ක්‍රි.ව. 1215 දී සිදුවූ කාලිංග මාඝගේ බිහිසුණු ආක්‍රමණයෙන් පසු රජරට ශිෂ්ටාචාරයේ අවසානය සිදුවිය. මාඝ විසින් පොළොන්නරුවේ අවසාන පාලකයා වූ පරාක්‍රම පාණ්ඩ්‍ය (ක්‍රි.ව 1212-1215) ඇස් උගුලුවා මරා දමා මුළු රජරට ශිෂ්ටාචාරයම වැනසූ අන්දම මහාවංශය වාර්තා කරයි. මේ කාලිංග මාඝ මෙතෙක් ලංකාද්වීපය ආක්‍රමණය කළ වෙනත් ආක්‍රමණිකයන්ට වඩා බොහෝසෙයින් ප්‍රචණ්ඩ විය. ඔහු විසින් රජරට ශිෂ්ටාචාරයට කළ විනාශය සුළුපටු නොවීය.
මේ ආක්‍රමණය මෙහෙය වූ මාඝ කාලිංග දේශයෙන් පැමිණි බව කියැවෙයි. කාලිංගය යනු වර්තමාන ඉන්දියාවේ “ඔරිස්සා” ප්‍රදේශයයි. වංශකතාවල සඳහන් කරන අන්දමට මාඝ 24,000 ක තරම් විශාල සේනාවක් සහිතව ලංකාව ආක්‍රමණය කර ඇත. මොහු මෙහි පැමිණ ඇත්තේ කේරළ හමුදාවක ආධාර ඇතිවය. මේ ආක්‍රමණය නිසා සිදු වූ විනාශය මෙන්ම මෙම ආක්‍රමණය නිසා උද්ගත වූ තත්ත්වයන් ද එකිනෙක ගෙන විමසා බලනවිට කාලිංග මාඝගේ ආක්‍රමණයේ බිහිසුණු බව අපට පසක් වේ. එසේ බලන කල කාලිංග මාඝ යනු එදා මෙදා තුර ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ සාහසිකම ආක්‍රමණිකයා බව අවිවාදිතය.
 
වංශ කතාව සඳහන් කරන මාඝගේ ආක්‍රමණය මෙසේය. “මාඝ නරේන්ද්‍ර නමැති මහා ග්‍රීස්මය තෙම ලංකා රාජ්‍යය නමැති මහ වනය පෙළන්නට බොහෝ වූ යෝධ නමැති ළැව්ගිනි මෙහෙයීය. ඉක්බිති ලෝකයාට පීඩා කරන්නා වූ උහුගේ ක්‍රෑර වූ මහා යෝධයෝ “අපි කෝරළ යෝධයෝ වම්හයි” උන්නාද කෙරෙමින් තැනින් තැන මිනිසුන්ගේ වස්ත්‍රාභරණාදිය පැහැරගත්හ. බොහෝකල් පාලනය කරන ලද්දා වූ කුලාචාරය කඩ කළහ. හස්ත පාදාදිය කැපූහ. බොහෝ ගෙවල් බිඳවූහ. ගව මහේෂාදීන් තමන් අයත්කොට බැඳවූහ. මහා ධනවත් වූ ආඪ්‍ය ජනයන් බැඳ වදකොට සියලු බොහෝ වූ චෛත්‍යයන් වැනසූහ. විහාරයන්හි විසූහ. උපාසකයන් පහර පෙළීහ. දරුවන් තැලූහ. පස්සාදැමියන් පෙලූහ. ජනයන් ලවා බර ඉසිලවූහ. බොහෝ වූ කාර්ය කරවූහ. ඔවුන් ප්‍රසිද්ධ ප්‍රශස්ත වූ බොහෝ පොත් ලණුවෙන් මුදා ඒ ඒ තැන විසිර වූහ. ශ්‍රද්ධා ඇත්තා වූ පූර්ව නරේන්ද්‍ර යන්ගේ කීර්තිශරීර සමාන වූ රත්නාවලී ආදී වූ අස් මහත් චෛත්‍යයන් හෙලමින් වනසා ඒ චෛත්‍යන්ගේ ජීවිත සමාන වූ බොහෝ ශාරීරික ධාතූන් අතුරුදන් කළහ. අඳෝමය. 
 
මෙසේ දුෂ්ඨ අදහස් ඇත්තා වූ මාර යෝධයන් සමාන වූ දෙමළ යෝධයෝ ලොව දසස්න ද නැසූහ. ඉක්බිත්තෙන් පුලස්ති නම් පුරය සර්වප්‍රකාරයෙන් හාත්පසින් සිරකොට පැරකුම් පඬිරජු ගත්හ. ඉක්බිත්තෙන් ඒ නරේන්ද්‍රයන්ගේ ඇස් උපුටා මුතු වෙරළුමිණි ආදී වූ සියලු ධනය පැහැරගත්හ. ඉක්බිත්තෙන් ඒ කාලිංග මාඝ රජු මාණභාරණා දී වූ ඒ ප්‍රධාන යෝධයෝ ලංකා රාජ්‍යයෙහි අභිෂේක කළහ. එසේ ඒ නරේන්ද්‍රතෙම රට හස්තප්‍රාප්ත කොට ගෙන රාජාභිෂේකයට පැමිණ පොළොන්නරුවේ විසීය. ඒ මහීපාල තෙම මහජනයා මිසදිටු ගන්වා අමිශ්‍ර වූ සතර කුලයේ ජනයා අත්‍යාර්ථයෙන් මිශ්‍ර කළේය. සිංහලයන් අයත් වූ ග්‍රාමකේෂත්‍ර ගෘහාරාම දාස ගව මහීෂාදී සියල්ල කේරළයන්ට දෙවීය. විහාරයන් හා පිරිවෙන්ද බොහෝ දේවාලයන්ද කිසියම් යෝධ කෙනෙකුන්ගේ වාසස්ථාන පිණිස නියමකළේය. හේතෙමේ බුදුන් අයත්වූද එසේම දහම්, සඟ අයත් වූද ධනය හැරගෙන නරකයට යනු පිණිස බොහෝ පව් ඉපිද වූයේය. මාඝ නම් මහීපති තෙම මේ පරිද්දෙන් බලාත්කාර (ක්‍රියාකොට) එක් විසි වසක් ලක්දිව රජ කරවී. මෙසේ ලංකාද්වීපයේ ඒ ඒ නරේන්ද්‍රයෝ මහත් වූ ධන ලෝභයෙන් ඒ ඒ රජුන් මරා තුමන් මේ කර්මයෙන් ආයු නැතිව රාජ්‍යයට පැමිණත් එය බෝකල් අනුබව කරන්නට නොහැකි වූහ.
 
(මහාවංශය අසූ වැනි පරිච්ඡේදය)
 
මේ ඉහත දැක් වූ කරුණු අනුව කාලිංග මාඝගේ ආක්‍රමණයේ ඇති බිහිසුණු බව පසක්වනු ඇත. එහි ඇති කරුණු එකින් එක විශ්ලේෂණය කිරීම මෙම ලිපියේ අරමුණ නොවෙතත් මෙහිදී අපේ අවධානයට ලක්විය යුතු අංශ කිහිපයක් ඇත. ඒ කරුණු මෙසේය 
 
01. මාඝගේ බෞද්ධ විරෝධී ව්‍යාපාරය
02. රජරට ප්‍රභූ ජනයා පීඩාවට පත්කිරීම
03. පාරම්පරික තුලාචාර ධර්මයන් බිඳීම
04. බලහත්කාරයෙන් අන්‍ය ආගමට හැරවීම
 
මාඝ හා ඔහුගේ හමුදා විසින් බෞද්ධ සිද්ධස්ථාන විනාශ කළා පමණක් නොව භික්ෂූ සංඝයා ශාරීරික වධහිංසාවලට ද ලක්කළේය. පීඩාවට පත් වූ මහ සංඝයා රැකවරණ පතා මායා රටටත්, රුහුණු රටට හා මලය රටට ගියහ. ඔවුන්ගෙන් සමහරෙක් දකුණු ඉන්දියාවේ චෝල පාණ්ඩ්‍ය රාජ්‍යවලට ගොස් ආරක්ෂාව ලැබූහ. මේ නිසා මාඝගේ ආක්‍රමණයෙන් පසු රජරට බුද්ධ ශාසනයේ විශාල පසුබෑමක් සිදු වූ බව පෙනේ. එසේම මාඝ විසින් වෙහෙර විහාර ඔවුන්ගේ හමුදාවේ හමුදා කඳවුරු බවට පත්කළ බව පෙනේ.
 
රජරට ප්‍රභූ ජනයා පෙලූ බවද ඉහත සඳහන් කළ මහාවංශ පාඨයෙන් පෙනේ. රජරට ප්‍රභූ ජනතාව මාඝගේ ආක්‍රමණය නිසා විශාල වශයෙන් පීඩාවට පත් වී ඇත. ප්‍රභූ ජනතාව සතු සම්පත් පැහැරගෙන ඔවුන් දිළින්දන් බවට පත්කර තිබේ. ප්‍රභූ ජනයා වනාහි රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරු දැරූ රාජරාජ මහා මාත්‍යාදීන්ය. ඔවුන් සතුව විශාල ධනයක් තිබෙන්නට ඇත. මාඝ එම ධනය සිය රට යවා ඇත.
 
මෙහිදී මාඝ විසින් සාමාන්‍ය ජනයා ද විවිධ ශාරීරික වධ බන්ධනයන්ට පමුණුවා ඇත. එසේම ඔහු සිදුකළාය කියන ළමුන්ට තැළීම වැනි කෲර ක්‍රියා කිසිසේත් සම්මත යුද ආචාරධර්මයන්ට අයත් නොවේ. ඔහු උපාසකයන් පෙළමින් ජනතාව ලවා බර අද්දවමින් මින් පෙර හෝ පසු කිසිදු ආක්‍රමණිකයෙක් නොහැසිරුණ ලෙස උමතුවෙන් මෙන් හැසිරී ඇත.
 
මාඝ විසින් සිදුකළාය කියන අපගේ අවධානයට පාත්‍ර විය යුතු ඊළඟ බරපතළ කාර්ය වන්නේ පාරම්පරික කුලාචාර බිඳීම හා තත්කාලීන සමාජ ව්‍යූහයේ කුල පදනම අවුල් කිරීමට කටයුතු කිරීමයි. මෙම තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට දීර්ඝකාලීන අනර්ථයක් සිදු වූ බව විද්වත් මතයයි. පසුකාලීන ලංකා දේශපාලනයේ රාජ්‍යත්වය අරභයා ඇති වූ ගැටුම්වල දී මාඝ විසින් සිදුකළ මෙම විනාශයේ බරපතළකම අවබෝධ වේ.
 
තවද මාඝ විසින් ජනතාව බලහත්කාරයෙන් අන්‍ය ආගම්වලට හැරවීමට ද කටයුතු කර ඇත. ඒ තත්ත්වය ද මෙහිදී අපගේ අවධානයට ලක්විය යුතුය. මෙතෙක් ලංකාව ආක්‍රමණය කළ කිසිම ආක්‍රමණිකයෙක් ලංකාවේ ජනතාව බලෙන් වෙනත් ආගම්වලට හරවා නැත. මෙයින් පෙනීයන්නේ කාලිංග මාඝ අන්‍ය ආගම් නොඇදහූ දැඩි ආගම් අන්තවාදියෙක් බවය. ඔහුගේ ඒ ආගම් අන්තවාදය හමුවේ ලංකාවේ ජනතාව දැඩි උපද්‍රවයකට ලක්වූ බව පෙනේ.
 
ඉහත දැක්වූ කරුණු අනුව පසක්වන්නේ වර්ෂ 1215 සිදු වූ කාලිංග මාඝගේ ආක්‍රමණය ලංකා ඉතිහාසයේ ඉතා බිහිසුණු, එමෙන්ම අනර්ථකාරී ප්‍රතිඵල රැසක් ජනිතකළ සිදුවීමක් බවයි.
 
 
 
 
 
 
හර්ෂ රංගන පෙරේරා