පසුගිය ඔක්තෝබර් විසි හයවැනි දින සිදුවූ අනපේක්‍ෂිත f්දශපාලන පෙරළිය ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්හිද බොහෝ සාකච්ඡාවට ලක්විය. එතෙක් පැවති යහපාලන රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වූ බව ප්‍රකාශ කිරීමත් සමගම පැවති රජය අවසන් වූ බව නිවේදනය විය. ව්‍යවස්ථාවට අනුව නව රජයක් පිහිටු විය යුතු නිසා එහි අග්‍රාමාත්‍ය ධුරයට මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනය කරනු ලැබ තිබුණි හදිසියේම ඒ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දෙනු රූපවාහිනියෙන් දුටු ජනතාව දැක් වූ ප්‍රතිචාරද මාධ්‍යවල පළ විය.


එම සිදුවීම කාලයක් තිස්සේ යහපාලන රජය තුළ අළුයට ගිනි මෙන් නොනැවතී පැවතුණු බල අරගලයක ප්‍රතිඵලයක් බව ප්‍රකට කරුණකි. මෙය මාධවේදීන්ට රහසක් නොවුණි. ඔවුහු නිතරම පාහේ මාධ්‍ය සාකච්ඡාවලදී වගකිවයුත්තන්ගෙන් මේ ගැන විමසූහ. එහෙත් පිළිතුරු දෙන්නෝ මුඛරි හා දෙපැත්ත කැපෙන වචනවලින් යටපත් කිරීමට උත්සාහ කළද ඔක්තෝබර් 26 වැනිදා බළලා මල්ලෙන් එළියට පැන්නේය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති තනතුරේ දිවුරුම් දීමෙනි. නීත්‍යානුකූල අගමැතිවරයා තමා බවත් පාර්ලිමේන්තුවේ බහුතරය තමා සතුව ඇති නිසා නව ආණ්ඩුව නොපිළිගන්නා බවත් කියමින් රනිල් වික්‍රමසිංහ මහතා නව රජයට අභියෝග කළේය. ඊට පසු පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් දින කීපයකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව නිවේදනය කළේය.


නීතිමය සටන ආරම්භ වූවේ එතැන් සිටය. එම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනයට අනුව මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් පාර්ශ්ව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර සිටිනු දක්නට ලැබුණි. එමෙන්ම මෙම විසුරුවා හැරීම අවලංගු කළ යුතු බව පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ. මෙම කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලදී. එහිදී පැමිණිලි පාර්ශ්වයෙන් ඉල්ලා සිටි තවත් කරුණක් වූවේ මෙම පෙත්සම් සලකා බලා තීන්දුවක් ලබා දෙනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීම සඳහා නියමිතව ඇති ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙසය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එයට ඉඩ ලබා දුන්නේය. නඩු විභාගය ඉදිරියට පැවැත්වීමට නියම විය.
එම තීන්දුවෙන් ලැබුණු අවසරය මත පාර්මේන්තුව රැස් කරවීමට කතානායකතුමා ක්‍රියා කළේය. එයින් පසු බොහෝ මතභේදකාරී සිදුවීම් මාලාවක් අත්දැකීමට මෙරට ජනතාවට ඉඩ ලැබුණි. පසුගිය ජනාධිපතිවරණයේදී, පවතින රජය ඒකාධිපති ලෙස රට පාලනය කරන්නේ යැයිද එනිසා යහපාලන සංකල්පය මත “වෙනසක්” සිදු කිරීමට තමන්ට බලය දෙන්නැයි හඬ නැගූ පාර්ශ්ව දෙකට බෙදී සිදු කරගෙන යන මෙම ක්‍රියාවලිය හැට දෙලක්‍ෂයක් වූ වෙනස සහ යහපාලනය අපේක්‍ෂා කළ මිනිසුන්ගේ සිත් පාරවන්නක් වූ බව දක්නට ලැබුණි. එම පිරිසගේ අපේක්‍ෂා බිඳ දමමින් එකී ජනවරමට පිටුපා තමන් බලයට පත් කළ ජනාධිපතිවරයා සිය ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්‍ෂයන්ට බලය බන්දේසියක තබා ප්‍රදානය කළ බවට ඔවුහු චෝදනා කළහ. අධිකරණයට ගියේත් ඔවුන්මය.


සිදුවීම් මෙසේ පෙළගැසෙද්දී දැන් පවතින රජය නීත්‍යනුකූල නොවන නිසා එහි බලධාරීන්ට රාජ්‍ය මුදල් භාවිතය තහනම් කළ යුතු යැයි නොබෝදා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත් කළේය. එම සම්මුතිය පරිදි කටයුතු කරන ලෙස දන්වා කුවෝ වොරන්ටෝ ආඥාවක් පනවන ලෙස ඉල්ලා අභියාචන අධිකරණයේ නඩුවක් පැවරීමටද ඔවුහු කටයුතු කළහ. එම නඩු විභාගය අවසන් වන තුරු පෙත්සම්කරුවන්ගේ නිීතිඥයෝ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටියහ. එයටද අභියාචනාධිකරණය ඉඩ ලබා දී තිබේ. අවසාන තීන්දුවක් ලබා දෙන තුරු මෙම නියෝගය බල පැවැත්වෙනු ඇත. ඒ අනුව අද අපේ රටේ අග්‍රාමාත්‍ය ධුරය සහ ඇමති ධුරවලට ක්‍රියාත්මක වීමේ නීතිමය අවසරය නැත. එය බරපතළ තත්ත්වයකි. එහෙත් රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක බව කියවේ.


මෙම අතුරු තහනම් නියෝගයට ද සමහර පාර්ශ්ව එකඟ වන්නේ නැත. ඒ අය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ගොනු කළ බව ප්‍රකාශයට පත්ව තිබේ. මෙසේ එකින් එක දිග හැරෙන සිදුවීම් මාලාව නිසා ජනතාවෝ වික්‍ෂිප්තව සිටිති. අපට මෙන්ම රටේ ජනතාවටද නීතිය ගැන විශාල දැනුමක් නැත. එහෙත් සෑම නඩු කටයුත්තකදී මෙන්ම මෙම අධිකරණ ක්‍රියාවලියේදී ද දෙපාර්ශ්වයටම නීති තර්ක තිබේ. නීතිය දන්නෝ නීතිඥ වෘත්තිකයෝය. ඔවුහු තර්ක කරති. උගත් විනිසුරුවරු තීන්දු දෙති. මාධ්‍යවේදීන්ට නීතිය ගැන අර්ථනිරූපණ ඉදිරිපත් කිරීමට අවසර නැත. එහෙයින් අයිති නැති දේ සිදුකිරීමට ගිය වඳුරාට අත් වූ ඉරණම ගැන දන්නා නිසා ඒ කෙරෙහි අපි යොමු නොවෙමු. අපට “වලිගය” කඩා ගැනීමට අවශ්‍ය නැත. මට පැවරී ඇති කාර්්‍යභාරයට අනුව ලිපියක් සම්පාදනය කිරීමට මෙවැනි අත්දැකීමක් ලංකා ඉතිහාසයේ නොමැත. විදේශ රටවල වුවත් විරලය. මෙම ව්‍යවස්ථා අර්බුදයට සමාන අවස්ථාවක් නොවුනත් අධිකරණමය ක්‍රියාවලට මුහුණ දීමට සිදුවූ අගමැතිවරයෙකුගේ චරිතයක් අසල්වැසි රටක් වූ පකිස්ථානයෙන් පසුගිය කාලයේ වාර්තා විය. මේ පෙළගැසෙන්නේ එම අසල්වැසි නායකයාගේ කතා පුවතයි.


ඔහු තුන් වරක් පකිස්ථානයේ අගමැති තනතුරත්, පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමැති ධුරය මෙන්ම කැබිනට් ඇමති තනතුරුද දැරූ ප්‍රකට දේශපාලනඥයෙකු වූ නවාස් ෂෙරීෂ් මහතාය. ඉතා ධනවත් ව්‍යාපාරිකයෙකු වූ මොහොමඞ් ෂෙරිප්ගේ පුත්‍රයෙකු ලෙස උපත ලබා ඇත්තේ ලාහෝර් නගරයේදී 1949 දෙසැම්බර් 25 වැනි දින දීය. ඉහළ පන්තියේ ධනවතෙකු වූ නවාස් ෂෙරීප්ගේ පියා විශාල වානේ කර්මාන්තහිමියෙකු බව කියවේ. ව්‍යාපාරික කටයුතු පිළිබඳ සරසවි උපාධියක්ද හිමිකරගෙන ඇති මොහු සතුවද විශාල ධනයක් පැවති බව කියනු ලැබේ. පකිස්ථානු මැතිවරණ කාර්්‍යාංශය පැවසූ අන්දමට නවාස් ෂෙරීප් සතු ධනය රුපියල් බිලියන 1.6කි. හෙවත් රුපියල් කෝටි එක් දහස් හයසියයකි. දේශපාලනයට පිවිසි නවාස් යම් පමණකට ප්‍රසිද්ධියට පත්වෙද්දී එවකට පකිස්ථාන් පාලකයාව සිටි සියා උල් හක් විසින් පන්ජාබ් ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලයේ මුදල් ඇමැති ධුරයට පත් කරන ලදී. ආර්ථිකවිද්‍යාව පිළිබඳව විශ්වවිද්‍යාල උපාධිධාරියෙකු මෙන්ම නීතිඥවරයෙකුද වූ නවාස් ෂෙරීප් දක්‍ෂිණාංශික දේශපාලඥයෙකු වශයෙන් ලබා තිබුණු ප්‍රසිද්ධිය ද මිලිටරි පාලක සියා උල්හක්ගේ ප්‍රසාදයට හේතුවන්නට ඇත. 1985 දී ප්‍රබල පන්ජාබයේ මහ ඇමති ධුරය ඔහුට හිමිවිය. ක්‍රමයෙන් ඉදිරියට ගිය පකිස්ථානයේ මුස්ලිම් ලීගය පක්‍ෂයේ ප්‍රබලයෙකු බවට පත්වීමේ භාග්‍ය ලැබුණි. යුද්ධ නීතිය පනවා රට පාලනය කළ ජෙනරාල් ෂියාගේ පාලනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ස්ථාපිත වුණි. 1990 වන විට ජාතික නායකයෙකුගේ තැන ස්ථාවර කර ගනිමින් පකිස්ථානයේ දෙළොස්වැනි අගමැතිවරයා ලෙස පත් වූවේය.


නොයෙක් අර්බුදවලින් ගහණ පකිස්ථාන දේශපාලන පොරපිටියේ දූෂණය සහ අක්‍රමිකතා බහුලය. සෑම නායකයෙකුටම පාහේ එම චෝදනා නිරන්තරයෙන්ම එල්ල වෙමින් තිබේ. එමෙන්ම නිදහසෙන් පසු වැඩිම කාලයක් එරට පාලනය වූවේ හමුදා නායකයන් අතිනි. යුද හමුදාව කෙරෙහි එරට ජනතාව තුළ ඇත්තේ මහත් ගෞරවයකි. එමෙන්ම හමුදාව මගින් රාජ්‍ය පාලනය කෙරෙහි දක්වන අතපෙවීම්ද බහුලය. බෙනාසීර් බූටෝ එරට පාලනය කළ අවධියේදී ජනාධිපති ගුලාම් ඉෂාක් ඛාන් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. එවකට විපක්‍ෂ නායක ධුරය දැරූ නවාස් ෂෙරීප් ඔහුගේ මුස්ලිම් ලීගය පක්‍ෂයද සමග ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියේය. 


කෙසේ වුවද පකිෂ්ථානය නම් වූ රාජ්‍යය තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම අතිශය දුෂ්කර කාර්යභාරයකි. එවැනි පාලනයක් ඇති වූ විගසින්ම එම ක්ෂේත්‍රය අරක්ගන්නේ දූෂණය සහ අක්‍රමිකතාවන්ය. එය එරට “උපන් ගෙයි දෝෂය” වශයෙන් හඹා එන්නකි. එයද සුළු පරිමාණයෙන් සිදු වන්නක් නොවේ. වර්තමානයේ හැටියට නම් එය හැඳින්විය යුතු වන්නේ බිලියන ගණනින්ය. නවාස් ෂෙරීප් පාලනය යටතේද එම තත්ත්වය උදාවී ඇති බවට චෝදනා නැගෙන්නට විය. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සිදුවන ලිහිල් පාලනයේදී ජාතික විනය පිරිහී, රාජ්‍ය ආරක්‍ෂාව පහළට වැටී, අල්ලස, කොමිස් හුවමාරුව, ත්‍රස්තවාදී ක්‍රියා සහ මත්ද්‍රව්‍ය ජාවාරම ආදී සමාජ ව්‍යසන පැතිර යාම නිසැකවම සිදුවේ. අසල්වැසි ඉන්දියාව සමඟ පවතින ජන්ම වෛරයද මෙම තත්ත්වයට ‘අනුපාන’ සපයන බවද නොරහසකි. බලුකිස්ථානය, වයඹ දිග දේශසීමා ප්‍රාන්තය ආදී නොදියුණු ගම්බද ඈත දුෂ්කර පළාත්වල රාජ්‍ය අණසක ක්‍රියාත්මක වීමක් නැති තරම්ය. එම පළාත්වල රජ කරන්නේ තුවක්කු අතින් ගත් හෙරොයින් නිපදවන ගෝඞ් ෆාදර්ලාය. නවාස් ෂෙරීප්ගේ පාලනය යටතේ මෙම තත්ත්වය උග්‍ර වූ බව කියනු ලැබේ. මෙසේ සිදුවෙද්දී සිරිත්පරිදි සිදුවන අයුරින් එරට යුද හමුදාව තම අතපෙවීම් වැඩි කළේය. මතගැටුම් ආරම්භ විය. එහෙත් බිය වීමට කරුණක් තිබුණේ නැත. අගමැති නවාස් ෂෙරීප් පකිස්ථානු හමුදාවේ ක්‍රියාකාරිත්වය ගැන මනාව දැන සිටියේය. ඔහුගේ දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් එයට හේතුවූවා විය හැකිය. එනිසා ඉදිරියට ඇති විය හැකි අනතුරකට මුහුණදීමට සූදානම් වීමක් වශයෙන් තමාට හිතවත් පර්වේස් මුෂාරෆ් හමුදාපති ධුරයට පත් කරගෙන තිබුණි. එහෙත් රටේ තත්ත්වය අහිතකර බව මුසාරාෆ් ද දැන සිටියේය. ඔහුගේ පූර්වගාමියා වූ ජෙනරාල් ජෙහාන්ගීර් කර්මත් හමුදාපති ධුරයෙන් විශ්‍රාම යාමේදී රටේ තත්ත්වය අගාධය කරා යන බවත් එනිසා හමුදාවේ වගකීම ඉටුකිරීම මුසාරෆ්ට පැවරෙන බව පැවසීය.


හිතවතෙකු වශයෙන් පර්වේස් මුසාරෆ් හමුදාපති ධුරයට පත් කරගෙන තිබුණද ඔහු නවාස් ෂෙරීප් ආරක්‍ෂා කිරීමට වඩා රටේ බලය අල්ලා ගැනීමට සූදානම් වන බවක් අගමැතිවරයාට පෙනී ගොස් තිබුණි. මතභේද උග්‍රවිය. මෙම සිද්ධියට ශ්‍රී ලංකාවද සම්බන්ධ වනුයේ මෙතනදීය 1999 ඔක්තෝබර් 10 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවේ පනස් වන සංවත්සරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පකිස්ථාන හමුදා නායක පර්වේස් මුසාරෆ් ආරාධනා ලැබ සිටි නිසා මෙරටට පැමිණියේය. එම උත්සව මාලාව අවසන්ව ඔක්තෝබර් 12 වැනිදා ආපසු සිය රට බලා පිටත් විය. එහෙත් අගමැති නවාස් ෂෙරීප්ට අවශ්‍ය වූවේ ඔහු හමුදාපති තනතුරෙන් නෙරපා දැමීමටය. එසේ සිදු කර නව හමුදාපතිවරයෙකු පත් කිරීමට අගමැතිවරයා උත්සාහ ගත් නමුදු ජ්‍යෙෂ්ඨයෝ එම තනතුර භාරගැනීම ප්‍රතික්‍ෂේප කළහ. එය නොතකා ලුතිනන් ජෙනරාල් ක්වාරා සියාවුද්දීන් මහතා එම තනතුරට පත් කරන ලදී. ලංකාවෙන් ගුවන් ගත වුවද එම යානයට පකිස්ථානයට ගොඩබැස්වීම රජය තහනම් කළේය. එයින් ඇති වූයේ අනතුරුදායක තත්ත්වයකි. යානයේ ඉන්ධන අවසන් වුවහොත් එය කඩා වැටීමේ අවදානමක් මතුවිය. මේ බව දැනගත් පකිස්ථානු හමුදා නායකයෝ තම ප්‍රධානියා බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කළහ. එක් නිලධාරියෙක් හමුදා ඛණ්ඩයක්ද සමග ගොස් අගමැති නිල නිවස වට කළ අතර පසුව නවාස් ෂෙරීප් අත්අඩංගුවට ගන්නාලදී. ඒ අයුරින් ගුවන්තොටුපළ, මන්ත්‍රී මණ්ඩල ශාලාව හමුදා මූලස්ථාන ගොඩනැගිලි, ආදී රාජ්‍ය මර්මස්ථාන සියල්ල වටලා තම අණසක යටතට ගත්හ. මෙම ක්‍රියාවලිය නිමාවූවේ පර්වේස් මුසාරෆ් පකිස්ථානයේ බලවතා බවට පත්වීමෙනි. නවාස් ෂෙරීප් බලයෙන් පහ කරන ලදුව සිරගත කරනු ලැබීය.


බොහෝ රටවල සිදුවන්නාක් මෙන් හිටපු අගමැතිවරයා විසින් කරන ලදැයි කියවෙන නොයෙකුත් දූෂණ වංචා, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම්, රාජ්‍ය දේපළ අවභාවිතය පමණක් නොව ත්‍රස්තවාදීන්ට අනුබලදීමෙන් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ගැනද චෝදනා එල්ල විය.


මෙතැන් පටන් නවාස් ෂරීප්ගේ ඉරණම විසඳීම භාරවූවේ එරට අධිකරණයටයි. එයින් ප්‍රධාන තැනක් ගත්තේ ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවයි. එහි වගඋත්තරකරුවන් වූවේ නවාස් ෂෙරීප්, ඔහුගේ දියණිය වූ මාරියම් ෂෙරීප් සහ ඇයගේ සැමියා වූ සෆ්දාර් ආවාන් යන තිදෙනාය. දිගු නඩු විභාගයකින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තී්න්දු කළේ නවාස්ට වසර දහයක සිර දඬුවමක් පැනවීමටය. එමෙන්ම ඔහුගේ දියණියට වසර හතක දඬුවමක්  සහ බෑනාට අවුරුදු දෙකක සිර දඬුවමක්ද නියම කරන ලදී. හිටපු අගමැතිවරයෙකු බව නොසලකා ඔවුහු බන්ධනාගාර ගත කරන ලදී. මෙම නඩුව විභාග වෙද්දී ෂෙරීප් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතර් මිනලාහ් තරයේම ප්‍රකාශ කළේ මෙම නඩුව ගොතා ඉදිරිපත් කළ හුදු ප්‍රලාපයක් බවයි. එසේම තම සේවාදායකයාගේ දේශපාලන ජීවිතය විනාශ කිරීම මෙහි නිත්‍ය අරමුණ වූ බවත් ඔහු පැවසීය. බොහෝ දේශපාලන විචාරකයෝද එම මතයට එකඟ වූහ.


එසේද වුවත් නවාස් ෂෙරිප්ගේ බිරිඳ වූ කුල්සුම් නවාස් සැමියා වෙනුවෙන් පෙරට පැමිණියාය. තම සැමියාගේ දේශපාලන අයිතිවාසිකම් අහෝසි කර එම ක්ෂේත්‍රයෙන් පලවා හැර තිබියදී ඇය අතුරු මැතිවරණයකට ඉදිරිපත්ව විශිෂ්ට ලෙස ජය ගත්තාය.


තවත් නඩුවක් අධිකරණයට යොමු කර තිබුණි. එයින් කියවුණේ 2008 වසරේ මුම්බායි නගරයේ සිදුවූ මහා ත්‍රස්තවාදී ප්‍රහාරයේ කොටස්කරුවෙකු වශයෙන් නවාස් ෂෙරිප් සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකර ඇති බවයි. එම ප්‍රහාරය සඳහා පකිස්ථානුවන් දහ දෙනෙකු සහභාගි වූ බව කියවුණි. එයින් නව දෙනෙකු ප්‍රහාරය අවස්ථාවේදීම ඉන්දීය පොලිසිය මගින් වෙඩි තබා මරා දමා තිබුණි. ඉතිරිව සිටියේ එක් අයෙකු පමණි. මෙම ප්‍රහාරයේදී පුද්ගලයන් 166 දෙනෙකු පමණ ඝාතනය වූ අතර මෙය ලෝකය පුරා මහත් ආන්දෝලනයකට හේතු විය. පකිස්ථානයේ තවත් හිටපු අගමැතිවරයෙකු වූ සහීඞ් කක්වාන් අබ්බාසි සහ පකිස්ථානයේ ප්‍රධානම දිනපතා පුවත්පත වන ෘ්උභ හි මාධ්‍යවේදියෙකු වූ සිරිල් අල්මේදා ද මෙහි අනෙක් වගඋත්තරකරුවෝ වූහ. 


මෙවැනි චෝදනා සහ නඩු විභාග නිසා දේශපාලනඥයෙකු වශයෙන් නවාස් ෂෙරීප්ගේ ප්‍රතිරූපය බිඳී ගියේය. ඒ අතර පකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායකයා වූ ඉම්රාන් ඛාන් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවනු ලැබූ අතර එහි ප්‍රමුඛ කාර්යභාරය වශයෙන් හඳුන්වා දෙන ලද්දේ එරට දේශපාලනයේ දූෂණ සහ අක්‍රමිකතා මුලිනුපුටා දමන බවයි. ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙක වූ පී.පී.පී. (පකිස්ථානු මහජන පක්‍ෂය - භූතෝ) සහ මුස්ලිම් ලීග් (නවාස් ෂෙරීප්) යන පක්‍ෂ දෙකම දූෂණ වංචා චෝදනා ලබා තිබුණු පසුබිම හමුවේ ඉම්රාන්ඛාන්ගේ නව පක්‍ෂය විශාල ලෙස ජනතා ආකර්ෂණය දිනාගැනීමට සමත් විය. ජූලි 25 දින මැතිවරණයේදී බලාපොරොත්තු නොවූ ආකාරයෙන් පෙරට පැමිණි ඉම්රාන්ගේ පක්‍ෂය රාජ්‍ය බලය දිනා ගැනීමට සමත් විය. මේ වන විට නවාස් ෂෙරීප් තම දඬුවමට එරෙහිව ඉහළ උසාවියට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර එහි තීන්දුව ලැබෙන විට මැතිවරණය අවසන් වී තිබුණි. ටික දිනකින් එය විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. එහි තීන්දුව අනුව නවාස් ෂෙරීප් නිදහස් කරනු ලැබීය. ඔහු දඬුවම් විඳ තිබුණේ මාස දෙකක් පමණි. එහෙත් ඒ වන විට සියල්ල සිදුවී හමාරය.

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි