දිවංගත ටී. බී. ඉලංගරත්න මහතා 1960-64 අතර පැවැති ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවේ වෙළෙඳ ඇමැති ධුරයට පත්වෙද්දී මෙරට කරවල වෙළෙඳාම පැවතුණේ කොළඹ පිටකොටුවේ විජාතික වෙළෙඳුන් කිහිපදෙනෙකු අතය. ඉන්දියාව ඇතුළු විදෙස් රටවලින් ආනයනය කරන ලද ඉතා බාල වර්ගයේ කරවල ඔවුන් තොග වශයෙන් මෙරට සිල්ලර වෙළෙඳුන්ට අලෙවි කළ අතර එමගින් දෙවැදෑරුම් හානියක් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සිදුවී තිබුණේය.


ඒ අතරින් එක් හානියක් වූයේ ඉතා සුළු මුදලකට ආනයනය කළ බාල වර්ගයේ කරවල ඔවුන්ගේ පරිභෝජනයට ලැබීමය. අනෙක් හානිය නම් ඒ සඳහා නොසෑහෙන මුදලක් අතරමැදියන්ට ගෙවීමට සිදුවීමය. 


“මේ වැඬේට ඉඩදෙන්න බෑ” යි සිතූ ඉලංගරත්න ඇමැතිතුමා ඒ සඳහා නව සැලැස්මක් ක්‍රියාත්මක කරමින් එතෙක් පෞද්ගලික වෙළෙඳුන් කීපදෙනෙකු අත තිබූ කරවල වෙළෙඳාම පිළිබඳ ඒකාධිකාරය බිඳ දමා එම සියලු බලතල සමුපකාර තොග වෙළඳ සංස්ථාවට පවරා දුන්නේය. ඒ අනුව වෙනදාට වඩා අඩු මුදලකට හොඳ වර්ගයේ කරවල කෑල්ලක් කෑමේ ඉඩ ප්‍රස්ථාව දේශීය පාරිභෝගිකයන්ට හිමිවිය. 


ඉලංගරත්න ඇමැතිවරයාගේ එම නව ක්‍රියා කලාපය නොරිස්සූ විදේශික කරවල වෙළෙඳුන් ඊට විරෝධය පළකරමින් එකල පැවැති දිනමිණ ලංකාදීප සහ දවස පුවත්පත්වල හිමිකරුවන්ගේ මාර්ගයෙන් ඇමැතිවරයාට නොයෙක් නම් පටබඳිමින් උපහාස අපහාස කිරීම එහි ඊළඟ ප්‍රතිඵලය විය. 


මෙන්න මේ කාලයේදී තමයි සමහර පත්තර ඉලංගරත්න ඇමැතිතුමාට කරවල කුමාරයා කියලා නමක් පටබැන්දේ. ඇත්තටම ඒ වැඩපිළිවෙළ පිටිපස්සේ හිටියේ පිටකොටුවේ විජාතික වෙළෙන්දෝ...


පසු කාලෙයකදී කඩුවෙල නගරාධිතිවරයාව පත් වූ ජී. එච්. බුද්ධදාස හෙවත් බුද්දේ එසේ කියන්නේ සිනාසෙමිනි. එකල ඔහු ස.තො.ස. ආයතනයේ අයකැමියෙකු ලෙස සේවය කළේය. ඔහුට ඒ පිළිබඳ සුවිශේෂ මතකයක් තිබෙන්නේ එකල බම්බලපිටියේ පිහිටි ස.තො.ස. ට අයත් කරවල ගබඩාවක සේවය කළ බැවිනි. 


මම ඒ දවස්වල බොහොම ජැන්ඩියට හිටියා. උදේට ඒ විදියට ජැන්ඩියට ඇඳ පැලඳ ගෙන කොණ්ඩෙට බිල්ක්‍රීම් ගාගෙන බම්ප් එක තියලා වැඩට ගියාට හවසට එනකොට මුළු ඇඟම කරවල ගඳයි. ඇයි ඉතින් උදේ ඉඳල හවස් වෙනකං ඉන්නේ කරවල ගොඬේනේ. සමහරු මට බස් එකේ ළඟින් වාඩිවුනාමත් මූණ පුළුටු කරගෙන ගස්සලා අහක බලාගන්නවා. තරුණ ගෑනු ළමයි තමයි විශේෂයෙන්ම එහෙම කෙරුවේ...යි කියන බුද්දේ වැඩිදුරටත් සඳහන් කරන්නේ මුලින් තරමක අපහසුතාවක් දැනුනද පසුව එය උපේක්ෂාවෙන් විඳදරා ගැනීමට පුරුදු වූ බවය. 


බුද්දෙ මේ කාලයේ කොළඹ මහ රෝහලේ සේවය කළ හෙදියක වූ කරුණා සමග පෙම් පළහිලව්වක් ඇති කරගෙන පේම ගඟේ කිමිදෙමින් සිටියේය. එහෙයින් ඔහු බොහෝවිට පුරුදු වී සිටියේ රැකියාව නිමකර ආපසු නවාතැනට පැමිණි වහාම නා කියා පිරිසිදුවී අලුත් ඇඳුමක් හැඳ සුවඳ විලවුන්වලින් නාගෙන බොරැල්ලේ පිහිටි හෙදි නේවාසිකාගාරයට ගොස් සෑහෙන වේලාවක් ඇය හා පෙම්බස් දෙඩීමටය. ඒ අනුව ඇයද බොහෝ දිනවල සවස්වරුවේ බුද්දේ තමන් හමුවීමට පැමිණෙන තුරු හෙදි නේවාසිකාගාරයේ සඳළුතලයට වී මගබලාගෙන සිටියාය. 


මේ අතර දිනක් සවස්වරුවේ බම්බලපිටිය ස.තො.ස. කරවල ගබඩාවේ අධික සෙනඟ තදබදයක් පැවතීම නිසා බුද්දෙට තම සේවා ස්ථානයෙන් බැහැර යාමට සිදුවූයේ වෙනදාට වඩා පැය භාගයකට පසුවය. 


දැන් ඉතින් බෝඩිමට ගිහින් නාල අලුත් ඇඳුම් ඇඳගෙන යන්න වෙලාවක් නෑ. ඔන්න ඔහේ මම මේ විදියටම යනවා..යි සිතූ බුද්දේ චොක්ලට් පෙත්තක් ද රැගෙන තම පෙම්වතිය හමුවීමට හෙදි නේවාසිකාගාරය වෙත ගියේය. 


දුර තියාම ඔහු එන අයුරු දුටු කරුණා සුපුරුදු පරිදි ඔවුන් මූණගැසී කතාබස් කරන විවේකාගාරය වෙත දුවගියාය. වෙනදා මෙන් බුද්දේ අසලට පැමිණ යාබද අසුනේ හිඳගත් ඇය එසැණින් නැගී සිටියේ තම නාස්පුඩු දෑතින්ම වසාගනිමිනි. 


“චිකේ යියා මොකද අනේ අද ඔයාගේ ළඟ මේ හැටි කරවල ගඳ? මේ පැත්තම ගඳ ගහනවා. ඉක්මනට යන්න අනේ. දැන් මගේ යාළුවොත් මග එනව ඇති වස ලැජ්ජායි මට... යි කී ඇය දුවගොස් තම කාමරයට වැදී සැඟවුණොය. 


කරුණා ආපසු තමන් වෙත පැමිණෙනු ඇතැයි පැය භාගයකටත් වැඩි කාලයක් බලා සිටි බුද්දේ පුංචි බොරැල්ලේ සිට පයින්ම පංචිකාවත්තේ පිහිටි තම නවාතැනට ගොස් තිබුණේ අතරමග තිබූ හොර පොළකින් ගත් අඩියකින් ද සප්පායම් වෙමිනි. ඒ හිතේ ඇතිවූ ලැජ්ජාව වැඩිකමටය. 


කෙසේ වෙතත් ඉන්පසු කොතරම් ප්‍රමාද වුවද ඔහු කරුණා හමුවීමට ඇගේ හෙදි නේවාසිකාගාරය වෙත ගියේ නවාතැනට පැමිණ නාගෙන පිරිසුදු වීමෙන් පසුවය. මීට අඩ සියවසරකට ආසන්න කාලයකදී මුහුණ පෑ එම සිද්ධිය මතක් වන විට එදා දැනුණු කරවල ගඳ අදටත් තම සිතට දැනෙන බව හෙතෙම පවසයි.

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප : ශාන්ත රත්නායක