ඉරණමට හිස නමා පක්ෂ නායකත්වය අත්හළ 
රාහුල් ගාන්ධිගේ පුරාවත - 05 වැනි කොටස

 

 

ද කුණු ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටවල පවතින්නේ තට්ටු මාරු දේශපාලනය කැයි විචාරකයෝ කියති. එහි සත්‍යතාවක්ද ඇත. සේනානායක - ජයවර්ධන පාර්ශ්වය නියෝජනය කළ කොතලාවල, ප්‍රේමදාස, විජේතුංග වික්‍රමසිංහ පක්ෂය ද එයට එරෙහිව බණ්ඩාරනායක, රාජපක්ෂ පවුල් ඒකකයන් ද හැත්තෑ වසරක් පමණ තට්ටුමාරු ක්‍රමයට ශ්‍රී ලංකාව පාලනය කළහ. දීර්ඝ කාලයක් පැවැති යුද්ධ ආණ්ඩුවලින් පසුව පාකිස්ථානය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට නැඹුරුවීම නිසා එහි බලය නවාස් ෂෙරීෆ් සහ බූතෝ පවුල අතර ද්වන්දව සටනකට මග පෑදුවේය. බංග්ලාදේශයේ දී එය මදක් වෙනස් විය.


එම රටේ නිදහසේ පියා වූ ෂෙයික් මුජිබර් රහමන් මරා දමා බලය අත්කර ගත් හමුදා නායක සියාවුර් රහමාන් කලක් බංගලාදේශය පාලනය කළේය. ඉන්පසු මේ දෙදෙනාගේ දියණියන් දෙදෙනා එරටට ද තට්ටුමාරු ක්‍රමය බෝ කළහ. එහෙත් ඉන්දියාවට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවූයේ 1977 දී ඉන්දිරා ගාන්ධි ලැබූ දැවැන්ත පරාජයෙන් පසුවය. එතෙක් ඉන්දියානු ජාතික කොන්ග්‍රසය කිසි දිනක එම කටුක අත්දැකීම විඳ තිබුණේ නැත. මැතිවරණ පරාජය වූ දිනයේ සිටම පවතින රජය අප්‍රසාදයට පත්වන අතර පරාජය ලැබ ගෙදර ගිය නායකයා හෝ නායිකාව බලය තහවුරු කර ගනිමින් ඉදිරියට ඒම සිදුවේ. ඉන්දිරා ගාන්ධිගේ ගමන් මඟ සකස් වූවේද එම ආකාරයටය. මොරාජි දේශායි අගමැතිවරයාගේ ආණ්ඩුව කිසි විටෙකත් සමගි සම්පන්න, එක ප්‍රතිපත්තියක් මත කටයුතු කරන්නක් වූවේ නැත. එක වර්ගයේ කුරුල්ලන් එක අත්තක වසන බවට ගැමි පිරුළක් වෙතත් මේ රජයේ සිටියේ කිසිසේත්ම නොගැළපෙන කුරුල්ලන් රෑනකි. ඔවුන්ගේ එකඟතාව තිබුණේ ඉන්දිරා ගාන්ධි මැතිනියට විරුද්ධව පමණී.


කොන්ග්‍රස් පක්ෂයේ බලගතු විශාල පිරිසක් මොරාජි දේශායි සමග එක්වූහ. එම තත්ත්වයට මුහුණ දීම සඳහා ඉන්දිරා නව පක්ෂයක් පිහිටුවා ගත්තාය. එහි නාමය වූවේ ඉන්දිරා කොන්ග්‍රසය හෙවත් කොන්ග්‍රස් (අයි) පක්ෂයයි. මෙම පක්ෂය අතුරු මැතිවරණ සහ ප්‍රාන්ත මැතිවරණ තරග කරමින් ජයග්‍රහණ අත්කර ගනිමින් පෙරට එනු දක්නට ලැබුණි. දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ එග්මගලුර් පාර්ලිමේන්තු ආසනය තරග කර ජයගත් ඉන්දිරා ගාන්ධි මැතිනිය නැවතත් මැතිසබයට පිවිසියාය. එය ඇයගේ දේශපාලන බලයට පැමිණීම නැමැති පුනරාගමනයේ පළමු පෙර නිමිත්ත විය. මොරාජි දේශායි රජය තුළ කල්ලිවාදය ඉස්මතු වී අගමැතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවිය. එයින් පසු චරන් සිං, වී.පී.සිං, චන්ද්‍රසේකර්, දේව් ගවුඩා ආදී වශයෙන් නායකයෝ ගණනාවක් ඉන්දියාවේ අගමැති තනතුරට පත් වූහ. එහෙත් මාස කීපයකින් ඒ හැමදෙනාටම ඉල්ලා අස්වීමට සිදු වූවේ ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමට ඔවුන් අපොහොසත් වූ බැවිනි. අවසානය වූවේ තවත් මැතිවරණයක් එළඹීමයි. 1977 මැතිවරණයේදී ඉන්දිරා ගාන්ධිට එරෙහිව ගොඩනැගුණු සන්ධානය වූ භාරතීය ජනතා පක්ෂය හෙවත් බී. ජේ. පීය ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට මෙම නායකයන් අසමත්ව තිබුණි. බඩු මිල අහස උසට නැගුණු අතර රටේ ආදායම් ඇහිරී දුප්පත්කම ශීඝ්‍රයෙන් වැඩි විය. අපරාධ ඉහළ ගියේය. නීතිය බිඳ වැටුණි. රාජ්‍ය තන්ත්‍රය අල්ලසින්, දූෂණයෙන් පිරී තිබුණි.


මේ නිසා බලවත් අප්‍රසාදයට පත්ව තිබුණු බී.ජේ. පීයට මුහුණ දීමට සිදු වූවේ නැවත ඉපදුණු වීරවරියකගේ භූමිකාවට සමාන වූ ඉන්දිරා ගාන්ධිටය. ජනතා පක්ෂ රජයෙන්  එල්ල වූ තාඩන පීඩන නඩු හබ, අපකීර්තිය ආදී සියලු අභියෝගවලට මුහුණ දී ඇය තම නායකත්වය සහ ප්‍රතිරූපය ද මනාව ගොඩ නගාගෙන සිටියාය. ඇය සමස්ත ඉන්දියාවේම අයෝමය නායිකාව ලෙස ජනතාව වටහාගෙන තිබුණි. ඇය නැවතත් සුවිශාල ජයග්‍රහණයක් ලබා ගනිමින් ඉන්දියාවේ අගමැති පදවියට පත්වූවාය. ඇයගේ පුත් සංජේ ගාන්ධි ද නැවත වරක් පාර්ලිමේන්තුවට පත් විය. ඔහු නැවතත් අගමැතිනියගේ සමීපතම උපදේශකයා විය. එහෙත් අවාසනාවකට මෙන් 1980 ජූනි මස 23 වැනි දින තමා විසින්ම පදවාගෙන යනු ලැබූ ගුවන් යානය අනතුරට ලක්වීමෙන් සංජේ ගාන්ධි මරණයට පත් විය.


මෙම සිදුවීම ඉන්දිරා මහත් කම්පනයට පත් කිරීමට සමත් විය. තමාට ශක්තියක් වූ කනිටු පුත්‍රයාගේ අභාවය නිසා ඇය තනි වූ බවක් දැනුණි. ඒ නිසා එවකට ඉතාලියේ ගුවන් නියමුවෙකු ලෙස රැකියාව කරමින්, එරටින්ම විවාහයක් ද කරගෙන දේශපාලන ක්ෂේත්‍රය ගැන සිතුවිලි මාත්‍රයකින් පවා සම්බන්ධයක් නොතිබූ ඉන්දිරා ගාන්ධිගේ වැඩිමහල් පුත් රාජිව් ගාන්ධි තමා වෙත ගෙන්වා ගැනීමට ඇය ක්‍රියා කළාය. මවගේ බලකිරීම ඉවත හෙළිය නොහැකි තරමට උග්‍ර වූවෙන් ඔහු තම රැකියාව අතහැර මව වෙත පැමිණ දේශපාලන කටයුතුවල නිරත වූවේය. 1981 දී රාජිව් ගාන්ධි සිය සහෝදර සංජේ නියෝජනය කළ අමෙති කොට්ඨාසයේ මන්ත්‍රීවරයා ලෙස පත්ව පාර්ලිමේන්තුවට ද පැමිණියේය.
මේ අවධිය වන විට ඉන්දියාවේ බෙදුම්වාදී අරගල නොයෙක් ප්‍රාන්තවලින් මතුව ආවේය. කාශ්මීරයේ සහ පන්ජාබයෙන් සන්නද්ධ අරගලයක ස්වරූපය ගත් සටන් ඇති විය. එයිනුත් පන්ජාබයේ සටන අතිශය උග්‍ර තලයකට පැමිණියේය. ස්වභාවයෙන්ම රණකාමී පිරිසක් වූ පන්ජාබ්වාසීහු තම ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් බවට පත් විය යුතු බව කියමින් ජානෙල් සිං හින්දු දේවාලේ නමැති අන්තවාදී සික් ජාතික තරුණයකු විසින් මෙම අරගලය ආරම්භ කරන ලදී. පන්ජාබය පුරා කැරලිකාර සහ ත්‍රස්තවාදී ක්‍රියා පැතිරී ගිය අතර එය මැඩ පැවැත්වීම සඳහා රජය මගින් ගන්නා ලද සියලු පියවරයන් අසාර්ථක විය. අවසානයේ ඉන්දිරා ගාන්ධි විසින් ගන්නා ලද පියවර වූවේ මෙම ත්‍රස්තවාදී අරගලය මැඩ පැවැත්වීම සඳහා ඉන්දියානු යුද්ධ හමුදාව යෙදවීමයි. බෙදුම්වාදීන් රැඳී සිටියේත් ඔවුන්ගේ මුල කඳවුර වූවේත් සික් ආගමික මූලස්ථානය ලෙස හැඳින්වෙන රන් දෙවොල නම් වූ පූජා භූමියයි.
ඔපරේෂන් බ්ලු ස්ටාර් හෙවත් නීල තාරකා මෙහෙයුම නම් වූ යුද ප්‍රයත්නයට අනුව බලවත් ඉන්දියානු හමුදාව 1984 ජූනි හයවැනි දින රන් දෙවොල පුද බිමට කඩා වැදුණහ. එහිදී සිදුවුන ගැටුමේ දී ත්‍රස්තවාදීහු දහසකට අධික පිරිසක් මරණයට පත් වූහ. ත්‍රස්තවාදීහු ද සටන් කළහ. මෙම ගැටුමේ දී ත්‍රස්ත නායක හින්දු දේවාලේ ද මරණයට පත් වූ අතර දේවස්ථානයට ද බරපතළ හානි සිදුවිය. ගැටුම කෙතරම් උග්‍ර වූවේ ද යත් බලවත් හමුදාවේ සාමාජිකයෝ තුන් සියයක් ද මරු වැලඳ ගත්හ. මෙම සිදුවීම සික් ජනතාවගේ හදවතට එල්ල වූ හී පහරක් මෙන් වේදනාකාරී විය. ගැටුමෙන් තම අගනා පුදබිමට සිදු කළ හානිය ගැන ඔව්හු මහත් කෝපයට පත්ව පළිගැනීමේ චේතනාවෙන් මඩිනා ලද්දෝ වූහ. සෑම සික් ජාතිකයෙකුම පසුවූවේ ඉන්දිරා කෙරෙහි වෛරයෙනි.


ඉන්දිරාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි බළකායේද සික් ජාතිකයෝ වූහ. පාරම්පරිකවම රණශූරයන් ලෙස සැලකෙන ආරෝහ පරිනාහ දේහ සම්පත්තියෙන් යුතු සික් ජාතිකයන් එසේ තෝරා ගැනීම කලක් තිස්සේම සිදුවිය. අගමැති නිල නිවස සහ අග්‍රාමාතය කාර්යාලය අතර තිබුණේ ඉතා සුළු දුරක් පමණී. අගමැතිනිය දෛනිකව කාර්යාලයට ආවේ ගියේ පයින් ඇවි ද ගෙනය. 1984 ඔක්තෝබර් 31 වැනිදා උදේ ඇය කාර්යාලයට පැමිණෙන විට ආරක්ෂක භටයෙකු වූ බියට් සිං නැමැති සික් ජාතිකයා ඇයට මුණ ගැසුණි. සත්වාන් සිං නැමැති තරුණ සික් භටයා ද ඒ අසල විය.


ගාන්ධි මහත්මිය ඔවුන්ට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කළාය. කිසිවක් නොදෙඩු බියට් සිං සිය නිල පිස්තෝලය එළියට ගෙන අගමැතිනියට වෙඩි තැබුවේය. අසල සිටි සක්වාන් සිං ද ඇයට වෙඩි තැබූ බව කියවුණි. බරපතළ තුවාල ලැබූ ඉන්දිරා ගාන්ධි රෝහල් ගත කරනු ලැබූ නමුදු ඇය මරණයට පත්වූවාය. ඉන්දියාව ශෝකයෙන් ඇළලී ගියාක් මෙන්ම හින්දු - සික් ගැටුමක් රටපුරා පැතිරී ගියේය. කෝපයෙන් වියරු වූ හින්දුනු සික් ජාතිකයන් දුටු තැන මරා දැමූහ. මෙම සිදුවීම් නිසා දෙදහස් පන්සියයකට අධික පිරිසක් මරා දැමුණු බව ප්‍රකාශ විය.

 


මතු සම්බන්ධයි.

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි