී. හේරත්, පියදාස රණසිංහ, ලලිත් විජේරත්න, සෝමවංශ අමරසිංහ සහ සමන් පියසිරි ප්‍රනාන්දු යන දේශපාලන මණ්ඩල නිතර ආගිය රැස්වූ තැන ගලහ අරලිය උයනේ නිවස විය. එම ස්ථානයේ පක්ෂ සාමාජිකයන් කිහිප දෙනෙකුම සිටි අතර දිනපතා එහි නැවතී සිටියේ පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජිකයෙකි. දෙසතියකට වරක් ජවිපෙ නායකයන් රැස්වන මෙම ස්ථානය පිළිබඳව කිහිප දෙනෙකුම දැන සිටියේය.


රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ජවිපෙ අවසන් දේශපාලන මණ්ඩල රැස්වීම පැවැත්වූයේ 1989 නොවැම්බර් 12 දින ගලහ නිවසේදීය. අවසන් දේශපාලන මණ්ඩලය රැස්වන විට දේශපාලන මණ්ඩලයේ 13 දෙනාගෙන් නන්දතිලක ගලප්පත්ති, පී. ආර්. බී. විමලරත්න සහ සුමිත් අතුකෝරල යන තිදෙනා ඝාතනයට ලක්වී සිටි අතර ඩී. එම්. ආනන්ද හා ගුණරත්න වනසිංහ අත්අඩංගුවට පත්වී තිබුණි. මේ අනුව 1989 නොවැම්බර් 12 වන දින අවසන් දේශපාලන මණ්ඩලය රැස්වන විට එයට සහභාගිවූයේ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, ශාන්ත බණ්ඩාර, පියදාස රණසිංහ, එච්. බී. හේරත්, සමන් පියසිරි ප්‍රනාන්දු, ලලිත් විජේරත්න සහ සෝමවංශ අමරසිංහ යන අට දෙනාය.


අවසන් දේශපාලන මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ පැහැදිලි තීරණයක් විය. එනම්, වසරකට ආසන්න කාලයක් උලපනේ ශාන්ත මේරි වත්තේ සිටි රෝහණ විජේවීරගේ පදිංචිය නැවත වෙනස් කළ යුතු බවය. නමුත් රෝහණ විජේවීර නොවැම්බර් 12 වැනිදා රාත්‍රිය එහි ගෙවීමට පමණක් දේශපාලන මණ්ඩලයෙන් අවසර ඉල්ලා ගත්තේය. රැස්වීමේ කටයුතු පෙරවරු 11ට නිමාවට පත්විය. පසුව විජේවීර, ගමනායකගේ මෝටර් රථයෙන් ශාන්ත මේරි වතුයාය බලා පිටත්විය.


විජේවීර නිවසට පැමිණ හෝරාවක් දෙකක් ගතවිය. දහවල් ආහාරයෙන් පසුව ඔහු පුවත්පතක් බලමින් සිටියේය. වාහනයක් උලපනේ ශාන්ත මේරි වත්තට ඇදෙන සෙයකි. වතුපිටි බලා කියා ගන්නා ඒකනායක අංකල් ගේට්ටුව විවර කළේ, පක්ෂයේ හිතවතෙකු විජේවීර රැගෙන යාමට පැමිණෙන බව සිතමිනි. නොදන්නා වෑන් රථයකින් කිසිවකු පැමිණෙන බව දුටු විජේවීරට ඇතිවූ සැකය නිසා ඔහු ඉක්මනින් ඇවිද ගියේ පිටුපස මිදුලටය. නමුත් වේගයෙන් ඇතුළට පැමිණි වාහනයෙන් බැසගත් නිල ඇඳුම් ලාගත් කිහිප දෙනෙක් විජේවීර අල්ලා ගත්හ.


විජේවීර උලපනේ ශාන්ත මේරි වතුයායේ නිවසේදී අත්අඩංගුවට ගත්තේ 1989 නොවැම්බර් 12 වැනිදා පස්වරු 2ට පමණය. ඔහුව අත්අඩංගුවට ගත්තේ ක්ෂණික විහිදුම් බළකායේ :ඎත්‍* අණදෙන නිලධාරියා වූ මේජර් ගාමිණී හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මගිනි. විජේවීර මුලින් සිය අනන්‍යතාව සැඟවුවද පසුව සත්‍ය පිළිගනු ලැබීය. තමන් විජේවීර බව පිළිගත් ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ තම බිරිඳ හා දරුවන් අහිංසක නිසා ඔවුනට කිසිදු හානියක් නොකරන ලෙසය. එමෙන්ම අවසාන මොහොතේ බිරිඳ චිත්‍රාංගනීගෙන් විජේවීර ඉල්ලා සිටියේ සිය දරුවන් සියලු දෙනාම බෞද්ධ ආගමේ දිගටම ඉඳීමට ඉඩ දෙන ලෙසත්, දරුවන්ගේ උප්පැන්න සහතික නිවැරැදි කර සාදා ගන්නා ලෙසත්ය.


විජේවීර අත්අඩංගුවට ගැනීමෙන් පසු මේජර් හෙට්ටිආරච්චිගේ ප්‍රධානියා වූ කර්නල් ජානක පෙරේරා වෙත භාරදෙන ලදී. මුළු නිවසම සෝදිසියට ලක් කළ අතර විජේවීර සමඟ විනාඩි කිහිපයක්ම කථා කළේය. විජේවීර අත්අඩංගුවට ගැනීම හමුදා පණිවුඩ හුවමාරු යන්ත්‍ර මගින් ඔප්ස් කම්බයින් මූලස්ථානයට දැනුම් දෙන ලදී. ඒ අනුව හැව්ලොක් පෙදෙසේ පිහිටි ඔප්ස් කම්බයින් මූලස්ථානය වෙත අත්අඩංගුවට පත් විජේවීර රාත්‍රියේ ගෙන එන ලදී. එසේ ගෙන එන ලද විජේවීරගේ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටිගත කිරීමක් සිදුවූ අතර විජේවීරගේ ප්‍රකාශයක් රූපවාහිනිය මගින්ද විකාශනය කරන ලදී. 


පිළිගත් දේශපාලන පක්ෂයක නායකයකුව සිටියදී රාජ්‍ය හමුදාව අතින් රෝහණ විජේවීර ඝාතනයට ලක්විය. 1989 නොවැම්බර් මස 13 වැනි දින අලුයම 1.35ට පමණ බොරැල්ල මොඩර්න් ෆාම් පාරේ ගොල්ෆ් පිටියේ අංක 6 දරණ වළ අසලදී වෙඩි තබා ඝාතනයට ලක් කර ඔහුගේ දේහය එදිනම බොරැල්ල කනත්තේදී අලුයම 3ට පමණ ආදාහනාගාරයේ පුලුස්සා දමන ලදී.

 


මේ සටහන මෙසේ අවසන් කරමු.


නොමළවුන් නිදිගත් බිමක මළවුන් උදෙසා යුක්තිය ඉටු නොවේ.


එම්. තාරික්
ඡායාරූප අන්තර්ජාලයෙනි