1934 සිට කෑගල්ල දිසාව බිලිගත් රුදුරු මැලේරියා වංසගතයෙන් වටිනා ජිවිත දහස් ගණනක් මාරයාට බිලිවිය. දේශීය වෛද්‍යවරුන්, මානව දයාවෙන් පිරි සංවිධාන හා දේශපාලනාධිකාරිය යුද හමුදාව සමග කළ මෙහෙයුම නිසා අනෙකුත් පළාත්වලට පැතිරෙන්නට නොදී වළක්වා ගැනීමට හැකි විය. 


රෝගය වැළඳෙතැයි බිය නොවී දිවි පරදුවට තබා රෝගී ජනතාව අතර ගැවසෙමින් දුකට පිහිට වු වීරෝදාර ලංකා පුත්‍රයෝ රැසක් ද මැලේරියාවට ගොදුරු වී මිය ගියහ. 


ඒ අතරින් සුවිශේෂී චරිතයක් ලංකාගාන්ධි නමින් විරුදාවලි ලත් වැල්ලම්පිටියේ ජයරාම්දාස් ජයවර්ධන විද්වතා හඳුන්වා දිය හැකිය. මහැමැදුරක සුඛෝපභෝගී දිවියක් ගත කිරීමට වාසනාව තිබියදී මෙම ජාතික උවඳුරේදී උද්වේගකාරී හැඟීමෙන් යුතුව ඈත එපිට ගම්මාන වල සැරි සරමින් ජනතාවට බෙහෙත් හේත්, ආහාර පාන මෙන්ම ආධ්‍යාත්මක සුවය ද ළඟාකර දෙමින් ජීවිත ගලවා ගැනීමට මෙතුමා පෙරමුණ ගත්තේය. 


දේශපාලන ක්ෂේත්‍රයේ ලංකා ගාන්ධිගේ නම පිළිරැව් දෙන්නේ එස්. ඩබ්. ආර්. ඩී. බණඩාරනායක මැතිඳුන්ගේ ආධ්‍යාත්මික ගුරුවරයා ලෙසිනි. රදළ පෙළැන්තියේ උපත ලබා කිතුණු දහම අදහමින් බටහිර අධ්‍යාපනය ලබා ඉහළම විභාග සමත්ව තම පියාගේ නිල ගෞරවය රැකගත් තරුණ බණ්ඩාරනායක 1925 දී මව්බිමට පෙරළා පැමිණි විට ලැබුණේ විශාල පිළිගැනීමකි. එහෙත් එතෙර ගිය වලව් පැළැන්තියේ පුත්‍රයකු වූ අප තරුණයා තුළ බටහිර ගති පැවැතුම් නොව නිදහස් සටන්කාමී සිතුම් පැතුම් වර්ධනය වී තිබිණ. මෙරටට සැබෑ නිදහස දිනා ගැනීම පිළිබඳ නව දර්ශනයක් සිත තුළ මෝදු වෙමින් තිබිණ.  


1930 දී එක් සැන්ඳෑවක බණ්ඩාරනායක මැතිඳු එක්තරා කාර්යාලීය රැස්වීමකට සවන් දෙමින් සිටියේය. එහි ලේකම්වරයා දිගින් දිගමට දිග වාර්තාවක් කියවමින් කල් මැරීය. කෙතරම් කම්මැලිකමක් හිතට දැනුණා ද කිවහොත් බණ්ඩාරනායක මහතා හිටියේ දැඩි නොඉවසිල්ලෙනි. 


‘‘කතා කර කර ඉන්නවා ඇරෙන්න අපේ රටේ මිනිසුන්ට පළක් ඇති ව්‍යාපාරයක් නැද්ද?’’


බණ්ඩාරනායක මැතිඳුට සිතිණ. මේ මොහොතේ තමාගේ අවධානය ගැනීම පිණිස එක් අයෙක් අඳුරේ සිටගෙන සිටින බව ඔහුට පෙනිණ. එය හුරු පුදුරු මුහුණකි. එහෙත් ඔහු ඇඳ සිටියේ සුදු කදාර් රෙද්දක් හා දිගු බැනියමකි. ඔහු වැල්ලම්පිටියේ ජේ.ඇස්.පී. ජයවර්ධනය හෙවත් ජයරාම් දාස්ය. 


‘‘ජයරාම් දාස් මහත්තයා කොහොමද මෙහෙම වෙනස් වුණේ? කෝ කලිසම් කෝට්?’’ බණ්ඩාරනායක මැතිඳු ඔහුගෙන් ඇසීය. 


‘‘මාව වෙනස් කළේ ඉන්දියාවේ මහත්මා ගාන්ධි තුමා. එතුමා සතු චාම් භාවය නමැති ධර්මතාවය හා සත්‍ය බලය නිසා බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ආත්ම විශ්වාසයෙන් නැගි සිටීමට ඉන්දියාවේ ජනතාවට පුළුවන් වුණා. අපටත් එම ධර්මය ප්‍රයෝජනයට ගත හැකි වේවි.’’ 


ජයරාම් දාස්ගේ ජීවන රටාව වෙනස් වූයේ මහත්මා ගාන්ධි හඳුන්වා දුන් දහම නිසා බව බණ්ඩාරනායක තරුණයා තේරුම් ගත්තේය. බටහිර ඇඳුම් ආයිත්තම් ඉවතලා කපු කර්මාන්තය තුළින් චර්කයෙන් නිපදවා ගත් සුදු කදාර් රෙදි හැඳ ආත්ම විශ්වාසයෙන් නැගී සිටීමට ඉන්දියාවට එමගින් හැකිවිය. 


‘‘ඔබට කොහොමද මහත්මා ගාන්ධි හමුවුණේ.’’ ‘‘මට ඉන්දියාවේදී එතුමාගේ දේශනයන් අහන්න ලැබුණා. අදහන්නත් බැහැ මාව මෝහනය වුණා වගෙයි. 1935 මම එතුමාගේ සබාමත් ආශ්‍රමයට ගියේ සියලු සම්පත් අත්ඇරලයි. හය මාසෙකට පස්සේ මං ලංකාවට ආව ගමන්ම චර්කයෙන් මගේම ඇඳුම් මහගන්න පටන් ගත්තා. දැන් මම නිදහස් මිනිහෙක්.’’ 


‘නිදහස’ යන නම ඇසූ සැණින් බණ්ඩාරනායක තරුණයාගේ සිත පිබිදුණි. 


‘‘ආත්ම පාරිශුද්ධියෙන් හා ආත්ම පරිත්‍යාගයෙන් තොරව නිදහස් රාජ්‍යයක් දිනාගන්න බෑ.’’


ජයරාම් දාස්ගේ හඬ ඔහු තුළ දෝංකාර දුණි. මහත්මා ගාන්ධි වරක් කැනන් කැම්බල්ටද එසේ පවසා තිබිණි. එහෙත් සියලු සම්පත් අත්හැරීම බණ්ඩාරනායක තරුණයාට ප්‍රශ්නයක් විය. වරක් පේෂකර්මය විද්‍යාලයක් භාරව සිටීමට ජයරාම් දාස් මහතාගේ ආශ්‍රමයෙහි තරුණන් පුහුණු කෙරිණි. එක් තරුණයකු කම්මැළියෙකි. උසස් අධ්‍යාපනයක් නොලැබූ දුම්බීමට ඇබ්බැහි වූ ටුවිට් රෙදි හා සේද කමිසය. හැඳ සුළු දුරක් යාමටත් බයිසිකල් පැද්දා වු උඩඟු ගැමියෙකි. එහෙත් ඉතා අසීරුවෙන් ආශ්‍රමයෙහි විනයානුකූල කටුක ජීවිතයට පුරුදු කරනු ලැබිණ. 


එහි දින චරියාව මෙසේය. 


අලුයම 4.15 ට අවදි වී ‘ප්‍රාර්ථනාව’ හෙවත් දිවුරුම් දීම කළ යුතුය. අනතුරුව කෑම පිස ගැනීම, ඇඳුම් සේදීම, ආශ්‍රමය ඇමද පිරිසිදු කිරීම, ව්‍යායාම කිරීම, පාඩම් කිරීම, කපු නෙළීම, නූල් කැටීම ආදී වශයෙන් රෑ 9.00 ට නින්දට යන තුරු ස්වශක්තිය මත කටයුතු කිරීමය. මසකට පසු මෙම දඩබ්බර තරුණයාගේ ආධ්‍යාත්මික පෙරළිය දුටු බණ්ඩාරනායක තරුණයා පුදුම විය. ඔහු දකින විට ටුවිට් රෙද්ද හා සේද බැනියම ඉවත ලා ගොරෝසු කදාර් රෙද්ද බැනියම හැඳ අලස කමින් තොරව ඤාණවන්තව සිටියේය. 


මෙම තරුණයා සතු පාරම්පරික ඉඩකඩම් ඇතුළු බූදලය බෙදා ගැනීම පිළිබඳව ගම රටට පැමිණෙන ලෙස ඔහුගේ සහෝදරයා කළ ඇරැයුම ද ප්‍රතික්ෂේප කළ තරුණයා මෙසේ පවසා තිබිණ. 


‘‘මට දේපොළ කිසිවක් එපා. මම රටේ සේවය සඳහා කැප වෙලා ඉවරයි. ඒ දේපොළ නෑයන් අතරේ බෙදා ගන්න.’’ 


ජයරාම් දාස් ජයවර්ධන හෙවත් ලංකා ගාන්ධි ඇසුරෙන් ලැබු අත්දැකීම් ගණනාවක් බණ්ඩාරනායක මැතිඳුන් එකල ඩේලි නිවුස් හා සිළුමිණ පුවත්පත්වලට ලියා තිබිණ. දිගින් දිගටම පුවත්පත් ලේඛකයකු හා කතා රචකයකු ලෙස නමක් දිනා ගත් බණ්ඩාරනායක තරුණයාගේ ලිපි එකතුව 1933 මැයි 11 වැනි මුද්‍රණාද්වාරයෙන් පිට කෙරිණ. එහි නම ‘චර්කය හා ගොයම් කෙත’ යි. 


1928 දී ජයරාම් දාස් මහතා තම ප්‍රථම පේෂකර්ම මධ්‍යස්ථානය කිත්තම්පහුවේ ඇරඹීය. අනතරුව වැලිවිට, බෝමිරිය, බුත්ගමුව, බියන්විල, වීරඟුල, මාදැල්ගමුව, ඌරාපොළ, කොට්ටල, කලල්පිටිය, දොම්පේ හා දෙකටන අනු ආයතන ඇරඹූ අතර අම්බලන්ගොඩ කපු වගාවක් ඇති කළේය. 


‘‘මේ යන වේගයෙන්ම වී ගොවිතැනක් දියුණු කර රට ස්වයංපෝෂිත කළ යුතුයි.’’ බණ්ඩාරනායක තරුණයා රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනා කළේය. ජන ජීවිතය හා බුදුදහම අතර නිරන්තරයෙන් බැඳුණු සංස්කෘතිය වටහාගත් එතුමා කිතුනු දහම අත හැර බුදු දහම වැළඳ ගත්තේය. 


ජාත්‍යාලයෙන් මහත්මා ගාන්ධි හා සමතැන් ගත් වැල්ලම්පිටියේ ජයරාම් දාස් ජයවර්ධන ඇසුරට පත් බණ්ඩාරනායක මහතාගේ අාධ්‍යාත්මික පෙරළිය දුටු ධනවත් කුලවත් ඥාති මිත්‍රාදියෝ ද බෙහෙවින් විමතියට පත්වූහ. එතුමන්ගේ අනාගත දර්ශනය වටහා ගත් බණ්ඩාරනායක තරුණයා ද කලිසම් කෝට් ටොප් හැට් වල්ග කබා ආදී බටහිර අරුමෝසම් ඉවතලා සුදු රෙද්දත් සුදු බැනියමත් තම ඇඳුම කර ගත්තේය. සියල්ල අත් හැරීමේ උදාර කටයුත්ත ජාතිකාභිමානයෙන් උදම් වු එතුමා එසේ ඇරඹීය. 


එදා වැල්ලම්පිටියේ ජයරාම් දාස් ජයවර්ධන මහතාගේ ගෙවත්තෙහි මහා උළෙලකි. එහි විහේෂාංග අතර නූල් කැටීමේ තරගයක් විය. ඒ සඳහා ගම්බද තරුණ තරුණියෝ මෙන්ම ජාත්‍යාලයෙන් මත් වූ නාගරික තරුණ පිරිස්ද වූහ. මෙම උළෙලේ විශේෂාංග අතර බණ්ඩාරනායක තරුණයාගේ විදේශික ඇඳුම් පිළිස්සීම ද විය. 
බණ්ඩාරනායක චරිතාපදානය ලියූ දිවංගත පී.ආර්. වික්‍රමසිංහයෝ මෙසේ එය විස්තර කරති. 


‘‘වැල්ලම්පිටියේ උද්යෝග මන්දිරයේ ගෙවත්ත මනාව සකසා උළෙලකට උචිත පරිදි සරසා තිබිණ. සුදු කදාර් ඇඳුමෙන් සැරසුණු ජයරාම් දාස් මහතා භූමිය පුරා ඇවිදිමින් තරගයට සහභාගී වන්නන් හා නරඹන්නන් දිරිමත් කළේ සිනා මුසු මුහුණින් යුතුවය. 


විශේෂ හෝරාව එළැඹිණ. ලොකුමිල්ල අත්තක් කපා පොළොවේ සිටුවා තිබිණ, අලංකාර බටහිර ආඳුම් ආයිත්තම් එහි එල්ලා තිබිණ. සුදු කදාර් ඇඳුමින් සැරසී සිටි බණ්ඩාරනායක තරුණයා එම ඇඳුම් සියල්ලටම තම අතින් පැට්‍රෝල් වත්කර ගිනි දැල් වූයේ නරඹන්නන්ගේ විශ්මයත් අත්පොළසන් නදත් මධ්‍යයේය.’’

 

එතැන් පටන් සුළු වියදමකින් ඇඳුම් මසා ගත හැකි චර්කය සෑම නිවෙසකටම බෙදාහැරීම ඇරඹි අතර එය දුගී ජනතාවගේ ආර්ථික ශක්තිය ගොඩනැන්වීමට හැකි අතිරේක ආදායම් මාර්ගයක් විය.


බණ්ඩාරනායක තරුණයා දේශපාලනයට පිවිසියේද දේශීය රාජ්‍ය උත්සව සඳහා සහභාගි වූයේ ද රාජ්‍ය මන්ත්‍රණ සභාව හා පාර්ලිමේන්තුව නියෝජනය කළේ ද වෙන එකක් තබා සිරිමාවෝ රත්වත්තේ කුල කුමරිය සමග විවාපත් වූයේද, තම ආසනය වූ වේයන්ගොඩ තම ඉඩමක ඉදිකළ මෙවැනි පේෂකර්ම මධ්‍යස්ථානයක වියන ලද කදාර් ආරිය ඇඳුම හැඳගෙනය. චර්කය සහ ගොයම් කෙත නමැති මා හැඟි පූර්වාදර්ශී ග්‍රන්ථය බණ්ඩාරනායක නම් කතුවරයා අරඹන්නේ මහත්මා ගාන්ධි ගැන විවරණයක යෙදෙමිනි.
‘‘කිසිම තෙද බල ඇති රජකු කෙරෙහි පවා නොදක්වන අන්දමේ ගෞරවයකින් සකළ යුරෝපයම මෙම අර්ධ නිර්වස්ත්‍ර කුඩා මිනිසා පිළිගනී. සමාජයේ පහත් ගෝත්‍රිකයකු වැනි ඇඳුමකින් හා පෙනුමකින් යුතු මේ මිනිසා බටහිර ජාතීන් පවා පිළිගන්නේ රජකු ලෙසය. ඊට හේතුව ලෙස එතුමා පවසන්නේ චර්කයේ බලයයි.’’ 


ගාන්ධි දර්ශනය සිරිලකට හඳුන්වා දී 1956 යුග පෙරළියට දායක වු ජයරාම් දාස් හෙවත් ලංකා ගාන්ධි කපු වගාවෙන් ගත් නූල් වලින් කපු කැට එයින් ‘මරකනෝ’ නම් රෙදි වියන යන්ත්‍රය නිපදවා කදාර් වස්ත්‍ර සම්ප්‍රදාය හඳුන්වා දුන් පීතෘවරයාය. මාරාන්තික මැලේරියා රෝග සතුරා අප සතුව තිබූ සීමිත වෛද්‍ය සම්පත් උපයෝගී කරගෙන පරාජය කරනු ලැබුවේ ජයරාම් දාස් විද්වතාණන් අසරණ වූ ජනතාවට ලබාදුන් ආධ්‍යාත්මික ශක්තිය ද උපයෝගී කර ගනිමිනි. 


මෙම ආධ්‍යාත්මික ගුරුවරයාගේ හදිසි වියෝගය ආරංචි වූ එවකට වේයන්ගෙඩ මන්ත්‍රී ධුරය දැරූ බණ්ඩාරනායක මැතිඳුන් බලවත් සංවේගයට පත්විය. වැල්ලම්පිටියේ තමන්ට සුපුරුදු උද්‍යෝග මහ මැඳුරට පැමිණි එතුමා තම අධ්‍යාත්මයෙන් පැන නැගී සාතිශය ශෝකය පළකළහ. අද අධිරාජ්‍යවාදී ග්‍රහණය ද මැලේරියා උවඳුර ද මෙරටින් තුරන් වී ඇත. එහෙත් සුදු ආර්ය සිංහල ඇඳුම හා අත්යන්ත්‍ර පේශකර්ම මධ්‍යස්ථාන දකින වාරයක් පාසා ලංකා ගාන්ධි තවමත් මෙරටෙහි සැරිසරන බව දැනේ.

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය අන්තර්ජාලයෙනි