ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට හා දේශීය රදල වාදයට එරෙහිව බලවත් සටනක නියැළුණේ ජාතික නිදහස දිනාගෙන කම්කරු අයිතීන් දිනාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.


එහෙත් අධිරාජ්‍යවාදයට ගැති දේශීය ධනපති දේශපාලනඥයන් මෙන්ම නිර්ධන පන්තියේ හා මධ්‍යම පන්තියේ ඇතැම් වාමාංශික අදහස් දැරූ බලවේග ද ඔවුන් දෙස බැලුවේ තමන්ට අභියෝග කිරීමට බිහිවූ තුන්වැනි සතුරෙකු ලෙසිනි.


1933 දී සූරියමල් ව්‍යාපාරය ද 1935 දී ලංකා සමසමාජ පක්ෂය ද 1940 දී කොළඹ කම්කරු සමාජය හා සමාජවාදී එක්සත් පක්ෂය ද බිහිවූ අතර අධිරාජ්‍ය විරෝධී සටනේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව ඇතිවූ මත ගැටුමක් නිසා එම පක්ෂයෙන් ඉවත් කරනු ලැබූ පිරිසක් විසින් 1943 ජූලි මස 03 වැනිදා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගන්නා ලදී.


මෙම පිරිසට දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, එම්. ජී. මෙන්ඩිස්, ඩබ්. ආරියරත්න, ඒ. ගුණසේකර හා ඒ. රාමනාදන් ඇතුළත් වූහ. මෙම පක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරමින් 49 වසරක් ද සමගි ආණ්ඩු 03ක් යටතේ 24 වසරක් ද දේශපාලනයට සහභාගි විය.


මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්නයන්ගේ සටහන් අනුව ජනතා විමුක්ති පෙරමුණ දලුලා එන සමයේ ක්‍රියාකාරී බලවේග අතර කොමියුනිස්ට් පක්ෂය ඉහළ තැනක විය. 1964 දී එහි නිල පුවත්පත වන ‘ඇත්ත’ බිහිවිණ.


1979 නොවැම්බර් මස 09 වැනිදා ඇත්ත පුවත්පත පෙරළිකාර ශීර්ෂ පාඨයක් යොදමින් “තරුණයන් බිලිගන්න සී.අයි.ඒ. කෙමනක්” යනුවෙන් ජවිපෙ පිළිබඳ රහස් තොරතුරු හෙළි කළේය. ඉන් කියැවුණේ තරුණයන් 125ක් දින 05ක් තිස්සේ තණමල්විල කැලයේ රඳවා දේශන පවත්වමින් සටන් පුහුණුව දෙන බවකි.


දිනෙන් දිනම කොමියුනිස්ට් පක්ෂය හා ඇත්ත පුවත්පත කෙරෙහි ජවිපෙ වෛරය උත්සන්නවූ අතර 1987 දී හා 1988 දී එම පක්ෂ මූලස්ථානවලට මෙන්ම ඇත්ත පුවත්පත් කාර්යාලයට පහර දී බෝම්බ ගසා ගිනි තබන ලදී. ජවිපෙ විසින් ඇත්ත පත්‍රය මෙන්ම ලේක්හවුස් පත්‍ර ද තහනම් කෙරිණ. 1988 පළාත් සභා මැතිවරණයේ දී එක්සත් සමාජවාදී පෙරමුණින් පළාත් සභා මන්ත්‍රීවරු 139ක් තේරී පත්වූ අතර එයට කොමියුනිස්ට් පක්ෂ මන්ත්‍රීවරු ද අයත් වූහ.


කොමියුනිස්ට් පක්ෂය 1988/89 යුගයේ දී මුහුණදුන් භීෂණයේ දී 43 දෙනෙකු ඝාතනය කෙරිණ. ඒ අය එම පක්ෂයේ දේශපාලන බලමණ්ඩලය නියෝජනය කළහ. ඒ අතරින් රත්ගම විසූ ඇල්. ඩබ්ලිව්. පණ්ඩිත වනාහි වෘත්තිය සමිති ව්‍යාපාරයේ පතාක යෝධයෙකි. ඔහු සමවන්නේ බාලාතම්පෝ, පියදාස ආදිපොළ, ඩී. ජී. විලියම්, ජැක් පෙරේරා සහ ඒ. ඊ. ගුණසිංහ වැනි කම්කරු නායකයන් සමගිනි.


කල්ලි හා පක්ෂවලට බෙදී නොසිට අධිරාජ්‍යවාදී පුළුල් ප්‍රගතිශීලී පෙරමුණක් සඳහා ඒකරාශී විය යුතු බව දක්වමින් ඔහු කොමියුනිස්ට් පක්ෂයට එක්විය. පැය අටේ වැඩ දිනය, සේවක අර්ථසාධක අරමුදල, ස්ත්‍රී පුරුෂ සම වැඩ අයිතිය ලබාදීම වැනි සමාජවාදී යෝජනා සඳහා එල්. ඩබ්. පණ්ඩිත ක්‍රියාකාරීව සහය දුන්නේය. වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් තනතුරු දරමින් එමෙන්ම කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී ධුරය උසුලමින් කටයුතු කළ පණ්ඩිතයන් 1983 දී කළු ජූලිය සමයේ එජාප ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගනු ලැබ සිරගත කෙරුණි. 1986 මාර්තු 25 වැනිදා වෘත්තීය සංගම් 22ක් එක්වූ ජාතික සමුළුවට එල්ලවූ ජවිපෙ ප්‍රහාර නිසා පීඩනයට ලක්වූ ඔහු 1988 ජූනි 26 වැනිදා රාත්‍රී දෙමටගොඩ දී පිහියෙන් ඇන මරා දමන ලදී.


එල්. ඩබ්. පණ්ඩිත වනාහි දේශන, වැඩමුළු විදේශ සංචාර හෝ දේශපාලනඥයන්ගේ හිතවත්කම්වලට සීමා වූ කම්කරු නායකයකු නොව පොදු ජනතාව අතර සිටම දුක් වේදනා දරමින් ඉල්ලීම් දිනාගන්නා තුරු සටන් බිම අත්නොහළ කම්කරු නායකයෙකි.


වැඩ කරන ජනතාවගේ සුබසෙත වෙනුවෙන් ඇපකැපවීම හා නිසි මගපෙන්වීම කම්කරු නායකයාගේ යුතුකම හා වගකීම විය යුතුයි. ඔවුන්ට දුන් පොරොන්දුවලට සැමවිටම ගරු කළ යුතුයි. ධනවාදීන්ගේ බලයට වචනයට හා වරප්‍රසාදවලට කම්කරු අයිතිය පාවා නොදෙන ආත්ම ගරුත්වයක් ඇත්තෙකු විය යුතුයි.


එල්. ඩබ්. පණ්ඩිත නිතරම පැවසූ වදන් පෙළකි ඒ. ඔහු මාසයකට දින 03 ක් වත් දිවා ආහාරය නොගන්නා අතර දවල් කෑමට ගන්නේ බනිස් ගෙඩියක් හා ප්ලේන්ටියක් බවත් ඒ අතරම කම්කරු ව්‍යාපාරය සමග ඔහු බැඳී සිටි අතර නිහඬ මිනිසෙකු බව පවුලේ අය කියයි.


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමිති නායකයන් අතර එම්. ජී. මෙන්ඩිස් යන නාමය සදාකල් නොමැකී පවතින්නේ ඔහුගේ ස්ථිරසාර දර්ශනය කැපවීම හා අධිෂ්ඨානය තුළින් කම්කරු පන්තියේ ජයග්‍රහණ සඳහා හේතු පාදක විණ.


එම්. ජී. මෙන්ඩිස් තම සටන් සගයා වන එල්. ඩබ්. පණ්ඩිත වැනි පතාක යෝධයන් සමග එක්වී වෘත්තීය ක්‍රියාමාර්ගවල යෙදුණු අතර එහි ප්‍රතිඵලය වූයේ බරපතළ ලෙස තාඩන පීඩනයට ලක්වී සිරබත් කෑමට සිදුවීමයි.


ධනවාදී පාලකයන් විසින් නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය රටේ පැතිරවීමට කළ උත්සාහයන් පරාජය වූවේ එම්. ජී. හා පණ්ඩිත වැනි කම්කරු නියමුවන් නිසා බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර පවසයි. අද සිටින කම්කරු නායකයන්ට මෙම දෙදෙනාගේ කම්කරු සටන් ව්‍යාපාරය පූර්වාදර්ශයයි.


එම්. ජී. මෙන්ඩිස් හා ඇල්. ඩබ්ලිව්. පණ්ඩිත සමරා මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වූ සමරු උළෙලක දී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා එදා යුගය අද යුගයට ගළපා අපූරු කතාවක් කළ අයුරු අපට මතකය.


“එදා ජේ. ආර්. ටත් මෙදා රනිල් වික්‍රමසිංහටත් නව ලිබරල්වාදය සහමුලින්ම මෙරටේ ස්ථාපිත කිරීමට බැරිවුණා. මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්කළෙත් ඒ සඳහායි. රජයේ බැංකුවල තිබූ මුදල් පෞද්ගලික අංශයට ගත්තෙත් ඒකයි. ඒත් ධනවාදී දේශපාලන නායකයන්ට එය කරගන්න බැරිවුණේ එම්. ජී. මැන්ඩිස් හා ඇල්. ඩබ්ලිව්. පණ්ඩිතලා ඊට එරෙහිව නැගී සිට දුන් පන්නරය නිසයි.”


1956 සේවක අර්ථසාධක අරමුදල ලබාගැනීමට මාස 03ක් කම්කරු සටන් මෙහෙයවූ කම්කරු නායකයෝ එය දිනා ගත් අතර අද වන විට අරමුදලේ බිලියන 2000 කට වඩා විශාල මුදලක් ඇත්තේය. මෙම මුදල තමන් අතට ගැනීමට පාලක පන්තිය ගත් උත්සාහයන් සාර්ථක වූයේ නැත. 1980 සිට එම සටන අතට ගත් මෙම නායකයන් දෙපොළ ආත්ම පරිත්‍යාගය නිසා අද ද එම මුදල සුරැකී පවතී.


පේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩාරයන් පැවසුවේ සංවිධිත කම්කරු ව්‍යාපාරයක් හා ඒකායන අරමුණක් වෙනුවෙන් වැඩකරන ජනතාව මෙහෙය වූ මෙවැනි නායකයන් දෙදෙනකු සොයාගැනීම පවා අසීරු බවකි. අරගලය මැදදී මුදල් වරදාන හා තානාන්තර සඳහා සටන පාවාදී නතරවන නායකයන් එදා මෙන්ම අද ද ඇතත් තම ජීවිතය බිලිගන්නා තුරුම පරාර්ථය සඳහා කැපවූ මෙවන් කම්කරු නායකයන් දුර්ලභ බව ඔහුගේ අදහස විය.


එල්. ඩබ්ලිව්. පණ්ඩිතයන් සමග 88 - 89 භීෂණ සමයේ දී ඝාතකයන් විසින් මරණයට පත්වූ පිරිස 43කි. ඔවුන් අතර හබරාදූවේ ජෝර්ජ් රත්නායක, පොලොන්නරුවේ ගාමිණි මැදගෙදර, වීරකැටියේ නීතිඥ ජේ. එම්. දේශප්‍රිය බණ්ඩාර, හක්මන ගාමිණි රණවීර, මහරගම හෙන්රි පමුණුව, අකුරැස්සේ කේ. ඒ. ඩී. සද්ධාතිස්ස, හබරකඩ ජේ. ඊ. ගුණසේකර ආදීහු වූහ.


ඒ නාමයන් ද ශ්‍රී ලංකා කම්කරු සටන් ඉතිහාසයේ රන් අකුරින් සටහන් වනු ඇත.

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි