මෙම සටහනේ මූලික සිද්ධාන්තය ඉදිරියට තබා මෙරට සිව්වරක් අගමැති පදවිය ලබා සිංහලේ ජාතික මහා සැණකෙළිය පෙනි පෙනී, රටක පවතින සියලුම භේද විරහිතව දුක්වූ ලක්‍ෂ සංඛ්‍යාත කෘතවේදී ජනතාවට සදා ඉකිගැසීමක් ඉතුරු කර 1973 අප්‍රේල් මස 13 වැනි දින සදහටම දෙනෙත් පියාගත් ඩඞ්ලි සේනානායක නම්වූ මානව හිතවාදියාගේ පැහැබර ජීවිතයේ සුවිශේෂි අවස්ථා කිහිපයක් මෙසේ දිග හැරෙන්නේ වත්මනට පිවිසි නවකයන්ට ආදර්ශයක් ගත හැකිය යන අධිෂ්ඨානයෙනි.


ඉංග්‍රීසි අධිරාජ්‍යයට අවනතව, රාජ්‍යකරණයෙහිලා ඉංග්‍රීසි පැලැන්තියටම හැඩගැසුණු තම පියාණන්වූ අගමැති මහාමාන්‍ය ඩී. එස්. සේනානායක අනුගමනය නොකළ ඩඞ්ලි පාර්ලිමේන්තු පනතක් සම්බන්ධයෙන් පැවැති විවාදයේදී ඊට ප්‍රතිපක්‍ෂව අදහස් දැක්වීමෙන් අනතුරුව ඇමැති හා මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් පියාට යැවීමට තරම් එඩිතර සිතක් ඩඞ්ලිට පහළ වූයේ, තම සිතැඟි පරිදි කටයුතු කිරීම තමා පියා ඉක්මවා යෑමේ හිතුවක්කාර ක්‍රියාවකැයි ඔහු කල්පනා කළ හැකි බවට උපකල්පනය කිරීමෙනි.
පදවි පට්ටම්වලට වඩා ප්‍රජාතන්ත්‍රවාදීව, සිතීමේ නිදහස සිතට එකඟව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, එම අදහස් අනුව ක්‍රියාත්මක විමේ නිදහස ඔහු අවංක ජීවිතයක අවශ්‍යයෙන්ම තිබිය යුතු මහඟු ගුණාංගයක් ලෙසට සැලකීය.


ආවාට ගියාට කතාකිරීමක් හෝ කේවට්ට කතා විලාසයක් නොපෙන්වූ ඔහු තම මතය අනුන් විසින් පිළිගත යුතු යයි නිගමනය නොකළ අතර ප්‍රස්තුත කාරණයට අදාළව සාරවත්ව කතාව පෝෂණය කරන අවස්ථාවක අනවශ්‍ය  බාධාකිරීම් හෝ කෑකෝ ගැසීම් කිසිසේත් අනුමත නොකළේය. වරක් තම කතාව අතරවාරයේ එක් මන්ත්‍රීවරයෙක් එවන් හැසිරීමක යෙදුණු අවස්ථාවක නොයිවසිලිමත්වූ ඩඞ්ලි ඔහු වෙත කඩාපැන්නේ තමාට තමාවම පාලනය කර ගැනීමට නොහැකි තරමේ චිත්ත ව්‍යාකුලත්වයක් එහිදී ඇතිවූ බැවිනි. ඔහු කිසිම අවස්ථාවක අනෙකෙකුගේ කතාවට බාධා නොකිරීමත් ඊට පාදක වූවා වන්නට පුළුවන. 


ඔහු ඉතා සංවේදී පුද්ගලයෙකි. නොරිස්සුම් වූ විටෙක. කෝප ගතියක් ඉස්මතු වුවද ඔහු අනෙකෙකුගේ වේදනාව තමාගේ වේදනාවක් ලෙසට සැලකූවෙකි. අගමැති වශයෙන් පාර්ලිමේන්තුවට යන අතර වාරයක, ගැබ්බරින් යුතුව රෝහල කරා යෑමට වාහනයක් එනතුරු පාර අයිනට වී සැමියා සමග බලා සිටි කාන්තාවක්, තම වාහනයේ නංවාගෙන රෝහලට ඇරලවා යෑමට තරම් උණුවෙන හදවතකින් ඔහු පිරී සිටියේය.


තවත් වරෙක තම රියැදුරු එනතුරු මග බලමින් සිටි ඩඞ්ලි, පාර්ලිමේන්තුවට සහභාගි විය යුතු කාල හෝරාව ළංවීමෙන්, දෙවරක් නොසිතා තමාම මෝටර් රථය පදවාගෙන ගිය නමුත්, පසුව බියෙන් මෙන් පැමිණි  රියැදුරුගෙන් පමාවට කරුණු විමසා නොසිටීමට වග බලා ගත්තේය.


නවසිය හැත්තෑ ගණන්වලදී විපක්‍ෂ නායකව සිටින අතරතුර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂ දේශනයකට ඇරැයුම් ලද ඩඞ්ලි නොරිස්සූ කවදත් කොළපාටට විරුද්ධ, රතු පක්‍ෂයක ශිෂ්‍ය පිරිසක් විසින් පන්දුවක් දෙපැත්තේ සිට හුවමාරු කර ගන්නා නියායෙන් ඩඞ්ලිව එහාට මෙහාට තල්ලු කළේ, ඉතා පහත් පෙළේ නිහීන වින්දනයක් ලබමින් වුවද ඔහු එය ඉවසුවා මිස ඔවුන් පිළිබඳව උප කුලපති දැනුම්වත් කිරීමකට හෝ පියවර නොගත්තේය.


එසේම තමාට විරුද්ධව පක්‍ෂ නායකත්වය සඳහා උසාවි යෑමට අර ඇඳි උප නායක ජේ. ආර්. ජයවර්ධනගේ කූට ප්‍රයන්නයෙන් පක්‍ෂයට වන බලවත් හානිය ගැන සලකා, පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක කම ඔහුට පිරිනමා ඩඞ්ලි තම පදවිය පරිත්‍යාග කළේය.


1964 දී ලේක්හවුස් පත්‍ර රජයට පවරා ගැනීමේ පනතට පැවැති  ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය දී, සිරිමා රජයෙන් ඉවත්වූ සී. පී. ද සිල්වාට කෘතගුණ සැලකීමක් වශයෙන් 1965 මහා මැතිවරණයෙන් බලයට පත් ඩඞ්ලි, එහි අගමැතිකමට සී. පී. ද සිල්වාට ආරාධනය කළේ පදවි තානාත්තරවලට වඩා කෘතගුණ සැලකීමේ ඇති වැදගත්කම ලොවට පෙන්වමිනි. 


කිරිවෙහෙරේ කොත පැලඳවීමේ නැකත පිළිබඳව මතිමතාන්තරයත් සමාජගත වී එය නැවත වෙනත් දිනයක ඉතා සුබ නැකතකින් සිදුකිරීමට කැමැත්ත දෙන ලෙසට ගිහි පැවිදි - උගතුන් කොතරම් කියා පෑවත් තම ආගම කෙරෙහි පවත්නා දැඩි භක්තිය කෙරෙහි විශ්වාසය තැබූ ඩඞ්ලි, තමා සිදුකළ පුණ්‍යකර්මය අලුත් කර පෙන්වීමට පෙළඹුණේ නැත.
“නවසිය පනස් දෙකේ දෙවැනි වරටත් අගමැති පදවිය ලත් ඩඞ්ලි, මහ රැජිනගේ මෞලි මංගල්‍යය අරබයා පිදෙන බි්‍රතාන්‍ය රජයේ නම්බු නාමයකින් පුදන්නට සැරසුනත්, එය ඉතා ස්තූති පූර්වකව ප්‍රතික්ෂේප කළේ තම රටට, ජාතියට සේවය කිරීමෙන් ලබන නම්බුව ඊට වඩා වැඩි වටිනාකමක් ඇති බව ලොවටම ඇසෙන්නට හඬගා කියන්නට මෙනි.
ඩඞ්ලිගේ මෙවන් යහගුණ රාශියකින් මේ පිටුවක් දෙකක් පමණක් නමුත් විශේෂයෙන් තරුණ ජීවිත පිළිබඳව අනාගතය දකින අනාවැකියකින් කළ ප්‍රකාශය අද දිනෙන් දින දකින්නට ඇති ප්‍රතිවිපාක වලින් ස්ථුට වන අන්දම ඇස් පනාපිට පෙනෙන ආකාරය ලිපියේ මාතෘකාවට අදාළ පහළ සටහනෙන් මොනවට පැහැදිලි වේ.


1965 ඩඞ්ලි සේනානායක රජය පිහිටුවීමෙන් ඉක්බිති, වසරකට නොවැඩි කාලයකින් ඔහුට පුරුදු පැරණි බඬේ ලෙඬේ වධ දෙන්නට වූ තැනේදී උප නායක ජේ. ආර්. ජයවර්ධනට අගමැති පදවියේ වැඩ බැලීමට භාරදී එංගලන්තයේ රෝහලකට ඇතුළුවූයේ ඉක්මන් සුවය අපේක්ෂාවෙනි.


මෙම කාලය වන විට ආසියාකරයේද රූපවාහිනී විද්‍යුත් මාධ්‍යය පැතිරෙමින් එහි පණිවුඩය මෙරටට ද ලැබී තිබුණි.


මෙය පළමු වරට ජර්මනියෙන් පිදෙන තිළිණයක් බවට නම් වී අගමැති ධුරයේ වැඩ බලමින් සිටි ජේ. ආර්. ගේ අතට පත්කරනු ලැබීය. තව තාක්ෂණය, නවීනත්වයට ගැළපෙන අලුත් පරපුරක්, වෙනස් පාලන ක්‍රමයක්, පිළිබඳව අනාගත සිහින මවමින් සිටි ජේ. ආර්. ට එම අවස්ථාව සපුරා ගැනීමට මෙයද එක් සාර්ථක මාධ්‍යයක් බවට සිතා දෙරට අතර සකස් කරගත් ගිවිසුම එළිදැක්කත්, වැඩබලන අගමැතිවරයෙකුගේ අත්සන වලංගු නොවන හෙයින් අදාළ පිටපත රැගෙන ඔහු එංගලන්තයේ ප්‍රතිකාර ලබන අගමැති ඩඞ්ලි සේනානායක හමුවී ඔහුගේ අත්සන සඳහා එය ඉදිරිපත් කළේ බලාපොරොත්තු සහිතවය.


ඔහු සාදරයෙන් පිළිගත් ඩඞ්ලි තම සුඛෝපභෝගි කුටියේ සවිකර තිබූ රූපවාහිනිය ක්‍රියාත්මක කර එහි නටන රූ, ජේ. ආර්. ගේ සිතට ඇතුළු කිරීමට පියවර ගත්තේය.


සුදු කෙල්ලන්ගේ අඩ නිරුවත් රූ, එහි රඟ දැක්වුණේ හිමාල අඩවියේ තව්සන්ගේ දැහැන් බිඳලන නාරිලතා පුෂ්පියන් සුළඟට රඟ දෙන්නාක් මෙනි.


අනතුරුව අගමැති ඩඞ්ලි සේනානායක ගිවිසුම් පිටපත අසල මේසය මත රුවා ජේ. ආර්. ඇමැතීය.


“ඩිකී ඔබ හදන්නේ අපේ රටේ තරුණ පරම්පරාව මේ වගේ ජරාවන්ගෙන් පිස්සු වට්ටවා මුළු ජාතියම විනාශ කිරීමේ පාපයට මාව ගොදුරු කරන්නද? ඔබ බුද්ධිමත් නායකයෙක්. ළඟ නෙවෙයි දුර බලන්න. මට මේ දරුණු පාපයට හවුල් වන්න අගමැති හැටියට නම් කොහොමවත්ම බැහැ.’


අගමැති ඩඞ්ලිගේ ස්ථීර හඬ පැහැදිලිවම කාමරය පුරා දෝංකාර දෙන්නට විය.


රූපවාහිනී නාළිකා බොහොමයකින් අද රටට සිදුවන්නේ යහපතක්ද? අයහපතක්ද? තේරුම් ගැනීමට රටේ පවුල් වලින් සියයට අනූවකටත් වඩා රූපවාහිනී යන්ත්‍ර ඇති ජනතාවට අමුතුවෙන් පෙන්වා දිය යුත්තක්ද?


එහෙත් සංස්කෘතික අමාත්‍යාංශයත් සංස්කෘතික ඇමැතිවරයෙක් සියයට ආසන්න ඇමැතිවරුන් අතර යහතින් වැජඹෙමින් වැඩ සිටින්නේ ඇහැත්, කනත්, කටත් අගුල් දාගෙන වීම රටත් ජාතියත් ලැබූ මහත්ම අවාසනාවකි.

 

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි