නන්දසේන සූරියාරච්චි ලියූ ඇන්. ඇම්. කෘතියෙනි


ජපන්නු කොළඹට බෝම්බ දැමූහ. හදිසි නීතිය, ඇඳිරි නීතිය හැර රජයට වෙනත් ආකාරයක ක්‍රම සංවිධානයක් කළ නොහැකි විය. කොළොම්පුර ජනතාව බඩුමුට්ටු පොදි ගසමින් තම ගම් දනව් කරා පිවිසෙන්නට පටන් ගත්හ.


මහ රෑ බෝගම්බරින් පැන ආ රැවුල් වවාගත් පුද්ගලයන් හතරදෙනෙකු රැගත් රිය කොළඹ නගරය දෙසට පැමිණියේ රියෙහි ලාම්පු නිවාගෙනය. මුළු දිවයින පුරාම පහන් දැල්වීම තහනම් කර තිබූ නිසා එවැන්නක් සිදුවිය. හමුදා නිල ඇඳුමින් සැරසී තේජාන්විතව එන රොබට් ගුණවර්ධන ගැන ආරක්ෂකයන් කිසිවකු තුළ සැකයක් නොවීය. අතරමඟදී හමුවන ඇතැම් සොල්දාදුවෝ මෙන්ම පොලිස් නිලධාරීහූද මේ එන්නේ කවුරුන්ද යන්න නොදැන සැලියුට් ගසා ආචාර කිරීමට  පවා ඉදිරිපත් වූහ. පිටුපසින් පැමිණි මෝටර් රථ දෙකේද වූයේ හමුදා නිලධාරියාගේ ආරක්ෂකයන් විය යුතු යැයි එදා හතර පහ පාස් කර නැතිව පොලිසියට බඳවාගෙන සිටි පොලිස් නිලධාරීහු සිතුහ.


මහනුවර - කොළඹ මාර්ගයෙන් කොළඹ නගරයට ඇතුළු වීමට තිබූ එකම මාර්ගය වූයේ වික්ටෝරියා පාලම පසු කිරීමෙන් පමණි. රොබට් ඇතුළු පිරිස පැමිණි වාහන තුන වික්ටෝරියා පාලම අසල දී පොලිස් භටයින් විසින් නතර කරනු ලැබීය. කාරයේ දොර හැර එය හඬනගා වසා දැමූ රොබට් දෙස පොලිස්කාරයෝ බලා සිටියහ.
“මොකද තමුසෙලා බලාගෙන ඉන්නේ?”


“සර් දන්නේ නැද්ද මේ පාලමට අද ඩයිනමයිට් හයි කරලා විනාශ කරන්න හදනවා. ඒකයි මුර කරන්නේ. තවම සෝදිසි ඉවර නෑ. තව පැය දෙකක් විතර සර්ලට ඉන්න වේවි”
“තමුසෙලා දන්නවා තමුසෙලගේ රාජකාරිය, අපිට කොළඹ සෝදිසි කරන්න තියෙනවා. මෙතැන රස්තියාදු වෙන්න වෙලාවක් නෑ”


“එහෙනම් සර්ලා ඉක්මනට මෙතැනින් යන්න. අපි අපේ රාජකාරිය කරන්නම්”


රොබට් ගුණවර්ධන එදා ඒ කළ රඟපෑම නොවන්නට හිරගෙදරින් පැන ආ පිලිප්, ඇන්. ඇම්., කොල්වින්, සමරක්කොඩි යන සම සමාජ නායකයන් මෙන්ම රොබට් ගුණවර්ධන ඇතුළු සම සමාජ මහ මොළකාරයන් නිසැකවම නීතියේ රැහැනට හසුවනු නොඅනුමානය.


සිර ගෙදරින් පැන ආ මොහොතේ සිට කිසිදු වචනයක් පිට නොකළ හිරකාරයෝ මහ හඬින් සිනාසෙන්නට වූහ.


“මට නම් හොඳටම බඩගිනියි. මේ සොලමන් හරියට ඊයේ හවසට කෑමක්වත් දුන්නේ නැහැනේ”


ඉදිරිපස අසුනෙහි සිටි ජේලර් සොලමන්ට සිනා පහළ විය. “මම ඊයේ දවසටම මොකුත් කෑවේ නෑ. අන්න මගේ ජේලර් සූට් එකත් හිරගෙදර කාමරේ එල්ලලයි ආවේ”
“ඇන්. ඇම්. මම එකක් කියන්නම්. ඉස්සරවෙලාම හිරබාරෙට අහු වුණේ කියව කියව ඉන්න පොත් තෝරන්න ගිහින්. ඊළඟට අපි පණ ගැහි ගැහි ඉන්දෙද්දි සත දහයක්වත් වටින්නේ නැති ලී සෙරෙප්පු කට්ට කෑලි දෙක අරගෙන එන්න ආපහු හිරගෙදරට දිව්වා. මම කියනකම් කිසිම කෑමක් දෙන්නෙ නෑ. තේරුණා ද?”


රොබට්ගේ හඬ තියුණු විය. මෝටර් රථයේ සිටි සියලු දෙනාටම දැනෙන පරිදි ඇන්. ඇම්. ඈනුම් දෙක තුනක් හැරියේ තමන්ට කියන්නට වෙන දෙයක් නොතිබුණු බැවිනි.
කෙළින්ම මේ පිරිස ගියේ නාවල පිහිටි ඇලන් මැන්ඩිස්ගේ නිවසටය. හිරු උදාවන්නට ඔන්න මෙන්න කියා තිබිය දී පැමිණි පිරිස පිළිගන්නට කිහිපදෙනෙක් පැමිණ සිටියහ. උදේ ආහාරයට කැකුළු බත්, කිරිහොද්ද සහ ලුණු මිරිස් ද, පාන්, බටර්, ජෑම් ආදි කෑම වර්ගවලින් ද මේසය පිරී තිබිණි.


සිරගෙදරින් පැන ආ තම නායකයන් ගැන ඇසූ සම සමාජ පාක්ෂිකයෝ දැඩි සතුටට පත් වූහ. ඔවුන් නිහඬවම තම ජාතිය වෙනුවෙන් කිසියම් ඉදිරි ගමනක යෙදෙනු ඇතැයි පාක්ෂිකයෝ සිතුහ.


කඩපොළේ ගම්දොරේ කතාබහ අලුත් විය. කවුරුත් කතා කළේ පිලිප්, ඇන්. ඇම්. පිරිස සිරගෙදරින් පැන ආ කතාන්දරයයි. සම සමාජ පාක්ෂිකයන් කෙසේ වෙතත් හිර ගෙදර විශේෂ මැදිරියක සිටි පිරිසට පැන යාමට උදව් දීම මෙන්ම ඔවුන් සමඟ පිටව යාම පිළිබඳව ජේලර් සොලමන් ගැන රජය දැඩි කෝපයට පත්විය. මේ පිරිස දුටු තැන ඇල්ලීමටත් සම සමාජ පක්ෂය නීති විරෝධි සංවිධානයක් බවත් එයට බැඳීම, ක්‍රියාකාරී සහයෝගය දීම බරපතළ වරදක් බවටත් වරෙන්තු නිකුත් කළ රජය වරෙන්තුවලට හසු නොවී සිටින සියලුම සමසමාජවාදීන්ගේ නිශ්චල හා චංචල දේපොළ රාජසන්තක කරන බවට ද නියෝගයක් නිකුත් කෙරිණ.


හිරගෙදරින් පැන ආ පිරිස ගේ මුල්ලකට වී සැඟව සිටියේ නැත. නීති විරෝධී යුගයේ අධිරාජ්‍ය විරෝධී සටන මෙහෙය විය යුතු ආකාරය ගැන මධ්‍යම කාරක සභාව රැස්කර ගත යුතු ක්‍රියා මාර්ග ගැන සාකච්ඡා කොට නිගමනවලට එළැඹිණ. ඔවුන්ගේ අදහස් රැගත් ‘සම සමාජ’ පුවත්පත අධිරාජ්‍යවාදීන් තව තවත් කුපිත කරවන්නක් විය. සමසමාජ නායකයන් කිහිපදෙනෙකුගේ නම් ප්‍රකාශයට පත් කෙරුණේ ඔවුන් දුටු තැන ඇල්ලීමටය.


පානදුරේ වෙස්ට් එන්ඞ් හවුස් හි ලෙස්ලි ගුණවර්ධන, විවියන් ගුණවර්ධන, කුසුමා ගුණවර්ධන, රොබට් ගුණවර්ධන කොළඹ බගතලේ පාරේ තිස් දෙවැනි පටුමගේ රෙජිනෝල්ඞ් සේනානායක ඇතුළු දොළොස් දෙනෙකුගේ නම් එයට ඇතුළත් විය. එමෙන්ම කරවනැල්ලේ රෙජි පෙරේරා, යාපනයේ වී, කරාලසිංහම්. බටපොළ පී. එච්. විලියම් සිල්වා, යාපනයේ එම්. සී. සී. ඇන්තනිපිල්ලේ, මොරටුවේ ලයනල් කුරේ, කළුබෝවිල ලෝරන්ස්, එම්. පෙරේරා යන අය දුටු තැන ඇල්ලීමටත් මේසියලු දෙනා සතු චංචල නිශ්චල දේපළ තහනමට ගන්නා ලෙසත්, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.


මේ වන විට අධිරාජ්‍ය විරෝධී සටන් ඉන්දියාවේ අති සාර්ථක ලෙසින් ක්‍රියාත්මකව පැවතිණි. ජවහර්ලාල් නේරු, සුභාෂ් ආදී ජාතික නායකයන්ට තම දේශය අධිරාජ්‍යවාදී බි්‍රතාන්‍ය පාලනය ඉවත් කළහොත් එය නිසැකවම ලංකාවට ද බලපාන බව දැනගත් සම සමාජ පක්ෂ නායකයෝ ඉන්දියානු නිදහස් සටනට තම සහාය දෙන ගමන් තම පක්ෂ සංවිධාන කටයුතු එහි සිට ක්‍රියාත්මක කිරීමේ තීරණයකට එළැඹිණි.


පිලිප්, කොල්වින්, ඇන්තනි පිල්ලේ යන තිදෙනා ඉන්දියාවට පිටත් කර යැවීමට රොබට් ගුණවර්ධනට උදව් උපකාර කළේ ඬේවිඞ් නමැති තැනැත්තාය. යම් හෙයකින් මේ පිරිස පිටත් කර හැරීමේ දී කිසිවකුගේ ඇස ගැටුණහොත් එයින් සිදුවන ප්‍රතිඵලයේ බැරෑරුම්කම දැන සිටි රොබට් වැල්වැටිතුරේ මුහුදු වෙරළ අසබඩ තම ඔත්තුකරුවන් කිහිපදෙනෙකු රඳවා තැබීය. ලෙස්ලි මේ වන විට කිසිවකුටත් නොදන්වා ඉන්දියාවට ගොස් සිටියේය. දෙවැනි කණ්ඩායමට ඇන්. ඇම්. ලයනල් කුරේ සහ සොලමන් සමඟ තමාත් එක්විය යුතු යැයි රොබට් කල්පනා කළේය.


තමා මෙබඳු තීරණයක් ගත් බව පියාට පැවසිය යුතු යැයි රොබට් කල්පනා කළේය. ඔහු බොරළුගොඩ රාලහාමි හමුවිය. 


“මේ යුද්ධ කාලේ මෙහේ හිටියොත් නොයෙකුත් කරදරවලට මූණදෙන්න වේවි. ඒක හින්දා කොහේ හරි ගිහින් කාලයක් ඉඳලා ආවොත් හොඳයි කියලා කල්පනා කළා. ඒක හින්දා මම දුර ගමනක් යනවා. කාලෙකට එන්නේ නෑ”


“සල්ලි එහෙමත් ඕන වෙයිනේ” යැයි කියු බොරළුගොඩ රාලහාමි රොබට්ට කලකට සෑහෙන්න මුදල් දුන්නේය. 


ඇඳිරි නීතිය රට පුරා යොදා තිබියදී මහ රෑ දෙකට පමණ බොරළුගොඩ සිට කොළඹ බලා පැමිණෙමින් සිටි රොබට් මීගොඩ දී හදිසියේ කළුවරේ පැමිණි බර කරත්තයක හැපුණි. මෝටර් රථයේ ලාම්පු ආවරණය කර තිබූ නිසා අඳුරේ පැමිණි බර කරත්තය ඔහුට පෙනුණේ නැත. කරත්තකරුවා හප්පාගෙන ආපසු කොළඹට එන්නට තිබුණත් රොබට් නතර වී යම්කිසි අලාභ හානියක් කරත්තයට සිදුවී ඇති දැයි බැලුවේය. කරත්තය අයිතිකරුවා මීපේ පදිංචි හඳුනන මුස්ලිම් ජාතිකයෙකු විය.