ඉරණමට හිස නමා පක්ෂ නායකත්වය අත්හළ රාහුල් ගාන්ධිගේ පුරාවත

04 වැනි කොටස

 

 

බිහාරය, උත්තර ප්‍රදේශය, කර්ණාටක ආදී ප්‍රාන්තවල සාගතයෙන් මියැදුණු දරුවන්ගේ මළ සිරුරු ඔසවාගත් මිනිස්සු උද්ඝෝෂණවල යෙදුනහ. රටපුරා නොයෙකුත් විරෝධතා පෙළපාළි, සත්‍යග්‍රහ මෙන්ම වැඩ වර්ජනද කොතෙකුත් සිදු විය. බොර දියේ මාළු බෑමට සමත් දේශපාලකයෝද මේ අවස්ථාවේදී කලඑළි බැස්සහ. මොරාජි දේශායි නායකත්වය දුන් කොන්ග්‍රස් ප්‍රතිවාදී කණ්ඩායම ඉන්දිරාට එරෙහිව පෙරමුණේම සිටියහ. 


ශ්‍රී නේරුගේ සමකාලීන ජ්‍යෙෂ්ඨයන් වූ සී. රාජගෝපාලාචාරි රාම් මනෝහාර් ලෝනියා වැනි නායකයෝද සටනට එක්වූහ. රටේ ශක්තිය ඉන්දිරා විරෝධී හඬක් ඔස්සේ ඒකරාශී වෙමින් පවතිද්දී අගමැතිනිය ඉතා වැරදි පියවරක් ගනිමින් සමස්ත ඉන්දියාව පුරා හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කර රජයට විරුද්ධව සටන් කරන බලවේගවල ප්‍රධාන ක්‍රියාකාරීන් සැම දෙනාම අත්අඩංගුවට ගනු ලැබුවාය. මෙසේ මර්දනකාරිව ගත් පියවරයන් රටේ මහත් ආන්දෝලනයකට හේතු වූ අතර කුසගින්නට එරෙහි සටනේ නියුතුවූවන් සිරභාරයට ගැනීම සහ ඔවුන්ට අඩන්තේට්ටම් කිරීම බහුතර ජනතාවගේ විරෝධයට හේතු විය. 


මේ අවධිය වන විට ඉන්දිරා තවත් ගැටලුවකට මුහුණදෙමින් සිටියාය. ඒ විශ්වාසවන්ත සමීපතමයින්ගේ අඩුවයි. කොන්ග්‍රස් පක්ෂයේ නායකයෝ විශාල පිරිසක් ඇය හැරගොස් සිටියහ. 


ඉන්දිරාගේ වැඩිමහල් පුතු රජිව් මේ වන විට ගුවන් නියමුවකු වශයෙන් රැකියාව කරමින් විදේශගතව සිටි අතර බාලපුත් සංජේ සිටියේ ඇය ඇසුරේය. ක්‍රමයෙන් දේශපාලන කටයුතුවලටද ඔහුගේ මැදිහත්වීම සිදුවූවේ අහම්බෙන් මෙනි. කාර්යබහුල අගමැතිනිය සෙවණේ සිටින පුත්‍රයා එම ක්‍ෂේත්‍රයට සම්බන්ධවීම කිසි අයුරකින් අස්වාභාවික නොවේ. සංජේගේ සමීප මිතුරෝද ඉබේටම මෙන් රාජ්‍ය කටයුතුවලට අත පෙවීම් ඇරඹූහ. මේ පසුබිම දුටු අගමැති මෑණියෝ පුත්‍ර ස්නේහය නිසාම හෝ අනුප්‍රාප්තිකයා වශයෙන් තම පුත්‍රයා පුහුණු කිරීමට හෝ යන දෙකෙන් කුමන හේතුවක් නිසා මෙම සිදුවීම් දෙස උපේක්ෂාවෙන් බැලුවා විනා මෙහි බරපතළකම පහදා දුන්නේ නැත. 
දේශපාලන බිමේ පරිණත බවක් නොමැතිව තරුණ ජවයෙන් මත්ව සිදු කරන මැදිහත්වීම ගැන බොහෝ ඇමතිවරුන් පවා සිටියේ නොසතුටිනි. ඔවුහු සමහරක් දෙනා අගමැතිනිය ගැනද කලකිරුණහ. හදිසි නීතිය පනවා සාගින්නට එරෙහිව සටන් වැදුණු අය මර්දනය කරන්නේ සංජේගේ හා ගෝලයන්ගේ උවමනාව මතයයි විරුද්ධවාදීහු බලවත් ප්‍රචාරයක් ගෙන ගියහ. මෙම යුගයේ කොන්ග්‍රස් පක්ෂයේ ඡන්ද සලකුණ වූයේ එළදෙන සහ වසුපැටියා ය. හින්දු ජන සමාජයේ ශුද්ධවූ වස්තුවක් ලෙස පූජනීයත්වයට පත්ව සිටින ගවයා ඡන්ද ලකුණ ලෙස තෝරාගැනීම වාසි සහගත වේ යැයි පැරණි නායකයන්ට වැටහී තිබුණා වන්නට පුළුවන. ඉන්දිරා විරෝධී සටනේ ප්‍රමුඛ සටන් පාඨයක් බවට පත්වූවේ එළදෙන සහ පැටියා නෙරපා හරිමු යන්නය. 


එයින් අදහස් කෙරුණේ ඉන්දිරා සහ පුත්‍රයා වූ සංජේ ගාන්ධි ඉන්දීය දේශපාලන කරළියෙන් පන්නා දැමිය යුතු බවයි. සංජේගේ මූලිකත්වය යටතේ එකල විශාල ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබුණි. එනම් ජනගහනය පාලනය පිණිස උපත් පාලන වැඩ පිළිවෙළක් සහ මුඩුක්කු සංහාරයයි. මේ ව්‍යායාමයන් දෙකම මහජන අප්‍රසාදයට ලක්වීම සඳහා ප්‍රචාරක උපක්‍රම යෙදීමට ප්‍රතිවාදීහු සමත් වූහ. 


මොරාජි දේශායිගේ නායකත්වයෙන් යුතු කොන්ග්‍රස් පැරණි කණ්ඩායම මහත්මා ගාන්ධි සාතනය කිරීමට තරම් අන්තවාදී ආර්. ඇස්. එස්. හෙවත් රාෂ්ටී්‍රය ස්වයං සේවක් සංගමය හා එහි දේශපාලන අංශය නියෝජනය කළ අතල් බිහාරි වජ්පායිගේ නායකත්වයෙන් යුතු ජාන් සාගේ පක්‍ෂය ජෝර්ජ් පර්ඩිනැන්ඩස්ගේ ප්‍රජා සෝෂලිස්ට් පක්ෂය, ඉන්දිරා රජයේ ප්‍රබල ඇමතිවරයෙකුව සිටි වී. පී. සිංගේ කණ්ඩායම හර්යානා මහ ඇමති සහ ප්‍රබලයෙකු වූ දේව්ලාල්ගේ පක්ෂය ඉන්දිරාගේ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ එවකට හරිජන නායකයා වූ ජග්ජීවන් රාම් ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදී කොන්ග්‍රස් පක්ෂය ආදී ඉන්දිරා විරෝධී සියලු බලවේග ඒකරාශී වී සන්ධානයක් ගොඩනංවා ගන්නා ලදී. එහි නාමය භාරතීය ජනතා පක්ෂය නම් වූ අතර එහි නායකයා වූවේ මොරාජි දේශායි මහතාය. ජායිපූර් මහා රානිගේ නායකත්වයෙන් පැවති ස්වතන්ත්‍ර පක්ෂයද මෙම සන්ධානයේ තවත් හවුල්කරුවෙකු විය. 


ඉන්දියාවේ ප්‍රබල කොමියුනිස්ට් පක්ෂ දෙක මෙම සන්ධානයට එක් නොවූ අතර ඉන්දිරාට පක්ෂ වූවේද නැත. කෙසේ වුවත් අන්තිමේදී 1977 මාර්තු මස ඉන්දියානු මැතිවරණය පැවැත්වෙන විට අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ පාර්ශ්වය බලවත් අසීරුවකට පත්ව තිබුණි. මැතිවරණයේදී ඉන්දියාවේ බහුතර ප්‍රාන්ත ගණනක දී ඉන්දිරාගේ කොන්ග්‍රස් පක්ෂය බලවත් පරාජයකට පත්විය. උත්තර ප්‍රදේශ්හි රායි බෙරෙල්ලි ආසනයට තරග කළ ඉන්දිරා ගාන්ධි සිය ප්‍රතිවාදියාවූ රාජ් නාරේන් නම්වූ ප්‍රාදේශීය දේශපාලනඥයාට පරාජය වූවේ වැඩි ඡන්ද ලක්ෂයකිනි. ලක්නව් හි අමෙති අසුනට තරග වැදුණු අගමැතිනි පුත් සංජේ ගාන්ධි පරාජයට පත්වූවේ වැඩි ඡන්ද එක්ලක්ෂ විසිපන් දහසකිනි. 


ඇමතිවරුන් බුරුතු පිටින් ඇදවැටුණි. මොරාජි දේශායි අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. පැවති රජයේ දූෂණ සෙවීම නව රජයේ මූලික අරමුණ විය. අහසට පොළොව මෙන් ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබුණත් හුදු ඉන්දිරා විරෝධය පමණක් මුල් කරගෙන ගොඩ නැගුණු භාරතීය ජනතා පක්ෂය නමැති කළු සුදු සන්ධානය ආරම්භක දිනයේ සිටම මතභේදවලින් ගහන වූවේය.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි