“ලෝකෙන් උතුම් රට ලංකාවයි” යන ගීතය ලොවට හඳුන්වා දෙමින් “සැම දන මන දිනු සුජාත ධරණි” යන ගීතයටද පණ පෙවූ ඔහු ලංකාවේ මෙතෙක් බිහිවූ හොඳම අධ්‍යාපන ඇමතිවරුන්ගෙන් කෙනෙකි.


1907 දී කුලියාපිටියේ කටුගම්පල ඉපදී 66 හැවිරිදි වියේ දී එනම් 1973 දී මියගිය ඔහු ඉමියා මුදියන්සේලාගේ රැපියෙල් අභයවංශ ඊරියගොල්ල, නැතහොත් අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ලය. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, දහනායක, බද්යුදීන් මහමුද් වැනි අධ්‍යාපන ඇමතිවරුන් වැනිම වූ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු නැංවීම සඳහා උදාර සේවයක් ඉටු කළ වියතෙකි.
මේ මා ලියන්නට යන්නේ එතුමාගේ ජීවිත විවරණය නොවේ. දොස්තරවරයෙකු වීම සඳහා වෛද්‍ය විද්‍යාලයේ අවසාන විභාගයට පෙනී නොසිට ඉන් ඉවත්වී, පොලිසියට බැඳී පසුව මාධ්‍යවේදියෙකු සහ පුවත්පත් කතුවරයෙකු එමෙන්ම භාෂා පරිවර්තකයෙකු වශයෙන් සේවය කර දේශපාලන භූමියේ ඉහළටම ගිය මේ කෘතහස්ත මහා වියතාගේ සේවයට නිහඬ සාක්‍ෂියකි කොළඹ ඩී. එස්. සේනානායක විදුහල.


කොළඹ කූඹිකැලේ ළමයින් 167 දෙනෙකුගෙන් හා ගුරුවරුන් 5 දෙනෙකුගෙන් 1967 පෙබරවාරි 10 වැනිදා ඩී. එස්. සේනානායක විදුහල ඔහු ඩඞ්ලි සේනානායක රජයේ අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් ඇරඹුවේය. ඔහු එය සිදුකළේ 1947 දී ප්‍රථමවරට ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් දණ්ඩගමුව ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඩී. එස්. ගෙන් ලබාගත් පන්නරයට කෘතගුණ සැලකීමක් වශයෙනි.
ලෝක සාහිත්‍යයේ දුර්ලභ මාණික්‍යයක් බඳු වූ ප්‍රංශ ජාතික වික්ටර් මාරි හියුගෝගේ ද ලේ මිසාරාබ්ලේ නමැති අද්වීතිය නවකතාවේ රමණීය සංක්ෂිප්තයක් වශයෙන් “මනුතාපය” එළිදැක්වීම තුළින් ලංකාවේ ඉමහත් ප්‍රසිද්ධියට පත්වූ ඔහුට ඒ අනුසාරයෙන් දේශපාලන ජයග්‍රහණ රැසක් බුක්ති විඳීමට අවස්ථාව පෑදුණේය. ටී. බී. ඉලංගරත්නයන් ද දේශපාලන පොරපිටියේ ඉහළටම ගියේ ලේඛන කලාව තුළිනි. දේවතාපය ඔහුගේ දෙවැනි පොතයි.


ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා අධ්‍යාපනය පිළිබඳව 1947 සිට 1965 දක්වා පුවත්පත්වලට ලිපි දහස් ගණනක් ලියූ ඔහුට ඩඞ්ලි අගමැතිවරයා විසින් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය බාරදීම කාලෝචිත හා ඥානාන්විත පියවරකි. 1947  සිට 1960 දක්වා දණ්ඩමුව අසුන රැකගැනීමට ඔහු සමත්විය. ඩී. එස්. සහ ඩඞ්ලිගේ පමණක් නොව ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ ද සමීප මිතුරෙකු වූ ඔහු 1956 බණ්ඩාරනායක අගමැතිවරයාගේ රජයේ ස්වදේශ කටයුතු උපඇමති තනතුර ද දැරුවේය.
1960 ජුලි මැතිවරණයේ දී කුලියාපිටිය ආසනය ඡන්ද 45කින් පරාද වුවත් ඔහු පසු බැස්සේ නැත. සිංහල බෞද්ධයා පුවත්පතේ කර්තෘ වශයෙන් ශාසනයට ඉමහත් සේවයක් ඉටු කළේය. සමාජවාදී මහජන පෙරමුණට නායකත්වය ලබාදුන්නේ ඊරියගොල්ල නමැති මේ උගත් වියතාය.
1965 සිට 1970 දක්වා ඇම්. ඩී. බණ්ඩා යටතේ රටේ කෘෂිකර්මාන්තයත් පිලිප් ගුණවර්ධන යටතේ කර්මාන්තත් යූ. බී. වන්නිනායක යටතේ ආර්ථිකයත් ඊරියගොල්ල යටතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයත් ඊ. එල්. බී. හුරුල්ලේ යටතේ ප්‍රවාහන සේවයත් නැංවූ අයුරු විශිෂ්ටය.


ඩඞ්ලි සේනානායක සහ ජේ. ආර්. ජයවර්ධන වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් ඔහු ඇමතුවේ රැපියෙල් යන නාමයෙනි. 1970 මහ මැතිවරණයේ දී ඩඞ්ලි, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හමුවෙහි ඉමහත් පරාජයක් ලැබුවේය. මෙම මැතිවරණයේ දී සිරිමාවෝ මැතිනියගේ ශ්‍රී.ල.නි.ප. ය ආසන 91ක් දිනා ගනිද්දී ඩඞ්ලිගේ යූ.ඇන්.පී. ය දිනාගත්තේ ආසන 17ක් පමණකි. ඇන්. ඇම්. ගේ ලසසපය යූ.ඇන්.පී.යට වඩා ආසන 2ක් වශයෙන් මුළු ආසන 19ක් දිනා ගන්නා ලදී.
ලසසපය යූ.ඇන්.පී.ය අබිබවා ගිය ප්‍රථම අවස්ථාව මෙයයි. 


1970 දී එජපායට අන්ත පරාජයක් ලබාගැනීමට සිදුවූයේ සේපාල ගුණසේනගේ “දවස” පුවත්පත් ආයතනය ඊරියගොල්ලගේ විවිධ ක්‍රියා නිසා තරහ කරගත් නිසා බව එකල ප්‍රචාරය විය. පාසල් පොත් මුද්‍රණය සේපාල ගුණසේනගේ සමාගමට නොදී රජය මගින්ම සිදු කිරීමට ඊරියගොල්ල ක්‍රියා කිරීම නිසා “දවස” පුවත්පත් ආයතනය සිරිමාවෝ මැතිනියට බලය ලබාදීම සඳහා ගෙනගිය දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරය සාර්ථක විය. මෙම පරාජය පිළිබඳ ඩඞ්ලි ඊරියගොල්ලට තදින් දෝෂාරෝපණය කළ බව කියනු ලැබේ. “දවස” ඩඞ්ලිට හරහට සිටියේ ඊරියගොල්ල “දවස” ආයතනයට හිස නොනැමූ නිසා බව ප්‍රචලිත විය.


ඩඞ්ලිගෙන් ද බැණුම් ඇසීමෙන් පසු ඉමහත්සේ කලකිරීමට පත් මේ ගත් කතුවරයා, දේශපාලනයෙන් ද සමුගෙන ඉන් වසර 3කට පසු සදහටම දෙනෙත් පියා ගත්තේය. ඔහු පොලිස් ඉක්ස්පෙක්ටර් (පරීක්‍ෂක) තනතුරක් දැරූ කාලයේ ජනතාවට පොලිස් පාට් නොදැමූ බව ප්‍රකටය.


රටපුරා විශ්වවිද්‍යාල ඇරඹීම, තරුණ තරුණියන් සඳහා රැකියා පුහුණු ආයතන ස්ථාපනය කිරීම, අනුරාධපුරයේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවීම, සීගිරි බිතු සිතුවම් සංරක්‍ෂණය කිරීම, සියවස පාසල් පුස්තකාල 100ක් රටපුරා විවෘත කිරීම, ගුරු අභ්‍යාස විදුහල් පිහිටුවීම, කොළඹ මහානාම විදුහල ඇරඹීම ආදිය මේ ඊරියගොල්ල සිදුකළ සේවාවන්ගෙන් සමහරකි. අනගාරික ධර්මපාල තුමාගේ ගෝලයෙකු වූ ඔහු මහාබෝධි සමාගමේ ද පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ සහ සමස්ත ලංකා බෞද්ධ සංවිධානයේ ද ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු විය.


අල්ලස දූෂණය පිටුදකිමින් ජාත්‍යාලය හා දේශමාමත්වය පෙරදැරි කොට ගෙන  දැවෙන ප්‍රශ්න තුළින් පීඩනයට පත්වන ජනතාවගේ මනුතාපය තුරන් කිරීමට මුළු දිවියම කැපකළ ඊරියගොල්ල වැනි බුද්ධිමතුන්ගේ අගය වඩාත් ඉස්මතු වන්නේ මෙවන් කාලපරිච්ඡේදයක දීය.

 


සිරී හීන්පැල්ල
ඡායාරූපය අන්තර්ජාලයෙනි