1947 සිට 1977 දක්වා මෙරට පාර්ලිමේන්තුවේ මැතිවරණ පවත්වන ලද්දේ කේවල ඡන්ද කොට්ඨාස පදනම් කරගෙනය. ඒ අනුව සුදුසුකම් ඇති ඕනෑම ඡන්දදායකයකුට ඕනෑම මැතිවරණ කොට්ඨාසයකට හෝ කීපයකට ඉදිරිපත් වීමේ හැකියාව තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පළමු වරට 1956 මැතිවරණයේදී ඡන්ද කොට්ඨාස දෙකකට නාමයෝජනා ඉදිරිපත් කර ඒ ආසන දෙකම ජයග්‍රහණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ආර්. ජී. සේනානායක මහතාටය.
 
1952 එජාපය ආණ්ඩුවේ වාණිජ හා වෙළෙඳ අමාත්‍ය ධූරය දරමින් චීන ලංකා රබර් සහල් ගිවිසුමට නායකත්වය දුන් ආර්. ජී. සේනානායක මහතා එජා පක්ෂයේ ඇතැම් ක්‍රියා අනුමත නොකරමින් 1956 වන විට ඉන් ඉල්ලා අස්වී 1956 අප්‍රේල් 05, 07, 10 පැවැති මහ මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස එවක මුදල් අමාත්‍ය ධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධන තරග කළ කැලණිය ආසනයටත් තමන්ගේ පුරුදු ආසනය වූ දඹදෙණිය ආසනයටත් ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කළේය. තරග කළ කොට්ඨාස දෙකම ආර්. ජී. සේනානායක මහතා ජයගන්නා ලද්දේ ඉතා ඉහළ වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි.
 
කැලණිය
 
ආර්. ජී. සේනානායක - ස්වාධීන 37,023
ජේ. ආර්. ජයවර්ධන - එජාප 14,187
ඇම්. පී. පී. ඩබ්. ජයවර්ධන - ස්වාධීන 377
ඇස්. ඒ. ඩී. ඇස්. ගුණවර්ධන - ස්වාධීන 158
වැඩි ඡන්ද 22,836
 
දඹදෙණිය
 
ආර්. ජී. සේනානායක - ස්වාධීන 26,414
ඒ. ජී. පියදාස - එජාප 1507
වැඩි ඡන්ද 24,907
 
එජා පක්ෂ විරෝධී ප්‍රධාන විකල්පය ලෙස එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා නායකත්වය දුන් ශ්‍රීලනිපය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඔහු හා නිතරග ගිවිසුමකට එළඹීම මෙම ජයග්‍රහණයට හේතුවිය. එජා පක්ෂ ආණ්ඩුවේ මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන පරාජය කළ ආර්. ජී. සේනානායක 1956 බණ්ඩාරනායක ආණ්ඩුවේ වාණිජ හා වෙළෙඳ ඇමතිවරයා ලෙස 1956 අප්‍රේල් 14 වැනිදා දිවුරුම් දී වැඩ භාරගත්තේය. 1959 සැප්තැම්බර් 26 වැනිදා බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව ඩබ්ලිව්. දහනායක අග්‍රාමාත්‍යවරයා 1960 ජනවාරි 06 වැනිදා ආහාර හා වෙළෙඳ අමාත්‍ය ධුරයෙන් ආර්. ජී. සේනානායක ඉවත් කරමින් ජේ. ඩී. වීරසේකර මහතා ඒ සඳහා පත් කළේය.
 
1970 මහ මැතිවරණය වන විට සිංහල මහජන පක්ෂය නමින් වෙනම දේශපාලන පක්ෂයක් බිහිකරගත් අතර 1970 මැයි 27 මහ මැතිවරණයට එම පක්ෂයෙන් අපේක්ෂකයින් 51 දෙනකු ඉදිරිපත් කළේය. 
 
එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ශ්‍රීලනිපය ලංකා සමසමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය එකතුව සමගි පෙරමුණක් ලෙස මුහුණට මුහුණ තරග කළ නිසා සෑම ඡන්ද කොට්ඨාසයකම වාගේ ප්‍රධාන ඡන්ද සටන මෙම පක්ෂ දෙක අතර සිදුවිය. ඒ නිසා සුළු පක්ෂ සඳහා ජනතා ආකර්ෂණයක් නොවීය. මෙම මැතිවරණයේ ශ්‍රීලනිපය ආසන 105 තරග කර 90 ජය ගත් අතර ලංකා සමසමාජ පක්ෂය ආසන 23 තරග කර 19 ජය ගත්තේය. කොමියුනිස්ට් පක්ෂය ආසන 09 තරග කර 06 ජයගත්තේය. ඒ අනුව සමගි පෙරමුණට ආසන 115 ක් හෙවත් තුනෙන් දෙකක් හිමිවූ අතර මන්ත්‍රී ධුර 151 න් එජා පක්ෂයට හිමිවූයේ ආසන 17 පමණි.
 
ආසන 51 තරග කළ ආර්. ජී. සේනානායකගේ සිංහල මහජන පක්ෂයට එකම ආසනයක් හෝ ජයගත නොහැකි විය. ඔහු තරග කළ ආසන දෙකම පරාජයට පත්විය. එනම් දඹදෙණිය හා ත්‍රිකුණාමලයයි.
 
දඹදෙණිය
 
පී. බී. වෑත්තෑව - ශ්‍රීලනිප 18,705
යූ. බී. විජේකෝන් - එජාප 12,191
ආර්. ජී. සේනානායක - සි.ම.ප 6017
වැඩි ඡන්ද 6514
 
ත්‍රිකුණාමලය 
 
බී. නෙමිනාදන් - පෙප 12,395
ඇස්. අම්. ඒ. සී. ජලල්දින් - ශ්‍රීලනිප 8346
ආර්. නවරත්න රාජා - එජාප 5703
ආර්. ජී. සේනානායක - සිමප 601
වැඩි ඡන්ද 4049
 
1944 රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිටම පුරා අවුරුදු 26 ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරයකුව සිටි ආර්. ජී. සේනානායක මහතා මේ අනුව 1956 දී ආසන දෙකක් වැඩි ඡන්ද 20,000 වැඩියෙන් ජයග්‍රහණය කළද 1970 දී ආසන දෙකකට තරග කර අන්ත පරාජයට පත්විය.
 
 
 
බණ්ඩාරගම සමරසේන මුදලිගේ
ඡායාරූපය අන්තර්ජාලයෙනි