අගමැති බණ්ඩාරනායක නිදහස් උළෙල අමතමින්...

 

“නිදහස උදාවන්නේ කෙනෙකු ලියාදුන් පලියටවත් නීති පොතට ඇතුළත් වූ පලියටවත් නොවෙයි. රටක ආර්ථික, සංස්කෘතික, දේශපාලනික, අධ්‍යාපනික හා සෞඛ්‍යමය ආදී ජනජීවිතයට අත්‍යවශ්‍යම දේ සම්පූර්ණ වූ විටයි. රටේ සෞභාග්‍යය ඇති කිරීම එක් මොහොතකින් කළ හැකි වැඩක් නොවෙයි. ඒ සඳහා කාගෙත් ඇප වීම මෙන්ම කැපවීම තිබිය යුතුයි.”


අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිදුන් මෙම අදහස් ප්‍රකාශ කළේ මෙරටට 11 වැනි නිදහස් සමරු උළෙල නිදහස් පිටියේ දී 1959 පෙබරවාරි 04 දා පැවති අවස්ථාවේදීය.
ගාලු මුවදොර පිටියේ දී සිරිත් පරිදි බහුවිධ හමුදා පෙළපාළිය උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණ අතර නිදහස් පිටියේ දී සරඹ පෙළපාළිය හා සංස්කෘතික සංදර්ශනය පැවැත්විණ.
මෙම සංස්කෘතික සංදර්ශනයට පැරණි නැටුම් තිස් ගණනක් අඩංගු වූ අතර පාසල් දරු දැරියෝ දහස් ගණනක් සහභාගි වූහ. මෙතෙක් පැවති සියලු නිදහස් සමරු උත්සවවලට වඩා මෙම විශේෂාංග දෙක කෙරෙහි දෙස් විදෙස් ප්‍රභූවරුන්ගේ හා සාමාන්‍ය ජනතාවගේ අවධානය යොමුවූ අතර ඇතැම් සිසුන්ගේ ක්‍රියාකාරකම් දුටු මවුපියෝ සතුටු කඳුළු හෙළුෑ බව පුවත්පත් වාර්තා කර තිබිණ.


ආණ්ඩුකාර තැන්පත් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක සහ අග්‍රාමාත්‍යතුමන් ඇතුළු මැති ඇමැතිවරුන් ප්‍රබෝධයට පත් කළ සරඹ සංදර්ශනය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවා තිබිණි.”
අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මැතිඳුන් මෙදින අලුයම් කාලයේ කොල්ලුපිටිය පොල්වත්ත විහාරස්ථානයට පැමිණ මල් පහන් පූජා කර නිදහසට සෙත් පැතුවේය. ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාරවරයා කොළඹ ආදුරුප්පු වීදියේ දේවස්ථානයට පැමිණ නිදහස් සමරු දේව මෙහෙයට සහභාගි විය.
ත්‍රිවිධ හමුදාව ගාලු මුවදොර පිටියේ පැවැත්වූ ආචාර පෙළපාළිය වඩාත් ගාම්භීර වූයේ   ගුවන් හමුදාව ඉදිරිපත් කළ සංදර්ශනය නිසාය. එම පෙළපාළිය පිළිගන්නා ලද්දේ ආග්‍රාණ්ඩුකාරතුමා හා අග්‍රාමාත්‍යවරයා විසිනි. 


ශ්‍රී ලංකාවේ 11 වන නිදහස් සමරුවට ආසිරි පුද කරමින් මෙරට සමග මිත්‍ර සබඳතා ඇති කරගත් සමාජවාදී රටවල්වලින් මෙන්ම බටහිර රටවල්වලින් ද මෙවර සුබපැතුම් එවා තිබීම විශේෂත්වයක් විය.
සෝවියට් අගමැති නිකිතා කෘෂෙප්, මහජන චීන ජනාධිපති මාඕ සේතුං, ජර්මන් පෙඩරල් ආණ්ඩුවේ අගමැති ඩටෝ ග්‍රොවෝල්, ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති වෝල්ටර් උල්බි්‍රජ්, චෙකොස්ලෝවේකියාවේ අගමැති විලියම් සිරෝකි, ඉන්දුනීසියානු අගමැති ජුවන්ද්‍රා, ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති අයිසන් හවර් සහ පාකිස්තානු ජනාධිපති අයුබ්ඛාන් ද ඒ අතර වූහ.


ඊශ්‍රායල් විදේශ ඇමැති හා සෝල්බරිසාමි ද ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා මෙන්ම ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු තුමා ද විශේෂ සුබ පැතුම් පණිවුඩ එවා තිබිණ.
ජාතික ගීය හෙළ බසින් ගයා නිමවීමත් සමගම සරඹ සංදර්ශනය ද අනතුරුව අගමැතිවරයාගේ කතාව ද පැවැත්විණ.
මෙහිදී සිදුවූ සුවිශේෂිම සිදුවීම වූයේ මෙරට සිදුවූ ඓතිහාසික සිද්ධි නිරූපණය කරමින් ලංකා කලා මණ්ඩලය වේදිකාගත කළ සංස්කෘතිකාංගයි. මේ සඳහා මිනිසුන් පමණක් නොව අලි ඇතුන්, අසුන් පවා උපයෝගී කර ගෙන තිබිණ.


“විජය කුවේණි පුවත, මහින්දාගමනය, දුටුගැමුණු එළාර සටන වැනි ඓතිහාසික පුවත් සජීව ලෙස නිරූපණය කෙරිණි. 
මින්නේරිය වැව තැනවූ මහසෙන් රජතුමා වෙත ගොවීන් තුටු පඬුරු පිදූ අයුරු ද මනාව නිරූපණය කෙරිණි. මිහිඳු තෙරුන් දේවානම්පියතිස්ස නරනිඳුන් බොදුනුවකු බවට හරවා මෙරට බුදු සසුන පිහිටවූ අයුරු රඟ දක්වද්දී ජනතාව සාදුකාර දුන් බව සඳහන්ය.

විශාඛා විදුහලේ සිසුවියෝ සීගිරි සමය නිරූපණය කළ සෞන්දර්යාත්මක අගයෙන් අනූන රංගනයක් ඉදිරිපත් කළ අතර හමුදා නිලධාරීන් හා සාමාන්‍ය සෙබළුන්  විසින් “පැරකුම් රාජ සභාව හා ශ්‍රී වික්‍රම රාජ සභාව” මනා ලෙස නිරූපණය කළ අතර එම අවස්ථාව හැඟීම් දනවන සුලු විය.


දේශීය නර්තනාංග ඇතුළත් කළගෙඩි, ලී කෙළි ද උඩැක්කි, පන්තේරු, දියකෙළි නැටුම් අංග ද විදෙස් තානාපතිවරුන්ගේ නෙත් සිත් ඇද බැඳගත් බව පෙනිණි. ඔවුන් ඒ පිළිබඳව භාෂා පරිවර්තකයන්ගෙන් විමසා වටහා ගනු දක්නට ලැබිණ. 11 වැනි ජාතික නිදහස් දින උළෙලේ දී සුවිශේෂී විශේෂාංගයක් ඉදිරිපත් කිරීමෙහිලා කාගෙත් ප්‍රසාදය හිමිවූයේ කොළඹ නාලන්ද විදුහලේ සිසු දරුවෝය. 


ඔවුන්ගේ “රොකට් සමාජය” විසින් නිදහස් සමරු උළෙල වෙනුවෙන් රොකට්ටුවක් ගුවන් ගත කෙරිණි. මෙම රොකට් මධ්‍යස්ථානය නාරාහේන්පිට ස්ථාපිතව තිබූ අතර ගුරුවරුන්, දෙමාපියන් හා සිසු දරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම අවස්ථාවේ දී රොකට්ටුව සැතපුම් ගණනාවක් ඈතට ගුවන්ගත කෙරිණ.


මෙම උළෙලට සමගාමීව රට පුරාම උත්සව පින්කම් හා පරිත්‍යාග කිරීම් රැසක් සංවිධානය කෙරිණි. විහාරස්ථානවල ඝණ්ටා නාදය මැදියම් රැය වනතුරු පැවැත්විණි. 12 වන නිදහස් උළෙල සමරන්නට අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මැතිඳුන් ජීවතුන් අතර සිටියේ නැත.

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි