එක් දහස් නවසිය දාහතේ වසර ජගත් දේශපාලන ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව බොහෝ දෙනාගේ මතයයි. එයට හේතුව වන්නේ එම වසරේ ඔක්තෝබරයේදී සෝවියට් සමාජවාදී විප්ලවය සිදුවීමයි. එයින් මාස දෙකක් ඉකුත්වීමටත් පෙර ශ්‍රී ලංකාවේ මහ රදල වලව්වක උපත ලද බිළිඳෙක් පසු කලෙක ශ්‍රී ලාංකීය සමාජවාදී විප්ලවය සාර්ථක කරගනු පිණිස අප්‍රමාණ කැප කිරීම් කළේය. එමෙන්ම මෙරට නිර්ධන පන්ති ජනතාවට යහපත් හෙට දිනක් උදාකර දෙනු සඳහා ව්‍යවස්ථාදායකය තුළ තිස් වසරක් කටයුතු කළේය. චීන සමාජවාදී විප්ලවය කෙරෙහි වූ අකලංක පක්‍ෂපාතිත්වය හා බද්ධ ප්‍රේමය නිසා තමාගේ සුපැහැදිලි හා කීර්තිමත් දේශපාලන අනාගතය පරදුවට තැබීය. මෙවැනි පිරිසිදු චරිතාපාදනයක් හිමි විශිෂ්ටතම දේශපාලන පෞරුෂය වන්නේ තිස් වසරක් ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය හෙබවූ ප්‍රතාපවත් නායකයකු වූ ඇස්. ඩී. බණ්ඩාරනයාක මහතාය. ඔහුගේ සිය වසක් ඉක්මවන ජන්ම දිනය යෙදී ඇති මේ මොහොතේ සමස්ත දේශපාලන ක්‍ෂේත්‍රයටම පරමාදර්ශී විය හැකි ඔහුගේ ගුණාංග සහිත විචිත්‍රවත් සහ විරල ගණයේ ගති පැවතුම් ස්වල්පයක් ගැන සිහිපත් කිරීම කාලෝචිතය. 


බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් කොලනියක් වශයෙන් පැවති එම අන්ධකාර සමයේ ලංකාවේ දේශීයයෙකුට ලබා ගත හැකි ඉහළම තනතුර වූයේ මහමුදලි පදවියයි. එය බි්‍රත්‍රාන්‍ය ආණ්ඩුකාරවරයාගේ සමීතම තනතුරය. ඔහුගේ කාර්යාලය පිහිටියේ රජගෙදරය. ගම්බද නිවාසයද පොදු ජනතාවගෙන් බොහෝ ඈත් වූ සුඛෝපභෝගී නිවසකි. එය හැඳින්වූවේ වලව්ව නමිනි. ඇස්. ඩී. උපන්නේ මෙවැනි මහමුදලිවරයෙකුට මුනුබුරුවය. බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ දැරූ මහා අධිරාජයා වෙතින් ලද මහ මුදලි පදවිය හෙබවූ කොන්රඞ් පීටර් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමා ඇස්. ඩී. ගේ මුත්තණුවන් විය. එම ප්‍රභූවරයාගේ පුත් කණිෂ්ඨ කොන්රඞ් පීටර් ඩයස් බණ්ඩාරනායක සියනෑ කෝරලයේ මුදලිවරයා ඇස්. ඩී. ගේ පියාණන් වූවේය. මාතර පොකුණවත්ත වලව්වේ රොස්ලින් හිල්ඩා ඩී ඕතා ඒකනායක මැතිනිය මව වූවාය. කිරෙන් කා තෙලන් අත සේදිය හැකි යැයි පැරැන්නන් පැවසූ අන්දමේ පවුල් පසුබිමක් සහිතව උපත ලැබූ සැමුවෙල් ඩයස් බණ්ඩාරනායක නම් වූ අසාමාන්‍ය පුද්ගලයා කලක් මාක්ස් වාදියෙකු විප්ලවවාදියෙකු පමණක් නොව ආයුධ සන්නද්ධ අරගලයකින් තොරව ශ්‍රී ලාංකිීය ගොවි කම්කරු නිර්ධන පන්ති ජනතාවට විමුක්තිය ලබා ගත නොහැකියැයි විශ්වාසය කිරීමට තරම් පෙරළිකාරයෙකු වූවේ කෙසේදැයි එතුමා ඉතා සමීපව පනස් වසරකටත් වැඩි කාලයක් ඇසුරු කළ මට අදත් විසඳා ගත නොහැකි ගැටලුවකි. 


අද වන විට දේශපාලන ක්‍ෂේත්‍රය කෙතරම් අපවිත්‍රව අත්දැයි ජනතාවට නොරහසකි. එක් අයෙකුගේ මිල රුපියල් මිලියන හයසියයකැයි කියන්නේ අප නොව ක්‍ෂේත්‍රයේ අයමය. සත්‍යය අසත්‍යතාව කුමක් හෝ වේවා ජනතාවගේ පොදු මතය එය බවට පත්ව තිබේ. මෙවැනි පසුබිමක් තිබුණු ක්‍ෂේත්‍රයක ඇස්. ඩී. කටයුතු කළේ දූෂණය නමැති ජලයේ නොගැටෙන පියුමක් පරිද්දෙන් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. 1960 රජයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී ඔහු තම සහෝදර මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද සමග විරුද්ධ පක්ෂයෙන් ගෙනා පනතකට පක්‍ෂව ඡන්දය දුන්නේය. ඒ විපක්ෂ නායකවරයා වශයෙන් ඩඞ්ලි සේනානායක මහතා ඉදිරිපත් කළ පනතකි. අල්ලස් චෝදනා මත වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමෙන් වරදකරුවන් වූවන්ට දඬුවම් දීමටය. පක්ෂ විනය නමැති කෙවිටට ඇස්. ඩී. කිසිවිටෙකත් යටත් වූවේ නැත. ඔහු මුල්තැනෙහි ලා සැලකුවේ හෘද සාක්ෂියයි. එවැනි පියවර ගැනීමෙන් තමාට සිදුවන අවාසි පාඩු හෝ බිඳවැටීම ගැන කිසි විටෙක සිතුවේ නැත. එවැනි පාඩු ඔහු සිනා මුසු මුහුණින් දරා ගත්තේය. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භක සාමාජිකයෙකු වූ ඇස්. ඩී. බණ්ඩාරනායකයන් 1952 දී පාර්ලිමේන්තුවට පිවිසියේ එහි ආරම්භක මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් එක් අයෙකු වශයෙනි. පක්‍ෂයේ ශක්තිය වර්ධනය කිරීමටත් රට පුරා සංවිධාන ජාලය ශක්තිමත් කිරීමටත් මෙම පුරෝගාමී පිරිස වෙතින් සිදු වූ සේවය පමණ කළ නොහැක. 1956 රාජ්‍ය බලය අත්කර ගැනීම දක්වා වූ සුවිශාල කාර්යභාරයේදී ඇස්. ඩී. ගේ භූමිකාවද සේවයද සුළුපටු නොවීය. බණ්ඩාරනායක ඇගමැතිතුමාට අවශ්‍ය වූවේ ඇස්. ඩී. ට ඇමති ධූරයක් පිරිනැමීමටය. ඔහු සුදුසු වූවේ කෘෂිකර්ම අමාත්‍ය ධුරයටය. ඉන්දියාවේ සරසවියකින් කෘෂිකර්මය පිළිබඳව හදාරා උපාධියක්ද දිනාගෙන තිබුණු නිසාය. එහෙත් රජයේ හවුල් පක්ෂයක නායකයා වූ පිලිප් ගුණවර්ධන මහතාට ද ඇමති පදවියක් පිරිනැමිය යුතුමය. ඔහුද ඇමරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය විෂය පිළිබඳ උපාධිධරයෙකි. එනිසාම පිලිප් එම අමාත්‍යධුරය ගැන උනන්දුවක් දැක්වීම යුක්ති යුක්ත විය. එකල ඇමති මණ්ඩලය දොළොස් දෙනෙකුට පමණ සීමා විය. අගමැතිවරයාටද පහසුවක් වන පරිදි හෙතෙම ඇමති ධුරයක් ලබා ගැනීමෙන් වැළකී සිටියේය. 1956 අප්‍රේල් 11 වැනිදා දිනපතා පුවත්පත්වල අද දිවුරුම් දෙන ඇමති මණ්ඩලය යැයි පළවූ පුවතක ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නමද ඇතුළත්ව තිබුණු බව මා සඳහන් කරන්නේ සාක්ෂි ඇතැතිවය.


කාලය වේගයෙන් ගෙවී ගියේය. හවුල් ආණ්ඩුවල ස්වභාවය මෙයයැයි දක්වමින් මහජන එක්සත් පෙරමුණු රජය තුළ උග්‍ර මතභේද හට ගත්තේය. ඒවාට හේතු වූයේ රජයේ සිටින ප්‍රගතිශීලී ඇමතිවරුන් ගත් ජනතා හිතෛෂී ක්‍රියා මාර්ගයන්ය. බස් ජනසතුව වරාය ජනසතුව පිරිවෙන් විශ්වවිද්‍යාල ඇති කිරීම, සේවක අර්ථසාධක අරමුදල ඇති කිරීම ආදිය එවැනි අගනා වැඩ සටහන් කීපයකි. එහෙත් ජනතා බලවේගය සහ අගමැතිවරයාගේ ජනප්‍රියත්වය හමුවේ පසු බා සිටි රජයේන්ම ප්‍රතිගාමී කොටස් පිලිප්ගේ කුඹුරු පනත සහ සමූපකාර බැංකු පනත නිසා වියරු වැටුණේය. කුඹුරු පනතේ යෝජනා නිසා ගොවි ජනතාවට අත්වන ලාභය අමතක කළ ඔව්හු එයින් කුඹුරු හිමියාට ලැබෙන අවාසිය වෙනත් හේතු දක්වමින් උලුප්පා පෙන්වමින් විරෝධතා දැක්වූහ. එදා ඉහළම ධනවතුන්ගේ මෙවලමක් බවට පත්ව තිබුණු බැංකු ක්‍රමය පොදු ජනයා වෙත ළඟා කර දුන්නේ පෙර සඳහන් කළ යෝජනා ක්‍රමයකි. අද මහජන බැංකුව යැයි හඳුන්වන ආයතනයේ ආරම්භය එයයි. මෙම කටයුතු කොමියුනිස්ට්වාදී පාලනයකට මගපාදන්නේ යැයි කියමින් ඇමතිවරු සමූහයක් කැබිනට් මණ්ඩලය තුළ වර්ජන ව්‍යාපාරයක් ඇරඹූහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ පිලිප් ගුණවර්ධනයන් සහ ඔහුගේ සගයා වූ පී. එච්. විලියම් ද සිල්වා කර්මාන්ත ඇමතිවරයා ද කැබිනට්ටුවෙන් නෙරපා දමන ලෙසය. අගමැතිවරයා රජය තුළම තනිවී අසරණ විය. ඇමති බහුතරය සිටියේ ඔහුට විරුද්ධවය. මේ තීරණාත්මක අවස්ථාවේදී ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා ගම්පහ මන්ත්‍රීවරයා වශයෙන් අගමැති බණ්ඩාරනායක මහතාගේ නිවැරදි ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටියේය. අගමැතිවරයාට ශක්තියක් වෙමින් කටයුතු කළේය. එහෙත් රජය තුළ සිටි ප්‍රතිගාමීහු ජය ගත්හ. පිලිප් සහ විලියම් රජයෙන් තෙරපුණි. මේ දිනවල එක් උදෑසනක ඇස්. ඩී. පදිංචිව සිටි යක්කල මඩුගස්වලව්වට පැමිණි ඉහළ පෙළේ අමුත්තෙකි. ඔහු වනාහී එවකට සෞඛ්‍ය ඇමති ඒ. පී. ජයසූරිය මහතාය. ඔහු පැමිණ තිබුණේ අගමැතිතුමාගේ ඉතා වැදගත් පණිවුඩයක් රැගෙනය. එයින් කියැවුණේ පිලිප්ගෙන් හිස් වූ කෘෂිකර්ම සහ ආහාර ඇමති ධුරය භාර ගැනීමට පැමිණෙන ලෙසය. ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා කිසි විටෙකත් තනතුරු ලෝභියෙකු නොවීය. ඇමති පදවියක් අතට පත් මෙම දෙවැනි අවස්ථාවේදීත් එය ප්‍රතික්‍ෂේප කළේය. ඔහු ගත්තේ ප්‍රතිපත්තිමය තීරණයකි. පිලිප් කරගෙන ගිය වැඩ පිළිවෙළ හරි. මගේ ප්‍රතිපත්තිය ඒකයි. එනිසා කළ යුතු වන්නේ වරද නිවැරදි කිරීමයි. කෙසේ හෝ පිලිප් ආපහු ඇමති මණ්ඩලයට ගන්න උත්සාහ කරන්න. මමත් උදව් කරන්නම්. ඔහු මෙසේ දෙවරක්ම ඇමති පදවි ප්‍රතික්‍ෂේප කළේ එහි බර දැරීමට නොහැකි නිසා නොවේ. කොළඹ සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලවලින් මනා අධ්‍යාපනයක් ලබා තිබුණු ඔහු භාරතයේ තන්ජවෝර් සරසවියෙන් කෘෂිකර්මය පිළිබඳ ඉහළ පෙළේ උපාධියක් දිනාගෙන තිබුණි. යුද සමයේ ඇතිවුණු ආහාර හිඟයට මුහුණදීම සඳහා කෘෂිකර්ම ඇමති ඩී. ඇස්. සේනානායක මැතිදුන්ගේ මෙහෙයවීමෙන් පිහිටුවන ලද ගොවි හමුදාවේ විධායක නිලධාරියෙකු ලෙස සේවය කර තිබුණි. ඕනෑම තනතුරක් දැරීමේ හැකියාව ඇස්. ඩී. තුළ විය. මම නැවතත් සඳහන් කරමි. ඔහු තනතුරු ලෝභියෙකු නොවීය. 


සමාජ සාධාරණත්වය උදෙසා නිරන්තරයෙන් කැපවූ පුද්ගලයෙකු වූ ඇස්. ඩී. බණ්ඩාරනායකයන් මානව හිතවාදී දේශපාලනඥයෙකු වූවේය. ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ නායකයෙකුව සිටියදී යාපනය නගරයේ පෙළපාළි මෙහෙයවූයේ උතුරේ කුල භේදයෙන් බැටකන කුලහීනයයි කියවෙන පීඩිත ජනතාවගේ විමුක්තිය උදෙසාය. කුලීනයෙකුගේ ළිඳකින් පිපාසයට දිය පොදක් බීමට ඔවුන්ට තහංචි පැනවී තිබුණි. කෝවිලට ගොස් ආගමික කටයුතු කිරීමට තහනම් විය. එසේ කළහොත් එම අසරණයන්ට අමානුෂික ලෙස කුලීනයෝ පහර දුන්හ.

 


මෙයට නායකත්වය දුන් එක් පුද්ගලයෙකු වූවේ එවකට වව්නියාවේ මන්ත්‍රී සී. සුන්දරලිංගම් මහතාය. මෙම සමාජ තහංචි බිඳ දමමින් කුලහීන ජනතාවද සමග ඇස්. ඩී. කෝවිල්වලට ගියේය. ළිං කැපුවේය. දිය පානය කළේය. මෙයින් කෝපයට පත් සුන්දරලිංගම් දිනක් පාර්ලිමේන්තුවේදී ඇස්.ඩී ගෙන් විමසුවේ යාපනයේ හෝ උතුරේ ප්‍රශ්නවලට මැදිහත්වීමක් ගම්පහ මන්ත්‍රීවරයාට ඇති අයිතිය කුමක්ද කියාය. මම ගම්පහ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වූ බව ඇත්ත. ඒත් මම ලංකාවටම මන්ත්‍රීවරයෙක් යාපනයන් ලංකාවේ කොටසක් ඔහු පිළිතුරු දුන්නේය. 


එම යුගයේ ඉතා දක්ෂ කථිකයෝ මෙරට දේශපාලන ක්‍ෂේත්‍රය ප්‍රතාපවත් කළෝය. ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, කොල්වින් ආර් ද සිල්වා, ජී.ජී පොන්නම්බලම්, ඇස්. ජේ. වී. චෙල්වනායගම්, ඩබ්ලිව්. දහනායක එවැන්නෝය. දිනක් රටේ එක්තරා ප්‍රබල ආයතනයක් විවේචනය කළේ අලි බබා සහ මිතුරන් හතළිස් දෙනාට සමාන කරමිනි. ඔහු නිර්භීතය. 1958 ජාතිභේදවාදය පැන නැගෙන අවස්ථාවේදී මතභේදකාරී පා ගමන නැවැත්වීමට නායකත්වය දීම නිසා ඉඹුල්ගොඩ වීරයා යන විරුදාවලිය ඇස්. ඩී. ට හිමිවිය. 
චීන මහජන සමූහාණ්ඩුව කෙරෙහි ඇස්. ඩී. තුළ පැවති ගෞරවය ආදරය හා පැහැදීම ගැන සඳහන් නොකළහොත් මෙම ලිපිය සම්පූර්ණ නොවේ. එසේ කළහොත් ලංකාවාද කොමියුනිස්ට් රටක් වනු ඇත යන බිය නිසාය. 1952 සැප්තැම්බර් මස අවසාන භාගයේ ප්‍රථම වරට මෙරටින් චීනයට ගිය ප්‍රථම පාර්ලිමේන්තු නියෝජිත පිරිසට ඇස්. ඩී. බණ්ඩාරනායක ගම්පහ මන්ත්‍රීවරයාද අයත් විය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමිනි. එම සංචාරයේදී ඇස්. ඩී. ට එවකට චීන නායකයන් වූ සභාපති මාඕ සේතුං අගමැති චෞ එන් ලායි සහ රතු හමුදා නායක චූ කේ ආදී ඉහළම පෙළේ චීන නායකයන් හමුවී සාකච්ඡා කිරීමටත් දැන හඳුනාගැනීමටත් අවස්ථාව ලැබුණි. පසු කලකදී එය පෞද්ගලික මිත්‍රත්වයක් බවට වර්ධනය වූ අතර එමගින් මෙරටටද විශාල ප්‍රතිලාභ අත්කර දීමට හැකිවිය. 1952 දි ඇස්. ඩී. චීනයේ සංචාරය කරන අවධිය වන විට මේ රට විශාල ආහාර හිඟයකින් පෙළුන යුගයක් වූවේය. එයට හේතුව සමස්ත ලෝකය පුරාම ආහාර නිශ්පාදනය අඩුවී තිබුණු නිසාය. ආදායම් අඩුවී තිබුණු නිසා ආහාර ආනයනය කර ගැනීමට වැඩි මිලක් ගෙවීමට මුදල් තිබුණේද නැත. එම දුෂ්කර අවස්ථාවේදී ඇස්. ඩී. චිනයේ සංචාරය කිරීම මෙරට ජනතාවගේ භාග්‍යයක් වූවේය. එහිදී ඇති වූ සාකච්ඡා මගින් ලංකාවේ රබර් වැඩි මිලට චීනයට ලබාගෙන චීන සහල් අඩු මිලට ලංකාවට සැපයීමට චීනය එකඟ වීම සිදු විය. එදා මෙදා තුර ක්‍රියාත්මක වන චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම ඇතිවීම එහි ප්‍රතිඵලය විය. එම ගිවිසුමේ පිළිබඳ පුරෝගාමියා ලෙස ඉතිහාසයට එක්ව සිටින්නේ ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාය. 


චීන රජයේ ආරාධනයෙන් දහ අට වතාවක් එරට සංචාරය කර  ඇති ඇස්. ඩී. චීන මහා රාජ්‍යයේ අවංක හා ස්ථීරසාර මිතුරෙකු වූවේය. එය කෙතරම් ශක්තිමත් වූවේද යත් ඔහුගේ අභාවයෙන් පසු චීන ජනතාව ඔහුගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් තනා ඉඹුල්ගොඩ මංසන්ධියේ ස්ථාපිත කිරීමෙන් ගෞරව දක්වන ලදී. 


එමෙන්ම කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සමග තානාපති සම්බන්ධතා ඇති කර ගැනීමේ පුරෝගාදී මෙහෙවර ඉටු කළේද ඇස්. ඩී. බණ්ඩාරනායකගේ බව දන්නේ ටික දෙනෙකි. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ නියමය පරිදි කොරියාවට ගොස් කිම් ඉල් සුං ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළේ ඇස්. ඩී ය. ජාත්‍යන්තර දේශපාලන කරළියේ ප්‍රතාපවත් නායකයන් වූ ජෝසප් ස්ටාලින්, මා ඕ සේතුං, සුබාස් චන්ද්‍රබෝස් වැනි අය සමග කිට්ටු සබඳතා පැවැත්වීමේ භාග්‍ය ඔහුට හිමිවිය. එමෙන්ම ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයේ නායකයා වූ බි්‍රතාන්‍යයේ ඇමබෙරි සාමිවරයාද ඔහුගේ කිට්ටු මිතුරෙක් වූ බව මම දනිමි. 


වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශප්‍රේමියෙකු අධිරාජ්‍ය විරෝධියෙකු මෙන්ම පරිසර හිතකාමියෙකුද වූ ඇස්.බී. බණ්ඩාරනායක මහතා සිය ජීවිතයේ අවසාන භාගයේදී මට බරපතල වගකීමක් පැවරුවේය. එතුමාට අවශ්‍ය වූවේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට අප යටත්ව සිටි අවධියේ උඩරට මධ්‍යම කඳුකරයේ වැසි වනාන්තර කපා දමා තේ වගාව ඇති කිරීමෙන් වනාන්තර අහිමිවීම එහි ජීවත් වූ සත්ව ප්‍රජාව විනාශ කිරීම පස සෝදා පාළුවීම, ගංගා ඇළ දොළ රොන් මඩවලින් අපවිත්‍ර වීම තේ වගාවට රසායනික ද්‍රව්‍ය භාවිතය පුරුදු කිරීමෙන් පාරිසරික හානි ආදියට වන්දි වශයෙන් බි්‍රතාන්‍යයේ එවකට පැවති ටෝනි බ්ලෙයාර් රජයෙන් රුපියල් කෝටි දෙදහස් පන්සියක අලාභයක් ඉල්ලා නඩු පවරන ලෙසය. ඉහළම පෙළේ ජනාධිපති නීතිඥවරයෙකු වෙත යොමු කිරීමටද එතුමා කටයුතු කළේය. එම උගත් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතාගේ මතය වූවේ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ජාලයට අනුව මෙවැනි නඩුවක් සංකේතාත්මකව හෝ පැවරීමට නීතිමය ප්‍රතිපාදන නැති බවයි. එහෙත් ඇස්.ඩී. මෙම තර්කය පිළිගැනීමට මැළිවිය. ඒ ඇස්. ඩී. ගේ ස්වභාවය වේ. තමාටම අවසාන දෑත් දෙපා සහිතව දුර්වල පෙනුමෙන් යුත් ඇස් දෙකින් හා සිරුරින් යුතුව වුවත් තමාගේ අධිරාජ්‍ය විරෝධි දේශප්‍රේමි අදහස්වලින් රටට සේවය කිරීමට කැපවී කටයුතු කළේ ඒ අයුරිනි. 


ඇති නැති පරතරයෙන් තොර සාධාරණ හා සුදාන්ත සමාජයක් බිහි කරනු වස් මුළු ජීවිතයම කැප කළ අවංක නායකයාණෙනි එම අරමුණ ජයගන්නා තෙක් කෙරෙන නොනවතින අරගලයේදී අපි යළිත් හමුවෙමු.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි