1989 සිට 1994 දක්වා පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් පත්ව සිටියේ දොස්තර පී. එම්. බී. සිරිල්, ආනන්ද කුලරත්න, ජී. තිස්ස කුට්ටිආරච්චි, හැරී අබේදීර හා ෂාම් මහරුප් යන මන්ත්‍රීවරුන් 5 දෙනාය. මෙයට අමතර හිටපු ඇමැතිවරයකු වූ දොස්තර රංජිත් අතපත්තු මහතා ද 1989 සිට 1990 දක්වා නියෝජනය කළ අතර දේශපාලනයෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලා අස්වීමෙන් පසුව ඒ වෙනුවට ෂාම් මහරුප් මහතා පත්විය. මේ අතර ඉතිරි මන්ත්‍රීධුර 2 සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තේරී පත් වූයේ වර්තමාන අග්‍රාමාත්‍ය හා හිටපු ජනාධිපතිවරයකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා හා හිටපු කතානායකවරයෙකු වූ වර්තමාන අමාත්‍යවරයෙකු වන චමල් රාජපක්ෂ මහතාය.


මෙසේ එජාපයෙන් පස් දෙනෙකුගෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දෙදෙනෙකුගෙන්ද සමන්විත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිසිදු අසමගියකින් තොරව ක්‍රියා කළහ. දේශපාලන ක්‍ෂේත්‍රයේ සිදුවන සිදුවීම් දෙස බලන විට බොහෝ විට දක්නට ලැබෙන ලක්‍ෂණයක් නම් පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ අසමගිකම් විරුද්ධවාදීකම් හා නොයෙක් විධියේ පළිගැනීම් හා ගැටුම් සහගත තත්ත්වයන්ය. ආණ්ඩු පක්ෂයේ අය විරුද්ධ පක්ෂයේ අයගෙන් පළිගැනීමට නොයෙක් තාඩන පීඩන හා හිරිහැර සිදුකිරීම එහි ලක්‍ෂණයන් වන්නේය. 1989 සිට පටන්ගත් සමානුපාතික ඡන්ද ක්‍රමය තුළින් ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය අතර ගැටුම් පමණක් නොව එකම පක්‍ෂය තුළ කණ්ඩායම් අතරද ගැටුම් මතුවිය. එකම පක්‍ෂයේ වුවද මනාප ලබාගැනීමේ තරගය නිසා එකිනෙකා අතර නිරතුරුවම ගැටුම් ඇති විය. 1989 සිට මේ දක්වාම එම ස්වභාවය දක්නට ලැබේ. ඡන්ද දායකයාට සේවය කිරීම කෙසේ වෙතත් දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නෑර ජනතාව හමු වී කෙසේ හෝ එනම් එක්කෝ තමන්ගේ කථා කිරීමේ හැකියාව තුළින් නැතිනම් වියදම් කිරීමේ හැකියාව තුළින් එසේත් නැත්නම් සංග්‍රහ කිරීමේ ප්‍රබලතාව තුළින් ඡන්ද සොයා ගැනීමට මෙම ක්‍රමය තුළ වාතාවරණය සැලසී තිබේ. දේශපාලනය තුළින් සදාචාරය වෙනුවට දුරාචාරය හා අපචාරය ඉස්මතු වීමක් මේ තුළින් පෙන්නුම් වේ. එසේ වුවද මා මෙහි සඳහන් කළ පරිදි 1989 - 1994 අතර කාල පරිච්ඡේදයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන් එවැනි ආරවුල් සහගත තත්ත්වයක් ඇතිකර නොගත්තේ ඔවුන් අතර අන්‍යොන්‍ය අවබෝධයක් හා විශ්වාසයක් ඇති ව තිබූ නිසාය. එක්සත් ජාතික පක්‍ෂයෙන් ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ දොස්තර රංජිත් අතපත්තු, දොස්තර සිරිල් වැනි පළපුරුදු දේශපාලනඥයින් හා මහින්ද රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ වැනි පළපුරුදු හා දේශපාලනමය පවුල්වලින් හා රුහුණේ ජනතාව තුළ ගෞරවයට පාත්‍ර වූ දේශපාලනඥයින් එකට ක්‍රියා කිරීම තුළ එබඳු ගැටුම් සහගත තත්ත්වයන් ඉතාම අවම වූ බව සඳහන් කළ යුතුව තිබේ. බොහෝ විට සහජීවන දේශපාලනයක් දක්නට ලැබුණු අතර එම කාල පරිච්ඡේදය තුළ මවිසින් එවකට විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාද සම්බන්ධ කරගෙන දෙදෙනාගේ ම විමධ්‍යගත ප්‍රතිපාදන යොදවා තිස්සමහාරාම ආසනයේ බෝගහපැලැස්ස කතරගම විදුලි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම එයට හොඳම නිදසුනකි. අද වුවද කතරගම බලා ගමන් කරන ඕනෑම අයෙකුට බෝගහපැලැස්ස මහ මග අයිනේ ඇති මුල්ගල දෙස බැලුවහොත් එහි සඳහන්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මාත් එකතුව එම විදුලි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ බවය.

 

 


එබඳු උදාහරණ කිහිපයක්ම ගෙනහැර දැක්විය හැකි අතර බොහෝ උත්සවවලට ආණ්ඩු පක්‍ෂයේ හා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් එකට සහභාගි වීම කැපී පෙනෙන සේ දක්නට ලැබුණි.


මේ අතර ආණ්ඩු පක්‍ෂය විපක්‍ෂය වශයෙන් වෙනම සලකන්නේ නොමැතිව අප දෙගොල්ලම වරින් වර මුණගැසීම සුහදව හමුවීම හා කථා කිරීම නිරතුරුව වාගේ දක්නට තිබුණි. මේ අතර සමහර දිනවල මහින්ද රාජපක්ෂ මහතාත් මාත් අතරමගදී හමුවූ විට දේශපාලන භේද අමතක කර සුහදව සහෝදරත්වයෙන් කථා කිරීමේ ස්වභාවයක් ඇති වී තිබුණි. බොහෝ විට එතුමාත් මාත් අතරමගදී හමුවූ විට දෙදෙනාම වාහන නවතා පාර අයිනට වී තොරතුරු කථා බහ කරමින් ටික වේලාවක් ගතකොට නැවත ගමන යාම පුරුද්දක් කරගෙන සිටියෙමු. එසේ හමු වූ විට ආගිය තොරතුරු විස්තර කථා කරන ගමන් දේශපාලන තොරතුරු කථා කිරීමටද අමතක නොකළෙමු. මහින්ද රාජපක්‍ෂ මහතා පුරුදු සිනහවක් ළෙන්ගතුකමක් පෙන්නුම් කරමින් ‘මල්ලි කොහොමද තොරතුරු?’ යැයි ඇමතීම සාමාන්‍ය පුරුද්දක් විය.

 

 


එහිදී බොහෝ අවස්ථාවලදී එතුමා මා හට කීවේ “මල්ලි ඇවිදින පළාත්වලදී මං ගැන කියන්න. මමත් ඔයා ගැන මම යන පැතිවලදී කියන්නම්’ යනුවෙන් එතුමා බොහෝ විට මට හමුවන තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේ දී මා බෙලිඅත්ත පැත්තටත් ඔහු තිස්සමහාරාම පැත්තටත් ගමන් කිරීම සිරිතක් විය. 


මා තිස්සමහාරාම ප්‍රදේශය නියෝජනය කළත් එම ප්‍රදේශය නියෝජනය කළත් එම ප්‍රදේශයට අමතරව තවත් ප්‍රදේශවල ජනතාව සමග සමීප වීම සඳහා බෙලිඅත්ත මුල්ගිරිගල වැනි ප්‍රදේශවල උත්සවවලට වැඩියෙන් සහභාගි වූ අතර එතුමා තංගල්ලේ හා වීරකැටිය මැදමුලන නිවසේ සිට එම ප්‍රදේශවලට අමතරව ජනතා ප්‍රශ්න සොයා බැලීමට තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර පළාත්වල යෑම පුරුද්දක් කරගෙන සිටියේය. දේශපාලනයේ දී අප එසේ ප්‍රකාශ කළත් ඡන්දදායකයා තීරණ ගනු ලබන්නේ තම තමන්ට සමීප හා තම තමන් පිළිගන්නා ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ මතයි. 


එසේ වුවද දේශපාලනඥයින් වශයෙන් අපගේ සමගිය හා සහෝදරත්වයට බුද්ධිමත් ඡන්ද දායකයා එකල ගරු කරන්නට ඇත.


වර්තමානයේ දේශපාලනය තුළ දක්නට ලැබෙන ලක්ෂණයන් අනුව තම පක්‍ෂයේ අයත් ප්‍රතිපක්ෂයේ අයත් අතරමගදී හෝ හමු වී සුහදත්වය මනුෂ්‍යත්වය සහෝදරත්වය පෙන්නුම් කරන්නේ නම් එය කෙතරම් අගනේද?